අරුණි ශපීරෝ‍ වෙතින්

අන්තර්ජාලය නිර්මාණය කළේ ආණ්ඩුවයි

Posted in Uncategorized by arunishapiro on මැයි 11, 2016

කැඩිච්ච ඔරලෝසුවකුත් දවසේ දෙවතාවක් නිවැරදියි කියල කියමනක් තියෙනව. නිදහස තමයි නවෝත්පාදනයට හේතු පාදක වෙන්නේ යැයි ලිබටේරියන් අය කියද්දී බොහෝවිට අහන්නට ලැබෙන්නක් තමයි ඇයි ආණ්ඩුවනෙ අන්තර්ජාලය හැදුවේ කියල. GPS තාක්ෂණය ගෙනාවේ කියල. ඉතින් වෙළඳපොලට මාර්ගය පෙන්වා දෙන්න ආණ්ඩුවේ ශක්තිමත් හස්තය අවශ්‍ය යැයි මේ අය තර්ක කරනව.

එහෙම කියන අය හරියට වටහා නොගත්තට, යම් නිරවද්‍යතාවයක් මෙතැන තියනව. උත්සාහයක් ගන්නම් මේ අවුල පැහැදිලි කරන්න. යුදහමුදාවේ සම්බන්ධීකරණ පද්ධතියක් හැටියට පිහිටුවා ගැනීම සඳහා සහ mainframe පරිගණක බලය හුවමාරුවට ARPANET යන ව්‍යපෘතියෙන් අන්තර්ජාලය හැදුනෙ තවත් රජයේ වැඩ සටහනක් හැටියට. ඒත් අන්තර්ජාලය මේ තරම් වානිජ්‍ය කටයුතු වලට යොදා ගැනෙන වගේම බලතණ්හාධිකයන්ගේ දූෂණ පිළිබඳව විනිවිදතාවය ලොව පුරා පතුරුවා හරින පද්ධතියක් වේ යැයි එහි සැලසුම්කරුවන් හිතුවේ නැහැ.

අදත් අන්තර්ජාලය පාලනය කරන්න පුළුවන් යැයි සිතන පාලකයන් සහ ඔවුන් සඳහා සැලසුම් හැදීමේ නියැළෙන අය ඉන්නෙ මේ වෙළඳපොල කියන මුළු මහත් ජනතාවක් අතර එහි ජීවිතයට ප්‍රයෝජනවත් වෙන ආකාරයන් ඕපපාතිකව පැතිර යාම ඔවුන්ට හිතාගන්නට බැරිකම නිසයි. අන්තර්ජාල තාක්ෂණයට තියෙන බාධක ප්‍රමාණයෙන් එය පැහැදිලි වෙනව.

අන්තර්ජාලයෙන් ගතහැකි ප්‍රයෝජන දියුණු කරන්නට වෙළඳපොලට එකතුවෙන අය නිසයි අන්තර්ජාලය තවත් ආකාර්යක්ෂම, අනවශ්‍ය තරම් විසල් ප්‍රාග්ධනයක් යට කරන ලද, සමාජයීය වශයෙන් කිසිත් වැඩක් නැති තවත් ආණ්ඩුවේ මෙහෙයුමක් නොවුනේ.

අන්තර්ජාලයේ උපත රජයේ ආයෝජනයෙන් සිද්ධ වූවක්. (රජය ආයෝජනය කරන්නේ බදු ලෙසින් ජනතාවගේ වෙහෙසේ ඵලය මංකොල්ලාගත්තු මුදල් බව මොහොතකට පැත්තකට දාමු.) අන්තර්ජාලයේ කතාව ඇරඹෙන්නේ 1957 දී. එය සෝවියට් දේශය ස්පුට්නික් යවන්නට සමත් වීම නිසා ඇමෙරිකන් රජය කරන ලද ප්‍රතිචාරයක්. (සෝවියට් රජය ඇෆගනිස්තානයට ඇතුල් වුනාට පස්සෙ ඇමෙරිකාවත් ඇෆගනිස්තානයේ සෝවියට් විරෝධීන්ට සල්ලි දීලා ත්‍රස්තවාදීන් නිර්මාණය කළා වගේ එකට එක කරන ප්‍රතිචාර රාශියක් ඉතිහාසයේ තියනව. හැමෝම දන්නෙ හැබැයි ඕනම සිද්ධියක දී ඇමෙරිකාව ඇතුල් වෙච්ච තැනේ ඉඳලා විතරයි. ඒ කතාවත් පැත්තකට දාමු දැනට!!) මිලිටරියට සහ සිවිල් ජනතාවට පරිගණක කාර්යක්ෂම ලෙසින් පාවිච්චියට ගතහැකි ලෙසකින් පර්යේෂණ ඇරඹුණා ARPA නමින් නිර්මාණය වූ ව්‍යාපෘතියෙන් තමයි අන්තර්ජාලය බිහිවෙන්නේ.

එහි ප්‍රධානියා හැටියට සිටි චාල්ස් හර්ස්ෆෙල්ඩ් කියන්නේ පරිගණක බලය ජාලයක් තුලින් බෙදාහරින්නටලු මුලින්ම මේ ව්‍යාපෘතියේ ඉලක්කය වුනේ. හමුදාවට සුරක්ෂිත සම්බන්ධීකරණ පාලන ක්‍රමවේදයක් හදාගන්න නෙමෙයිලු. ඒත් එයා එක්ක අද එකඟ වෙන්නෙ සුළු පිරිසක් පමණයි.

1960 ගණන් වල දී න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් සිදු වූ විටෙක ඊට හසුනොවන සම්බන්ධීකරණ ක්‍රමවේදයක් හමුදාව වෙනුවෙන් සකස් කිරීම ගැන රෑන්ඩ් කෝපරේශන් එක සොයා බලන්නට පටන් ගත්ත. පෝල් බරාන්, රෑන්ඩ් හි පර්යේෂකයෙක්. එයාගෙ පර්යේෂණවලට මුදල් ලැබුණේ ඇමෙරිකන් ගුවන් හමුදාවෙන්. මේ සඳහා විසඳුමක් එයා ගෙනෙන්නේ 1964 දී. එය රහසිගත වාර්තාවක් හැටියටයි ඉදිරිපත් කරන්නේ. මධ්‍යම පද්ධතියක් නොවන, විවිධාකාර “host” පරිගණක රාශියකින් හැදෙන ජාලයකින්, මධ්‍යම හුවමාරු කේන්ද්‍රයක් නැතිව (සෙන්ට්‍රල් ස්විච්බෝර්ඩ් නැතිව) ඒවයේ කොටස් කැඩිලා විනාශ වෙලා ගියත් වැඩ කරන ක්‍රමවේදයක් ඔහු හඳුන්වා දුන්න. ඒ ජාලයේ ඇති “nodes” කිහිපයක් එක හා සමාන අධිකාරයකින් යුතුයි. ඒවට හැකියාව සහ බලය තියනව දත්ත යවන්නට හා ලබාගන්නට.

අවශ්‍ය ගමනාන්තයට විවිධාකාර මාර්ග වලින් යන්නට ඒ කොටස්වලට වෙන් වී ගිය දත්ත වලට හැකියාව තියනව. ඉතින් ජාලයේ නැත්නම් නෙට්වර්ක් එකේ කිසිම කොටසක් තවත් කොටසක් මත සම්පූර්ණයෙන් රැඳී පවතින්නක් නොවෙනව. 1969 වෙද්දී විශ්ව විද්‍යාල හතරක මේ ARPA වලින් අරමුදල් ලැබී ARPANET නමින් හැඳින්වෙන මෙම ජාලය ස්ථාපිත කරනව.

ARPANET ජාලය මාර්ගයෙන් මේ “nodes” හතර අතර පර්යේෂකයන්ට තොරතුරු හුවමාරුවට හැකියාව පෑදෙනව. ඒ පද්ධති හතර දුරස්ථව ක්‍රියාත්මක කරත හැකියාව ඔවුනට තියෙනව.

1972 වෙද්දී මේ “host” පරිගණක සංඛ්‍යාව 37 ක් දක්වා වැඩි වෙනව. දත්ත යවන්නයි ලබාගන්නයි ඉතා පහසු නිසා වසර කිහිපයකින් මේ ARPANET පරිගණක බලය වැඩි වේගයකින් හුවමාරු කරගන්න ජාලයකට වඩා භාවිතයට ගැනෙන්නෙ ඉක්මණින් යන, මහජන මුදලින් පවත්වා ගැනෙන, විද්‍යුත් තැපැල් කන්තෝරුවක් හැටියටයි. ARPANET එකේ වැඩියෙන්ම හුවමාරු වෙන්නෙ දුරස්ථව සිද්ධ වෙන පරිගරණක කටයුතු නෙමෙයි. ප්‍රවෘත්ති හා පුද්ගලික පණිවිඩ!!!

ක්‍රමයෙන් ARPANET හි කොටස් රහසිගත බැවින් ඉවත් වෙද්දී, (න්‍යෂ්ටික අවි හැදීම පවා රහසිගත බැවින් තබාගත නොහැකි ලෝකයක අපි ඉන්න නිසා) ඒ හෙළිදරව් වෙච්ච තාක්ෂණය හා සම්බන්ධ වුන වානිජ්‍ය ජාලයන් බිහිවෙන්න පටන් ගන්නව. සම්බන්ධීකරණ ප්‍රමිතියක් භාවිතා කරන ඕනෑම ජාතියේ පරිගණකයට පුළුවන් වෙනව මේ ජාලය හරහා තොරතුරු යවන්නට හා ගෙන්වා ගන්නට. මේ සම්බන්ධීකරණ ප්‍රමිතිය හෙවත් ප්‍රොටොකොල් එක ස්ටැන්ෆර්ඩ් හා යුනිවසිටි ඔෆ් ලන්ඩන් වැනි පුද්ගලික විශ්ව විද්‍යාල වලට කොන්තාත්තු හැටියට ලබාදෙනව. එයට මුදල් ලැබෙන්නේ ද ඇමෙරිකන් රාජ්‍ය ආයතන හරහා. වැඩියෙන්ම බරපැණ උහුලන්නේ ආරක්ෂක දෙපාර්තමේන්තුව (මෙහෙ අමාත්‍යාංශ නැහැ. ඇමතිලා නැහැ. ලේකම්ලා ඉන්න දෙපාර්තුමේන්තු තමා තියෙන්නෙ).

1980 වෙද්දී ARPA සම්බන්ධීකරණ ප්‍රොටොකොල් තුලින් කෙරෙන පුද්ගලික භාවිතය මිලිටරියේ භාවිතයට වඩා දැඩි ලෙසින් වැඩි වී ගිහින්. මෙය දැන් හැඳින්වෙන්නේ TCP/IP නමින්.

1984 දී ජාතික විද්‍යා පදනම වගකීම බාරගන්නව අන්තර්ජාලයේ කොඳු නාරටිය හෙවත් ට්‍රන්ක් ලයින් නිර්මාණයට. 1989 දී ARPANET නිල වශයෙන් අභාවයට පත්වෙනව. ඒක කිසිවෙක්ට නිච්චි වෙන්නෙත් නැහැ. ජාතික විද්‍යා පදනමේ ඉහළ පරිගණක තාක්ෂණය සඳහා වූ කාර්යාලය 1984 සිට 1994 දක්වා අන්තර්ජාලයේ යටිතල පහසුකම් නිර්මාණයේ මුල්‍ය වගකීම දරනව. ඊට පස්සෙ තමයි කොඳු නාරටිය පුද්ගලීකරණය වෙන්නෙ.

ඉතින් ඔව්, අන්තර්ජාලයේ සැලසුම සහ දියත් කිරීම සහමුලින්ම පැවතුනේ රජයේ මුදල් මත. සැලසුම් කරන ලද්දවුන් ඉලක්ක කරගත්තේ ‘පැකට්-ස්විචින්’ ජාලයක් හදන්න. ඒ කියන්නේ ලිපිගොණු හුවමාරු කරගත හැකි, ඊමේල් යවත හැකි වූ සහ වෙබ් සැරිසැරිය හැකියාව සඳහා වූ තාක්ෂණයක් ගෙනෙන්නට. විඩියෝ, auto-feed හ වෙබ්මේල්, Google Earth, Google Spreadsheet, SAP හා PeopleSoft වැනි server-based යොදා ගැනිම් සඳහා වැඩි හැකියාවක් අරමුණු වුනේ නැහැ.

සෑම මහජන දේපලක්ම වගේ, ඒකීය පැකට් වලට මිලක් තීරණය වෙන යාන්ත්‍රණයක් නොතිබිච්ච නිසා ජාලයේ භාවිතය පමණට වැඩියෙන් සිද්ධ වූවා. ඒ කියන්නේ හැම පැකට් එකටම එක හා සමාන වැදගත්කමක් නියම වෙලා තිබුණ. ශල්‍ය වෛද්‍යවරයෙක් යවන හදිසි වෛද්‍ය පණිවිඩයක් හා සමාන ලෙසකින් වැදගත්කමක් පරිගණක සෙල්ලම් කරන දෙදෙනෙක් අතර හුවමාරු වෙන පණිවිඩයටත් ලැබෙනව. මහජන මුදලින් රැකෙද්දී පණිවිඩ යවන අයගේ ආන්තරික වැය බිංදුවක් නිසා ජාලය නිතරම වැඩියෙන් පාවිච්චි වෙනවා විතරක් නෙමෙයි නිතරම තදබදයෙන් යුතු තැනක් බවට පත්වෙනව. අර කාටවත් අයිති නැති සම්පතක් පාවිච්චියට ගැනීමේ දී ගැරට් හාඩින් කියපු ‘පොදු බවේ ශෝකාන්තයෙන්” ජාලය පෙළෙන්න පටන් ගන්නව.

අන්තර්ජාලය මුලින් නිර්මාණය කරපු අයට පාරිභෝගික කැමැත්තක් ඉෂ්ට කරන්න කිසිත් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔවුන් ඉල්ලුම හා සැපයුම අනුව වෙහෙසන ශ්‍රමයෙන් නිදහස් නිසා ඔවුන් හදන දෙය පමණයි පාරිභෝගිකයට ලැබෙන්නෙ.

අන්තර්ජාලය ‘පුද්ගලික’ අංශයේ තාක්ෂණයක් නෙමෙයි. ඕපපාතිකව බිහි වූවක් නෙමෙයි. ධනවාදයේ නවෝත්පාදන මහිමයේ ප්‍රතිඵලයක් නෙමයි. ඒත් අද දකින්නට ලැබෙන අන්තර්ජාලයේ ප්‍රයෝජනවත් යොදා ගැනීම් සියල්ලම පාහේ (ඒවා දුටුවේ නැති නිර්මාණකරුවන් නිසා ජාලය බිහි වූවත්) නිර්මාණය කරන ලද්දේ පුද්ගලික අංශයයි.

ඔරිජිනල් අන්තර්ජාලය සහ වෙබ් බ්‍රවුසරය අද නැහැ. ඒවා හැදුවේ රාජ්‍ය ආධාර වලින් රැකෙන ආයතනයක් සහ විශ්ව විද්‍යාලයක. අද අන්තර්ජාලය භාවිතයේ දී අපිට උදව් වෙන්නේ ඊතර්නෙට් ප්‍රොටොකොල් එක, මවුස් ක්‍රමය, සහ පාවිච්චියට ගත හැකි graphical user interface (GUI). මේවා නිර්මාණය වුනේ Xerox PARC සහ ඇපල් සමාගම් වලින්.

ඔව්, ඒවා නිමැවෙන්නෙ නැහැ අර මංකොල්ලා කාපු මහජන මුදල් රජය අන්තර්ජාලයක් හදන්න යෙදෙව්වෙ නැත්නම්. නමුත් අන්තර්ජාල තාක්ෂණයේ අරුම පුදුම බව ගැන කියද්දී එහි තාක්ෂණික අගය ගැන කතා කරනවා ද නැත්නම් ආර්ථික අගය ගැන කතා කරනවා ද? ARPANET එවක දී භාවිතයට ගැනුණු කිසිදු වානිජ්‍ය ජාලයකට වඩා සුපිරි තාක්ෂණයකින් යුතු වූවා යන්න ගැන වාදයක් නැහැ. ඒත් තාක්ෂණයකින් ඵලක් ඇත් ද? එහි අගයක් පාරිභෝගිකයන්ට නැත්නම්? ARPANET හැටියට එය මහජන මුදලින් විශ්ව විද්‍යාලයේ අයට පණිවිඩ හුවමාරු කරගත හැකි ජාලයක් පමණක් වූවා නම්?

විද්‍යාත්මක සුපිරි බව නොව වෙළඳපොල ආර්ථික සුපිරි බව තෝරා දෙයි. ආර්ථික සුපිරි බවක ඇති වැදගත්කම මහත් පිරිසකගේ මුදලින් සුළු පිරිසක් අතර පණිවිඩ හුවමාරු සිද්ධ වීම නොවේ. එයින් වැඩි මිනිස් ජීවිත සංඛ්‍යාවකට යහපතක් සිද්ධ වීමයි.

අනෙක් හැම සංසිද්ධියක දී මෙන්ම මෙහි දී ත් ලිබටේරියන් දැක්ම ඇති අය කැඩුණු ජනේලය අමතක කර දැමිය නොයුතුයි!!

අපි අන්තර්ජාලය දකිමු. එහි භාවිතයන් දකිමු. එයින් ගෙනන යහපත දකිමු. අන්තර්ජාලයේ සැරිසරා ඊමේල් කියවා සිංදුවක් විඩියෝවක් බාගත කරමු. එහෙත්, ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් රජය ලවා මංකොල්ලා කාගෙන ස්ටැන්ෆර්ඩ් ඉංජිනේරුවන්ට ලබාදුන් මුල්‍ය සම්පත් නිසා නිර්මාණය වෙන්නට තිබුණු තාක්ෂණයන් අපි කවදාවත් නොදකිමු.

ඊජිප්තුවේ පිරමීඩ, TVA වේල්ල සහ සැටර්න් V රොකට් යානය යනාදිය දකින්නට අපූරු දර්ශනයන් වූවත් ඒවා නිර්මාණය විය යුතු යැයි හෝ බදු මුදලින් නිර්මාණය විය යුතු යැයි ලිබටේරියන් දැක්මෙන් යුතු වූවෙක් පිළිගන්නේ නැත.

අන්තර්ජාල සැපයුම්කරුවන්ව ආණ්ඩු විසින් රෙගුලාසිකරණයට ලක් කරද්දී අන්තර්ජාලය හිඟ සම්පතක් හැටියට සලකා බැලීම මඟ හැරී ඇත. “ජාල සමාජවාදයක්” නිසා අන්තර්ජාලයේ වර්ධනය සහ පැතිර යාම මොට කර දමා ඇත. ආණ්ඩු පාලනයේ පවතින ඕනෑම සම්පතක් මිනිසා කැමැත්තෙන් කරන භාවිතය අනුව නොව දේශපාලන වැදගත්කම අනුව බෙදා හැරෙන්නකි.

ඔව් අන්තර්ජාලය ගෙනාවේ ආණ්ඩුවයි. එහි ප්‍රතිඵලයක් හැටියට අපිට අකාර්යක්ෂමතා, වැරදි විදියට බෙදීම, අපයෝජන, හා දේශපාලන පක්ෂපාතීත්ව අනුව වරප්‍රසාද ලැබෙන හැටි තවත් දුරට දකින්නට ලැබේ. අන්තර්ජාලයේ තව දුරටත් දැකිය හැකි ගැටළු වලට වගකිව යුත්තේ ඒ ආණ්ඩුවේ මැදිහත්වීමයි. අන්තර්ජාලය තුලින් ලැබෙන ප්‍රයෝජනවත්කමට ස්තූතිය ප්‍රදානය විය යුත්තේ වෙළඳපොලටයි.

Government Did Invent the Internet, But the Market Made It Glorious සටහන ඇසුරිනි.

2 Responses

Subscribe to comments with RSS.

  1. iresha dilhani said, on මැයි 11, 2016 at 8:02 පෙ.ව.

    thank you for the post!

  2. mppgunasinghe said, on මැයි 11, 2016 at 10:20 පෙ.ව.

    මේ විදිහේ විග්‍රහයන් සිංහලෙන් ලැබෙන්නෙ කලාතුරකින් ස්තුතියි අරුණි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: