අරුණි ශපීරෝ‍ වෙතින්

කළු ඇමෙරිකන් සිවිල් අයිතීන් කප්පාදුව

Posted in Uncategorized by arunishapiro on මැයි 23, 2016

වෘත්තීමය, තාක්ෂණික සහ වෙනත් එවැනි තනතුරු දරන ලද කළු ඇමෙරිකන් වැසියන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙසින් ඉහළ යෑම සිවිල් පනතක් නොතිබූ 1940 ගණන් වල දී පැහැදිලිව දකින්නට ලැබෙන්නකි. 1954 සිට 1964 දක්වා දශකයේ දී ඒ ඉහළ රස්සා යැයි සැලකෙන තනතුරු හොබවන ලද සංඛ්‍යාව දෙගුණයකට වඩා වැඩි වී ඇතැයි පෙන්වා දෙන්නේ තෝමස් සවෙල් නම් අර්ථ ශාස්ත්‍රඥයා සිය Civil Rights: Rhetoric or Reality? නම් පොතෙනි. තෝමස් සවෙල් කළු ඇමෙරිකන් අයෙකි.

1954 මැයි මාසයේ දී ජනවාර්ගික විසංගනයට එරෙහිව ඇමෙරිකන් සුපිරි උසාවිය දුන් තීන්දුව රටේ ව්‍යවස්ථාව කොතරම් කප්පාදුවට ලක් වී තිබුණත් රාජ්‍ය බලය බෙදී තිබීම තුලින් සියළු රටවැසියන්ගේ ආරක්ෂාව යම් දුරකට හෝ සැපයෙන බව ඔප්පු කරන ලද්දකි. බ්‍රවුන් එරෙහි අධ්‍යාපන මණ්ඩලය නමින් හැඳින්වෙන එම තීන්දුව ඇමෙරිකන් ව්‍යවස්ථාවේ 14 වැනි ප්‍රතිසංශෝධනය වූ සියළු වැසියන්ට එකසේ ආරක්ෂාව සැපයීම ආරක්ෂා කරන ලද්දේය.

සිවිල් අයිතීන් ව්‍යාපාරය ඇරඹෙනුයේ කළු ඇමෙරිකන් අය වෙතිනි. එහෙත් එහි මූලික දැක්ම වැරදි වූවකි. අනතුරුව 80 ගණන්වල දී ඇතිවන affirmative action නොහොත් ආසියානු, හිස්පැනික් හා ස්වදේශී ඇමෙරිකන් අයට වාසි ආකාරයෙන් වෙනස් විදියකට සැලකීම එහි ප්‍රතිඵලයකි. එයින් ඇමෙරිකන් ජනගහණයෙන් 70% කට පමණ වෙනස් ආකාරයකින් සැලකෙන වැඩ සටහන් දියත් විය. ඒවායේ ආර්ථික අවාසි පැහැදිලිව පෙනෙන්නට පටන් ගනිද්දී 90 ගණන් මැද දී පටන් ඒ පිළිවෙත් ඉබේම අහෝසි වී යන ලදි. නමුත් සිවිල් අයිතීන් සම්මතයට මූලික වූ ඒ වැරදි දැක්ම දුප්පත් රටවලට, වර්ගවාදී ප්‍රතිපත්ති ඇති රටවලට සහ දකුණු අප්‍රිකාව දක්වා පැතිර යන ලදි.

සිවිල් අයිතීන් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරය පටන් ගැනෙනුයේ වහල් ක්‍රමය අහෝසි වුවත්, සමහර පැතිවල පනවාගත් ජිම් ක්‍රෝ නීති සහ තව දුරටත් දකින්නට ලැබුණු දැඩි වර්ගවාදය යනාදී කළු ඇමෙරිකන් අයටම මුහුණ පාන්නට සිද්ධ වූ කුරිරු අත්දැකීම් තුලිනි. ඔවුන් අත්විඳි ඒ විශේෂිත අත්දැකීම් මතින් සියල්ලන්ම සඳහා ගෙනෙන ආචාර ධාර්මික වූ ද, හේතුඵලත්වයක් දක්වන්නා වූ ද, සාමාන්‍ය මූලධර්ම පිහිටුවා ගැනිණ. ලෝකයේ සිවිල් අයිතීන්ගේ දැක්ම ගැන සිද්ධාන්ත ගොඩනැඟෙන්නට පටන් ගන්නේ එතැනින්.

කළු පාසැල් වලින් වෙන්කර තිබුණු සුදු පාසැල් වලට වැඩියෙන් අරමුදල්, ගොඩනැඟිලි පහසුකම්, උගත් ගුරුවරු යනාදිය ලැබුණ බව එවක දත්ත වලින් පැහැදිලිවම දක්වත හැකියි. ඒ නිසාම කළු පාසැල් වලින් එළියට එන දරුවන් සුදු දරුවන්ට වඩා අඩු විභාග ලකුණු වලින් යුතු වූ බවත් පැහැදිලිව පෙනී යයි. නමුත් ඇමෙරිකන් සමාජයේ වෙනත් කොට්ඨාශ වලට, යුදෙව්, අයිරිශ්, ඉතාලි, ආසියානු, හිස්පැනික් හා ස්වදේශී යනාදීන්ට මේ සංඛ්‍යාන අදාළ වේදැයි යන්න වෙනම කාරණාවකි. එසේම කළු පාසැල් සියල්ලම සමස්තයක් ලෙසින් නොගෙන ඒවා අතර වැඩියෙන් ඉහළ ප්‍රමිති වලින් යුතු වූ හා අඩු ප්‍රමිති වලින් යුතු ඒවා විමර්ශනයට ලක්වීම ද මඟ හැරී යයි.

සිවිල් අයිතීන් දැක්මේ දෙවැනි ප්‍රස්තුතය වූයේ එතෙක් කාලයක් වෙනස් විදියකට සැලකීමේ ප්‍රතිපත්ති නිසා කළු ඇමෙරිකන් ජනතාව තුල තමන් පහත් යැයි මානසිකත්වයක් ගොඩනැඟී තිබීමයි. ඉතින් ඔවුන්ට තවත් කාලාන්තරයක් තිස්සේ යළිත් වෙනස් විදියකට සැලකීමෙන් ඔවුන් ඒ පහත් යැයි අල්ලාගත් මානසිකත්වයෙන් ගැලවෙන්නේ කෙසේදැයි කියා විමර්ශනය කිරීමත් මඟ හැරී යයි.

සිවිල් අයිතීන් දැක්මේ තෙවැනි ප්‍රස්තුතය වූයේ මේ ආදායම් හා සමාජයීය විෂමතාවයන් තුරු කරන්නට දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් පුළුවනැයි මතයක් ගොඩනැඟීමයි. සිවිල් අයිතීන් පනත සම්මතයත් සමඟින් තෝරා පත් කරගන්නා ලද කළු ඇමෙරිකන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යන ලදි. මෙය හරියට වර්තමානයේ කාන්තා සම අයිතීන් ගැන උදම් අනන නෝර්ඩික් රටවල පුද්ගලික අංශයේ විධායක තනතුරුවල කාන්තාවන් අල්පයක් නියෝජනය වෙද්දී මහජන අංශයේ තෝරාපත් කරන තනතුරු බහුතරය කාන්තාවන් වෙතින් නියෝජනය වන ආකාරය දැකිය හැකිවීම වැනියි.

The State Against Blacks පොත ලියූ වෝල්ටර් විලියම්ස් ද කළු ඇමෙරිකන් අයෙකි. එහි “අවම පඩිය, උපරිම මෝඩකම” නම් අනගි තේමාවෙන් වූ පරිච්ඡේදය ජීවිතය ජයගන්නට උදව් අවශ්‍යම වූ කොන් වූ පිරිස්වලට එය නොලැබෙන හැටි පැහැදිලි කරයි. කළු තරුණ අයට වඩා සුදු අය වැඩියෙන් රස්සාවන් සඳහා සුදුසු වන්නේ ඔවුන් හැදෙන වැඩෙන පරිසරයේ කලට වේලාවට වැඩට පැමිණීම අගයක් ඇති නිසයි. ඔවුන් වැඩි කාලයක් පාසැල් අධ්‍යාපනයේ නියැළීමත්, සුදු ළමුන් වැඩියෙන් ඉන්නා පාසැල් හි ඉගැන්වීමට උගත් ගුරුවරු වැඩියෙන් කැමැත්තක් දැක්වීම යනාදී හේතු නිසයි. ගෙවල් වලින් අධීක්ෂණයක් නොමැති වීමෙන් කළු දරුවන් පාසැල් පැනීම වැඩියෙන් දකින්නට ලැබේ. අවම පඩියට වඩා වැඩියෙන් උපයන්නට පහසු හැකියාව ඇතැයි දකින නිසා ඔවුන් මත්ද්‍රව්‍ය වෙළඳාමට බහිති.

එසේම එන්න එන්නම වැඩිවෙමින් පවතින ව්‍යාපාර ලැයිසන්, රෙගුලාසි නිසා ව්‍යාපාරයක් ආරම්භයට ද ඔවුන්ට අපහසු වේ. උදාහරණයක් හැටියට කොණ්ඩා කැපීමටත් වෘත්තීමය ලැයිසන් ගන්නට සිද්ධ වීම පෙන්විය හැකියි. ඒ සඳහා පාඨමාලාවක් හදාරන්නටත්, පුහුණුවක් ලබන්නටත්, ව්‍යාපාරික ස්ථානයේ රජය විසින් පනවන ලද ප්‍රමිති රකින්නට ප්‍රාග්ධනයක් ද අවශ්‍ය වෙද්දී මෙතෙක් ඕනෑම කෙනෙකුට තරඟයේ යෙදීමට හැකි වූ නිදහස් වෙළඳපොලෙන් ද කළු අයව කැපී යයි.

සිවිල් අයිතීන්ගේ පනත නිසා කළු ඇමෙරිකන් අයව අද ෆෙඩරල් ආණ්ඩුවේ වහලුන් කර ඇත්තේ කෙසේදැයි කියා පැහැදිලි කරන කළු ඇමෙරිකන් උගතුන් රටේ නොමඳව සිටිති. එහෙත් ඔවුන් ගැන ප්‍රසිද්ධ මාධ්‍ය වලින් අහන්නට ලැබෙන්නේ නැත. ඔවුන් ගැන නොමිලේ බෙදන අධ්‍යාපන ආයතන වලින් අහන්නට ලැබෙන්නේ නැත. දේශපාලනයේ සිටින කළු ඇමෙරිකන් අය ගැන රට්ටු පමණක් නොව සෙසු ලෝකයා ද දනිති. කළු ජීවිත යහපත් කරගන්නට ආණ්ඩුවේ රැකවරණය සපයන බව කියන ඔවුන්ව වීරයන් සේ දකිති. සිය උවමනාවන් සඳහා තව දුරටත් ආණ්ඩුවෙන්ම හිඟන්නට කළු ජනතාව හුරු පුරුදු කරන බව දකින්නේ ඉතාමත් ස්වල්පයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: