අරුණි ශපීරෝ‍ වෙතින්

මැයි දිනයේ ඇත්ත අරමුණ වෙනස් වී නැත

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 30, 2016

එදත් අදත් ලෝකය පුරා රට රටවල මැයි දිනය සමරන අය එය කරනු ලබන්නේ වැඩ කරන ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා නොවේ. ආරම්භයේ පටන්ම මැයි දිනයේ නියම අරමුණ වූයේ ධනවාදයට එරෙහිව සහ කොමියුනිස්ට්/සමාජවාදයට පක්ෂව පෙළපාලි යෑමට, සටන් පාඨ කීමට, විරෝධය පෑමට, ආවේගශීලී කතා පැවැත්වීම සඳහා ය. ධනේශ්වරය විසින් වෙහෙසෙන ශ්‍රමිකයාව කුරිරු ලෙසින් බිලිගන්නවා යැයි මහජන වේදිකාවේ හඬ නඟන්නටයි.

ධනවත් හාම්පුතුන් යටතේ සේවය කරන ශ්‍රමිකයන් ගණුදෙනුවල දී පහළ මට්ටමක සිටින බව ඇඩම් ස්මිත් නිරීක්ෂණය කළේය. ශාන් බැප්ටිස්ට් සේ සහ ජෝන් ස්ටුවර්ට් මිල් ද ඒ අදහසම දක්වා ඇත. ඇල්ෆ්‍රඩ් මාෂල් සහ ඒ. සී. පිගූ යනාදී අර්ථ ශාස්ත්‍රඥයන් ද එයට එකඟ වූහ. ශ්‍රමිකයන් ගැන දක්වන ලද අවධානයෙන් ඔවුන් හමුවේ පවතින අවාසිදායක තත්වය සංවිධානාත්මක කම්කරු සංවිධාන තුලින් තුලනය කරගන්නට ලැබේ යැයි ඔවුන් පෙන්වා දුන්හ. එදා ඒ අර්ථ ශාස්ත්‍රඥයන් සමාජවාදීන් සමඟ පෙළ ගැසුනහ.

ඇඩම් ස්මිත් ජාතීන්ගේ ධනය ලියන කාලයේ දී ඔහු දුටුවේ ධනවත් හාම්පුතුන් සමඟ කේවල් කිරීමට නොහැකි ශ්‍රමිකයන් ගැටුණ වානිජ්‍ය ආර්ථික රටාව වෙනස් වෙන ආකාරයයි. එනම් ධනවාදයේ (එය කුමක්දැයි කියා හඳුන්වන්නට කිසිවෙක් එවක දී නොදත්හ) ඕපපාතික ආරම්භය ඇති වී තිබෙන වගයි. ඇඩම් ස්මිත් දුටු ‘අදිසි හස්තය’ හෙවත් වෙළඳපොලේ ගණුදෙනු සියල්ල සිද්ධ වූයේ සියල්ලන් තම තමන්ගේ යහපත අරමුණු කරගෙන ශ්‍රමය වෙහෙසන ලද නිසයි. ඇඩම් ස්මිත් කියූ පරිදි, “අපගේ රාත්‍රී ආහාර වේල අප බලාපොරොත්තු වෙන්නේ මස් කඩේ මුදලාලි, මත්පැන් පෙරන්නා හෝ පාන් බක්කරේ දක්වන ගුණවත්කම තුලින් නොව ඔවුන් ඔවුන්ගේ ස්ව-කැමැත්ත සොයා යන බැවිනි.” සමහරු තවමත් ‘අදිසි හස්තය’ යනු තමන්ගේ ක්‍රියාකාරකම් නොව ධනවත් හාම්පුතුන් තමනට කරන බලපෑමක් යැයි සිතති.

ස්ව-කැමැත්ත සොයා යන්නට හැකිවන සේ රට රටවල පුද්ගල අයිතිය පිළිබඳ නීති සංශෝධනය වෙද්දී හාම්පුතුන්ට උප්පත්තියෙන් හිමි වූ වරප්‍රසාද කප්පාදු වන්නට පටන් ගති. එහෙත් වෙළඳපොලේ ගණුදෙනු කරන අයම සියල්ලන්ගේ යහපත සඳහා සුබවාදී වෙනසක් ගෙනෙන්නට සමත් වී ඇති බව නොදකින බලතණ්හාධිකයන් නම් තවමත් කටයුතු කරන්නේ හාම්පුතුන් ලොව සිටින ලෙසකිනි. ලෝක ධනවතුන් පරම්පරා ගණනාවක් තිස්සේ ලොව ධනකුවේරයන් සේ වැජඹෙන්නට සමත් වෙති යැයි මොවුන් විශ්වාස කරති. එහෙත් හැරී පොටර් පොත් ලියා ධනවත් වූ ජේ. කේ. රෝලින්ස් මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරුළ හිමි වූ එලිසබෙත් රැජිනටත් වඩා ස්ථාන 11 කින් ඉහළ ධනවත් මට්ටමක සිටින බව නොසලකා හරිති.

නැහැ, නැහැ මේක ධනය ගැන කතාවක් නෙමෙයි. මේක පංති අරගලය ගැන යැයි මෙහි දී ඔවුන් විරෝධය දක්වති. රැජිනට වඩා ධනවත් වූවාට රෝලින්ස් රැජිනටත් ගරුසරු දැක්විය යුතු නොවේදැයි මොවුන් කියති. ඒත් ස්ටාලින්, මාඕ, චේ, කැස්ත්‍රෝ සහ චෑවේස්ලාට ගරුසරු නොකර ඉන්නට හැකිවූයේ කාට දැයි විමසීම ඔවුන් නොසලකා හරිති. එසේම, මේ උපයත හැකි ධනය ගැන නොවේ කියමින් ඔවුන් යෝජනා කරන්නේ උපයන අයගේ ධනය බෙදන්නටයි!

සියල්ලන්වම එකම මට්ටමක ගෙනෙන්නට හැකි ක්‍රමයක් ඇතැයි විශ්වාසයෙන් මෙතෙක් ඉතිහාසය පුරා ගත් අනේක උත්සාහයන්හි ප්‍රතිඵල කොපමණ ශෝකාන්විත වූවත් ඊට ගන්නා වෑයම සමාජවාදීන් අත්හැර දමා නැත.

මැයි දිනයේ ආරම්භය සේ සලකන, පිදුරු මාකට් සමූලඝාතනය සැබෑවටම ධනවත් හාම්පුතුන් විසින් දුප්පත් ශ්‍රමිකයන් පීඩනයට ලක් කිරීම නිසා හටගත් සමූලඝාතනයක් නොවීය. සංවිධානාත්මක වාමාංශික ප්‍රචණ්ඩත්වයේ තවත් උත්සාහයක ශෝචනීය අවස්ථාවකි. එහෙත් සමාජවාදීන් එය ඉතා වැදගත් දිනයක් හැටියට මවා පෑම නතර කර දමා නැත.

1889 දී දෙවැනි සමාජවාදී ජාත්‍යන්තරය මැයි දිනය නිල නිවාඩු දිනයක් යැයි නියම කරන ලදි. එදා පටන් අද දක්වා කොමියුනිස්ට්/සමාජවාදී රටවල ශ්‍රමිකයන් සමරන දිනය යැයි කිව්වාට ශ්‍රමිකයන්ට නිවාඩු පාඩුවේ ඉන්නට අවස්ථාවක් හිමිවෙන්නේ නැත. එය විදෙස් හතුරන්ට හමුදා බලතල පෙන්වන්නට අවස්ථාවකි. පෙළපාලි නොපැමිණෙන සහ නායකයන්ගේ වාග් කෞශල්‍යයට අත්පොළසන් නොදෙන අයගේ නම් සටහන් කරගන්නට අවස්ථාවකි. දේශපාලන නායකයන්ට තවත් ගැත්තන් එකතු කරගන්නට අවස්ථාවකි. කෙටියෙන් කිව්වොත් මැය දිනය යනු ලිවියතන් රකුසාගේ පැවැත්ම ආරක්ෂා කරගැනීමට පාදා ගත් අවස්ථාවකි.

වර්තමාන ලෝකයේ සශ්‍රීක තත්වය ඇති වී තිබෙන්නේ සතියේ වැඩ කරන පැය ගණන නොසලකා ස්ව කැමැත්ත පෙරදැරි කරගෙන යමක් නිෂ්පාදනයට වෙහෙස වූ දිරිය මිනිසුන් නිසයි. අවම පඩියකට වැඩ කරමින් ජීවිතය ගෙවන ලද අය වෙතින් නොව වේතනය නොතකා ස්ව කැමැත්ත පෙරදැරි කරගත් තම වෑයම අත්නොහැරි මිනිසුන් නිසයි.

පුද්ගල අයිතිය පිළිබඳ නීති සංශෝධනය වෙද්දී වානිජ්‍ය අර්ථික ක්‍රමය වෙළඳපොල ආර්ථික ක්‍රමයට වෙනස් විය. එහෙත් වාමාංශිකයන් තවමත් ඒ බව නොදනිති. අනුන් ලැබිය යුතු අවම පඩියක් සහ අනුන් සතියකට වැඩ කළ යුතු පැය ගණනක් ගැන තීරණයට තමන් දන්නවා කියා ගනිමින් ඔවුන් සමාජවාදයේ ගුණ කියමින් තව දුරටත් ශ්‍රමිකයන් රවටති.

වෙළඳපොල ආර්ථිකයක් ශ්‍රමිකයාට තෝරාගැනීම් ඉදිරිපත් කරති. බලාපොරොත්තුවෙන වේතන ගෙවන්නට තමන් උපන් රටේ හාම්පුතුන් අසමත් වේ නම්, එවිට වෙන රටක සේවයට යෑමට අවස්ථා පාදයි.

ඒත් ලංකාව වැනි රටක, වැඩ කරන ජනතාව වෙනුවෙන් කියා සමරන නිවාඩු දිනයක, පංති අරගලය විශ්වාස කරන සමාජයක, දේශපාලනඥයන්ගේ හා කම්කරු නායකයන්ගේ සමාජ තත්වයන් ආරක්ෂා කරන්නට ජන රැළි සංවිධානය කරමින් ශ්‍රමිකයන්ට නිවාඩු දිනයේ මත්පැන් බෝතලයක් මිල දී ගන්නට ඇති අයිතියත් අහිමි කරති!

නැත, මැයි දිනයේ සැබෑ අරමුණ වෙනස් වී නැත. ඇත්තෙන්ම ශ්‍රමිකයාගේ ජීවිතය සශ්‍රීක වෙන්නේ කෙසේදැයි කියා වසන් කර එය අනුන්ගෙන් අරගෙන වෙන අයට බෙදීමෙන් හැකි යැයි කියමින් ශ්‍රමිකයන්ව රැවටීම වාමාංශිකයන් අතින් තවමත් සිද්ධ වේ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: