අරුණි ශපීරෝ‍ වෙතින්

රස්කි පාර්මිශාන් -වැඩි මිලට බාල බඩු විකිණීම

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 19, 2016

චීස් ගැන මෙහි ලියපු සටහන් අතර පාර්මිශාන් ගැනත් ලියපු සටහනක් තියෙනව. මේ සටහන වැඩි මිලට බාල බඩු විකුණන රස්කි පාර්මිශාන් නමින් වූ රුසියන් චීස් ව්‍යාපාරය ගැන. එහි අයිතිකාරයා ඔලෙග් සිරෝටා.

සේවකයන් 30 කින් යුතු තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයකට අයිතිය කියූ සිරෝටා මොස්කව් නගරයේ ජීවත්වෙමින් සිහින මැව්වෙ තමන්ගෙම කිරිහලක් ගැන. ගොවිපොලක ජීවත්වෙමින්, කිරි ගවයන් ගෙන් චීස් හදන හැටි ගැන. ඒත් එහෙම ව්‍යාපාරයකට බැස්සොත් ගොවිපොලට ඉඩම් කෑල්ලක් මිල දී ගන්න තැනේ පටන් තම රටේ අල්ලස් දූෂණ තත්වය එක්ක හැප්පෙන්න වෙන බව දත් නිසා සිරෝටා ඒ කර්මාන්තයට අත දැම්මෙ නැහැ. අනික චීස් කර්මාන්තයට එකතුවෙන කැමැත්ත තිබ්බට රුසියාවට යුරෝපීයෙන් ගෙනෙන අනගි කිරි ආහාර එක්ක වෙළඳපොලේ තරඟ කරන්න තමනට හැකියාව නැතැයි ඔහු දැන සිටිය.

නමුත් ව්ලැඩමියර් පූටින් ක්‍රයිමියාව ආක්‍රමණය කළාට පස්සෙ, සිරියාවේ අසාද්ගෙ උදව්වට ගියාට පස්සෙ, සිරෝටාට තම සිහිනය සැබෑ කරගන්න පොටක් පෑදෙනව. යුරෝපීයයන් රුසියාවට සම්බාධක ගෙනෙද්දී පූටින් යුරෝපීය යුනියනයෙන් එන ගොවි ආනයන තහනම් කරනව. සිරෝටා හනිකට එයාගෙ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරය විකුණල මොස්කව් වලින් ඈත ගම්මානයක ගොවිපොලක් මිල දී ගන්නෙ යාළුවන්ගෙන් සහ පවුලේ අයගෙන් මදිපාඩු සඳහා ණය අරගෙන. හවුල් ව්‍යාපාරික අයිතිය සඳහා අන්තර්ජාලයෙන් එයා ජර්මනියෙ කිරිහලක වැඩ කරන රුසියන් අයෙක්වත් හොයා ගන්නව. යුක්රේන ගමකින් එන සරණාගතයන් දෙන්නෙක්වත් වැඩට බඳවා ගන්නව. රස්කි පාර්මිශාන් ව්‍යාපාරය පටන් ගන්නේ 2015 අගෝස්තුවේ දී.

2013 දී රුසියාව චීස් ටොන් ලක්ෂ 440 ක් ආනයන කළාට පූටින් දැමූ තහනම නිසා 2015 මාස 11 ක කාලයක දී ආනයන වෙන්නෙ චීස් ටොන් ලක්ෂ 180 යි.

තහනමක් පැනවීම නිසා සිරෝටා අතින් දේශීය චීස් කර්මාන්තය පටන් ගැනුණා යැයි සතුටු වෙන පටු දැක්ම ඇති අය බොහොමයක් ඉන්නව.

සිරෝටා නිපදවන චීස් පමණක් නෙමෙයි දේශීය වශයෙන් රුසියාවේ හැදෙන චීස් එකක්වත් විදේශීය චීස් තරම් රස නැති බව රුසියාවේ පාරිභෝගියන් හැමෝම පිළිගන්න දෙයක්. සමහර අය අඩු වැයෙන් නිපදවන්න එළකිරි මේද වෙනුවට යොදා ගන්නෙ පාම් තෙල්.

විදේශීය චීස් ආනයන නැවතීම නිසා දැන් රුසියන් වෙළඳපොලේ චීස් මිල ගණන් ඉහළ ගිහින්.

විදේශීය යාළු මිත්‍රාදීන් ඉන්න අයට සහ පිටරට ගිහින් එන්න වත්කම ඇති අයට පිටරට ගියාම යම් ප්‍රමාණයක් චීස් අරගෙන එන්න පුළුවන්. ඒත් අනිත් රටවැසියන් වැඩි මිලට තියෙන බාල චීස් වලින් අවශ්‍යතාවය පිරිමහ ගන්න ඕන.

පහුගිය වසරේ පූටින් රූබල් ට්‍රිලියන 2.5 ක් (ඩොලර් බිලියන 37) ක් තහනම් විදේශ ආනයන සඳහා ආදේශකයන් හදන ව්‍යාපෘති සඳහා වැය කරල තියෙනව. ඒත් එයින් ලැබුණ ප්‍රතිඵල එච්චර සාර්ථක නැහැ. මොකද යම් කර්මාන්තයක යෙදෙන්න කියල සල්ලි දුන්නට මදි. අමුද්‍රව්‍ය, ව්‍යාපාර පහසුවට පරිසරයක් නැත්නම් සහ ඊට දැනුම නැත්නම්. ඉතින් ඒ නාස්ති වුනෙත් රටවැසියන්ගේ වෙහෙසේ ඵලදාවයි. පූටින්ලාගේ පුද්ගලික සල්ලි නම් ආයෝජනය වුනේ පැනමාවේ බව නොදන්නෙ චීනයේ සහ රුසියාවේ අය විතරයි.

ඉහත අමුණපු කළින් ලියපු සටහනේ කිව්ව විදියට, ඇමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ චීස් කර්මාන්තය පැතිරිලා ගියෙ මෙහෙ පදිංචියට ආපු ස්විට්සර්ලන්ත අය නිසයි. චීස් හිඟයක් තිබුණත්, චීස් කර්මාන්තය දියුණු කරන්න කියල රුසියාවට යන්න විදෙස් රටවල කවුරුත් පෝලිම් ගැහෙන්නෙ නැති හේතුව සිරෝටා මුහුණ පාන හේතුම තමයි; රටේ පැතිරිලා තියන අල්ලස් දූෂණ වාතාවරණය සහ අමුද්‍රව්‍ය ලබාගත නොහැකියාව. දේපල අයිතියට ආරක්ෂාවක් ලැබෙන්නෙ නැතිකම. එවැනි තත්වයන් පවතිද්දී වෙන රටකට ගිහින් ව්‍යාපාරයක් වැඩි දියුණු කරන්න කැමති අයෙක් කොයි රටකින්වත් හොයාගන්න ලැබෙන්නෙ නැහැ.

අනගි ප්‍රමිතියෙන් යුතු විදේශීය භාණ්ඩ වලට තහනම් පනවපු නිසාම පමණයි බාල ආදේශකයක් හදන සිරෝටාට දේශීය වෙළඳපොලේ ඉඩක් ලැබෙන්නෙ. ඉතින් නීති නියෝගයකින් බාල බඩු රුසියානුවන්ට හොඳ යැයි තීන්දු කරන ලද්දේ පූටින්. චීස් නිෂ්පාදන ලෝක මට්ටමේ අනගිත්වයෙන් හදන උත්සාහය, රුසියාවේ පටන් ගන්නටත් පෙර නැවතෙනව. අන්තිමේ දී දක්ෂතාවයෙන් හෝ දැඩි උත්සාහයෙන් යම් නිෂ්පාදනයක් ලෝක මට්ටමෙන් දියුණු කරන්නට සිහින මවන අය රටේ හිඟවෙනව.

චීස් ප්‍රමිතියෙන් මදි වීම පමණක් නෙමෙයි ඊට පාරිභෝගිකයා ලවා වැඩි මිලක් ගෙවීමත් තීන්දු කරන ලද්දේ පූටින්. බඩු මිල ඉහළ යෑම නිසා රටවැසියන්ගේ පොකැට්ටුවටයි තට්ටු වෙන්නෙ. රටවැසියන්ගෙ ජීවන බර ඉහළ යද්දී නිෂ්පාදන දියුණු තියුණු කිරීමට සහ නව සොයාගැනීම් සඳහා කරන ආයෝජනයට අවශ්‍ය ඉතුරු කිරීම් ද හිඟවෙනව. රටවැසියන්ට වත්කමක් නැහැ කර්මාන්ත දියුණු කරන්න කියමින්, ඒ නිසා රජය ඉදිරිපත් විය යුතුයි කියමින්, අනුන්ට සැලසුම් හදන පාලකයන් බදු මාර්ගයෙන් උදුරාගත් රටවැසියන්ගේම වෙහෙසේ ඵලදාව නැති නාස්ති කරනව.

2014 ට කළින් සිරෝටා පූටින් පාක්ෂිකයෙක් නෙමෙයි. හැබැයි දැන් යුක්රේනයේ සහ සිරියාවේ යුද්ධ නිසා එයා තමන්ට පෑදිලා තියෙන අවස්ථාව ගැන පූටින්ට ස්තූති කරන කෙනෙක්. පූටින්ට විතරක් නෙමෙයි ඔබාමටයි අන්ගලා මෙයර්කල්ටයි දෙන්නටමත් ස්තූති කරන කෙනෙක්. සම්බාධක තව වසර 10 ක් දිගටම ගෙන ගියොත් ඒ දෙන්න වෙනුවෙන් ලෝකඩ ස්මාරකයක් කඩේ ඉස්සරහ එයා හදනවාලු. සිරෝටාගේ එළු දෙනට දාල තියන නම අන්ගලා මෙයර්කල්.

ඉතින් වැඩි මිලට බාල බඩු ගන්න අකමැති රුසියානුවන්ට පුළුවන් රුසියාවේ හදන චීස් නොකා ඉන්න. ලුණු දාපු මාළුයි අච්චාරු දාපු ඩිල් පිපිඤ්ඤා ගෙඩියි ඔතාගෙන ගිය කාලේ ජීවත්වෙච්ච රුසියන් අය දැන් ඉන්නෙ ඩිංගයි. ඔවුන් ඉතාමත් වයසක උදවිය.

4 Responses

Subscribe to comments with RSS.

  1. Donald Gaminitilake said, on අප්‍රේල් 19, 2016 at 8:29 පෙ.ව.

    “රටේ පැතිරිලා තියන අල්ලස් දූෂණ වාතාවරණය සහ අමුද්‍රව්‍ය ලබාගත නොහැකියාව. දේපල අයිතියට ආරක්ෂාවක් ලැබෙන්නෙ නැතිකම. එවැනි තත්වයන් පවතිද්දී වෙන රටකට ගිහින් ව්‍යාපාරයක් වැඩි දියුණු කරන්න කැමති අයෙක් කොයි රටකින්වත් හොයාගන්න ලැබෙන්නෙ නැහැ.”

    We face the same problem in Sri Lanka!!!!

  2. magenama said, on අප්‍රේල් 19, 2016 at 11:38 ප.ව.

    දැන් ඊළඟට වෙන්නේ කිරි නෙවෙයි රබර් කිරි දාලා හරි රුසියාවේ චීස් හදයි. ඒක හපන්න බැරිව හරි ගිලලා තව රහා…..යි කියන්නත් වෙයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: