අරුණි ශපීරෝ‍ වෙතින්

අවම වැටුප් මුලාව

Posted in Uncategorized by arunishapiro on මැයි 1, 2016

ෆ්‍රෙඩරික් බැස්ටියාට් කියා දුන් කැඩුණු ජනේලය උපමාවේ තවත් පිළිබිඹුවක් මේ. තීරණ ගනිද්දි දකින්නට හැකි දේවල් දිහා පමණක් බලන්න හුරු වෙච්ච අය තමයි අවම පඩිය අගයන්නෙ. ඒත් දකින්නට නොහැකි දේවල් විමර්ශනයට හුරු වෙච්ච අයට අවම පඩියක හානිය අලුතින් ආයේ කියලා දෙන්න අවශ්‍ය නැහැ.

අවම පඩිය වැඩි කරමු! ඒ කාගේ යහපතට ද? පැයකට ගෙවන වේතනයක් ලබන අය වෙනුවෙන් තමයි මේ ඉල්ලීම. ඒ කියන්නෙ ඕනෑම සමාජයක අඩුවෙන්ම වේතන ලබන කොට්ඨාශය වෙනුවෙන්. කවුද මේ පිරිස? රැකියා සඳහා අලුතින්ම එකතුවෙන තරුණ අය. සැලකිය යුතු අධ්‍යාපනයක්, රැකියා පුහුණුවක්, පළපුරුද්දක් හෝ උපන් හපන්කම් නැති අය. යම් ලෙඩක් දුකක් නිසා නැත්නම් හිරේ විලංගුවේ වැටිච්ච නිසා රැකියාවෙන් ඉවත් වී සිටින්නට සිද්ධ වූ අය. බටහිර රටවල නම් විශ්‍රාම ගිහින් නිකම් ඉන්න කම්මැලිකමට පාට් ටයිම් වැඩට යන අයත් මේ අය අතර ඉන්නව. ඒ කියන්නෙ තරුණ, මහළු සහ සමාජයේ කොන් වෙච්ච අය වැඩියෙන්ම නියෝජනය වෙන කොටස.

ඒ අයගෙ ජීවිත විනාශයට පමුණුවන්න කැමති නම් තමයි අවම පඩිය වැඩි කරන්න යැයි යෝජනා කරන්න ඕන. ඒත් එහෙම යෝජනා කරන අය මවා පාන්නේ නම් හිතක් පපුවක් තියන අය කරන කටයුත්තක් විදියට.

රජයක් විසින් වේතනයක් තීරණය කරන සෑම අවස්ථාවක දී ම හානිය වේතන ලබන්නාට. තමන්ගෙ රටේ නියමයන් අනුව වේතන ගෙවීම නිසා තම ව්‍යාපාරයට පාඩු වෙද්දී ප්‍රාග්ධනය හිමියන් තමන්ගෙ වත්කම් වැඩිකරගන්න වෙන රටවල් සොයා යන එක නතර වෙන්නෙ නැහැ. ඒත් සමාජවාදියා දකින්නෙ නැහැ තමන් පක්ෂපාතී වූ අවම පඩි වැඩි කරන ලද නිසා රටේ ව්‍යාපාර ඇරඹීම කෙමෙන් නැවතිලා ගිය බව. අවම පඩිය ඉහළ දැමීම හැමෝටම දකින්න පුළුවන්. නොතිබුණු ව්‍යාපාරයක් පටන් ගත්තෙ නැතිබව දකින්න බැහැනෙ.

පැයකට ලැබිය යුතු පඩිය කුමක්දැයි නිල වශයෙන් රජයක් තීරණය කිරීම එවැනි වේතන ලබන අයව ආර්ථික ගිනි කබලකට දැමීමක්. අවම පඩිය වැඩි කිරීම ඔවුන්ව කබලෙන් ලිපට ඇද දැමීමක්. තරුණ අයට රැකියා පුහුණුවක් හෝ පළපුරුද්දක් ලබාගන්නට තැනක් සොයා ගැනීම දුෂ්කර වෙනව.

ඇඩම් ස්මිත් අපිට 1776 දී පෙන්වලා දුන්න සත්‍යය අදත් වෙනස් වෙලා නැහැ. අපේ ජීවිතය සතුටින් ගෙවන්න අවශ්‍ය බඩු බාහිරාදිය අපට සපයන අය එහි නියැළෙන්නෙ අපිට තියන ආදරයක් හෝ ඔවුන්ගේ ගුණවත්කමක් නිසා නොවේ. අපිට අවශ්‍ය දේවල් සැපයීමෙන් ඔවුන් ලාබ උපයන්නෙ ඔවුන්ගේ ස්ව-කැමැත්ත සොයා යන්නයි.

පැයේ වැඩ කරන සියල්ලන්ටම එකම වේතනයක් තීරණය වීම නිසා ව්‍යාපාරිකයෙක් අලුතින් අයෙක්ව වැඩට ගන්න අදිමදි කරනව. අයෙක් ඉතා ඉක්මණින් හා නිසි ලෙසින් කටයුතු නිම කරන්න දක්ෂ වෙන්න පුළුවන්. තවත් කෙනෙක් කම්මැලි හා ඕනෑවට එපාවට වැඩ කරන අයෙක් වෙන්න පුළුවන්. අවම පඩියක් තීරණය වී තිබීම නිසා, නැත්නම් අවම පඩිය ඉහළ යෑම නිසා, මේ දෙන්නාටම ගෙවන්න ඕන එකම වේතනය. වැඩ හොඳට කරන සහ ඔහේ කරන නිසා කරන යන දෙපිරිසට වෙනස් විදියකට වේතන ගෙවීම තීරණය කරන හැකියාවක් ව්‍යවසායකයාට නැහැ. දක්ෂයන් සහ අදක්ෂයන් දෙගොල්ලන්ම වැඩට අරගෙන ඒ ඒ අයගේ හැකියාව අනුව වැඩ බෙදී යාමත් ඊට වේතන ගෙවීමත් වෙනුවට අදක්ෂයන් නෙරපා හැරල දක්ෂයා පිට වැඩියෙන් වැඩ පැවරීම සිද්ධ වෙනව.

එහෙමත් නැත්නම් මිනිස් ශ්‍රමය වෙනුවට තාක්ෂණය යොදා ගැනීම වැඩියෙන් සිද්ධවෙනව. අවම පඩිය ඉහළ යද්දී කඩ සාප්පුවල කැෂියර් රස්සාවල් කෙමෙන් අඩුවෙලා යනව. තමන් ස්කෑන් කරලා, සල්ලි ගෙවලා, බඩු මල්ල තමන්ම පුරවාගෙන යන්න වෙනව. කඩේ හැම තැනකම සවි කරන ලද කැමරා වැඩිවෙනව. මොකද අනුන් තීරණය කරන ලද අවම පඩියක් ගෙවනවාට වඩා ඒ තාක්ෂණ සඳහා යොදවන ආයෝජනය ව්‍යවසායකයාට ලාබදායකයි.

ඉතින් ලාබ හොයන ව්‍යවසායකයන් අලුතින් සේවකයන් බඳවා ගැනීම අඩු කරද්දී සමාජවාදියා හිතන්නෙ මේ ධනේශ්වරයේ ලාබ හොයන අයට බැරි වුනාට රටේ මිනිස්සුන්ට රස්සාවල් සපයන්න ආණ්ඩුවට පුළුවන් බවයි. සමාජවාදී වෙනිසියුලාවේ ජනාධිපති මධූරෝ අවම පඩිය 30% කින් ඉහළ දැම්ම මැයි දිනය සමරන්න. ඒ මහ පුටුව ලැබුණට පස්සෙ අවම පඩිය වැඩි කරන 12 වැනි වතාව. ලාබ සොයන ව්‍යවසායකයන් හතුරන් හැටියට දකින වෙනිසියුලාවේ ආණ්ඩුවේ සේවකයන්ට දැන් වැඩ කරන දවස් දෙකයි -සඳුදා සහ අඟහරුවාදා. එයාලගෙ සති අන්තය දින පහකට දීර්ඝ වෙනව! බංකොළොත් සමාජවාදී රටේ ආර්ථික අර්බූදය කොතරම් දැඩිවෙලා ද කිව්වොත් මුදල් නෝට්ටු අච්චු ගැසීම සඳහා ගෙවන්න ආණ්ඩුවට සල්ලි නැහැල්ලු. ඉතිහාසය දන්න අපිට නම් වයිමා ජනපදය සිහියට නැඟෙනව!!

රටේ ආර්ථිකය බංකොළොත් වුණත් පාලකයන් බලන්නෙ තව දවසක් හරි පාලන බලය අල්ලාගෙන ඉන්න. ලංකාවේ ද, අවම පඩි තීරණය කරන්න දන්නවා කියාගත් නායකයන් ඉහළ පොලී යටතේ ගත් විදෙස් ණය ගෙවා ගන්නට නොහැකියාව ඉදිරියේ පවා හානිකර සමාජවාදී ප්‍රතිපත්ති වෙනස් කරන්නෙ නැහැ. වැරදි නිවැරදි කරනවා වෙනුවට ඒ සමාජවාදී ක්‍රමයෙන් බැරිනම් මේ සමාජවාදී ක්‍රමයෙන් පුළුවන් යැයි හිතනව. ජනතාවගේ දහඩිය මහන්සිය ඒ ණයගත් රටවලටම සින්න කරන තීරණ ගන්නව.

රස්සාවක් කියන්නෙ මිනිසෙකුගේ ජීවිතයට උදාරත්වයක් එකතු කරන වෙහෙසීම. තමන්ගෙම කියල අතට මුදලක් උපයාගත හැකියාවක් තිබීම මිනිස් සත්වයාගේ ජීවිතය පරිපූර්ණ කරන අංගයක්. මොකද තමන්ගෙම කියල මුදල් උපයාගත හැකි මාර්ගයක් තිබීම යනු ස්ව-කැමැත්ත සොයා යෑමට හැකි ස්වාධීනත්වය ලැබීමයි.

තවත් සමාජවාදී උප්පරවැට්ටියක් වූ අවම පඩිය නම් මුලාවෙන් ජනතාව වසඟ කරගනිද්දී හිතක් පපුවක් තියෙන්නෙ සමාජවාදීන්ටයි කීම කොතරම් ඛේදනීය ද?!

The Cruelty and Carnage of the Minimum Wage: The Case of Tad

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: