අරුණි ශපීරෝ‍ වෙතින්

ඇඩම් ස්මිත්ගේ අදිසි හස්තය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 28, 2016

නිදහස් වෙළඳපොල රසිකයන් වෙතින් ඇඩම් ස්මිත් උස්සා තමන්ගේ කඳවුරට දමා ගැනීමට සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් යැයි කියාගත්තවුන් උත්සාහයක් ගත්තේ 2011 දී ය. එමා රොත්ස්චයිල්ඩ් නම් කේම්බ්‍රිජ් අර්ථ ශාස්ත්‍ර ඉතිහාසඥවරිය සහ බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ නායක ගෝර්ඩන් බ්‍රවුන්, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දේශපාලන මහාචාර්ය ඉයෙන් මැක්ලීන් සහ චිකාගෝ හි ඉලිනොයි විශ්ව විද්‍යාලයේ දර්ශන මහාචාර්ය සැමුවෙල් ෆ්ලයිචකර් යනාදීන් ඊට උත්සාහ කළ අය අතර සිටියහ.

ඇඩම් ස්මිත් ‘රැඩිකල් සාමානාත්මතාවාදියෙක්’ යැයි ඔවුන් කියති. ආර්ථික ලිබරල්වාදය අනුමත කරන ස්මිත් වෙළඳපොල අසාර්ථකත්වය අගයන ලද්දෙක් වූවා යැයි ඔවුන් කියති. “මිනිස් සමානාත්මතාවය” සහ “සාධාරණ බෙදාහැරීම” වෙනුවෙන් “රුදුරු නිදහස් වෙළඳපොල ධනවාදය” ස්මිත් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ යැයි ඔවුන් කියති.

ඇඩම් ස්මිත් යනු කුලිය ඉල්ලන ඉඩම් අයිතිකරුවන්ගේ, ඒකාධිකාර වෙළෙන්ඳන්ගේ, සහකාරීව වානිජ සැලසුම් හදන ව්‍යාපාරිකයන්ගේ මිතුරෙක් නොවනවා යැයි ද ඔවුන් කියති. රජයේ අධීක්ෂණය යටතේ නොමිලේ බෙදන අධ්‍යාපනය, විසල් පරිමාණයේ මහජන කටයුතු, ගිනි පොලි නීති, ප්‍රගතිශීලි බදු පමණක් නොව නිදහස් වෙළඳාමට සීමා දැමීම වෙනුවෙන් ද ඇඩම් ස්මිත් පෙනී සිටියා යැයි ද කියති.

ඔව්, ඔවුන් මේ කියන්නේ ස්කොට් ජාතික දාර්ශනිකයා වූ අප සියල්ලන්ම දන්නා ‘ජාතීන්ගේ ධනය’ පොත ලියූ ඒ ඇඩම් ස්මිත් ගැනම තමයි!!!

ඉතින් සුප්‍රසිද්ධ ඒ ‘අදිසි හස්තය’ නම් ස්මිත්ගේ අදහස ගැන මොවුන් කුමක් කියත් ද?

අයෙක් තම ස්වාර්ථය සොයා යද්දී, [සෑම ඒකීය පුද්ගලයෙක්ම] විසින් සමාජයේ එය ප්‍රවර්ධනය කිරීමට අත දෙන්නා වූව?

ලුඩ්විග් වොන් මීසස් සිට නිදහස් වෙළඳපොල වෙනුවෙන් පෙනී සිටින අර්ථ ශාස්ත්‍රඥයන් බාධක නොමැති වෙළඳපොල ගැන වූ බලවත් සංකේතයක් හැටියට මෙතෙක් සලකා තිබෙන්න?

ඇඩම් ස්මිත් විසින්ම “ස්වභාවික නිදහසේ ක්‍රමය” යැයි හැඳින්වූව?

මේ නව අර්ථකතනයන් සපයනවුන් ස්මිත්ගේ ‘අදිසි හස්තය’ යන්න “නිකමට ලියූ, උපහාසාත්මක වූ” සඳහනක් යැයි දක්වමින් ස්මිත් ඊට වැඩියෙන් පක්ෂපාතී වූයේ “උදව්කරන අතක්” වෙනුවෙන් යැයි කියති. ‘සදාචාර මනෝභාවයන්ගේ න්‍යාය’ (1759) සහ ‘ජාතීන්ගේ ධනය’ (1776) යන නම් වලින් ස්මිත් ලියූ ප්‍රධාන කෘති ද්විත්වයේම “අදිසි හස්තය” සඳහන් වී ඇත්තේ එක වතාවක් බැගින් පමණක් යැයි ද ඔවුන් උලුප්පා දක්වති.

ඒ ගැන කොතරම් අඩුවෙන් ස්මිත් කියා ඇත්තේ ද කිව්වොත් 19 වැනි සියවසේ ඇඩම් ස්මිත්ගේ අදහස් පිළිබඳ සංවාදයන්හි මේ සඳහන ගැන කතාබහක් ඇති වූයේ ඉතා කලාතුරකිනි. ජාතීන්ගේ ධනය කෘතියේ වසර ශතකයේ අනුස්මරණය සඳහා 1876 දී උත්සව පැවැත්වෙද්දී ද ඒ ගැන කිසිත් අවධානයක් එල්ල වූයේ නැත. විසිවැනි සියවස පටන්ගෙන කාලයක් යනතුරු ද, “අදිසි හස්තය” යන්න විෂය අනුක්‍රමණිකා සංලේඛයක් හැටියට කිසිම විෂයයකට එකතු වූයේ නැත. නූතන පුස්තකාල සංස්කරණයට මැක්ස් ලර්නර් නැමැත්තා එය සූචියක් (index) එකතු කරන ලද්දේ 1937 දී ය. ඉතින් පැහැදිලිවම විසිවැනි සියවස තෙක් අදිසි හස්තය යන්න පාඩුවේ ඉන්න දෙන්න (laissez faire) හි ජනප්‍රිය සංකේතයක් නොවීය.

ඉතින් ඉහත සඳහන් කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ඇඩම් ස්මිත්ගේ මනෝභාවයන් නිවැරදිව තක්සේරු කර ඇත් ද?

ඔහු ‘ස්වභාවික නිදහසේ ක්‍රමය’ යැයි හැඳින්වූවට ඒ රූපක වාක්‍යය (metaphor) කේන්ද්‍රීය වූවක් ද නැත්නම් එය අද්දරකින් තිබුනක් හෙවත් උපාන්තික වූවක් ද?

මිල්ටන් ෆ්‍රීඩ්මන් මේ අදිසි හස්තය සංකේතය යනු සහයෝගීතාවයෙන්, ස්ව රෙගුලාසිකරණයෙන් “අපේ ආහාර, අපේ වස්ත්‍ර, අපේ නිවාස නිෂ්පාදනයට … මැදිහත්වීමක් නොමැතිව මඟපෙන්වීමක් ගෙනෙන වෙළඳපොලේ බලය” ගැන කියා පාන “තීක්ෂණ බුද්ධියක්” ලෙස හඳුන්වයි. අර්ථ ශාස්ත්‍රඥ ජෝර්ජ් ස්ටීග්ලර් ස්මිත්ගේ ජාතීන්ගේ ධනය කෘතියේ වැඩියෙන්ම වටිනා වූව හැටියටත් “සියළු අර්ථ ශාස්ත්‍රයන්ගේ වැඩියෙන්ම වැදගත් ස්වාධීන ප්‍රස්තුතය” හැටියටත් අදිසි හස්තය සලකයි.

අර්ථ ශාස්ත්‍රඥ ගැවින් කෙනඩි ඔහු ලියන ලද මුල් රචනාවල දී අදිසි හස්තය යනු ස්මිත් විසින් පසුව සිතූවක් පමණක් යැයි ද, සීමිත අගයකින් යුතු “නිකමට කියූ රූපක වාක්‍යයක්” යැයි ද කියා ඇත. අර්ථ ශාස්ත්‍ර ඉතිහාසඥ එමා රොත්ස්චයිල්ඩ්ට අනුව “ස්මිත් අදිසි හස්තය එතරම් ඉහළින් සැලකුවේ නැතැයි මම සඳහන් කරන්නට කැමැත්තෙමි … එය ඔහුගේ න්‍යායට වැදගත් නොවූ ස්මිත්-නොවූ’ අදහසකි,” යැයි ද එය ‘මඳක් ironic විහිළුවකට’ වඩා වැඩි වූවක් නොවේ යැයි කියයි.

කවුද නිවැරදි?

මේ විවාදයට වැදගත් රසවත් සොයාගැනීමක් ඉදිරිපත් කරන්නේ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර මහාචාර්ය ඩැනියෙල් ක්ලයින් විසිනි. අපේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ බැස්ටියාට් සංගමයේ රැස්වීමකට අපි මහාචාර්ය ක්ලයින් ගෙන්වා ගෙන ඇත්තෙමු. ඔහු ඇඩම් ස්මිත් ගැන කළ දේශනයට සවන් දීමටත් එය අවසානයේ දී ඔහු වෙතින් ප්‍රශ්න අහන්නට තරම් මම වාසනාවන්ත වූ බව මෙහි දී සඳහන් කළ යුතුමයි.

සැන්ටා ක්ලාරා විශ්ව විද්‍යාලයේ දේශපාලන දාර්ශනිකයෙක් වන පීටර් මිනොවිට්ස් ‘අදිසි හස්තය’ සඳහන් වාක්‍ය්‍ය ස්මිත්ගේ පොත් දෙකේ මැද්දක පැවතේ යැයි කියන ලද්දක් ඇසී ක්ලයින් විසින් ගවේෂණයක් පටන් ගත්තේය. මේසන් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂක බ්‍රැන්ඩන් ලූකාස්ගේ සහායෙන් ඔහු සිය ගවේෂණ තව දුරටත් ගෙන ගියේය. ස්මිත් විසින් “සිය ග්‍රන්ථයන් මැද්දෙහි ‘අදිසි හස්තයකින් මඟ පෙන්වීමක් ලැබීම’ ගැන සඳහන දැඩි අරමුණකින් යුතුව තබන ලද්දක්” යැයි ද ඒ සංකල්පය “ස්මිත්ගේ චින්තනයේ විශේෂ සහ ධනාත්මක වැදගත්කමකින්” යුතු යැයි ද 2011 මාර්තු මාසයේ දී Ecnomics Affairs නම් ශාස්ත්‍රීය සඟරාවෙන් ක්ලයින් හා ලූකාස් වාර්තා කළහ.

ක්ලයින් සහ ලූකාස් ඔවුන්ගේ පරිපූර්ණ තොරතුරු නොමැතිව එළඹුන නිගමන මූලික කරුණු දෙකක් මත පදනම් කරගනිති. පළමුවෙන්ම, ඒ රූපක වාක්‍යය පවතින ස්ථානයයි. “අදිසි හස්තයකින් මඟ පෙන්වීමක් ලැබීම” (led by an invisible hand) යන එකම සඳහන ‘ජාතීන්ගේ ධනයේ’ පළමු හා දෙවැනි සංස්කරණ දෙකේ හරි මැද්දෙන්ම වගේ ලියා තිබීමයි. එය මැද්දෙන් ඉවතට ගිහින් ඇත්තේ පසු සංස්කරණ වල දී සූචිය සහ අනෙකුත් කරුණු එකතු කරන ලද බැවිනි.

එසේම නැවතත් ‘සදාචාර මනෝභාවයන්ගේ න්‍යායේ’ අවසන් සංස්කරණයේ ද එය නැවතත් ‘හරියටම මැද්දේ’ දිස්වෙයි. 1759 පළමු සංස්කරණයේ හරි මැද්දේ පැවතුනේ නැතැයි ඔවුන් පිළිගනිති. පොතේ මැද එය ලියා තැබීම මුලින් ඔහුගේ අරමුණක් නොවුනා යැයි ද ..[එහෙත් පසුව] 1776 වෙද්දී, ස්මිත් විසින් එහි කේන්ද්‍රීය බව ගැන උනන්දු වී ඇතැයි” ද ක්ලයින් හා ලූකාස් දක්වති. ස්මිත් විසින් ‘අදිසි හස්තය’ යන්න පොතේ මැද්දට ළං කර ගන්නට, පළමුවෙන් භාෂාවන්ගේ සම්භවය ගැන වැදගත් රචනාවක් එකතු කිරීමෙන් සහ අවසානයේ පළමු සංස්කරණයට බොහෝ පරිශෝධනයන් කිරීමෙන් ද උත්සුක වූවා යැයි ඔවුන් පෙන්වා දෙති.

දෙවැනිව, ඔවුන් දක්වන්නේ, ඉතිහාසඥයෙක් හා ආචාර ධර්ම දාර්ශනිකයෙක් හැටියට ඇඩම් ස්මිත් වාස්තු විද්‍යාවේ, සාහිත්‍යයේ, විද්‍යාවේ සහ දර්ශනයේ මැද තත්වය (middleness) වැදගත්කමක් ගැන නිතර අදහස් දක්වා ඇති බවයි. උදාහරණ වශයෙන්:

* ඇරිස්ටෝටල්ගේ ස්වර්ණමය මධ්‍යපථය, “එකිනෙකට විරුද්ධ දුරාචාරයන් මැද්දේ” යම් සද්ගුණයක් පැවතීමේ අදහස ගැන ස්මිත් යම් පාක්ෂික බවකින් ලියා ඇත. එනම්, බියගුළුබව (cowardice) සහ අවදානම් නොතැකීමේ (recklessness) යන අන්ත දෙක මැද්දේ නිර්භීත බවේ ප්‍රධාන සද්ගුණය ඇතැයි කීම.
* තාරකා විද්‍යාව සහ පුරාතන භෞතික විද්‍යා ගැන ස්මිත් ලියූ රචනාවන්හි, ඔහු නිව්ටෝනියානු මධ්‍යම බලවේගයන් සහ වාර පරිභ්‍රමණයන් ගැන ලියා ඇත.
* වාග් කෞශල්‍ය පිළිබඳ ස්මිත් කළ දේශන වලින් ක්ලයින් සොයා ගත්තේ, තුසිඩිඩීස් නම් වූ ග්‍රීක කිවිඳාගේ කවි ස්මිත් අගයන ලද බවයි. කවියේ මැද්දේ තබා ඇති වචනයක් දෙකක් ගැන ඉතා වෙහෙසක් ගත්තා යැයි තුසිඩිඩීස් නිතර කියන ලද්දකි.

ක්ලයින්ට හා ලූකාස්ට අනුව අදිසි හස්තය යනු ස්මිත්ගේ “ස්වභාවික නිදහසේ ක්‍රමය” ගැන ප්‍රධාන තේමාව නියෝජනය කරන්නයි. ඒ නිසාම එය ඔහුගේ කෘතීන් හි මැද්දේ දකින්නට ලැබෙන්නයි. මේ සොයා ගැනීම, එය සත්‍ය්‍ය නම්, අදිසි හස්තය උපාන්තික වූවක් නොව ඇඩම් ස්මිත්ගේ දර්ශනයේ කේන්ද්‍රයයි.

ක්ලයින් හා ලූකාස්ගේ ලැයිස්තුව නීතිඥයෙක් විසින් පරිවේෂණීය සාක්ෂි යැයි හඳුන්වනු ඇත. නැත්නම් මේ දෙදෙනා කියන විදියට එය ‘උපස්ථිතිවාදී” (impressionistic) වෙයි. එම ලැයිස්තුව සම්පූර්ණයෙන් ගනිද්දී එය එක්කෝ සුවිශේෂී සොයාගැනීමකි නැත්නම් කෙනඩි කියන විදියට ‘අපූරු සම්පාතයකි.

ස්මිත් ගැන හදාරන විශේෂඥයන් කිහිප දෙනෙක් ක්ලයින් හා ලූකාස්ගේ සොයාගැනීම් ප්‍රිය කරති. අදිසි හස්තය නිකමට දැක්වූ රූපක වාක්‍ය්‍යක් හැටියට දැක සිටි කෙනඩි දැන් මෙය දැඩි අරමුණකින් යුතුව හරි මැද්දට ගෙන යන්නට ගත්තාය කියන උපන්‍යාසය වැඩියෙන් නිවැරදි වීමට හැකියාව පිළිගනියි. සෙන්ට් ඇන්ඩෲස් විශ්ව විද්‍යාලයේ ඇඩම් ස්මිත් ගැන විශේෂඥයෙක් වූ ක්‍රේග් ස්මිත් “මේ ගැන ඍජු සාක්ෂි නොමැති නිසා’ තවමත් සැකයෙන් පසුවෙයි. ස්මිත් විසින් දැඩි උවමනාවකින්ම සිය දර්ශනයේ ප්‍රියතම සංකේතය සැඟවූවාය යන්න “මට පේන්නේ … ස්මිත්-නොවන විලාසයක්,” යැයි ඔහු කියයි. සාමාන්‍යයෙන් ස්මිත් කරන ‘සුමට සරල හා දක්ෂ ලෙසකින්’ අදහස් දැක්වීමට පටහැනි යැයි ඔහු කියයි. “අදිසි හස්තය” යන කෙටි වහර ඔහුගේ කෘතීන් මැද තැබීම සරල නොවිය හැකියි, ඒත් එය සුමට හා දක්ෂ නොවන්නේ ද?

ඒ ගැන ස්මිත් කළ පාපෝච්චාරණයක් ගැන වාර්තාවක් නැති නිසා අපි මේ ගැන සත්‍යය කිසිදා දැන නොගන්නෙමු. වාසනාවට ස්මිත්ගේ දර්ශනයේ කේන්ද්‍රය කුමක්දැයි හඳුනාගන්නට ‘අදිසි හස්තය’ පොතේ මැද පැවතීම සාධකයක් හැටියට තබාගන්නට අවශ්‍ය නොවේ.

ජාතීන්ගේ ධනය සහ සදාචාර මනෝභාවයන්ගේ න්‍යාය යන පොත්වල පරිච්ඡේද ගණනාවක් තුලින් ‘අදිසි හස්තය’ තේමාව තව තවත් විස්තර කෙරේ. ඒකීය පුද්ගලයන් ස්වාර්ථය පිණිස කටයුතු කරද්දී එයින් මහජනතාව නොදැනුවත්වම යහපත සාක්ෂාත් කරගන්නා අදහස, එහෙමත් නැත්නම් ඒකීය පුද්ගලයන්ගේ හැදියාවන් ගැන සීමා පැනවීම් නැති කරද්දී “ඔවුන්ගේ තත්වයන් වැඩියෙන් හොඳ වීම” සමාජය පැවතියාට වඩා යහපත්වීම යනාදිය විස්තරාත්මකව කියවත හැකියි. වෙළඳ බාධක, රජය විසින් පිරිනමන වරප්‍රසාද, රැකියා රෙගුලාසි යනාදිය අයින් කිරීම වෙනුවෙන් ස්මිත් නැවත නැවතත් තහවුරු කරන ලද අදහස් වූහ.

සදාචාර මනෝභාවයන්ගේ න්‍යාය හි ස්මිත් මෙසේ ලියයි:
සැලසුම් හදන මිනිසා … ඔහු හිතන්නේ චෙස් ලෑල්ලක විවිධ ඉත්තන් හසුරුවන අතකින් සේ විශිෂ්ට සමාජයක විවිධ සාමාජිකයන් හසුරුවන්නට ඔහුට හැකි යැයි කියාය. චෙස් ලෑල්ලේ විවිධ ඉත්තන්ට අතෙන් ගෙනෙන සෙලවීම හැරෙන්නට වෙනත් චලන සිද්ධාන්තයක් නොමැති බව ඔහු නොසලකා හරියි. එහෙත් මිනිස් සමාජයේ ඒ දැවැන්ත චෙස් ලෑල්ලේ නම් සියළු ඉත්තන්ට තමන්ගේම වූ චලන සිද්ධාන්තයක් ඇත. එය නීති සම්පාදකය විසින් කරන්නට අදහස් කරන්නෙන් සහමුලින් වෙනස් වූවකි. ඒ සිද්ධාන්ත දෙක මුණගැසී එකම පැත්තක් වෙතට යන්නේ ද, මිනිස් සමාජයේ සෙල්ලම පහසුවෙන් සහ සුසංයෝගයකින් සිද්ධ වෙයි. එය සතුටු හා සාර්ථක වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. ඒවා දෙපැත්තට ඇදී යන්නේ හෝ වෙනස් වෙන්නේ ද, එතකොට සෙල්ලම දොම්නස් ලෙසකින් සිද්ධ වෙයි. එවිට සමාජයක් හැම තිස්සේම ඉහළ මට්ටමක පෙරළියකින් පවතී.

ස්මිත්ගේ තර්කය සංසන්දනාත්මකය. ක්ලයින් කියන්නේ නිදහස් මූලධර්මය පිළිපැදීම එය නොකරනවාට වඩා හොඳින් ප්‍රතිඵල ගෙනෙන බවයි. කෙනත් ඇරෝ, ජෝසෆ් ස්ටිග්ලීස්, ෆ්‍රෑන්ක් හාන් වැනි අය දුර්ලභ ශ්‍රේෂ්ඨත්වයක් හැටියට අදිසි හස්තය හඳුන්වා ස්මිත් විකෘති කරති. මුග්ධත්වය, අනුවණ ක්‍රියා, දේශපාලන බලයෙන් කරත හැකි යැයි සිතන දේවල්, දේශපාලන පරිසරවේදයේ දූෂණය හා ව්‍යාධිය ගැන කරුණු ස්මිත් ඇසුරින් දක්වන්නට යෑම අනවශ්‍ය වූවකි. නිදහස් මූලධර්මය යනු ආචාර ධාර්මික, සංස්කෘතික හා දේශපාලන නාභීය ලක්ෂ්‍යයක් හැටියට ස්මිත් දකියි. මැදිහත්වීම් වලින් පිරුණු දරුණු මුලාවක් වෙනුවට නිදහස් මූලධර්මය යනු වටිනා සහ වැඩක් ගත හැකි මූල ධර්මයක් යැයි ස්මිත් දකියි.

ඉංග්‍රීසියෙන් කියවන්න කැමති අයට මෙයට පාදක කරගත් FEE සටහන Adam Smith Reveals His (Invisible) Hand මෙතැනින් කියවන්නට හැකියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: