අරුණි ශපීරෝ‍ වෙතින්

හෙලිකොප්ටර් මුදල්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 15, 2016

හැමෝටම ලක්ෂයක් මුදල් තෑගි දුන්නොත් සියල්ලන්ටම කිරි ඉතිරේවි ද? ලක්ෂයක් මුදල් අතට ලැබෙද්දී බඩු ගන්නට දුවන ජනතාව නිසා පවතින භාණ්ඩවල මිල ගණන් ද වේගයෙන් ඉහළ යන්නේ කෙසේදැයි පැහැදිලි කරන්නට අවශ්‍ය ද?

හෙලිකොප්ටර් මුදල් සංකල්පය ගැන මුලින්ම විමසන ලද්දේ ඇමෙරිකන් ශ්‍රමිකයන්ගේ පඩි පැකට් එකෙන් කෙළින්ම බදු කපා ගැනීමට ඇමෙරිකන් රජයට මාර්ගය සකස් කර දුන්, නොබෙල් අර්ථ ශාස්ත්‍ර තෑග්ග දිනූ, නිදහස් වෙළඳපොල වෙනුවෙන් පෙනී සිටි සුප්‍රසිද්ධ මිල්ටන් ෆ්‍රීඩ්මන් විසිනි. 1969 දී The Optimum Quantity of Money යන ලිපියෙන් ෆ්‍රීඩ්මන් මෙම හෙලිකොප්ටර් මුදල් සංකල්පය ඉදිරිපත් කළේය. හෙලිකොප්ටරයකින් හලන ඩොලර් දාහක මුදල් පාරිභෝගිකයන්ට ලැබෙන්නට සැලැස්වුවහොත්? එක වතාවක් පමණක්? ඔහු අර්ථ ශාස්ත්‍රය සඳහා වූ නොබෙල් තෑග්ග දිනන්නේ ඊට වසර දහයකට පමණ පසුව, අදහස් ඔයිට වඩා ටිකක් වෙනස් වෙද්දී.

ආර්ථික උත්තේජක, ප්‍රමාණාත්මක ලිහිල් කිරීම්, බිංදුවක පොලී අනුපාතික සහ ඍනාත්මක පොලී අනුපාතික යනාදී මැදිහත්වීම් සියල්ලම සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති කාලයක දී මහ බැංකුකරුවන් කළ යුත්තක් ලෙසින් නැවතත් ලෝකයේ හෙලිකොප්ටර් මුදල් බෙදීම යෝජනා වී ඇත.

වැඩියෙන් නිකුත් කරන මුදල් සහ ඉහළ යන බඩු මිල ගණන් යනු ආර්ථිකයක ධන සම්පත් වැඩිවීමක් යැයි අවුල් කරගන්නා අය තවමත් ලොව නොමඳව සිටිති. ගණිත ගුණ්ඩු වලින් රටක සමෘද්ධියක් ඇතැයි හුවා දක්වන්නට උත්සාහ කරන සහ ණය ලබාගැනීම සඳහා වාර්තා සකසන පිරිස්වලට මෙවැනි උප්පරවැට්ටි අවශ්‍ය වෙති. සැබෑ සමෘද්ධියක් එසේ සැකසෙන්නේ නැති බව සොයා බලන්නට සාමාන්‍ය රටවැසියන්ට උවමනාවක් හෝ දැනුමක් නැත.

හෙලිකොප්ටර් මුදල් සැලැස්මක් ක්‍රියාත්මක වුවහොත් මේ අලුත් මුදල් මුලින්ම ලබන අය, ඔවුන්ගේ වෙළඳපොලේ මිල ගණන් ඉහළ යන්නට පෙර පරිභෝජනයට සමත් වී වාසි ලබනු ඇත. අනිත් අය මුදල් වැය කරන්නටත් පෙරම ඉහළ ගිහින් ඇති මිල ගණන් දිහා බලා හූල්ලනු ඇත. අවසානයේ දී බඩු මිල ඉහළ ගිහින් තිබුණත් සියල්ලන්ගේම සුබසාධනයේ වැඩිවීමක් දකින්නට නොලැබෙන බව වැටහෙද්දී සියල්ල සිද්ධ වී අවසන්.

මෙවැනි උත්සාහයක දී වෙළඳපොලට උත්තේජේනයක් ලැබී හටගන්නා සුළු ආර්ථික ප්‍රගතියක් දකින්නට ලැබුන ද දීර්ඝ කාලීනව ඇතිවන යහපතක් නැත. ඉතින් එවිට මහ බැංකු විසින් යෝජනා කරනුයේ කුමක් ද? මෙතෙක් ඉතිහාසය පෙන්වන්නේ ඒ ඒ උත්සාහය ගෙනෙනවා යැයි කියන ඵලදාව ගෙනෙන්නට ව්‍යර්ථ වෙද්දී පවා නැවත නැවතත් මහ බැංකු උත්සාහයේ යෙදෙන්නේ මෙතෙක් කරගෙන ගිය ක්‍රමයේම, මුදල් පාලනය හසුරැවන්නට තමන් දන්නවා කියන මතයේම රැඳී සිටින බවයි.

ආර්ථික වර්ධනයක් ලැබෙන්නේ මුදල් සැපයුම වැඩි කිරීමෙන් හෝ මිල ගණන් ඉහළ යැවීමෙන් නොවේ. ඉතිරි කිරීම් හා ආයෝජන වැඩි වීමක් ජනතාව අතින් සිද්ධ නොවී ආර්ථිකයේ කුමන අංශයට මහ බැංකුව විසින් මුල්‍යකරණයෙන් මැදිහත් වූවත් ඵලක් නැත. ඕනෑම ආර්ථිකයක ඉතිරි කිරීම් හා ආයෝජන වැඩි වන්නට නම් එම රටේ ව්‍යවසායකයන්ට (ලොකු කුඩා කාහටත්) කැමැත්තෙන් කරන ගණුදෙනුවල නියැළෙන්නට පහසු සහ නිදහස් පරිසරයක් ලැබිය යුතුයි.

ඩෙලවෙයාර් ප්‍රාන්තයේ අයෙකුට අන්තර්ජාලයෙන් ක්ෂණිකව ව්‍යාපාරයක් අරඹන බලප්‍රතයක් ලබාගත හැකියි. විකිණීම සඳහාම අරඹන ලද ව්‍යාපාරයක් මිල දී ගැනීමට ද හැකියාව පවතී. එයත් රැගෙන බැංකුවකට ගොස් නැත්නම් අන්තර්ජාලයෙන් එදිනම ව්‍යාපාරික ගිණුමක් විවෘත කළ හැකියි. ලංකාවේ එවැන්නකට මාස 6 ක සිට වසරකටත් වඩා කාලයක් ගෙවී යයි. ඩෙලවෙයාර් හි ඩොලර් 75 කට පමණ කරගත හැකි වූවට ලංකාවේ දී ඩොලර් පන්සියයක් ඉක්මවයි. ඉතින් ඩෙලවෙයාර් යනු ආයෝජකයන් ව්‍යාපාර අරඹන්නට ඇදී එන තැනක් වෙද්දී ලංකාව යනු ආයෝජන මුදල් හිඟන්නට විදෙස් රටවල් වෙත අතපාන රටක් වී තිබීම පුදුමයක් ද?

පසුව එකතු කරන ලදි:
ලියාපදිංචි කරන ලද එහෙත් ක්‍රියාත්මක නොවන ව්‍යාපාර බොහොමයක් ඇතිබව කියමින්, ඒවා සක්‍රීය කරවීමට යැයි කියා සියළු ලියාපදිංචි ව්‍යාපාර සඳහා රජයට වාර්ෂික ගාස්තුවක් ගෙවිය යුතු යැයි කියන රටක ආයෝජන කරන අය හිඟවීම පුදුමයක් ද?

4 Responses

Subscribe to comments with RSS.

  1. උපුල් හේවා said, on අප්‍රේල් 16, 2016 at 5:11 පෙ.ව.

    ස්තුතියි අරුණි.

  2. dimuthu said, on අප්‍රේල් 18, 2016 at 7:37 පෙ.ව.

    මම කොහේ හරි දැක්ක,දැනුම කියන්නේ බලයයි කියල. දැනුම බෙදා ගන්නවා කියන්නේ, ඔබ හොද කෙනෙක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: