අරුණි ශපීරෝ‍ වෙතින්

පිලිපීනයේ නව ජනාධිපති රොඩ්රිගෝ දුතෙර්තෙ

Posted in Uncategorized by arunishapiro on මැයි 15, 2016

පිලිපීනයට නව ජනාධිපතිවරයෙක් තේරී පත්විය. එෆ්. ඒ. හයෙක් විසින් ‘දාස භාවයට යන පාර‘ නම් අගනා කෘතියෙන් ‘වැඩියෙන්ම නුසුදුස්සා ඉහළටම එන්නේ කෙසේද’ යැයි පහදන පරිච්ඡේදයක් ලියා ඇත. එය කියැවූ අයෙකුට වර්තමාන ඇමෙරිකාවේ ජනාධිපතිවරණය වේවා නැත්නම් පිලිපීනයේ ජනාධිපතිවරයා හැටියට දුතෙර්තෙ තේරී පත්වීම පුදුමයට කාරණා නොවෙති. වාමාංශික දුතෙර්තෙ සහ දක්ෂිණාංශ යැයි සමහරු දකින ට්‍රම්ප් අතර සමානකම් බොහෝ වෙති. එහෙත් මේ සටහන පුද්ගලයා ගැන නොවේ. ඔහු පෙනී සිටින ප්‍රතිපත්ති ගැනයි.

ෆර්ඩිනැන්ඩ් මාකෝස් පළවා හරින්නට එකතු වූ ජන උද්ඝෝෂණයෙන් බිහිවෙන පක්ෂයකින් එන දුතෙර්තෙ වසර 22 ක කාලයක් නගරාධිපතිව සිට නීතිය තම අතට ගෙන නගරයේ අපරාධ මර්ධනයට සමත් වූ නිසා ජනතාව අතර හැඳින්වෙන්නේ ‘දඬුවම් දෙන්නා’ සහ ‘දුතෙර්තෙ හැරී’ ලෙසයි. ‘දඬුවම් දෙන්නා’ ඇමෙරිකන් මාවෙල් කොමික් සඟරාවකින් බිහි වූ චරිතයකි. වර්තමානයේ නරඹන්නට හැකි ‘ඩෙයා ඩෙවිල්’ ටෙලිනාට්‍ය තුලින් ඒ චරිතය යළි පණ ගැන්වී ඇත. ‘දුතෙර්තෙ හැරී’ යන්න ක්ලින්ට් ඊස්ට්වුඩ් විසින් හැරී කැලහැන් නමැති පොලිස් නිලධාරියාගේ චරිතය රඟපෑ ‘ඩර්ටි හැරී’ නම් චිත්‍රපටියෙන් උපුටා ගන්නා ලද්දකි. එහෙත් දුතෙර්තෙ ඇමෙරිකාව ප්‍රිය නොකරන්නෙකි.

පාප් පදවිය හොබවන අයෙක්ව (පෝප් ෆ්‍රැන්සිස්ව) තම ජනාධිපතිවරණ නාමපත්‍රය ලබාගනිද්දී පැවැත්වූ කතාවේ දී “පෝප්, ඔබ වේසිගේ පුතා, ගෙදර පලයන්. අපිව බලන්න තවත් මෙහෙ එන්න එපා,” යැයි කියූ ජනාධිපතිවරයෙක් ගැන කුමන හෝ රටකින් මීට කළින් ඔබ අසා ඇත් ද?!! විශේෂයෙන්ම රෝමානු කතෝලික ආගම අදහන අය 86% ක් සිටින රටක දී එසේ ඔහු කළ සඳහනට සමාව ඉල්ලන්නේ නැතැයි කිව්වත් ඔහුගේ ජනප්‍රියත්වයේ අඩුවක් නොවීය.

අල්ලස්, දූෂණ හා අපරාධ හමුවේ දී රටවැසියන් ඉල්ලන්නේ ඒවා මර්ධනයට හැකියාව තමනට ඇතැයි කියාගන්නා රුදුරු පුද්ගලයෙකි. රජය වෙතට කරන මහජනතාවගේ ඉල්ලීම වනුයේ රජය ලවා ඒ තත්වයන් කෙසේ හෝ මර්ධනය කරවා ගැනීමයි. ඒ අපරාධ දූෂණ ගහණ තත්වය රටක හෝ නගරයක හට ගැනුනේ කෙසේ ද කියා සොයා බැලීමට මහජනතාවට කිසිත් උවමනාවක් නැත.

අනියම් භාර්යාවන් සමඟ පවත්වන තම සම්බන්ධකම් ගැන ප්‍රසිද්ධියේ විහිළු කරන දුතෙර්තේ තමනට ඇති ස්ත්‍රී දූෂණ ෆැන්ටසියන් ගැන ද ප්‍රසිද්ධියේ සිහින මවන්නෙකි. තමන්ව ජනාධිපතිවරයා හැටියට තෝරා ගත්තොත් කල්ලි දාමරිකයන්ගේ මළ සිරුරු ලක්ෂකයක් මැනිලා බොක්කට දමන්නට කටයුතු කරන්නම් යන්න ඔහුගේ චන්ද පොරොන්දුවකි.

1986 දී මාකොස් පළවා හරින්නට පිහිටුවා ගත් පක්ෂයකින් 2016 වෙද්දී ‘තමන්ට උවමනා දැය කරගන්නට රජයේ බලය යොදා ගැනීමට’ තිබුණ මාකොස්ගේ හැකියාව ප්‍රසිද්ධියේ අගයන අයෙක්ව ජනාධිපතිවරයා වීම හයෙක්ගේ ‘දාස භාවයට යන පාර’ කියවා ඇති අයට පුදුමයක් නොවේ.

පිලිපීනය සිය ආර්ථික නංවාලන්නට ගත් උත්සාහයන් අතර ‘හෙලිකොප්ටර් මුදල්‘ ක්‍රමයක් ද භාවිතයට ගන්නා ලදි. දුප්පත් යැයි රජය තීරණය කළ මිලියන 4.4 ක වැසියන්ට පේසෝ 15,000 ක් ($319) ක් වසරක දී බෙදා හරින ලදි. රටේ සහල් මිල ඉහළ ගියේ ස්වයං පෝෂිත වෙන්නට රජය ගෙන ගිය වැඩසටහන පමණක් නිසාම නොවේ.

2012 දී මත්පැන් සහ දුම්කොළ සඳහා ‘පව් බද්දක්’ පැනවිණ. පහළ බාලාංශයේ සිටම වයස 18 දක්වා පිලිපීන දරුවන්ව රජය බෙදන මූලික අධ්‍යාපනයෙන් පෝෂණය කරන සංශෝධන ගෙනෙන ලදි. යටිතල පහසුකම් සඳහා GDP න් 5% ක් වැය කෙරිණ.

2012 සිට මේ වෑයම් ගෙන ගිය ද 2015 වෙද්දී රටේ ජාතික දරීද්‍රතා මට්ටම 2009 තිබුණ තැනින් ඉහළට ගිහින් නැත. දුතාර්තෙ ආර්ථිකය පිළිබඳ තීරණ මෙතෙක් කරගෙන ගිය ලෙසින්ම කරගෙන යන්නට රටේ අර්ථ ශාස්ත්‍රඥයන්ට ඉඩ දෙන්නේ යැයි කියයි.

දුරකතන හා පරිගණක මඟින් සපයන සේවා අංශයේ රැකියාවන්ට ඉඩ ලැබීම නිසා පිටරටට ඇදුණු පිලිපීන ජනතාවක් අද සිය රටේම සේවය කරන්නට සමත් වී සිටිති. එහෙත් එහි රාජ්‍ය නිලධාරිවාදයෙන් ව්‍යාපාර කරගෙන යෑමේ ඇති පහසුවට ඇති බාධක අඩු වී නැත. නමුත් පිලිපීන වැසියන් රට සිංගප්පූරුවක් කරන්නම් යැයි පොරොන්දු වෙන දේශපාලනඥයන් ප්‍රිය කරති.

ෆර්ඩිනැන්ඩ් මාකොස් පාලන සමයේ දී පිලිපීන ජනතාව සතු තුවක්කු අයිතියට තහනම් වැටිණ. ඒ ඉස්ලාමික බෙදුම්වාදීන් සහ කොමියුනිස්ට් විප්ලවකාරීන්ව මර්ධනය කරමින් නව සමාජයක් බිහි කරන්නටයි. එතැන් පටන් තුවක්කු අයිතිය පිලිපීනයේ එන්න එන්නම කප්පාදුවට ලක් විය. මුස්ලිම් බෙදුම්වාදීන් සමඟ පැවතෙන කැරලි කෝලාහල තවමත් මර්ධනය කරගන්නට ඔවුනට හැකියාවක් ලැබී නැත.

රටක රාජ්‍ය මැදිහත්වීම් වැඩිවෙද්දී, එනම් පුරවැසි ජීවිතයේ සෑම අංගයක් පාලනය සඳහා රජයේ නීතියක් හා බද්දක් වැටෙද්දී රාජ්‍ය නිලධාරීන්ට වැඩි වැඩියෙන් අල්ලස් දූෂණ ගන්නට ඉඩකඩ සැලසේ. රටේ මැර කල්ලි හටගන්නට සහ ඒවා පවත්වාගෙන යන්නට ද වාතාවරණය සැකසේ. රටක් දීර්ඝ කාලීනව පැවතෙන ආර්ථික සමෘද්ධියක් වෙතට හෝ සාමකාමී යහපත් සමාජයීය වාතාරවණයක් වෙතට ගමන් නොකරයි.

නගරයක් තුල වැරදි වැඩ කරන අයව මරා දමන මෙහෙයුමක් දියත් වෙන්නේ ද, අපරාධ කල්ලි මැරවරයන් වෙනතකට පැන ගනිති. රටක අපරාධ කරන සියල්ලන්වම මරා මැනිලා බොක්කට දමන්නට බැරි බව දුතාර්තෙ වටහා නොගන්නේ ද වැඩිකල් නොගිහින් දුතාර්තෙට බැරි වූ නිසා වෙන දරුණු පාලකයෙක්ව ජනතාව විසින් තෝරා පත් කරගනු ඇත. පහළ බාලාංශයේ සිට 18 තෙක් රජය බෙදන මූලික අධ්‍යාපානයෙන් පෝෂණය වෙන ජනතාවක් ඉතින් වෙන ආකාරයකට හිතන්නට දන්නේ කෙසේද?!!

2 Responses

Subscribe to comments with RSS.

  1. iresha dilhani said, on මැයි 15, 2016 at 9:06 ප.ව.

    thankyou for the post!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: