අරුණි ශපීරෝ‍ වෙතින්

ස්විඩිශ් මොඩලයේ අඳුරු පැත්ත

Posted in Uncategorized by arunishapiro on ජූනි 2, 2016

පසුගිය දිනයක සින්සිනාටි සත්තු වත්තේ ගෝරිල්ලෙක් මරා දැමිණ. ගෝරිල්ලාගේ නිවහනට රිංගාගත් පොඩි දරුවෙක් බේරාගන්නට ගතහැකි හොඳම පියවර එය වූ බව සත්තු වත්තේ පාලකයන් මෙන් ගෝරිල්ලන් වැනි ‘වල් සතුන්’ බලා කියා ගන්නා අනෙක් සියල්ලන්ගේම ඒකමතික දැක්ම විය. එහෙත් ලෝක ජනතාවක් ඒ ගැන විරෝධය පෑවේ දරුවා මිය ගියා නම් කමක් නැති ආකාරයෙනි. මෙය පුදුමයක් නොවේ.

තමන්ගේ සමාජයට සුදුසු නැතැයි රජය සලකන ලද ජන පිරිස් ඝාතනය කිරීමට පක්ෂ වූ පිරිස් ලෝක ඉතිහාසයේ නොමඳව දැකිය හැකියි. රුසියාව, චීනය, කියුබාව සහ හිට්ලර්ගේ ජර්මනිය වැනි රටවල් හි මෙන්ම ස්වීඩනයේ ද මෙවැනි මෙහෙයුමක් පැවතිණ.

හිට්ලර්ගේ ජර්මනිය සේ ම, ඉතා සවිස්තර ලෙසින් තම මෙහෙයුම් සටහන් තබා ගන්නා ලද රටකි ස්වීඩනය. ඒනිසා මේ ගැන පර්යේෂණ පවත්වන ඕනෑම අයෙකුට ඔවුන්ගේ වාර්තා සහ ඊට හසු වූ අයගේ දිනපොත් කියවන්නට අවසර ලබාගත හැකියි. ඔවුන්ගේ මෙහෙයුම වූයේ ආබාධිත පුද්ගලයන් සහ රජය විසින් දරුවන් ලැබීමට නුසුදුසු යැයි තීරණය කරන ලද්දවුන්ව බලහත්කාරයෙන් වඳ කිරීමයි.

ආණ්ඩුවක් විසින් නීතියක් පාස් කර යම් ක්‍රියාවක් නීත්‍යානුකූල කිරීම නිසා එම ක්‍රියාව සාධාරණ වූ ක්‍රියාවක් බවට පත් නොවේ. නීතියේ නිසි අරමුණ වෙනුවට හාත්පසින්ම ඊට පටහැනි අරමුණ වෙනුවෙන් යොදාගැනීමට නීතිය විපර්යාස කර ඇතැයි ෆෙඩරික් බැස්ටියාට් 1850 දී අපට පෙන්වා දුන්නේ මෙයයි.

පළාත් සහ ජාතික මට්ටමෙන් වෛද්‍ය විශේෂඥයන්ගේ අනුදැනුම ඇතිව ඉතා ක්‍රමවත් ලෙසින් සැකසී, රජය මඟින් නියාමනය වී, සෞඛ්‍ය සහ සුබසාධන අමාත්‍යාංශය යටතේ මෙම වඳ මෙහෙයුම සිද්ධ විණ. එක්සත් ජාතීන්ගේ නියෝජිතයා සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කාන්තා දේශපාලනඥයන් ඇතුළු සියළුම දේශපාලන පක්ෂ නියෝජනය කරන ලද පැනල් එකක් එහි තීරණ වලට අත්සන් තැබූහ.

ස්වීඩනයේ මෙම වඳ පිළිවෙතින් රටේ ලක්ෂ ගණනක පුරවැසියනට ඉතාමත් මූලික මිනිස් අයිතිවාසිකමක් වූ දරු සම්පතකට අයිතිය කීමේ භාග්‍යය නීතියෙන් අහෝසි කර දමන ලද්දේය.

මෙයට මූලික වූයේ ජාතියේ ජාන සම්පත් ‘දියුණු කළ යුතුය’ යන අදහසයි. වර්ගවාදීය සහ ජාතිකවාදී ලෙසම ඉයුජනික්ස් අදහස් ද මෙහි දී පෙරමුණ ගති.

1920 පටන් 1950 දක්වා ජනවාර්ගික ජීව විද්‍යාව සඳහා වූ රාජ්‍ය ආයතනයක් ස්වීඩනයේ පිහිටුවා තිබිණ. දරුවන් බිහිකරන්නට වරම් නැති අය කවුදැයි හඳුනාගන්නට පිළිවෙත් සකස් විණ. ‘ප්‍රමාණවත් නැති’, ‘මෝඩ’, ‘වෙනස්’ සහ ‘සමාජයට බරක්’ වූ පුරවැසියන් කවුදැයි හඳුන්වන වගකීම පැවරුනේ මෙය සහ තවත් මෙවැනි ආයතන වලටත්, ඒවාට නිසි මග කියා දුන් දේශපාලන පක්ෂයන්හි දැක්ම සකස් කරන දේශපාලනඥයන් අතටයි. මෙම මෙහෙයුම නීත්‍යානුකූල කරගන්නට සත්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ලෙසකින් පාර්ලිමේන්තුව ලවා සම්මත කර ගැනිණ.

හැම දේටම මුදල් මුල් වෙන්නේ නැහැයි කියන අය මෙහි දී ද එසේ කිව්වත්, ආර්ථික වැදගත්කමක් ද රිංගා ගත් ආකාරය කෙමෙන් දකින්නට ලැබිණ. 1950 ගණන් වල දී ස්වීඩනය සමාජවාදයට බෙහෙවින් නැඹුරු වෙද්දී, දරුවෙක් ඇති සෑම පවුලකටම මාසික මුදලක් රජයෙන් බෙදන ලදි. බදු මුදල් වලින් සමාජ රක්ෂණ ක්‍රමයක් යටතේ එය පටන් ගැනුණි. 1950 ගණන් වල දී මෙය පටන් ගැනීමත් සමඟ ජනගහණයෙන් නොමනා අයව බලහත්කාරයෙන් වඳ කරන සංඛ්‍යාව ද දෙගුණයකින් ඉහළ යන ලදි.

තම තම හැකි පමණින් ඔක්කොම දායක වී, තම තම උවමනා අනුව ඔක්කොටම බෙදෙන, සමාජයේ සියළු සාමාජිකයන් එකිනෙකාට සහාය දී ගන්නා ක්‍රමය folkhem නමින් වූ සංකල්පය 1930 දී පටන් ගන්නා ලද්දකි. සාමකාමී ලෙසින් ශ්‍රම සබඳතා දීර්ඝ කාලයක් පවත්වාගෙන යන්නටත් එතෙක් ස්වීඩනයේ නොවි විරූ ලෙසකින් ආර්ථික ප්‍රගතියක් ඇතිකරන්නටත් හදන ලද පදනම මෙයැයි කියා සැලකිණ.

එහෙත් එහි අඳුරු පැත්ත ඉල්ලා සිටියේ සියල්ලන්ම එක සේ විය යුතු යැයි කියායි. සමාජය බලාපොරොත්තු වෙන අයිඩියල් එකට නොගැලපෙන අය සමාජයට අවශ්‍ය නොවිණ. නගරයේ නැටුම් ශාලාවල වැඩියෙන් ගැවසුණා යැයි කියන යෞවන වියේ දැරියක්ව 1940 ගණන් වල දී බලහත්කාරයෙන් වඳ කිරීමට ලක් වූයේ ඇය සමාජයට නුසුදුස්සෙක් යැයි කියායි. එය ඒ කාලයේ දී පුවත්පත් වලින් වාර්තා නොවුණි. ඒ ගැන ස්වීඩන් ජාතිකයන්ට ද තම රටේ පුවත්පත් වලින් දැන ගන්නට ලැබෙන්නේ 1990 ගණන් වල දී ස්වීඩනය යළිත් ධනවාදී පිළිවෙත් බාරගන්නට තරම් ආර්ථිකයෙන් බැටකද්දී ය.

ස්වීඩනයේ අර්ධ ශතකයක් පුරා මිලියන හයක පමණ ජනගහණයකින් “නීත්‍යානුකූල” වඳ සැත්කම් හැට දහසක් සිද්ධ වූවා යැයි සැලකේ. ස්වීඩනයේ කිසිදිනෙක සමාජවාදී විප්ලවයක් සිද්ධ නොවුණි. එහි රජයට හා පාලකයන්ට රටවැසියන්ගේ විශ්වාසය සහ ප්‍රසාදය ලැබී තිබිණ. ඒ නිසා වෙනත් රටවල මෙන් පාලකයන් අධීක්ෂණයට ලක් කරන checks and balances ක්‍රමයක් ඔවුනට අවශ්‍ය නොවිණ. රජයත් පල්ලියත් බෙදී නොතිබිණ. සාම්ප්‍රදායික ලෙසින් ඔවුන්ට තිබුණේ සාමූහිකත්වය සහ එකමුතුව තීරණ ගන්නා හැදියාවකි. ස්වීඩන් ජනගහණයේ සැලකිය යුතු තරමක වාර්ගික වෙනස්කම් නොතිබිණ. ඒ නිසා පාර්ලිමේන්තුවේ බහුතර පාලනය රටේ සියල්ලන් වෙනුවෙන්ම තීරණ ගැනීමේ නීති සම්මතයට ප්‍රමාණවත් යැයි අදහස කිසිවෙක් විමසා බැලුවේ නැත.

1990 ගණන් වල දී යුරෝපයේ තවත් රටවල, ෆින්ලන්තය, නෝර්වේ, ඩෙන්මාර්ක්, ඔස්ට්‍රියා සහ බෙල්ජියමේ ද මෙවැනි බලහත්කාරයෙන් වඳ සැත්කම් සිද්ධ වූ මෙහෙයුම් ගැන අහන්නට ලැබිණ. එහෙත් ස්වීඩනයේ තරම් දැවැන්ත ලෙසකින් ඒ මෙහෙයුම් සිද්ධ වූයේ නැති බව අසා ස්වීඩන් වැසියන් ද පුදුමයට පත් වූහ. ස්වීඩන් වැසියන් සාමකාමී වෙති. පැත්තක් නොගෙන ඉන්නට කැමති වෙති. වෙනත් රටවල මානුෂීය ප්‍රචණ්ඩත්වයන් ගැන කියන්නට බිය නොවෙති. තම රටේ සිද්ධ වූ සාමාකාමී සමාජ ප්‍රතිසංස්කරණ ගැන උදම් අනති. තම රටේ ඉහළ මට්ටමකින් සැපයෙන සමාජ සුබ සාධන සේවා, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය ගැන ප්‍රසාදයෙන් සිටිති. එහෙත් තම රජය තමන්ව රවටන ලදැයි දැනගන්නේ මෙහෙයුම් දියත් වී කාලාන්තරයකට පසුවයි.

හිට්ලර්ගේ ජර්මනියෙන් ස්වීඩනයට පැමිණෙන යුදෙව්වන්ගේ පාස්පෝට්වල J අකුර ගැසිය යුතු යැයි ඉල්ලා සිටියේ ස්වීඩනයේ ආගමන විගමන කාර්යාලයයි. සරණාගතයන් සේ ඇදී එන යුදෙව් වෛද්‍යවරු තම රටට පැමිණ තමන්ගේ රස්සා උදුරා ගනීවි යැයි බියෙන් යුදෙව් සංක්‍රමණය අඩු කරන්න යැයි ඉල්ලා සිටියේ ස්වීඩන් වෛද්‍ය සංගමයයි.

අනුන්ට හදන පිළිවෙත් අපේක්ෂා කළ යහපත සැලසුවේ නැති බව ඔප්පු වී යද්දී ස්වීඩනයේ වැසියන් ඒවා වෙනස් කරගන්නට පටන් ගත්හ. විප්ලවයක් සිද්ධ නොවිණ. ඒවා ගැන දැවැන්ත ප්‍රචාර නොවීය. දේශපාලන පක්ෂ එකිනෙකා හා ප්‍රසිද්ධියේ කුලල් කා නොගත්හ. එහෙත් ස්වීඩනය හරිමගට පිවිසුනේ කෙසේදැයි විමසන්නේ නැතිව එය කරගෙන ගිය වැරදි පිළිවෙත් තවමත් අගයන අය ලොව බහුල වෙති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: