අරුණි ශපීරෝ‍ වෙතින්

ස්වභාවික ව්‍යසනයක දී ධනය ඉපැයීම දුෂ්ටයි ද?

Posted in Uncategorized by arunishapiro on මැයි 28, 2016

ස්වභාවික ව්‍යවසනයක දී දානමානයේ යෙදීම මිසක් ධනය ඉපැයීමට හැකි අවස්ථාවක දී එහි නියැළීම නොමනා හැදියාවක් හැටියට දකින්න හුරුවෙලා ඉන්නෙ ලංකාවේ විතරක් නෙමෙයි. ලොව බොහෝ රටවල මිනිසුන් එහෙමයි.

මේක නොමනා හැදියාවක් ද?

ස්වභාවික ව්‍යසනයක දී බඩුමිල ඉහළ යෑම, දින කිහිපයක් නිවහනක හිර වී සිටි අයව බෝට්ටුවකින් ගංවතුර නොමැති තැනකට ගිහින් දාන්නට මුදල් අය කිරීම වැනි දේවල් අසාධාරණ හා දුෂ්ට ලෙසින් දකින්නට මිනිසා හුරු වී ඉන්නේ ඇයි?

දානමාන කරන්නට නම් කවුරු හෝ ඒ දානමාන කරන දේවල් නිර්මාණය කර තිබෙන්නට අවශ්‍යයයි. විශේෂයෙන්ම පරිත්‍යාගය බලාපොරොත්තු වෙන්නට කළින් නිර්මාණය සිද්ධ වී තිබිය යුතු බව බොහෝ දෙනෙක් කල්පනා කරන්නෙ නැහැ.

ව්‍යසනයට කළින් වෙළඳපොලට නිර්මාණය වී තිබෙන තොග සීමිතයි. ව්‍යසනයේ දී සමහර නිෂ්පාදන වලට දැඩි ඉල්ලුමකුත්, තවත් සමහර නිෂ්පාදන වලට ඇති ඉල්ලුම දීර්ඝ කාලයක් යනතුරු ඉතා අඩුවීමත් දකින්නට පුළුවන්. ව්‍යසනය නිසා සමහර භාණ්ඩ නිෂ්පාදනය සහමුලින් නැවතීම සිද්ධ විය හැකියි. ව්‍යසනයකින් පසු කාලය තුල නිෂ්පාදන වැය ඉහළ යෑම සිද්ධ වෙන නිසාත් අර තිබෙන සීමිත තොග වලට වැඩි ඉල්ලුමක් ඇතිවෙනව.

මිල කියන එක එකිනෙකට බැඳිලා තියන භූමිකා දෙකක් ඉෂ්ට කරනව. ව්‍යසනයක් නිසා ඉහළ යන මිල ඒ භාණ්ඩ භාවිතා කරන අයට දැනුමක් සපයනව. හිටිහැටියෙ සෑහෙන්න වැඩිවෙච්ච ඉල්ලුමක් නිසා දැන් සැපයුම අඩුවෙලා ඉතා සකසුරුවම් ලෙසින් මේ තියෙන තොග භාවිතා කළ යුතු යැයි කියන දැනුමයි ඒ. තොග සීමිත නිසා අරපරිස්සමට වැඩිය නැඹුරු විය යුතු යැයි ඔවුන්ට කරන දිරිගැන්වීමක් ද ඉහළ යන මිලෙන් ලැබෙනව.

මිල ගණන් ඉහළ දාන්න තහනම් නීති තිබෙන සමාජයක, මේ දැනුම ජනතාවට ලැබෙන්නෙ නැහැ. ඒ නිසා එවැනි පැත්තක ඉහළ යන මිල ගණන් ආපහු තිබුණ තත්වයන්ට එන්න දීර්ඝ කාලයක් යනව. ඒ වගේම සමහර විට මිල පාලනය වැනි කොහොමත් සිද්ධ වෙන මැදිහත්වීම් වැඩිකමින් දිගින් දිගටම මිල ඉහළ යනවා මිසක් නැවත පහළ බැසීමක් දකින්නට නැතිවම යනව.

මැදිහත්වීම් වැඩි නැත්නම්, ව්‍යසනයක් වැනි අවස්ථාවක වේගයෙන් ඉහළ ගිය මිල අනිකුත් සැපයුම්කරුවන්ට පෙන්නුම් කරන්නේ බඩු හිඟයක් පවතින බව. ඒ කියන්නේ සැපයුම්කරුවන් වහාම ඒ බඩු හිඟය තිබෙන පැත්තට බඩුත් අරන් පැමිණිය යුතුයි යන දැනුම. සැපයුම්කරුවන්ට ඒ දැනුම ඉක්මණින් ලැබෙද්දී, ඒ බඩු හිඟය ඉක්මණින් නැතිවෙනව. ව්‍යසනයට කළින් තිබිච්ච මිලට බඩු ගන්න පාරිභෝගිකයන්ට අවස්ථාව යළිත් ඉක්මණින් උදාවෙනව.

ඉහළ ගිය මිලට බඩු සැපයීමෙන් සල්ලි උපයා ගැනීම දුෂ්ටකමක් විදියට දකින හැදියාව නිසා, බඩු හිඟය තවත් දීර්ඝ කාලයක් තිස්සෙ දකින්න ලැබෙනව. මොකද ඉහළ ගිය මිලට බඩු සපයන්න හැකියාව තිබුණත්, දුෂ්ටයෙක් කියල අහගන්න කැමති කවුද? දුෂ්ටයෙක් යැයි හැඳින්වෙන නරක නාමයෙන් ඒ බඩු හිඟයක් ඇති නොවන්න වැඩ කළ හැකි ව්‍යාපාරය දිහා බඩු ගන්න අවශ්‍යම වූ මිනිස්සුත් බලන්නේ රැවිල්ලකින් ගෙරැවිල්ලකින්. තමන්ට අවශ්‍යම දැය ඉක්මණින්ම සපයන්නට හැකි වූ ඒ ව්‍යාපාරයේ හැකියාව අගය කරන්නේ නැහැ.

ගංවතුරෙන් යට වෙච්ච ගෙවල් සංඛ්‍යාව නිසා දැන් නිවාස අලුත්වැඩියා කරන්න ඇති ඉල්ලුම ඉතා ඉහළ ගිහින්. ඒ අලුත්වැඩියා කරන රැකියාවන්හි යෙදෙන අයට වගේම ඒ සඳහා අවශ්‍ය බඩු සඳහා ඇති ඉල්ලුම ඉහළ ගිහින්. අරපිරිමැස්ම දන්නා අය මේ කාලයේ හදිසියක් නැති අලුත්වැඩියා කටයුතු වල නියැළෙන්නෙ නැත්තෙ ඒ ගංවතුරෙන් යටවෙච්ච නිවහන් හදන්න මුලින් ඉඩ දෙන්න ඕන කියන පරහිතකාමී අදහස නිසා නෙමෙයි. බඩු මිල හා සේවයට ගෙවිය යුතු මිල සීඝ්‍ර ලෙසින් ඉහළ යෑමෙන්ම පමණක් වැඩියෙන්ම අවශ්‍ය අයට ඉක්මණින්ම සේවය සැපයෙන ක්‍රියාවලිය වෙළඳපොල විසින්ම ඉටුකරන නිසයි.

වැඩියෙන්ම අවශ්‍ය අයට කියන එක තීරණය වෙන්නෙ අර මන්ත්‍රීතුමාට හෝ මේ මන්ත්‍රීතුමාට අනුව නෙමෙයි. වෙළඳපොලට යාන්තමින් හෝ නිදහස් ඉඩක් ලැබෙද්දී වැඩියෙන්ම අවශ්‍ය අය කියලා අපි හඳුනාගන්නේ ඒ සඳහා වැඩියෙන්ම මිලක් ගෙවන්නට සූදානම් අය. ඒ අය වෙනත් භාණ්ඩ මිල දී ගැනීම අත්හැර මෙයට වැඩි මිලක් ගෙවන්නට සූදානම්.

මේක කිව්ව ගමන් නොදන්නකමට කෙනෙක් කියන්නෙ හරි එහෙනම්, දැන් සල්ලිකාරයන්ට නම් ඉක්මණින් ගෙවල් හදාගන්න ලැබෙනව කියල. ඔව්, ඒ අයට අවස්ථාව මුලින්ම ලැබෙනව තමයි. වෙනත් හැම බඩුවක්ම ගන්න යද්දීත්, ව්‍යසනයක් නොමැති තත්වයක දී ත් එහෙමයි. ඉතින් මේ අවස්ථාවේ දී විතරක් එහෙම නොවෙන්න බැහැනේ.

පොඩ්ඩක් කල්පනා කරල බලන්න. කොමියුනිස්ට් රුසියාවේ, නැගෙනහිර ජර්මනියේ, මාඕංගේ චීනයේ නැත්නම් අද මධූරෝ ඉන්න වෙනෙසියුලාවේ වුවත් දේශපාලන බලය තියන පුද්ගලයන් හාමතේ හිටියේ නැහැ. තමන්ගෙ වෙහෙසෙන් උපයන ලද සල්ලි වෙනුවට එතැන ඇත්තේ අනුන් වෙනුවෙන් කරන දේශපාලන බලය. හැම සල්ලිකාරයාටම බනින අය, දේශපාලන බලය පාවිච්චි කරන්නෙ නැතිව සල්ලි උපයන්න සමත් වෙච්ච අය වෙනස් මන්ද යැයි හිතන්නෙ නැහැ.

ඉතින් ඒ නිසා තම වෙහෙසෙන් උපයා ඉතිරි කරගත් මුදල් වලින් ඉහළ ගිය මිල ගණන් ගෙවලා තමනට අවශ්‍ය දේ ගැනීමට ඇති හැකියාව දිහා බලන්නේ ඊර්ෂ්‍යාවෙන්. දේශපාලන බලය යොදා නොගෙන එහෙම ගන්න ලැබිච්ච වෙළඳපොලක් තිබුණ නිසා බඩු ඉක්මණින් නැවත රාක්ක වලට ආපු බව දකින්න මේ ඊර්ෂ්‍යාවෙන් පිරිච්ච අයට හැකියාවක් නැහැ. බඩු හිඟය නැති වී ගියා වගේම ඉහළ ගිය බඩු මිලත් ආපහු බැස්ස බව දකින්නෙත් නැහැ.

වැඩියෙන්ම ඇති උවමනාව ඉක්මණින්ම සපුරාගන්නට සමත් පුද්ගලයාව “සල්ලිකාරය” විදියට දකින නිසා සල්ලිකාරය මුලින්ම ගේ හදාගත්ත, ඌ ඉහළ මිලට බඩු ටික ගත්ත කියල විතරයි මේ අය දකින්නෙ. සීමිත තොග වලට ඇති වැඩි ඉල්ලුම නිසා ඉහළ මිලක් අය කරගන්න පුළුවන් යැයි දැක්ක සැපයුම්කරුවන් වේගයෙන් ඇදී ඇවිත් ඒ සල්ලිකාරයට වැඩි මිලට විකිණීමට කරන තරඟය නිසා වැඩි කලක් නොගිහින් තොග වැඩිවෙලා (සැපයුම වැඩිවෙලා) හැමෝම වෙනුවෙන් බඩු මිල අඩුවෙන බව දකින්නෙ නැහැ.

ව්‍යසනයක දී වැඩි වූ මිලක් ගෙවා කැමැත්තෙන් කරන බඩු ගණුදෙනුවක ඉන්න මිනිස්සු ගසා කෑමක් කරන්නෙ නැහැ. තොග සීමිත නිසා බඩු (සේවය) සඳහා වැඩි මුදලක් ඉල්ලීම ගසා කෑමක් හැටියට සමහරු දැක්කාට එය ඇත්තෙන්ම සියල්ලන්ගේම යහපත වැඩි ඉක්මණින් සාක්ෂාත් වන සත්‍යය ආකාරයයි.

ඕනෑම ව්‍යසනයක දී ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙන්න කළින් අහළ පහළ ඉන්න මිනිස්සු තමයි පෙරමුණ ගන්නෙ එකිනෙකාගේ සහායට එන්න. ඒත් දානයට නිෂ්පාදනයේ යෙදෙන්නට ඉඩ ලැබිය යුතුයි. ඉතින් ව්‍යසනය හමුවේ අපිට දානය දකින්නට ලැබුණත්, වැඩි දුරටත් දානයේ යෙදෙන්නට නම් නිෂ්පාදනය ද කළ යුතු නිසා මිල ගණන් ඉහළ යනව. තියෙන තොග හා තියෙන දැනුම වැඩියෙන්ම ඉක්මණින් වැඩියෙන්ම අවශ්‍ය අයට ලැබිය යුතු ආකාරයට ඉඩක් දීමට රජය මැදිහත්වීම් නොවෙද්දී පමණයි සියල්ලන්ගේම තත්වය ඉක්මණින් හොඳවෙන්නෙ. හැමදාම අතපාන යාචකයන් විදියට ජීවත් නොවී ආත්මගරුත්වෙයන් යුතු මිනිස්සු හැටියට ජීවත්වෙන්නට හැකියාව ලැබෙන්නෙ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: