අරුණි ශපීරෝ‍ වෙතින්

සේවය අවශ්‍ය අයටම එය නොලැබෙන හැටි

Posted in Uncategorized by arunishapiro on මැයි 21, 2016

කළු ඇමෙරිකානුවන් මරන සුදු පොලිස් නිලධාරීන් ගැන මෑතක පැවති උද්ඝෝෂණ ඇමෙරිකාව පුරාත්, සෙසු ලෝකය පුරාත් පැතිර යද්දී කළු ඇමෙරිකානුවන් අතර කෙරෙන මරා ගැනීම් ගැන තොරතුරු දැනගන්නට නම් විශේෂයෙන් සොයා යා යුතු වේ.

පොලීසියේ සියල්ලන්ම ඉල්ලා අස්විය යුතු යැයි කියමින් මහා ජනකායක් 2015 මාර්තු 11 වැනිදා ෆර්ගසන් නගරයේ උද්ඝෝෂණ පවත්වද්දී ඊට සැතපුම් කිහිපයකට නුදුරින් සිද්ධ වූ වෙඩි තැබීමක දී අවුරුදු හයක මාකස් ජොන්සන් නැමති පිරිමි ළමයා මිය ගියේය. ඩ්‍රයිව් බයි ෂූටින් නොහොත් වාහනයකින් යන ගමන් වෙඩි තබා යද්දී ඒ වෙඩි පහරකට ලක් වී ඒ දරුවා මිය ගියාට ඒ ගැන උද්ඝෝෂණ කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීය. කළු ඇමෙරිකන් වැසියන්ගේ ජන නායකයෙක් සේ පෙනී සිටින ඇල් ශාප්ටන් ඒ ගැන ෆෙඩරල් ගවේෂණයක් සිද්ධ විය යුතු යැයි ඉල්ලා සිටියේ නැත. දරුවාගේ අසල්වැසියන් හැරෙන්නට ඔහුට වූ විපැත්තිය දන්නේ කිහිප දෙනෙක් පමණකි.

2015 වසරේ බල්ටිමෝර් නගරයේ දරුවන් 10 ක් මරණ ලදි. සැප්තැම්බර් මාසයේ දී වයස අවුරුදු පහ සහ ඊට අඩු දරුවන් තිදෙනෙක් ක්ලීව්ලන්ඩ් හි දී මරණ ලදි. තාත්තාට ඉලක්ක කරන ලද බුලට් එකකින් අවුරුදු හතක පිරිමි ළමයෙක් නිදහස් දිනය සමරන සති අන්තයේ දී චිකාගෝ නගරයේ දී මිය ගියේය. නොවැම්බරයේ දී චිකාගෝ නගරයේම පාර අස්සකට ගෙන්වා ගෙන පියාගෙන් පළිගන්නට මැරවර කල්ලියක් අවුරුදු නමයක දරුවෙක් මරා දැමූහ. මේ පියා පොලීසියට කටඋත්තර දෙන්නට ගියේ නැත. අගෝස්තු මාසයේ දී ෆර්ගසන් නගරයේම, අම්මාගේ ඇඳේ වාඩි වී ගෙදර වැඩ කරමින් සිටි දැරියක් මැරවර කල්ලි අතර වෙඩි හුවමාරුවක දී නිවසට ඇතුල් වූ බුලට් එකකින් මරුමුවට පත්වූවාය.

කළු අයෙකුට සුදු පොලීසියෙන් කරන ලද වෙඩි තැබීමක දී පාරට බහින උද්ඝෝෂණකරුවන් මෙවැනි මිනීමැරුම් වල දී එළියට බහින්නේ නැත. මෙවැනි ඔවුන්ම එකිනෙකා හා කරන මරාගැනීම් සාමාන්‍යයක් සේ දකින්නට කළු ඇමෙරිකන් වැසියන්ව හුරු කරවා ඇත්තේ ඔවුන්ගේම නායකයන් විසිනි.

කෙසේ වෙතත් මෙවැනි අපරාධ මට්ටම් පසුගිය වසර 20 දී පහළ බැස ඇත. 1990 දී නිව් යෝර්ක් නගරයේ ඝාතන 2,245 ක් සිද්ධ විණ. 2014 වෙද්දී සිද්ධ වී ඇත්තේ ඝාතන 333 කි. එනම් 85% ක පහළ යාමකි. නිව් යෝර්ක් හි ඉතා වේගයෙන් පහළ යන අපරාධ මට්ටමක් දකින්නට ලැබේ. එසේම ජාතික වශයෙන් ද අපරාධ මට්ටම් ඵෛතිහාසික ලෙසින් පහළ බැස ඇත. එනම් 1990 ගණන් මුල සලකද්දී අද අපරාධ 40% කින් අඩුයි.

මේ අඩුවීමෙන් වැඩියෙන්ම යහපත් තත්වයන් භුක්ති විඳින්නේ සුදු නොවන රටවැසියන් විසිනි. නිව් යෝර්ක් නගරයේ 1990 ගණන් වල අපරාධ මට්ටම් අදත් එසේම තිබුණා නම් එහි සුදු නොවූ පිරිමි ජනගහණයෙන් දහ දාහක් පමණ අද ජීවතුන් අතර නොසිටිනු ඇත.

මේ අපරාධ මට්ටම් පහළ යෑමට හේතු වූයේ නිව් යෝර්ක් නගරයෙන් පටන් ගෙන අනතුරුව රටේ සෙසු පළාත්වලට ද පැතිර ගිය පොලිස් අධීක්ෂණ පිළිවෙතයි.

අපරාධ ගැන වාර්තා කරනවා පමණක් වෙනුවට, අපරාධ සිද්ධ වීම වැළැක්විය හැකි යැයි 1994 දී NYPD ලොක්කන් සිතූහ. මුලින්ම දිනපතා ද අනතුරුව පැයෙන් පැයට ද, අපරාධ දත්ත එකතු කර ඔවුන් ඒවා විශ්ලේෂණය කළහ. අපරාධ පැතිර යන ආකාරය ගැන විමසිල්ලෙන් සිට ඒවා පැතිරෙන්නට පෙර නවතා දැමිය හැකි ක්‍රම විමසූහ. තමන්ගේ අධීක්ෂණය යටතේ පවතින පළාත්හි අපරාධ වලට ඒ පැතිවල අණදෙන නිලධාරීන් වගකිව යුත්තන් බවට පත් කළහ. කොම්ප්ස්ටැට් (Compstat) නමින් සතිපතා වගකිව යුත්තන්ව කැඳවන රැස්වීම් පැවැත්විණ. තම පළාතේ සියළු අපරාධ රැල්ලක් ගැනම සම්පූර්ණයෙන් නොදන්නේ නම් හෝ එවැන්නක් නවතන්නට විධික්‍රමයක් අණ දෙන නිලධාරියා නොදන්නේ නම් අනතුරුට ලක්වූයේ ඔහුගේ රස්සාවයි.

වැඩියෙන්ම අපරාධ සිද්ධ වෙන පෙදෙස් හි, එනම් සුදු නොවන ජනතාව වාසය කරන පැතිවල සිද්ධ වෙන අපරාධ පොලීසිය විසින් නොසලකා හරිනවා යන්න එතෙක් පොලීසියට එල්ල වු දෝෂාරෝපණයකි. කොම්ප්ස්ටැට් ක්‍රමය වැඩියෙන්ම අපරාධ වෙන පෙදෙස් වලට පොලිස් ඇස එල්ල කරන ලදි. වෙනදා මත්ද්‍රව්‍ය බහුලව පැවති පෙදෙස් අද ව්‍යාපාරිකයන්ට කඩ ඇරිය හැකි පැති බවට හැරී ඇත. ඒ පැතිවල සිටින වැඩිහිටි පුරවැසියනට අද තම විශ්‍රාම මුදල් ලබාගන්නට තැපැල් කාර්යාලයට යා හැකියි. දරුවන්ට පාරවල් වල බයිසිකල් පදින්නට හැකියි.

නමුත් මේ පසුගිය දශක දෙකේ ලද ජයග්‍රහණයට, එනම් අපරාධ රැල්ල අඩු කරන්නට හැකි වූ ආකාරයට දැන් අවදානමක් එල්ල වෙන්නේ බොරු පතුරුවා හරින කළු ජීවිත වැදගත් ව්‍යාපාරයෙනි.

නාගරික පෙදෙස්වල පොලීසිය සැරිසරද්දී මඟියෙක් නවතා ප්‍රශ්න කරද්දී හෝ සැක කටයුතු පුද්ගලයෙක් අත් අඩංගුවට ගනිද්දී ඔවුනට බැන වදින, අපහාස කරන ජනතාව කෙමෙන් වැඩිවෙන්නට පටන් ගෙන ඇත. සමහර අවස්ථාවල දී පොලීසියට බෝතල් හා ගල් වලින් පහර වැදේ. ගැටුමේ මුල සිට නොව ඔවුන් බලය යොදා ගන්නා තැනේ පටන් පමණක් සිද්ධිය වාර්තා වී, ජාතිවාදී පොලිස් නිලධාරියෙක් හැටියට සමාජ වෙබ් අඩවි තුලින් තමන් ප්‍රසිද්ධ වේ යැයි බිය පමණක් නොව, ඒ නිසා රස්සාව පවා අහිමි වේ යැයි ද ඔවුන් නොසන්සුන් වෙති.

පොලීසිය විසින් කරන තාඩන පීඩන දුරකතන වලින් පටිගත කරගෙන සියල්ලන්ටම බෙදාහැරීම නොකළ යුතු යැයි වරදවා වටහා නොගන්න. එහෙත් සිද්ධියේ මුලසිට වාර්තා කරගන්නට නොහැකි වූ අවස්ථාවක, මැරවරයා කොතරම් දරුණු ලෙසකින් හැසුරුණා ද යන්න ජනතාව නොදැකීම යනු නීතිය රැකීම සඳහා ජීවිතය පරදුවට තබන්නෙකුට කරන දැඩි අසාධාරණයක් බව සැලකිල්ලට ගත යුත්තකි.

පසුගිය දශක දෙකේ අපරාධ මට්ටම් අඩු වී ගිය හේතුවක් වූයේ පොලිස් නිලධාරීන් බහුල ලෙසින් අපරාධ සිද්ධ වෙන පැතිවල සැරිසැරීමයි. පොලීසියට ජනතාවගෙන් අවඥාව එල්ල වෙන ආකාර වලින් කළු ජීවිත වැදගත් යැයි කියන අය කටයුතු කරද්දී ඉතින් ඔවුන්ගේ අධීක්ෂණය අවශ්‍යම පැතිවලට ඔවුන්ගේ අධීක්ෂණය නැති වී යයි.

පොලීසියේ නිලධාරීන් ද මනුෂ්‍යයෝ වෙති. වැඩි අපරාධ ඇති පෙදෙස්වල අයවළුන් නවතා ප්‍රශ්න කිරීමේ දී ඔවුන්ව ජාතීවාදීන් යැයි හංවඩු ගැහෙද්දී ඔවුන් එසේ කිරීම අඩු කරති. බලවත් දේශපාලන කණ්ඩායමක් පොලිස් අධීක්ෂණයක නීත්‍යානුකූලත්වයක් නැතැයි කියද්දී, එවැනි අධීක්ෂණ නැති වී යයි.

නමුත් පොලීසියේ මැදිහත්වීම් අවශ්‍ය නැතැයි කියා අහන්නට ලැබෙන්නේ කළු සමාජයේ සියළු පුරවැසියන් වෙතින් නොවේ. ඔවුන්ගේ සංවිධාන තුලින් සහ නායකයන් වෙතිනි.

මෙවැනි තත්වයන් ඇමෙරිකාව මීට කළින් අත්දැක ඇත. 60 ගණන් හා 70 ගණන් වල දී රැඩිකල් කියාගත් කළු සුදු අයවළුන් පොලීසියට එරෙහි ද්වේෂය පැතිරවීම සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි යෙදුනහ. අද ඇති වෙනස, රටේ ජනාධිපති වැනි ඉහළ නායකයන්, ඔහුගේ ඇටර්නි ජනරාල්වරයා, සමහර විශ්ව විද්‍යාල සභාපතිවරු, සමිති ප්‍රධානීන් සහ පුවත්පත් මාධ්‍යය ද මේ පොලිස්-විරෝධී ජනමතය පැතිරවීමේ යෙදී සිටීමයි.

දත්ත විසින් සත්‍යයෙන් පෙන්වන්නේ අවි නොගත් කළු වැසියන් පොලීසිය නිසා අනතුරට ලක්වෙනවාට වඩා කළු වැසියන් නිසා පොලීසිය අනතුරට ලක්වන බවයි. මේ වසේ මුල් මාස තුනේ වෙඩි තබාගැනීම් වල දී පොලිස් නිලධාරීන් මරුමුවට පත් සංඛ්‍යාව දෙගුණයකට වඩා ඉහළ ගිහින් ඇත. පසුගිය දශකයේ දී අවි නොගත් කළු වැසියෙකු පොලිස් නිලධාරියෙක් වෙතින් මරුමුවට පත්වෙනවාට වඩා 18.5 ගුණයකින් පොලිස් නිලධාරියෙක් කළු වැසියෙක් වෙතින් මරුමුවට පත්වෙන හැකියාව ඉහළ ගිහින් ඇත.

එසේම කළු ජීවිත වැදගත් කියන ව්‍යාපාරය පෙන්වන්නේ සුදු පොලිස් නිලධාරීන් කළු අයව මරනවා කියායි. නමුත් 2015 මාර්තුවේ ෆිලඩෙල්ෆියාවේ (කළු වැසියන් වැඩියෙන් සිටින නගරයක්) පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තාවකින් ඔප්පු වෙන්නේ කළු හෝ හිස්පැනික් පොලිස් නිලධාරීන් අතින් කළු වැසියන් මරුමුවට පත්වීමේ අවදානම වැඩි බවයි. ඒ අවිගත් සිවිල් වැසියෙක් යනු තමනට තර්ජනයක් ගෙන එන්නෙක් යැයි වැරදියට දැකීම ඔවුන් අතර වැඩියෙන් පවතින නිසයි.

The Danger of the “Black Lives Matter” Movement ඇසුරිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: