අරුණි ශපීරෝ‍ වෙතින්

මුදලේ අගය මංකොල්ලාකෑමට ස්වාධීන ආයතනයක්?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 5, 2016

ආදායම් බදු යනු වෙහෙසෙන මිනිසාගේ ඵලදාව සොරකම් කිරීමේ ක්‍රමයයි. මුල්‍ය පාලනය යනු ඒ සොරකමේ යෙදෙන තවත් ක්‍රමයකි. වෙහෙසෙන මිනිසා උපයන සහ ඉතිරි කරන මුදලේ අගය මංකොල්ලා කෑම එහි දී සිදුවේ. ආදායම් බදු දෙපාර්තමේන්තුව මාර්ගයෙන් වෙහෙසෙන මිනිසාගේ ඵලදාව මංකොල්ල කද්දී, මුදලේ අගය මංකොල්ලාකෑම මහ බැංකුව යටතේ පවතින මුල්‍යකරණය හෙවත් මුදල් පාලනය නම් ප්‍රෝඩාවෙන් සිද්ධ වෙයි.

අනුන් සඳහා සැලසුම් හැදීමට හැකි දැනුම අයෙකුට හෝ පිරිසකට ඇතැයි කියන මතය ලෝකයේ බලතණ්හාධිකයන් අතර ජනප්‍රිය වෙද්දී බ්‍රිතාන්‍ය අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ ජෝන් මේනාඩ් කේන්ස් විසින් ඔවුන් අතට මුදල් පාලනයේ බලය පැවරීම සඳහා පදනමක් ‘පොදු න්‍යාය’ වෙතින් ලබා දුනි. ජාත්‍යන්තර මුල්‍ය ක්‍රමයක් හදාගන්නටත්, මුල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන යන්නටත්, එපමණක් නොව ජාත්‍යන්තර වෙළඳාමට මාර්ග පාදා දෙන්නටත් හැකි යැයි කියමින් ලෝක බලතණ්හාධිකයන් පිරිසක් එකතු වී බ්‍රෙටන් වුඩ්ස් නමින් අද හැඳින්වෙන මුල්‍ය පාලනයේ බලය තමනට පවරා ගන්නා කටයුත්ත ආරම්භ කළහ.

ශිරාල් ලක්තිලක “ලිබටේරියානු ආර්ථික දෘශ්ටිය අපට අවැඩකි” යන මැයෙන් ලියූ සටහනක් 2016.03.20 දින ‘රාවය’ පුවත්පතේ පළවිය. එහි බ්‍රෙටන් වුඩ්ස් යනු නිදහස් වෙළඳපොලේ, ලිබටේරියන් දැක්මේ නොහොත් මැදිහත්වීම් නැති ධනවාදයේ ප්‍රතිඵලයක් හැටියට ඔහු දක්වා තිබුණි. දෘශ්ටියක විරුද්ධ පැත්ත ගෙන එය දෘශ්ටිය හැටියට පෙන්වන්නට යෑම යනු තමන් කතා කරන්නේ කුමක් ගැනදැයි කියාවත් දැනුමක් නොමැතිකමයි. ඊට මා යැවූ ප්‍රතිචාරය රාවයේ පළවුවහොත් එය ද මේ සටහනට එකතු කරන්නම්. මේ දිවෙන සංවාදය ආරම්භ වූ ශිරාල් ලක්තිලක ලියූ මුල් සටහන මෙතැනින් කියැවිය හැකියි. ඊට මා දැක්වූ මුල් ප්‍රතිචාරය මෙතැනින් කියවත හැකියි.

බ්‍රෙටන් වුඩ්ස් නමින් වූ මේ ලෝක බලතණ්හාධිකයන්ගේ ක්‍රමය ගැන එදා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ අර්ථ ශාස්ත්‍ර කොලමක් ලියුවේ ලිබටේරියන් දාර්ශනික දෘශ්ටියෙන් යුතු වූ ද, ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥ පාසැලේ අනුගාමිකයෙක් වූ ද, නිදහස් වෙළඳපොල අගයන, මැදිහත්වීම් නැති ධනවාදය වෙනුවෙන් පෙනී සිටි හෙන්රි හැස්ලිට් නැමැත්තාය. බ්‍රෙට්න් වුඩ්ස් ක්‍රමයට ඉඩක් ලැබුනොත් වැඩිකල් නොගිහින් ලොව විවිධ ජාතීන් හමුවට එන ආර්ථික අවදානම් හැස්ලිට් සිය කොලමෙන් ගෙනහැර පෑවේය. බ්‍රෙටන් වුඩ්ස් පිහිටුවා වැඩි කලක් නොගිහින් ඒ ගැටළු විවිධ රටවල එයාකාරයෙන්ම පැන නැඟිණ. එයින් ගෙනෙනවා යැයි පොරොන්දු දුන් යහපත් තත්වයන් වෙනුවට ලෝක ජනතාවට ලැබුනේ අවුල් වියවුල් රැසකි. ලෝකයේ වෙහෙසෙන ජනතාවගේ ඵලදාව සොරකම් කරත හැකි බලය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අතට පත්වුණි.

“මංකොල්ලය සමාජයේ යම් මිනිස් කල්ලියක ජීවන හැදියාවක් බවට හැරෙද්දී, කාලයාගේ ඇවෑමෙන් ඔවුන් එහි නියැළෙන්නට තමනට අවසර ලැබෙන නීති පද්ධතියක් හදාගෙන එය අගයන ආචාර ධාර්මික සංග්‍රහයකුත් හදා ගනිති.” -ෆෙඩරික් බැස්ටියාට් විසින් සිය “ආර්ථික විතණ්ඩවාදයන්” නැමති කෘතියේ එසේ ලියන ලද්දේ 1845 වැනි ඈත අතීතකය දී ය.

“When plunder has become a way of life for a group of men living together in society, they create for themselves in the course of time a legal system that authorizes it and a moral code that glorifies it.” -Frédéric Bastiat, Economic Sophisms

පෝසතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට බෙදුවාම සියල්ලන්ටම සාධාරණය සැලසෙනවා යැයි සිතන පුද්ගලයන් යම් සමාජයක වැඩි නම්, එවිට ඊට ක්‍රමයක් ඇතැයි ද, ඒ ක්‍රමයෙන් සියල්ලන්ගේම ආර්ථික, සමාජීය හා සංස්කෘතික සමෘද්ධිය සැලසෙනවා යැයි ද පොරොන්දු දීමකින් පමණක් පාලකයන්ට බලය තමනට පවරා ගැනීමට හෝ ලැබුණු බලය රඳවා ගැනීමට හැකියි. ක්‍රමය සාර්ථක වේදැයි කියා ගවේෂණයට හැකියාවක්, ඊට කාලයක් වැය කරන හා වෙහෙසක් ගන්නා ස්වාධීන පුද්ගලයන් සෑම සමාජයකම සැබැවින්ම සිටින්නේ අල්පයකි. පෙර නීති විරෝධී වූ බලය දැන් නීත්‍යානුකූල අන්දමකින් ලැබෙන සේ නීති වෙනස්කර, බලතණ්හාධික දේශපාලනඥයන්ට බලය පවරන්නට ඉදිරිපත්වෙන විද්වත් අර්ථ ශාස්ත්‍රඥයන් ලෙසින් පෙනී සිටින දේශපාලන ගැත්තන් ඕනෑම රටකින් නොමඳව සොයාගත හැකියි.

මිනිසාගේ ස්ව-කැමැත්තට තැනක් දිය යුතු යැයි කියමින් අනුන්ට සැලසුම් හදන්නට නොයන ලිබටේරියන් අය එදත් අදත් මෙවැනි යෝජනාවන්ට විරෝධය දක්වති. රාජ්‍ය මාර්ගෝපදේශය යටතේ බෙදන ලද අධ්‍යාපනයෙන් පෝෂණය වී සිටින ජනතාවට මේවායෙහි ක්‍රියාකාරකම් ගැන විස්තරාත්මක දැනුම නොලැබීම පුදුමයක් ද?!

ෆෙඩරල් බැංකුවට මුදල් සැපයුම හිතුමතයේ වැඩිකරගන්නට* අවසර ලබාදෙමින් ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට් විසින් විධායක ආඥාවක් අත්සන් කරන ලද්දේ 1933 අප්‍රේල් 5 වැනිදා. සියළු ඇමෙරිකන් වැසියන් තමන් සතු රත්තරන් කාසි සහ බුලියන් (ඝන රන්) මාසයක් ඇතුලතට රජයට ලබාදිය යුතු යැයි ඒ ආඥාවෙන් කියැවිණ. මංකොල්ලය එසේ විධායක ආඥාවකින් නීත්‍යානුකූල කළ රූසවෙල්ට් නීතිය කඩන අයට ඩොලර් දහ දාහක දඩයක් හෝ වසර දහයක සිර දඬුවමක් නියම කරන ලදි.

ලංකාවට මෙම බදු මදිවට, මුදලේ අගයත් මංකොල්ලන ක්‍රමය ලැබෙන්නේ 1949 තරම් මෑතක දී ය. ඒ මහ බැංකුව සහ එහි පාර්ලිමේන්තු අධීක්ෂණයක් යටතේ පැවතෙන මුල්‍ය මංඩලයක් පිහිටුවීමෙනි.

මුල්‍ය ප්‍රතිපත්ති පාලනයට පිරිසක් හෝ පුද්ගලයෙක් අසමත් යැයි පෙන්වන ඉතිහාසයක් පැවතිය දී, ඇමෙරිකන් මහ බැංකුවේ හෙවත් ෆෙඩරල් බැංකුවේ දේශපාලන ස්වාධීනත්වය අහෝසි කර දමන කතිකාවක් ඇමෙරිකාවේ යළිත් පටන් ගෙන ඇත. නමුත් අද ලංකාවේ දකින්නට ලැබෙන්නේ මහ බැංකු සහ මුල්‍ය මණ්ඩල දේශපාලනයෙන් ස්වාධීන කළ යුතු යැයි කීමයි. ජනතාව විසින් තෝරාපත් නොකළ මුල්‍ය මණ්ඩලයක සාමාජිකයන් විසින් රටේ මුදල් සැපයුමේ පාලනය කිරීම මැනවි යැයි එම අයගේ මතයයි.

කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) අධීක්ෂණයෙන් යුතුව භාණ්ඩාගාරයට මුදල් පාලනය පැවරුනහොත් එවිට මුල්‍ය ප්‍රතිපත්ති යනු දේශපාලන හරඹයක් වෙනු ඇතැයි ද උද්ධමනය පාලනය කරගත හැකි නොවන ලෙසකින් ඉහළ යනු ඇතැයි ද මහ බැංකු ස්වාධීනත්වයට පක්ෂ අය ගෙනහැර පාති.

සත්‍ය ලෝකය දිහා බලද්දී, අපි විමසිය යුතු වෙන්නේ ස්වාධීනත්වයකින් පවතින ඇමෙරිකන් මහ බැංකුවේ මුල්‍ය පාලනයේ යෙදෙන පිරිස විසින් අද කොතරම් උද්ධමනාකාර ලෙසකින් මුල්‍ය ප්‍රතිපත්ති හසුරුවා ඇතිදැයි කියායි.

ඔක්කොම හොරු නම්, හොරුන්ව ගෙදර යවන්නත් ජනතාව එකඟ නැත්නම්, හොරකම අහෝසි කරන්නත් සමාජය අකමැති නම්, ඉතින් එහෙනම් අඩුවෙන් සහ හැකිතරම් පිටතට පෙනෙන ලෙසකින් හොරකම සිද්ධ වෙන ක්‍රමය කුමක් ද?!!!!

*රත්තරන් කාසි සහ බුලියන් අයිතිය නීත්‍යානුකූල නොවූ විට ෆෙඩරල් සංචිත නෝට්ටු නීත්‍යානුකූලව රත්තරන්වලට මාරු කරගත නොහැකියි. එහි දී වූයේ ෆෙඩරල් නොහොත් මහ බැංකුව නිකුත් කරන නෝට්ටු ප්‍රමාණයෙන් 40% ක් ‘රත්තරන් පදනමක’ තිබිය යුතු යැයි නියම කරන ලද නීතිය අහෝසී වී යාමයි.

5 Responses

Subscribe to comments with RSS.

  1. Lankika Sithuwili said, on අප්‍රේල් 5, 2016 at 4:42 ප.ව.

    //ආදායම් බදු යනු වෙහෙසෙන මිනිසාගේ ඵලදාව සොරකම් කිරීමේ ක්‍රමයයි. //

    අරුණි එතකොට මහාමාර්ග සහ පොදු ආයතන නඩත්තු කරන්නේ කවුද ?

  2. Lankika Sithuwili said, on අප්‍රේල් 5, 2016 at 6:51 ප.ව.

    ශ්‍රී ලංකා දුම්රිය සේවය පැත්තක තියමු අරුණි මොකද අපට කියන්න පුළුවන්නේ මේ ව නඩත්තුවට මේවා පාවිච්චි කරන අයගෙන් අයකරන්න කියල, අපි බලමු සරල උදාහරණයක් ගන්නකො මේ ටෙලිකොම් සේවය මෙහි ඇති විශාලම ආයෝජනය කරලා තියන්නේ ශ්‍රී ලංකාවේ රජයයි, ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ කොහෙත් අතිවිශාල ප්රාග්දනයක් වැයවෙන දේ කරන්නේ එම රටේ රජයයි රජය මේ මුදල් උපයන්නේ රටේ සියලු ජනතාවට බදු ගසා. ඔබ කියන විදියට කලොත් පාවිට්ච්චි කරන්නනන් ගෙන් අයකරගන්න ගියොත් ඔබට අන්තර්ජාලයට සම්බන්ද වෙන්න විනාඩියකට රුපියල් 1000 ක පමණ යයි, මේ නිසා සිදුවෙන්නේ පාවිච්චි කරන්නන් සිමා වීමයි.

    එච්චර විතරක් නෙමෙයි කිසිවිටකත් වසර 20 ට වැඩි කලකදී ලාබලබන වියප්පෘති වල පුද්ගලික අංශය ආයෝජනය නොකරන නිසා මේ නව නිපයුම් මුදල් ඇති යටත් ලබාගන්න බැරිවෙයි.

    සහ ඉතා ඉහල මුදලක් වැයවන ආයෝජන වලට පුද්ගලික අංශය සම්බන්ද වෙන්නේ නෑ

    හොදම උදාහරණය ශ්‍රී ලංකාවේ ඩයලොග් ආයතනය ඔවුන් අන්තර්ජාල පහසුකම් සපයුඅන්නේ කෙසේද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මුහුද යටින් ඉන්දියාව සහ සිංගප්පුරුව සම්බන්ද වන optical fiber කේබල් ජාලයෙන් තමයි සම්බන්දතාව ලබාගන්නේ මෙයින් දිගුවක් තමයි ඔවුන් ලබාගන්නේ බැරිවෙලාවත් අප රට ආසන්නයෙන් මෙවැනි optical fiber කේබලයක් නැත්නම් අපේ රටේ පුද්ගලික සමාගමක් යන්නේ නෑ දුර රටකට කේබල් අදින්න, නමුත් රජය මේ වියදම් දරල තියනවනම් පුද්ගලික අන්ශය සතුටින් අදාළ පහසුකම ලාබගන්නවා.

    සමහර වියප්පෘති වලින් ලාභ ලැබුවත් එය ලැබෙන්නේ වසර 20 කින් නම් පුද්ගලික අංශය සම්බන්ද වෙන්නේ නෑ මේ නිසයි රජය සම්බන්ද වෙන්නේ.

    රජය වියදම් කරන්නේ මුළු රටේ ජනතාවගේ මුදල්, ඔබට පුලුවන්නම් පෙන්වාදෙන්න මේ විශාල ආයෝජන පුද්ගලික අංශය පමණක් කරන රටක්, මම නම් දැනුවත් නෑ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: