අරුණි ශපීරෝ‍ වෙතින්

පරිභෝජනවාදය

Posted in Uncategorized by arunishapiro on ජූනි 7, 2016

IMG_0478

නිදහස් වෙළඳපොලට අවලාද කියන උදවිය “පරිභෝජනවාදය” යැයි හඳුන්වන්න එයින් බිහිවූවක් හැටියට සලකති. සාර්ථක ආර්ථිකයක් සඳහා පරිභෝජනය මූලික විය යුතු යැයි සැලකීම බහුල සේ දකින්නට ලැබෙන ආර්ථික දුර්මතයකි. ස්විට්ස්සර්ලන්තය පසුගිය දිනයේ ජනමත විචාරයකින් අහෝසි කළ ‘හෙලිකොප්ටර් මුදල්’ බෙදීමේ උත්සාහය මෙම අර්ථ ශාස්ත්‍රමය දුර්මතයෙන් පැවත එන්නයි.

දුර්මතය: ආර්ථිකය එක තැන, නැත්නම් ආර්ථිකය පහළ වැටිලා. ඒ නිසා බඩු ගන්න මිනිස්සු පෙළඹවුවහොත් ආර්ථිකය පණ ගන්වන්නට හැකියි.

සම්පත් වැඩිවෙන්නේ පරිභෝජනයෙන් යැයි කියැවෙන මෙම දුර්මතය අපට ලැබෙන්නේ කේන්සියානු දැක්මෙන්. බොහෝ දීමනා සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් අපිට මේ ආකාරයෙන් මැදිහත්වීම් රිසි ආණ්ඩු කටයුතු කරනවා ලොව පුරා බොහෝ රටවලින් දකින්නට හැකියි.

සම්පත් වැඩිවෙන්නේ නිෂ්පාදනයෙන් මිසක පරිභෝජනයෙන් නොවේ. තිරසාර ආර්ථිකයක් සඳහා අනිත් අයට පරිභෝජනයට ගත හැකි සේ සම්පත් නිෂ්පාදනයට සුදුසු වාතාවරණයක් නිෂ්පාදකයන්ට හදා දිය යුතුයි. එවිට නිෂ්පාදනය සඳහා මුල්‍ය යොදවන්නට හැකි ලෙසින් ඉතිරි කිරීම් අරඹන්නට පුද්ගලයන්ටත් ආයතන වලටත් අවකාශය ලැබේ.

පරිභෝජනයේ යෙදෙන්නට පුද්ගලයාට හැකියාවක් ලැබෙන්නේ විවිධාකාර වලින් දැනටමත් නිෂ්පාදනය සිද්ධ වී ඇති බැවිනි. පරිභෝජනය සඳහා ඉදිරිපත් කරන ලද ඒ භාණ්ඩ සහ සේවා පවතින්නේ, පරිභෝජනයෙන් අයින් වී ඉතිරි කරන ලද පුද්ගලයන් නිසා යන වැදගත් කාරණය බොහෝ දෙනා සැලකිල්ලට පාත්‍ර නොකරති.

රජයෙන් බෙදන දීමනා පැකේජයකින් පාරිභෝගිකයන්ගේ අතට සම්පත් දීම අසාර්ථක පිළිවෙතක් වනුයේ ඒ බෙදා හරින ලද සම්පත් නිෂ්පාදකයන් වෙතින් ගන්නට සිද්ධ වූ නිසයි. ස්විට්ස්සර්ලන්තයේ වැසියන් බහුතරයක් පසුගිය ඉරිදා ලොවට පෙන්වා දුන්නේ ඔවුන් මෙය අවබෝධ කරගත් බවයි.

හෙලිකොප්ටර් මුදල් වේවා, රාජ්‍ය අය වැය හිඟයෙන් කරන වියදම් පියවා ගන්නට විකුණන රාජ්‍ය බැඳුම්කර වේවා, ආණ්ඩුවක් වත්කම් නිර්මාණයක් නොකරයි.

පරිභෝජනය ද වත්කම් නිර්මාණයක් නොකරයි.

අලුතෙන් පරිභෝජනයට හැකියාවක් පුද්ගලයෙකුට ලැබෙන්නේ පුද්ගලයා විසින් කළින් නිෂ්පාදනය කරන ලද නිසා පමණකි.

ඒ නිසා, කළ යුත්තේ නිෂ්පාදනයේ යෙදී සිටින අයගේ ඉතුරුම් උදුරාගන්නට හදනා සැලසුම් වෙනුවට ඔවුන්ට වැඩි පහසුවකින් නිෂ්පාදනයේ යෙදෙන්නට හැකි වාතාවරණයක් සැලසීමයි.

පරිභෝජනවාදය යනු ‘ලිබරල්’ අදහසක් හැටියට පෙන්වමින් යන අය සිටිති. අර්ථ ශාස්ත්‍රයට පරිභෝජනවාදය රිංගවන ලද්දේ ජෝන් මේනාඩ් කේන්ස් විසිනි. කේන්ස් විසින් පරිභෝජනය උලුප්පා දක්වන අදහස් ප්‍රචලිත කරන්නට කළින් අර්ථ ශාස්ත්‍රඥයන් අතර පැවතුන පොදු විශ්වාසය වූයේ ඉල්ලුම නිර්මාණය කරන්නේ නිෂ්පාදනයෙන් බවයි. ඉතුරුම් නිසා නිෂ්පාදනය දිරිගැන්වෙන බවත්, ආර්ථික වර්ධනයට පාර කැපෙන්නේ එයින් බවත් ය.

දීමනා පැකේජයන්ට පක්ෂපාතීත්වය දක්වන අය පුද්ගලයන්ගේ ඉතුරුම් වලට පිටස්තරයෙක්ට අයිතියක් ඇතැයි කළින් පිළිගෙන සිටිති. ඒ විශ්වාසය නිසා දීමනා පැකේජයන් ගෙනෙන්නට අවශ්‍ය මුදල් එකතු කරද්දී තමන්ගේම පොකැට්ටුවට තට්ටු වෙන ආකාරය නොදකිති. සම්පත් නිර්මාණය වෙන්නේ ආණ්ඩුවක් එහෙන් මෙහෙන් අරගෙන අරෙහෙට මෙහාට බෙදීම නිසා නොවේ. නිෂ්පාදකයන් විසින් තම ඉතුරුම් තමන්ගේ අනුදැනුම යටතේ සුපරීක්ෂාවෙන් ආයෝජනය කිරීමෙන් පමණක් සම්පත් නිර්මාණයක් සිද්ධ වේ.

සියළු හානි ‘ලිබරල්’ දැක්ම නිසා සිද්ධ වේ යැයි කියන අය ධනවාදය හා පරිභෝජනවාදය එකම යැයි හඳුන්වන්නට ද යති. ඔවුන් වැරදියට අල්ලා ගත් නිසා, පරිභෝජනවාදය යුක්ති සහගත කරන දැක්මක් අපි දුන්නා යැයි කියති. නිදහස් වෙළඳපොල අගයන අපි වැඩියෙන් පරිභෝජනය කිරීම නිසා වැඩියෙන් ආර්ථික වර්ධනයක් ඇතිවේ යැයි විශ්වාස කරන අය නොවෙති. සම්පත් විනාශ කරන සහ කම්මැලියන් බිහි කරන හෙලිකොප්ටර් මුදල් බෙදන පරිභෝජනවාදය නිදහස් වෙළඳපොල අගයන අපගේ දැක්ම නොවේ.

වසර 150 ක් පුරා නිදහස් වෙළඳපොල වෙනුවෙන් පෙනී සිටියවුන් පරිභෝජනය සලකන ලද්දේ සම්පත් විනාශ කරන්නක් හැටියත්, ඉතුරුම් සහ නිෂ්පාදනය යනු සම්පත් නිර්මාණය කරන්නක් හැටියටත් ය.

නිදහස් වෙළඳපොල අගයනවුන් කිසි දිනෙක පරිභෝජනය දිරිගන්වන මෙහෙයුම් නිසා සමෘද්ධියක් ඇතිවෙනවා යන්නට පාක්ෂික වූයේ නැත. ඒ නිසා පරිභෝජන සමාජයක්, පරිභෝජන සංස්කෘතියක් ඇති කරන්නට නිදහස් වෙළඳපොල අගයවුන් පෙනී සිටියා යැයි කියන්නට ද කිසිවෙකුට නොහැකියි.

පරිභෝජනවාදයට අවලාද කියනවුන් වරදකරුවා කවුදැයි නිසි ලෙසින් හඳුනාගත යුතුයි. වරදකරුවා වනුයේ කේන්සියානු මැදිහත්වීම් රිසි පුද්ගලයාය.

2 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka said, on ජූනි 8, 2016 at 11:50 පෙ.ව.

    අධි පරිබෝජනවාදය ගැනත් ටිකක් පැහැදිලි කරන මෙන් ඉල්ලමි

    • arunishapiro said, on ජූනි 8, 2016 at 12:59 ප.ව.

      krishramanayaka,

      පමණට වඩා අඩුවෙන් ද පමණට වඩා වැඩියෙන් ද කියන්න කළින් අයෙකුගේ පරිභෝජනය කොතරම් විය යුතුදැයි තීරණය කරන්න බාර දෙන්නෙ කාට ද? පරිභෝජනය කරන පුද්ගලයාට ද? නැත්නම්, පුද්ගලයෙක් විසින් පරිභෝජනය කළ යුත්තේ මෙතරම් යැයි කියන්න දැනුමක් තමන් සතු යැයි කියන අයෙක්ට ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: