අරුණි ශපීරෝ‍ වෙතින්

ආදායම් බදු දෙපාර්තමේන්තුව වැරදි නිවැරදි කරගනියි

Posted in Uncategorized by arunishapiro on ජූනි 18, 2016

ඇමෙරිකාවේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ගැනයි මේ. වැරැද්දක් කළා කියල පිළිගෙන කරපු වැරදි නිවැරදි කරන්නටත් ආදායම් බදු දෙපාර්තමේන්තුව ගන්න උත්සාහයක් අහන්නට ලැබුණ. හැදියාව වෙනස් කරගන්නට සිද්ධ වෙන්නේ රජයේ සේවකයන්ට නැණස පෑදීමක් නිසා නෙමෙයි. රජයේ ආයතනයකට විරුද්ධව දාන නඩු වලින් ජයගන්න හැකි ව්‍යවස්ථාවක් රටේ තවමත් ඉතිරි වෙලා තියන නිසයි.

මේ රෙගුලාසියත් ඇමෙරිකන් රජය පටන් ගත්තේ මහජනතාවගේ ආරක්ෂාවට කියල. 9/11 වලින් පසුව ඇමෙරිකන් වැසියන් මරා දමන්නට සැලසුම් ගහන ත්‍රස්තවාදීන්ගේ මුදල් කටයුතු ගැන නිරීක්ෂණය කරන්නැයි කියල. ඒත් අනික් හැම උත්සාහයක් වගේම මෙයින් ද සිද්ධ වුනේ අහිංසක, අවංක, නීති රෙගුලාසි පිළිපදින අයගේ අයිතීන් කප්පාදුවයි. ඔවුන්ගේ පුද්ගලික වත්කම් රජය උදුරාගන්නට හැකියාව ලැබීමයි.

Structuring – ‘ව්‍යුහයක් හැදීම’ නමින් වූ ආදායම් බදු දෙපාර්තමේන්තුව සැලසුමක් දියත් කළා රටේ වාසය කරන මිනිස්සු ඩොලර් දහ දාහකට වඩා බැංකු ගිණුමෙන් ගත්තොත් හරි දැම්මොත් හරි වහාම රජයට වාර්තා කරන ක්‍රමයක්. එයාර්පෝට් හරහා මුදල් නෝට්ටු හැටියට ඩොලර් දහ දාහක් අරන් යන්නත් බැහැ එක පවුලකට. ඇමෙරිකාවේ හොඳ බාරගන්න හැමවිටම පසුබට ඒත් හොටු නම් පැනල බදාගන්න බොහෝ රටවල, උදා. ලංකාවේ ද නීතිය මෙයයි. වෙන කිසිම සාක්ෂි පෙන්වන්නට බැරිවුනත්, සැක කටයුතු යැයි කියමින් එතරම් මුදලක නෝට්ටු ප්‍රමාණයක් රටකට ගෙන ඒමේ දී රාජ සන්තක කරගැනීමේ අවසරය ඒ ඒ රජයන් තමනට පවරා ගෙන තියෙනව.

මේ ව්‍යහුයක් හැදීම නිසා සිද්ධ වූයේ නීතිගරුක රටවැසියන්ට ඩොලර් දහ දාහකට වඩා මුදලක් තමන්ගේම බැංකු ගිණුමෙන් ගනිද්දී හෝ ඊට දමද්දී බැංකු සේවකයන් වෙතින් මෙන්ම වෙනත් රජයේ නිලධාරීන් ඉදිරියේ දී කට උත්තර දෙන්නට හා ලියකියැවිලි පුරවන්නට සිද්ධ වීමයි.

සංචාරකයන් අධිකව ගැවසෙන අපේ පැත්තේ එක්තරා අවන්හලක් ගිම්හාන සති අන්තයක දී ඩොලර් මිලියන බාගයක් පමණ උපයනු ලබයි. ඩොලර් දහ දාහක කෑෂ් ගණුදෙනු යනු එවැනි ව්‍යාපාරික ස්ථානයක අසාමාන්‍ය සිදුවීමක් නොවේ. එහෙත් නීති විරෝධීන් අල්ලන්නට යැයි කියමින් නීති පිළිපදින අයට තවත් රෙගුලාසි පැනවීමට සියළු රජයන් ගජ හපනුන් වෙති. ආදායම් උපයමින් තවත් රස්සා උත්පාදනය කරනවා වෙනුවට ව්‍යාපාරිකයන්ට මේ කාලය නාස්ති කරන නිෂ්ඵල වාර්තා සමඟ ගැටීමට සිද්ධ වීම රටට සිද්ධ වෙන පාඩුවක් හැටියට රජයක් දකින්නේ නැත.

2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී සිද්ධියෙන් පසුව සිවිල් ජනතාවගේ ආරක්ෂාව පිණිස යැයි කියමින්, අයිතිකරුවා වරදකරුවෙක් ද නැත්නම් අහිංසකයෙක් ද යන්න නොසලකා හැර, අපරාධ කටයුතු හා සම්බන්ධ බවට සැක ඇතැයි කියමින් පමණක් අයිතිකරුවාගේ මුදල්, වාහන, නිවාස හා වෙනත් දේපල රජයට පවරා ගැනීමේ එනම් සිවිල් අහිමිකරය නීති -civil forfeiture laws සම්මත කර ගැනිණ. එම නීති යටතේ රජය අල්ලා ගත්තාට පසු තම දේපල බේරාගන්නට පැහැදිලි නැති, සංකීරණ වූ, ඉතා වැය අධික නීති ක්‍රියාවලියක නියැළෙන්නට ඒවායේ අයිතිකරුවන්ට සිද්ධ වේ. එපමණක් නොව මේ නීති විසින් පොදුජන දේපල අල්ලා ගත් ආයතනවලට ආදායම් උපයාගන්නට මාර්ගයක් ද සකස් කර දී ඇත.

2001 සිට 2014 අතර කාලයේ දී රාජ්‍ය අධිකරණ දෙපාර්තමේන්තුවේ අහිමිකරණ අරමුදල සහ රටේ භාණ්ඩාගාරය ඩොලර් බිලියන 29 ක් ලබාගනිති. ඇමෙරිකාවේ ප්‍රාන්ත 14 ක වාර්ෂික අහිමිකරය 2002 සිට 2013 දක්වා දෙගුණයකින් ඉහළ යන ලදි. මේ ඒ ගැන සොයා බැලූ ‘යුක්තිය සඳහා වූ ආයතනයට’ -Institute for Justice සොයාගත හැකි වූ තොරතුරු පමණි.

අපරාධකරුවෙකුගේ දේපල උදුරාගන්නට පෙර දෝෂණයක් -conviction අවශ්‍ය වෙයි. එහෙත් සිවිල් අහිමිකරයේ දී අපරාධයකට චෝදනාරෝපයක් නැතිව, වරදකරුවෙක් යැයි සාක්ෂි නැතිව, ඔප්පු කරන්නේ නැතිව, දෝෂණයක් නැතිවම දේපල අල්ලා ගත හැකියි. 1997 සිට 2013 අතර කාලයේ දී අධිකරණ දෙපාර්තමේන්තුවේ අහිමිකරයන් 13% ක් අපරාධ අහිමිකරයන් වෙද්දී, සිවිල් අහිමිකරයන් 87% ක් විය.

අධිකරණ දෙපාර්තමේන්තුවේ සිවිල් අහිමිකරයන් 88% ක් සිද්ධ වූයේ “පරිපාලනමය” වශයෙනි. දේපල අයිතිකරුවා කුමන හෝ හේතුවක් නිසා උසාවියකින් අභියෝගයක් එල්ල කළේ නැතිනම් පරිපාලන අහිමිකරය නිතැතයෙන්ම සිද්ධ වේ. එය නීතීඥයෙක්ගේ වැය දැරීමට නොහැකි වූවා හෝ නියමිත වේලාවට නිසි පෝරමයක් පුරවා නොමැති වීම නිසා හෝ විය හැකියි. නඩුකාරයෙක් නොමැතිව, අපක්ෂපාතී මැදිහත්කරුවෙක් නොමැතිව එවිට අහිමිකරයේ දේපල ‘වරදකාරීත්වයට’ හසු වූ ලෙසකින් සැලකේ.

මෙම නීතිය අහිමිකරණයන්ට මුහුණ දෙන්නට සිද්ධ වූ අපරාධ නොකළ සිවිල් වැසියන්ගේ උපකාරයට ආවේ රජය නොවේ. ලිබටේරියන් සංවිධානයක් වූ යුක්තිය සඳහා වූ ආයතනයයි. මේ නීති ගැන දැනුම ඇති නීතීඥයන් හා අවශ්‍ය නීති උපදෙස් ලබා දෙමින් ඔවුන් මේ ගැන ඇමෙරිකන් ජනතාව දැනුවත් කළහ.

එක් පීට්සා කඩයක අයිතිකරුවෙක් කෑෂ් ගණුදෙනු වැඩි වූ ගිම්හානයක බැංකුවේ මුදල් තැන්පත් කරන්නට යද්දී බැංකු සේවකයන් මේ ඩොලර් දහ දාහේ වාර්තා කිරීම් ගැන පවසා, දහ දාහකට වඩා අඩුවෙන් දැම්මොත් අපිට වැඩියෙන් පෝරම පුරවන්නට වෙන්නේ නැතැයි ඔහුට කීය. තමන් නිතර ගණුදෙනු කරන බැංකු සේවකයන්ට පහසුවක් වේ යැයි සිතූ ඔහු දහ දාහට අඩුවෙන් කෑෂ් මුදල් දමන්නට නිතර බැංකුවට යන ලදි. ඒත් මේ නීති පරිපාලකයන්ට එය ඇල්ලුවේ ද නැත. ඔහු දහ දාහකට වඩා අඩුවෙන් මුදල් නිතර බැංකුවට දාන්නේ නිරීක්ෂණයට හසු නොවී සිටින අපරාධකාරී චේතනාවක් ඇති නිසා බව කියමින් ඔහුගේ බැංකු ගිණුම අහිමිකරයට ලක් කරන ලදි. ව්‍යාපාරික බැංකු ගිණුමේ මුදල් ලබාගැනීමට ඔහුට වසර දෙකකට වඩා කාලයක් නඩු කියන්නට සිද්ධ විණ.

මෙම නීති හදන්නට මූලික වූ (රේගන් ආණ්ඩුවේ) බ්‍රැඩ් කේට්ස් දැන් උද්ගත වී ඇති තත්වය දැක, නීතිවලින් අරමුණු කරගත්ත වෙනුවට මෙසේ නීති ක්‍රියාත්මක වීමේ දී සිද්ධ වෙන හානිය පිළිගෙන ඒ නීති ඉවත් කරගත යුතු බව පිළිගෙන ඇත.

යුක්තිය සඳහා වූ ආයතනය මහජනතාව වෙනුවෙන් නොබියව ඉදිරිපත් වූ නිසා ආදායම් බදු දෙපාර්තමේන්තුව දේපල අයිතිකරුවන් 700 කට ඔවුන්ගේ මුදල් ආපසු ලබාගන්නට ඉදිරිපත් වෙන්න යැයි ආරාධනා කරන ලදි. අනාගතයේ දවසක දී මෙතෙක් කළ වැරදි සියල්ලම නිවැරදි කරගන්නට ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙසේ පටන් ගෙන තිබේ.

දැඩි නීති ගෙන ඒමෙන් අපරාධකරුවන් හා නීති කඩන අය වළක්වන්නට හැකි යැයි සිතන අය ලොව බොහෝ වෙති. එහෙත් එසේ ගෙනෙන නීති නිසා අහිංසකයන් හා නීති අනුගමනය කරන අයට වැඩියෙන් හානියක් සිද්ධ වෙනවා යැයි දකින්නට හැකියාව ඇති අය ලොව ඇත්තේ සුලුතරයකි.

Policing for Profit, Institute of Justice

2 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka said, on ජූනි 18, 2016 at 10:33 ප.ව.

    ලක්ෂ දෙකක්ට වැඩිය දාන කොට කොලයක් පුරවන්න ඕනැ හේතුව කියල. වාහනයක් වික්ක !! කියල තමා දාන්නෙ නැත්නම් මල කරදර….ලංකාවෙ අය ගාව වැරදි හදාගන්න ඇහියාත් නැනෙ. අනික අපිට ව්‍යාවස්තාව අබියෝගයට ලක්කල නොහැකි නීති වලින්මනෙ හැදිල තියෙන්නේ…………..ඉතිං ලංකාවේ හැදියාව මෙමෙම තමයි

    • arunishapiro said, on ජූනි 19, 2016 at 6:07 පෙ.ව.

      krishramanayaka,

      මෙහෙත් ව්‍යවස්ථාව වෙනස් කරන්න දඟලන කට්ටිය කොච්චර ඉන්නව ද! මානසික ලෙඩෙක් අතින් වෙඩිල්ලක් පත්තු වෙද්දී කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව නීත්‍යානුකූලව තුවක්කු තියාගන්න අයට තවත් නීති දාන්න ඕනැයි කියනව. ඌට තුවක්කුව දීලා තිබුනෙ නියාමනය කරන රජයෙන්ම බව දකින්න බැරිවෙන්න ඇස් පියාගන්නව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: