අරුණි ශපීරෝ‍ වෙතින්

වයිමා ජනපදයේ මුදල් අර්බූදය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 15, 2016

පරිභෝජනයට හෝ නිෂ්පාදනයට ගතහැකි වූ පමණක් නොව හුවමාරුව සඳහා භාවිතා කරත හැකි වූ ද, ආර්ථික භාණ්ඩයක් සොයද්දී එයට ඇති ඉල්ලුම වැඩි වෙයි. මෙම සටහන හුවමාරුව සඳහා භාවිතයට ගන්නා මුදල් ගැනයි.

මුදල් යනු භාණ්ඩ හා සේවා හුවමාරුවට පහසුව සපයන මාධ්‍යයයි. සරල පරිවෘත්ති (barter) ක්‍රමයෙන් ඉදිරියට යද්දී පුද්ගලයෙකුට වැඩියෙන්ම අලෙවි කරගත හැකි ද්‍රව්‍ය ඔහු හුවමාරුවේ දී භාවිතා කරන මාධ්‍යය කර ගනියි. හරකා බාන, ධාන්‍ය, ලුණු, මාළු හෝ රන් රිදී සිට බිට්කොයින් දක්වා ‘මුදල්’ තෝරා ගැනුනේ යම් රජෙකු හෝ යම් පාලකයෙකු විසින් එවැන්නක් ලොවට බිහිකරපු නිසා නොවේ. එනමුත් ලෝක ඉතිහාසයේ බොහෝ අවස්ථාවල දී ඊට බලයක් ලද අය, අයවැය හිඟ ඉදිරියේ දී සහ රාජ්‍ය මැදිහත්වීම් නිසා තම පාලනය යටතේ පවතින ආර්ථිකය තුල භාවිතා වෙන මුදලේ අගය අඩුවී යද්දී මුදල් පාලනය කිරීම තමන් බාරයට පවරා ගත්හ.

පෙට්ටගමක සඟවා ගෙන ගොඩ වැඩිවෙන හැටි බලමින් තුටු වන මසුරු සිටාණෙක් නොවන සාමාන්‍ය පුද්ගලයා මුදල් එකතු කරගන්නේ එහි මිල දී ගැනීමේ හැකියාවක් හෙවත් ක්‍රය ශක්තියක් ඇති නිසයි. ක්‍රය ශක්තිය එහි අන්තර්ගත බැවින් පුද්ගලයා මුදල් සොයයි. ක්‍රය ශක්තියේ කොටසක් නිර්මාණය වෙන්නේ පුද්ගලයන් විසින් මුදල් වලට ඉල්ලුමක් දක්වන බැවිනි. මුදල් වල ක්‍රය ශක්තිය තිබිය යුතු වීම. ඒ ක්‍රය ශක්තිය නිසාම මුදල් වලට ඉල්ලුමක් තිබීම.

මෙය විෂම චක්‍රයක් යැයි සමහරු සිතති. ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥ ලුඩ්විග් වොන් මීසස් අපිට එය එසේ නොවන ආකාරය පෙන්වා දුනි. කාල සාධකය ගැන අපි සිතා බැලිය යුතු බව ඔහු කීය. මුදල් නෝට්ටුවලට හෙවත් කෑෂ් වලට ඇති ඉල්ලුම පුද්ගලයෙකු තුල පිහිටන්නේ වඩාත්ම මෑතක දී එය තුලින් ලැබුන ක්‍රය ශක්තිය ඔහු අත්දුටු නිසයි. එයට කළින් අත්දකින ලද ක්‍රය ශක්තිය මේ වඩාත්ම මෑතක දී දකින ලද්දේ ඵලවිපාකයකි. මෙයාකාරයෙන් මුල්‍ය ඉල්ලුමේ මූලාරම්භය දක්වා යද්දී මුදල් හැටියට භාවිතා නොවද්දී එම ද්‍රව්‍ය තුල වූ ක්‍රය ශක්තිය වෙතට අපි පිවිසෙමු.

හරකා බාන, ධාන්‍ය, ලුණු, මාළු, රන් රිදී යනාදියට මුල්‍ය නොවන ඉල්ලුමක් පැවතුන කාලයේ දී හුවමාරු මුදල් හැටියට ඒවා නොසැලකෙන තත්වයක තිබෙන ලද බවත් අද බහුතරයක් අමතක කරන ලද්දකි. කඩදාසි මුදල් ක්‍රමයෙන් මුල්‍ය භාවිතය හුරු කරවා එතෙක් හුවමාරු මාධ්‍ය්‍යක් හැටියට පැවති රන් රිදී භාවිතය අහිමි කරමින් රජය මූලිකත්වය ගෙන “ෆියාට් මුදල්” ක්‍රමයක් ස්ථාපිත කරන ලද බව අද දන්නේ ලොව ස්වල්ප දෙනෙකි.

නීත්‍යානුකූල මුදල් හැටියට පිහිටුවා ගත් “ෆියාට් මුදල්” යනු රටක ආණ්ඩුව විසින් කඩදාසියෙන් නිකුත් කරන ඒවායි. එහි අගයක් සහ ක්‍රය ශක්තියක් ඇත. එහෙත් මුල්‍ය නොවන ඉල්ලුමක් එහි නැත. රටේ ජනතාව මුල්‍ය ඉල්ලුම යැයි දකින්නේ රජය විසින් අච්චු ගසන ලද කඩදාසි කොලයයි.

ඉතින්, කුමන හෝ හේතුවක් නිසා අව්‍යාජ භාණ්ඩ වලින් නැවත හුවමාරු කරන්නට පුද්ගලයා පටන් ගතහොත් මේ “ෆියාට් මුදල්” වල ඇති සම්පූර්ණ අගය නැති වී යයි.

රජයක් විසින් අච්චු ගසන ලද කඩදාසි මුදලින් මුල්‍ය පාලනය හරියාකාරව කරගන්න අසමත් වූ අවස්ථා ගැන අපි දන්නෙමු.

වයිමාර් ජනපදය යනු 1919 සිට 1933 දක්වා ජර්මනිය හැඳින්වූ නිල නොවන නම වෙයි. ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් සමඟ වූ කැබිනට් මණ්ඩලයක් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයකින් රට පාලනය කළේ වයිමා නගරයේ සිට නිසා ඒ නම එසේ වැටී තිබිණ.

1914 දී ජර්මනියේ මහ බැංකුව වූ රයික්ස්බෑන්ක් විසින් මුදල් නෝට්ටු වෙනුවට රන් හුවමාරු කරගැනීම අත්හිටුවන ලදි. එයින් රජයට රිසි සේ කඩදාසි මුදල් නිකුත් කරන්නට ඉඩකඩ පෑදුණි. බදු ඉහළ දමමින් රටේ ජනතාව පිට බදු බරක් පටවන්නට රජය අකමැති විය. ඒ නිසා ජර්මන් රජය කළේ විශාල වශයෙන් ණය ලබාගෙන යුද්ධය දිනුවාට පසුව හතුරන් ලවා ඒ ණය පියවා ගැනීමට අදහස් කිරීමයි. ලබාගත් ණය රයික්ස්බැංකුව මාර්ගයෙන් මුදල් පාලනයට ලක් විය. යුද්ධයේ අවසාන ළඟා වෙද්දී රටේ සංසරණය වෙමින් පැවති මුදල් ප්‍රමාණය හතර ගුණයකින් වැඩි වී තිබිණ. රයික්ස්බැංකුවේ චල ණය මාර්ක් බිලියන 3 ක සිට බිලියන 55 ක් දක්වා වැඩි වී තිබිණ.

එහෙත් රටේ උද්ධමනය එතරම් වැඩි බවක් දකින්නට නොතිබිණ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ සලාක ක්‍රමයකට නිකුත් වෙද්දී, සුඛෝපභෝගී භාණ්ඩ එතරම් පහසුවෙන් ගන්නට නොලැබෙද්දී, යුද්ධයේ නියැළුන මහත් ජනතාවක් නිසාත්, සිවිල් ජනතාවට නිවාඩු යන්නට කාලය නොමැති වූ නිසාත්, භාණ්ඩ වලට වෙළඳපොල දැඩි ඉල්ලුමක් නොතිබිණ. ජර්මානුවන් සාම කාලයේ දී වියදම් කරනු පිණිස සහ බදු වලින් ගැලවෙනු පිණිස මහත් මුදල් ප්‍රමාණයන් තැන්පතු හැටියට තබාගත්හ.

යුද්ධය පැරදීම නිසා ජර්මනියට වන්දි ගෙවන්නට සිද්ධ වෙද්දී අනෙකුත් විදේශ මුදල් අනුව මාර්ක් අගය පහළ බැස්සේය. පළමු ලෝක යුද්ධයෙන් පසුව හටගත් ජර්මන් මුල්‍ය අර්බූදයේ හේතුව හැටියට ලොව බහුතරයක් දකින්නේ මේ කාරණය පමණකි. යුද්ධයෙන් පසුව පාලනය අල්ලා ගත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පාලකයන් වැඩ කරන පැය ගණන් අඩු කරමින්, වේතන වැඩි කරමින්, රජයෙන් බෙදන අධ්‍යාපන සේවාවන් පුළුල් කරමින් ගෙනෙන ලද සමාජ සුබසාධන ගැන දන්නේ ස්වල්පයකි. සීමිත නිෂ්පාදන ශක්‍යතාවකින් දැඩි සේ ඉල්ලුම වැඩිකරන්නට ඔවුන් උත්සාහ ගත්හ.

යුද්ධය නවතිද්දී පැවති තත්වයට වඩා පස් ගුණයකින් උද්ධමනය (1920 පෙබරවාරි දක්වා වූ) සාම කාලයේ දී ඉහළ ගියේ මේ හේතු නිසයි. එහෙත් එම කාලය තුල දී සසරණයේ පැවති මුදල් දෙගුණයකින් පමණක් වැඩි වී තිබිණ. මුදල් අච්චු ගසත හැකි වේගයට වඩා වැඩි වේගයකින් භාණ්ඩ මිල ගණන් ඉහළ යන ලදි. ඒ නිසා මිල උද්ධමනය ගැන ආණ්ඩුවට බනින්න බැහැ කියා ආණ්ඩුව කීය! එසේම යුද්ධ කාලයේ දී තැන්පතු ලෙසින් තබාගත් සහ බදු ගෙවීමෙන් වැළකෙන්නට සඟවා ගත් මුදල් ද තොග පිටින් වෙළඳපොලට පිවිසිණ.

1920 පෙබරවාරිය වෙද්දී උද්ධමන වේගය අඩු වී ඊ ළඟ මාස 15 තුල මිල දර්ශකයන් ස්ථාවර වූහ. මාර්ක් හි අගය විදේශ විනිමය අනුපාතිකව යාන්තම් ඉහළ යාමක් ද දකින්නට ලැබිණ. අපනයන භාණ්ඩවල මිල ගණන් 50% කින් පහළ ගියේය.

එහි දී ස්ථාවර ව්‍යවහාර මුදලක් පිහිටුවන්නට ආණ්ඩුවට අනගි අවස්ථාවක් පැදිණ. නමුත් එදා ජර්මන් රජය කළේ කුමක් ද? ඒ මාස 15 තුල දී අලුත් මුදල් අච්චු ගැසීම නොකඩවා කරගෙන යාමයි. සසරණයේ පවතින මුදල් 50% කින් වැඩි කරන ලදි. රයික්ස්බැංකුවේ චල ණය 100% කින් වැඩි කිරීමයි.

1921 මැයි වෙද්දී මිල උද්ධමනය නැවතත් හට ගති. 1922 ජූලි වෙද්දී මිල ගණන් 700% කින් ඉහළ ගොස් තිබිණ. රයික්ස්බැංකුව නොනවත්වාම ක්‍රමානුකූල ලෙසකින් මුදල් අච්චු ගැසීමේ යෙදිණ. මුදල් ගැන තිබි විශ්වාස සම්පූර්ණයෙන් නැතිවන තත්වයකට මාසස 15 ක් තුල දී මිල දර්ශකය ඉහළ යන ලදි. මුදල් නෝට්ටුවල අගය පහළ යන වේගයට අනුව මුදල් අච්චු ගැසීම පවත්වාගෙන යන්නට නොහැකි විය.

ව්‍යාපාරිකයන් බඩු නිෂ්පාදනය කරනවා වෙනුවට කොටස් හා භාණ්ඩ මිල ගණන් සමපේක්ෂණයෙන් වත්කම් හොයන්නට පටන් ගත්හ. නිෂ්පාදනයේ යෙදෙනවා වෙනුවට රෙදි, සපත්තු, මස් හා සබන් වැනි දේවල් තොග පිටින් මිල දී ගන්නට ව්‍යාපාරිකයන් පොරකද්දී මිල ගණන් තවත් ඉහළ ගියේය. මාර්ක් අගය තවත් බහිද්දී ජනතාව දිව ගියේ මාර්ක් ළඟ තබාගන්නවා වෙනුවට කුමන හෝ බඩුවක් මිල දී ගන්නයි.

1923 වෙද්දී ජර්මන් ශ්‍රමිකයන් දවසකට තුන් වතාවක් වේතන ලැබූහ. රැකියා ස්ථානය වෙත දුවන භාර්යාවන් සැමියාගේ වේතනය රැගෙන එය බඩුවලට හුවමාරු කරගැනීම සඳහා කඩපොළ වෙත දිවූහ. එහෙත් ඒ වෙද්දී බඩු හිඟයක් ද පැතිර තිබුණි. වෙළෙන්ඳන්ට බඩු මිල දී ගන්නට හැකි තැන් අඩු වූහ. ඉහළ යන මිලට අනුව ලාබයක් සොයාගත හැකි වේගයකින් බඩු විකුණන්නට ඔවුන් අසමත් වූහ. ආහාර සඳහා රණ්ඩු හටගති. නගරයේ සේවකයන් කල්ලි ගැසී ගම්බද ගොවිතැන් වලට කඩාපැන වගාබෝග මංකොල්ලයේ යෙදුනහ. ව්‍යාපාර වැසී ගියහ. විරැකියාව ඉහළ ගියේය.

මාස් පඩියෙන් ජීවත්වුනු මැද පංතිය හිටිහැටියේම අසරණ වූහ. ආහාර මිල දී ගන්නට ඔවුන් සිය රන් ආභරණ, කලා නිර්මාණ, ඇඳුම් පැළඳුම් සහ බඩු මුට්ටු විකුණූහ. කඩවල වැඩියෙන් දකින්නට ලැබුනේ එවැනි භාවිතා කරන ලද පාරිභෝගික භාණ්ඩයි.

රෝහල්, සාහිත්‍ය සහ කලා සංවිධාන, සුබසාධන සමිති සහ ආගමික සංවිධාන අරමුදල් නොලැබීම නිසා වසා දැමිණ.

උද්ධමනයට පරිසරය සකස් කරන ලද්දේ රජය විසින් නිකුත් කරන ලද මුදල් වලිනි. උද්ධමනයේ වේගය අඩුකරන්නට නම් රජය විසින් නිකුත් කරන මුදල් නැවැත්විය යුතුව තිබිණ.

රජයක් මැදිහත්ව බෙදන සුබසාධනය අඩු කරද්දී ජනතා අප්‍රසාදයට මුහුණ දිය යුත්තේ එවිට පාලනයේ සිටින රජයයි. ඊට කළින් සිටි රජයේ අඩුපාඩු පෙන්වන්නට යෑමෙන් ඵලක් නැත. මෙතෙක් කාලයක් වැරදි ක්‍රියා මාර්ග ගන්නා ලද නිසා මිල ගණන් ඉහළ යද්දී දැන් බෙදන සුබසාධන තව වැඩි කරන්නට බැරි නම් මේ රජය ගෙදර යවා ඊට හැකියාව ඇති රජයක් පත්කරගත හැකි යැයි ජනතාව සිතති.

මෙතෙක් කාලයක් බලය අල්ලා ගත් ඒ ඒ රජය විසින් කරන ලද වැරදි හදන්නට නම් දැඩි දුක් විඳින්නට අද සූදානම් විය යුතු යැයි කියන දේශපාලන කොන්දක් ඇති පක්ෂ ලොව ඇත්තේ අල්පයකි. ආර්ථිකයකට රජය මැදිහත් වී කරන ලද විනාශය නොදන්නා මහත් ජනතාවක් ප්‍රජාතන්ත්‍රවාදීව ජනමතය ප්‍රකාශ කරන නිසා එවැනි දේශපාලන පක්ෂයක් කිසිදාක පාලන බලයට පත් නොවේ.

සමහරු හිතන්නේ රජයක් විසින් මුදල් අච්චු ගැසීමේ දී ඍජුව ජනතාව අත සැරිසරන මුදල් ප්‍රමාණය වැඩි කරන බවයි. ඒ නිසා ජනතාවට මෙතෙක් මිල දී ගත නොහැකි වූ විදේශ භාණ්ඩ යනාදිය මිල දී ගන්නට අවස්ථාව පෑදෙන බවයි. රජයක් මුල්‍ය පාලනයේ දී අච්චු ගසන මුදල් ඍජුව සපයන්නේ වානිජ බැංකුවලටයි. වානිජ බැංකු ඒ මුදල් ණයට දෙන්නේ විසල් ව්‍යාපාරිකයන්ටයි.

සුබසාධන ඉල්ලන මහා ජනතාව මෙන්ම රජයක් මුල්‍ය පාලනයේ යෙදීම ගැන සතුටක් දක්වන්නේ රජයේ ප්‍රතිපත්ති වලින් වත්කම් උපයන මහා ව්‍යාපාරිකයන් වෙති. ඔවුන්ගේ ණය පියවා ගන්නට මුල්‍ය මැදිහත්වීම්වලින් හැකියාව ලැබේ. විදේශ විනිමය ගැන සමපේක්ෂණ තුලින් වත්කම් ආරක්ෂා කරගන්නටත්, සමහර විට ලාබ හොයන්නට පවා හැකියාව ලැබේ. මුදල් භාණ්ඩවලට හරවා ගන්නට සහ වානිජ බැංකු හරහා පහසුවෙන් ණය ලබාගෙන තමන් හා තරඟ කරන කොම්පැණි වල කොටස් අඩුවට මිල දී ගන්නටත් මෙසේ රජය මුල්‍ය පාලනයේ යෙදන විට ඒ අය සමත් වෙති.

2016 මාර්තු 13 වැනිදා පැවති ජර්මන් පළාත් මැතිවරණයේ දී සියල්ලන් පුදුමයට පත් කරන ලද ජයග්‍රාහිකයා හැටියට හැඳින්වෙන්නේ ජර්මනියට විකල්පයක් නම් දක්ෂිණාංශ පක්ෂයයි. ඇන්ගලා මෙයර්කල් පසුගිය වසරේ දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ බලය බෙදා ගැනීමේ ඩීල් එකක් ගසමින් රටේ ප්‍රථම වරට අවම පඩියක් ස්ථාපිත කරන ලදත් ඇන්ගලාගේ පක්ෂය එතරම් ප්‍රසාදයක් චන්දදායකයන් දැක්වූ බවක් නොපෙනේ.

වයිමාර් ජනපදයේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති නිසා මැද පංතියක් සහමුලින් බංකොළොත් වූහ. බලයේ ඉන්නට විරුද්ධ පක්ෂයන් සමඟ ඩීල් ගසන දේශපාලකයන් අවම පඩියක් නීත්‍යානුකූල කිරීම නිසා රැකියා අවස්ථා බහුතරයකට අහිමිවෙන ආකාරය නොසලකති. විශේෂයෙන්ම මිලියන ගණනක සරණාගතයන් රටට ගොඩවැදී ඇති අවස්ථාවක. ජර්මනියේ මධ්‍යස්ථ ආදායම $25,528 කි. ඇමෙරිකාවේ දුප්පත්ම ප්‍රාන්තය වූ මිසිසිපියේ මධ්‍යස්ථ ආදායම $26,517 කි. උතුම් යුරෝපීය සමාජවාදී ප්‍රතිපත්ති බාරගන්න යැයි ඉල්ලන ඇමෙරිකන් ජනාධිපති අපේක්ෂකයා තතු නොදත් තරුණ පිරිස් අතර අද ඉතා ජනප්‍රියයි. එසේම ජර්මනියේ මෙන්ම ඇමෙරිකාවේ ද සරණාගතයන්ට විරුද්ධ වූවෙකුට වැඩි ජනප්‍රසාදයක් හිමිවීම ඉතින් පුදුමයක් ද?

ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් උගත යුත්තේ මුල්‍ය පාලනය පිළිබඳව රජයක් තුල විශ්වාසය තැබිය නොහැකි බවයි. දේශපාලකයන් ඩීල් ගසන්නේ බලයේ සිටීමට මිසෙක රටේ හෝ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස නොවන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: