අරුණි ශපීරෝ‍ වෙතින්

ස්වයං ක්‍රියාකාරී වාහන හදන තරඟය

Posted in Uncategorized by arunishapiro on මැයි 9, 2016

Comma.ai

මහජන මුදලින් රොකට් යැවීම ඇමෙරිකන් ආණ්ඩුව නවතා දමද්දී ආරම්භ වූ පුද්ගලික උත්සාහයන් තුලින් සෑහෙන සාර්ථකත්වයක් දැනටමත් ලබාගැනීමට සමත් වීම වැඩියෙන් කතාබහට ලක්වෙන්නෙ නැති වූවක්. තරඟය පුද්ගලික අංශයේ වෙද්දී ජනතා ප්‍රසාදය දිනාගෙන ලකුණු දාගන්න පුරසාරම් දොඩන්නයි පාරට්ටු බාන්නයි අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නෙ මහජනතාව කැමැත්තෙන් මුදල් දීල ගන්න ප්‍රතිඵල ඉදිරිපත් කිරීමයි.

අජටාකාශයට යවන රොකට්ටුවක් නැවත පාවිච්චියට හැකිවන සේ ආපහු පොළවට ලබාගන්න සමත්වෙන්නෙ පසුගිය දෙසැම්බරයේ. ඒ ෆැල්කන් 9 රොකට් එක බිමට ගෙනැල්ල. පසුගිය අප්‍රේල් 8 වැනිදා දෙවැනි වතාවටත් එය සාර්ථක ලෙසින් ඉටු කරන්නට ඔවුන් සමත් වෙනව. ඒ සාර්ථකත්වය ලබන්නෙ පුද්ගලික රොකට් යවන උත්සාහයේ 2002 දී සිට නියැළෙන ස්පේස් එක්ස් කොම්පැණිය. කිසිවෙක් නැති රොකට් එක උඩට යවලා, කිසිවෙක් නැති නෞකාවක ලකුණු කරන ලද වට රවුමකට ආපහු එය නිරුප්‍රදිතව ගෙන්වා ගන්නව. අඟහරු ලෝකෙ මිනිස් වාසස්ථාන හැදීම කෙසේ වෙතත් සංචාරකයන් හැටියට අජටාකාශ ගමන් ගිහින් එන හැකියාව වැඩි පිරිසකට පාදා දීමට වැඩිකල් නොයාවි.

වෙළඳපොල තරඟයට සොයාගන්නා සෑම ඉඩපාඩුවක දී ම විවිධ පුද්ගලයන් නවෝත්පාදන ආයෝජනයට එකතුවෙන හැටි දකින්න පුළුවන්. ආර්ථිකයක් කඩා නොවැටෙන්නෙ විශාල ආයෝජන අවදානම් ගන්න කැමති ව්‍යවසායකයන් එහි සිටිද්දී. ඒ අය ඒ විශාල ආයෝජන අවදානම් ගන්නෙ විශාල ලාබ උපයන්න හැකියාව ඇති නිසයි. නැත්නම් ඔවුන් විශාල ලාබ උපයන්න හැකි ස්ථානවලට ඇදෙනව. වැඩි පඩි ලැබෙන හෝ වැඩි දැනුම එකතු වී භාවිතයට ගැනෙන රස්සාවක් හොයාගෙන පුද්ගලයෙක් තමන් උපන් රටෙන් පිටවෙලා යනවා වගේමයි. ඒක සිද්ධ වෙන්නෙ පුද්ගලයාගේ සහ එයාගෙ වෑයම ගැන බලාපොරොත්තු තියාගත් ආයෝජකයන් කැමැත්තෙන් යටකරපු සල්ලි වලින්. මහජනතාවගෙන් බදු හැටියට බලහත්කාරයෙන් ආණ්ඩුවක් උදුරාගත්තු සල්ලි නෙමෙයි.

නවෝත්පාදන සඳහා වෙහෙසෙන ව්‍යවසායකයෙක් හෝ වැඩියෙන් හොඳ රස්සාවක් හොයාගෙන පිටරට යන පුද්ගලයා එහෙම සල්ලි ගොඩක් යට කරන්නෙ ඇයි? අනාගතයේ ඇතිවන ප්‍රතිඵලය නැත්නම් වෙළඳපොලට ගෙනෙත හැකි නිෂ්පාදනය තුලින් අනාගතයේ තමනට මහත් ලාබ ලබන්නට හැකියාව ඇතැයි ඔවුන් තුල ඇති විශ්වාසය නිසයි.

ගූගල් කොම්පැණිය ප්‍රධාන තවත් වාහන හදන කොම්පැණි 12 ක් විතර මේ කාලේ ලහිලහියේ මහා ධනයක් යට කරන්නෙ ස්වයං ක්‍රියාකාරී වාහන තාක්ෂණයේ දියුණුවට. ගූගල් කොම්පැණිය කාර් හදන්න යනවා නෙමෙයි. වාහනයක් පාලනය කරන පරිගණක තාක්ෂණය වැඩි දියුණු කරලා වාහන හදන කොම්පැණි වලට විකුණන්නටයි ඔවුන්ගේ අරමුණ.

ස්වයං ක්‍රියාකාරි වාහන පාරේ යැවීම සඳහා අනුමැතිය ඇමෙරිකන් ප්‍රාන්ත කිහිපයකම දැනටමත් තිබෙනව. 1980 ගණන් වල දී ප්‍රචාරය වූ ‘නයිට් රයිඩර්’ රූපවාහිනි ප්‍රබන්ධයෙන් ගෙනා ‘කිට්’ වාහන දැන් පාරේ යනව! අද සීයකට වඩා ඩ්‍රැයිවර්ලා නැතිව වාහන පාරේ දුවනව. ඒ ඇමෙරිකන් කොම්පැණි හදන ඒව පමණක්ම නෙමෙයි.

ස්වයං ක්‍රියාකාරී වාහනයක ගමනට ඉක්මණින් හුරු පුරුදු වෙන්න පුළුවන්, ඇයි තමන්ට කියලා කරන්න කිසිම දෙයක් නෑනේ. වාහනේට යන තැනේ ඇඩ්‍රස් එක දීලා නඟිනව. වාහනය තමන්ව ගෙනියනවා එතැනට. ඉතින් පුරුදු වෙන්න තියෙන්නෙ වාහනය වෙන කිසිම දෙයක හැප්පෙන්නෙ නැහැයි කියල විශ්වාසය තහවුරු කරගන්නයි.

මෑතක දියුණු වෙච්ච සංවේදක මත පදනම් වූ තාක්ෂණයෙන් අද තියන වාහන බොහොමයකට පුළුවන් පාර අයිනෙ නවත්තලා, වාහනයට නියම කළාම එයට නිසි පරිදි පාර්ක් කරගන්න. ඩ්‍රැයිවර්ගේ සහාය අවශ්‍ය ඇක්සලරේටර් එකටයි බ්‍රේක් එකකටයි පමණයි. ස්වයං ක්‍රියාකාරි වාහන තාක්ෂණයේ වැඩියෙන්ම දියුණු අංශය මේ වාහනයේ වටපිටාව ගැන දැනගන්න හැකියාව තියෙන සංවේදක ක්‍රමවේදයන්. ඉස්සරහින් හැප්පෙන අවදානමක් ඇත්නම් ඩ්‍රැයිවර්ට අමතක වුනත් ඉබේම බ්‍රේක් ක්‍රියාත්මක කරන්න යනාදී දේවල් තමයි මෙතෙක් ඉක්මණින් දියුණු වූයේ. ස්ටියරිං වීල් එක අල්ලන්නෙ නැතිව ගෑස් පෙඩල් එකයි බ්‍රේක් පෙඩල් එකයි විතරක් පාගමින් අධිවේගී මාර්ගවල යා හැකි බෙන්ස් වාහන ගිය අවුරුද්දේ වෙළඳපොලට ආව.

සංවේදක මත පදනම් කරගත් තාක්ෂණයට අමතරව අක්ෂාංශ, දේශාංශ හා මුහුදු මට්ටමෙන් කොතරම් ඉහළක ඉන්නවා ද යනාදී තොරතුරු GPS වලින් ලබාගෙන මාර්ග සිතියම් මත පදනම් වූ තාක්ෂණය දියුණු කරන්න දැනට ව්‍යවසායකයන් අතර සිද්ධ වෙන්නෙ දැවැන්ත තරඟයක්. බෝක්කු, පාලම්, ඇල දොළ ගංගා සහ රේල් පාරවල් තියන තැන් සහතිකයෙන්ම නොදැන, මාර්ග බාධක හා අලුත්වැඩියා සිද්ධ වෙන ස්ථානයන් නිශ්චිතවම නොදැන ස්වයං ක්‍රියාකාරි වාහන නියමිත ස්ථානයට යන්න නොහැකියාව ජයගන්නයි ඒ.

වෙන්කරන ලද තීරු හත අටක් තියන අධිවේගී මාර්ගයක වාහනේ තියෙන්නෙ කොයි තීරුවේ ද කියල දැන ගැනීමත් ස්වයං ක්‍රියාකාරීව යද්දී වැදගත්. අර සංවේදක මත පදනම් කරගත් තාක්ෂණයෙන් අධිවේගයේ තීරුවක් වෙන්කරන සායම් මැකිලා ගිහිල්ලා නම් දැනගන්න ක්‍රමයක් නැහැ. ඉතින් වාහනය නිශ්චිතවම ඇති ස්ථානය අඟලට/සෙන්ටිමීටරයට හරියන්න හඳුනාගත හැකි ක්‍රමවේදයන් දියුණුවට අවධානය දැන් යොමුවෙලා තියනව.

ස්වයං ක්‍රියාකාරී වාහනයක යද්දී රථගාල යන තැනෙන් කොතරම් ඈත වුනත් කමක් නැහැ. තමන් යන බිල්ඩිම ළඟ නවත්තලා තමන් බැහැල ගියාට පස්සෙ වාහනේට පුළුවන් ඈතක තියන රථගාලේ නැවතිලා ඉන්න. වැඩ ටික ඉවරවෙලා ආපහු යන්න ඕන වුනාම හැකියි වාහනේ දොර ළඟටම ගෙන්වා ගන්න.

ස්වයං ක්‍රියාකාරී වාහන තාක්ෂණය ගෙනෙන තවත් ප්‍රතිඵලයක් තමයි රිය අනතුරු අඩුවීම. එයින් රෝහල් ගාස්තු වගේම හැප්පිච්ච වාහන අලුත්වැඩියාවට යන මුදල් ද ඉතුරු කරගන්නට ලැබෙනව. අපොයි එතකොට කොහොම ද ඒ අය ජීවිකාව උපයාගන්නෙ කියලා කියන්න කළින් කැඩුණු ජනේලය සිහිකරන්න!

ලෝක ව්‍යවසායකයන් අතර ස්වයං ක්‍රියාකාරී වාහන හදන තරඟය නිසා ඇමෙරිකන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අද උපාධි අවසන් නොකර විශාල වැටුප් ලබමින් ඒ පර්යේෂණ සඳහා කොම්පැණිවල සේවයට යන්න පටන් ගෙන. වෙළඳපොල බලා ඉන්නෙ නැහැ සිසුන් උපාධිය අවසන් කරන තෙක්. ඒ දැනුම භාවිතය සඳහා යොදවන ආකාරය නිර්මාණයට ඉල්ලුම ඇත්තේ මේ දැන්.

පහුගිය දවසක ප්‍රවෘත්ති වැඩ සටහනක දී මහාචාර්යවරයෙක් තම අංශයේ ඉහළ උපාධිය හදාරමින් සිටි සිසුන් සියළු දෙනාම එවැනි රස්සා සඳහා උපාධිය අත්හැර ගිය එක ගැන සුසුම් හෙලුව. අයෙක් උපාධියක් අවසන් කළා ද නැද්ද යන්න අනාගතයේ ඇතිවන වෙළඳපොලක් වෙනුවෙන් අවදානම් ගන්න ව්‍යවසායකයන් බලා ඉන්නෙ නැහැ. දියුණු ආර්ථිකයක් සඳහා වූ වෙළඳපොල තරඟය දිනන්නේ හෙට ඉදිරිපත් කරන තාක්ෂණය අද දියුණු කරන්න සමත් වෙන්නායි.

2 Responses

Subscribe to comments with RSS.

  1. magenama said, on මැයි 10, 2016 at 3:16 පෙ.ව.

    උපාධි සහතිකය නොගත්තත් දැනුම හරියට ගත්තා නම් ඒ දැනුම හොඳ දේකට ක්‍රියාවේ යොදවනවා නම් ප්‍රශ්නයක් නෑනේ. ඒ මහැදුරු තුමාට බැරිද දන්නේ නෑ ඒ ව්‍යපෘතියට යම් සහයක් දෙන්න.

    • arunishapiro said, on මැයි 10, 2016 at 12:57 ප.ව.

      magenama,

      තමන් ගෙනෙන ප්‍රතිඵල කොතරම් අගයකින් යුතු දැයි තීරණය වෙළඳපොලක නොදන්නා මිනිසුන් වෙතට බාර දී නොව තමන් හා සමගාමී වූවන් අතර එකතුවෙන් තමන්ව රස්සාවෙන් නෙරපන්නට නොහැකි ක්‍රමවේදයන් හදාගන්නා මහැදුරුතුමන්ලා ප්‍රතිඵල මත රස්සාව රඳා පවතින, ගිම්හාන නිවාඩු නැතිව, වැඩ කරන පැය ගණන සීමාවක් නැති, සමාගම්වල වැඩට යන්න කැමති නැහැ. පඩි කොච්චර වැඩි වුණත්!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: