අරුණි ශපීරෝ‍ වෙතින්

තුවක්කුවක් පත්තු විණ, විස්තරය එසේම දිග හැරිණ

Posted in Uncategorized by arunishapiro on ජූනි 20, 2016

යම් සිද්ධියක දී සිද්ධ වූ දේවල් ගැන අල්පයකුත් ඒ හා සම්බන්ධ විස්තර කතාන්දරය (narrative) දීර්ඝ ලෙසින්, ප්‍රචාරය කරන පැත්තේ දැක්ම අනුව, දිග හැරෙයි. දේශපාලන කතාබහ පක්ෂය ගැන නොවූවකි. පුද්ගලයන් ගැන වූවකි. අදහස් හා ප්‍රතිපත්ති ගැනට වඩා ස්ටැයිල් හා රූප රාමු ගැන වූවකි. ප්‍රවෘත්ති නොව විස්තර කතා ප්‍රචාරය පටන් ගත්තේ මෙයට වසර අවුරුදු 75 කට පෙර. ටෙඩී රූසවෙල්ට්, විලියම් ටැෆ්ට්, සහ වූඩ්රොව් විල්සන් බලයේ සිටි කාලයේය. කොංග්‍රසය පැත්තකට දමා ජනාධිපතිවරයා උලුප්පා පෙන්වීම පටන් ගැනුනේ එවකයි.*

ඕලැන්ඩෝ, ෆ්ලෝරීඩාවේ සමරිසි සමාජ ශාලාවකට 2016 ජූනි 12 වැනිදා ඇතුල් වූ මානසික රෝගියෙක් තුවක්කු දෙකකින් එහි විනෝදයෙන් එක්රොක් වී සිටි පාරිභෝගිකයන්ට වෙඩි තැබීය. ඝාතකයා ද ඇතුළු මිනිස් ජීවිත 50 ක් නැතිවිය. 53 දෙනෙකුට තුවාල සිද්ධ විණ. එය පැය තුනක් පුරා සිද්ධ වූවකි.

එම සමාජ ශාලාව පිහිටන පරිසරයට සහ එය ඇතුලට තුවක්කු ගෙනියන්නට නීතියෙන් තහනම් වෙයි. සමාජ ශාලා අයිතිකරුවන්ට සහ එහි ආරක්ෂක සේවයේ යෙදෙනවුන්ට ද තුවක්කු ළඟ තබාගැනීම නීතියෙන් තහනම් වෙයි. සිද්ධිය ප්‍රචාරය කරද්දී බොහෝ ප්‍රවෘත්ති සේවාවන් මෙය සඳහන් නොකළහ.

ඝාතකයා පාවිච්චි කරන ලද්දේ SIG Sauer MCX සෙමි ඔටෝමැටික් රයිෆල් එකක් සහ 9mm ග්ලොක් 17 හෑන්ඩ්ගන් ලෙස හැඳින්වෙන තුවක්කුවකි. ඔහු සතුව “ඇසෝල්ට් වෙපන්” එකක් නොතිබුණි. ඇසෝල්ට් වෙපන් කියා තුවක්කු වර්ගයක් නොමැත. 1989 ට පෙර ඇසෝල්ට් වෙපන් යන්න තුවක්කු ගැන සංවාදයේ නොමැති වූ හැඳින්වීමකි. ඇසෝල්ට් රයිෆල් යන වර්ගයට ඈඳා ගනිමින් ඇසෝල්ට් වෙපන් යන හැඳින්වීම සිවිල් වැසියන්ට නීත්‍යානුකූල තුවක්කු අයිතිය තහනම් කළ යුතුය යන පැත්ත ගෙන ආ දේශපාලනික වහරකි.

ඇසෝල්ට් රයිෆල් ඇත්තේ ඇමෙරිකාවේ යුද හමුදාවන්හි අයට පමණි. සිවිල් ජනතාවට ඒවා ළග තබාගැනීමත් සම්පූර්ණයෙන් තහනම් වූවකි. M4A1 carbine යනු මිලිටරිය භාවිතා කරන ඇසෝල්ට් රයිෆලයකි. එය පෙනුමින් ඇමෙරිකන් සිවිල් වැසියන් අතර අද වැඩියෙන්ම ජනප්‍රිය AR-15 රයිෆලය වැනියි. නමුත් සමානකම් එතැනින් නතර වේ. හමුදාව සතු රයිෆලය ෆුලි ඔටෝමැටික් වූවකි. ට්‍රිගර් එක අදින හැම වතාවක දී ම, වෙඩි උණ්ඩ වට කිහිපයක් පත්තු කළ හැකි වූවකි. එක මිනිත්තුවකට වෙඩි උණ්ඩ 950 ක් පමණ විසුරුවා හරින්නට ඉන් හැකියි.

ඇමෙරිකාවේ ජනප්‍රියම තුවක්කුව වූ AR-15 රයිෆලය සෙමි ඔටෝමැටික් වර්ගයේ තුවක්කුවකි. ඇමෙරිකාවේ දී සිවිල් වැසියන්ට මිල දී ගත හැකි අනෙක් තුවක්කු සියල්ලම වාගේ මෙය ද, ට්‍රිගර් එක අදින හැම වතාවක දී ම විසුරුවා හරින්නේ වෙඩි උණ්ඩ එක වටයක් පමණි. තුවක්කුව හසුරුවන්නාගේ දක්ෂතාවය අනුව AR-15 රයිෆලයෙන් මිනිත්තුවකට වෙඩි උණ්ඩ වට 45-60 ත් අතර ප්‍රමාණයක් විසුරුවා හරිත හැකියි.

තුවක්කු තහනම් කළ යුතු යැයි කියා හඬ නඟන අය විසින් මේ ‘ඇසෝල්ට් වෙපන්’ යැයි හඳුන්වන තුවක්කු වලින් එක අවස්ථාවක දී මුදා හැරෙන්නේ එක වෙඩි උණ්ඩයක් පමණකි. මිලිටරි ස්ටැයිල් එනම් මිලිටරිය භාවිතා කරන තුවක්කුවක් ලෙසින් පිටතට පෙනෙන AR-15 රයිෆලය ද එක වතාවක් ට්‍රිගර් එක ඇදීමෙන් විසුරුවා හැරිය හැක්කේ එක වෙඩි උණ්ඩයකි.

සත්‍යය සොයන්නට උවමනාවක් නැති, තනිවම හිතන්නට බැරි ජනතාවක් වහලුන් කරගන්නට දන්නා ලිවියතන් ආණ්ඩුවට, පෙනුම ගැන බිය ගන්වමින් 1993 දී ෆෙඩරල් ඇසෝල්ට් වෙපන් තහනමක් කොංග්‍රස් සභාවට ගෙනෙන්නට හැකිවිණ. ඇසෝල්ට් වෙපන් යන හැඳින්වීම දේශපාලන නිර්මාණයක් නිසා ඔවුන් එහි තාක්ෂණික ලක්ෂණ කුමක් විය යුතු දැයි නිර්වචනය කළේ නැත. එසේම එම තහනමෙන් වෙඩි උණ්ඩ 10 කට වඩා ඇති මැගසින් භාවිතය සියළු සිවිල් ජනතාවගේ තුවක්කු වලට තහනම් කෙරැණි. මේ තහනම ඉදිරිපත් කළ පසුව එය නීතියක් බවට පත්වීමට වසර 10 ක කාලයක් නියම විණ. 1994 සැප්තැම්බර් 13 වැනිදා තහනම අත්හදා බැලීම පටන් ගැනිණ.

තහනමත් සමඟ නීතිය පිළිපැදි තුවක්කු නිෂ්පාදකයන් වෙඩි උණ්ඩ වට 10 ක මැගසින් ඇති තුවක්කු පමණක් වෙළඳපොලට ගෙන ආහ. නීතියට වසර 5 ක් ගෙවෙද්දී 1999 දී කොලොම්බයින් පාසැලේ මිනිස් ඝාතනය සිද්ධ වූයේ එසේ නව නීතියට අනුව වෙළඳපොලට පැමිණි Hi-Point 995 තුවක්කුවකින්. වෙඩි උණ්ඩ 10 ක සීමාව ඝාතකයාට බාධාවක් නොවිණ. ඔහු වට 96 ක් පත්තු කර තමන්ට වෙඩි තබාගත්තේ තව වෙඩි උණ්ඩ පුරවන ලද මැගසින් 13 ක් ඉතිරිව තිබිය දී ය.

තහනමෙන් සිද්ධ වූයේ තුවක්කු වලින් කරන අපරාධ නැවතීමක් නොවන බව වැටහී යද්දී, සහ තහනම අත්හදා බලන වසර 10 ගෙවී යද්දී 2004 දී එය යළි සම්මත කරගන්නට චන්ද නොමැති වීම නිසා අය අහෝසි වී ගියේය. 2004 අධිකරණ දෙපාර්තමේන්තුවේ වාර්තාව දැක්වූයේ තහනමට කළින් ද ‘ඇසෝල්ට් වෙපන්’ තුවක්කු වලින් කරන ලද තුවක්කු අපරාධ වූයේ 2% ක් පමණක් බවයි.

එහෙත් මානසික රෝගියෙක් අතින් තුවක්කුවක් පත්තු වෙන සෑම අවස්ථාවකම මේ එක විදියකට පමණක් හිතන්නට හිර වී සිටිනවුන් නීත්‍යානුකූල තුවක්කු අයිතිය අහිමි කරන්නට යෝජනා ගෙනෙති. 2012 දී කැලිෆෝර්නියාවේ ඩයාන් ෆයින්ස්ටයින් නැවතත් සිය ඇසෝල්ට් වෙපන් තහනම කොංග්‍රසයට ඉදිරිපත් කරන්නට උත්සාහ කළාය.

ඕලැන්ඩෝ හි ඝාතනයෙන් පසු ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා ද “ඇසෝල්ට් වෙපන්” සහ “වැඩි උණ්ඩ දමත හැකි” මැගසින් අයිතිය “සිවිල් වැසියන්ට” තහනම් කළ යුතු යැයි කියා සිටියේය. ඇසෝල්ට් වෙපන් කියා දෙයක් නැති වූවාට උප ජනාධිපතිවරයාට කම් නැත, එය තහනම් කළ යුතුය!!!

ඕලැන්ඩෝ ඝාතකයා තුවක්කු මිල දී ගැනීමට සුදුස්සෙක් යැයි නියාමන දන්නවා කියාගත් ඇමෙරිකන් රජය විසින්ම අනුමත කරන ලද්දෙකි. ඔහු වෙඩි පහරින් ගැලවෙන්නට හැකි වෙස්ට් මිල දී ගන්නට ඉල්ලා සිටිය දී ඒවා සිවිල් ජනතාවට මිලට ගත හැකි ඒවා නොවේ යැයි කියූ තුවක්කු කඩකාරයා සමඟ උරණ වූවෙකි. තුවක්කු කඩකාරයා අනතුරුව ඔහුව FBI එකට වාර්තා කළත් ඔවුන් ඔහු මුස්ලිම් ආගමිකයෙක් නිසා කඩ අයිතිකාරයා ආගම්වාදී වෛරයකින් එසේ කියනවා යැයි සලකා ඒ ගැන කිසිත් විභාගයක් නොකළහ. තමන් මානසික රෝගියෙක් බව පෙන්වන ලක්ෂණ ඝාතකයා විසින් බොහෝ අවස්ථාවල දක්වා ඇතත් නියාමන කරන්නට දන්නවා කියන ආණ්ඩුවම ඊට හැකියාව නොමැති බව ඒ හැම අවස්ථාවක දී ම දක්වා ඇත.

තුවක්කු අයිතිය මිනිසුන් වෙතින් අහිමි කර, ඔවුන්ව මරා දමන්නට හැකියාව මානසික ලෙඩෙකුට පාදා දෙන ලද්දේ ආණ්ඩුවේ නීති වලින්. එදින අධි කාල නිල සේවයේ යෙදුන පොලිස් නිලධාරියෙක් (තුවක්කුවක් ඔහු අත තිබූ බැවින්) සමාජ ශාලාවේ සිටි පිරිසක් එළියට අරගෙන බේරාගන්නට සමත් විය. ඝාතකයා මැගසින් දමන්නට හා එය හිරවෙද්දී වෙඩි තැබීම නවතන ලද අවස්ථා බොහොමයක් විය. ප්‍රොටොකොල් පිළිපදින්නට පොලීසිය පැය තුනක් ගතවිණ. එය තුවක්කු තහනම් කලාපයක් නොවුනා නම් එවැනි මානසික රෝගියෙක්ට එවැනි ඛේදවාචකයක් ගෙන්නට හැකියාව නොමැති වේ.

ඇයි ඇමෙරිකන්කාරයන්ට තුවක්කු අයිතිය අවශ්‍ය යැයි අයෙක් විමසනු ඇත. පුද්ගලික රොකට් අජටාකාශයට යවන අයිතියට නිදහසක් ඇති රටක ඇයි තුවක්කුවක අයිතිය තහනම් කළ යුතු කියා නිකමට සිතා බලන්න!!!

තම දේශපාලන පැත්තට ලකුණු දාගන්නට මිනිසුන් උසිගන්වන අය සමරිසි විරෝධය, තුවක්කු විරෝධය, මුස්ලිම් විරෝධය යනාදියෙන් වෙනදා ලෙසින්ම විස්තරය දිග හැරියහ. සමරිසියන් විසින් සිය තුවක්කු අයිතිය තහවුරු කරගන්නට පින්ක් පිස්තෝල නමෙන් සංවිධානයක් පිහිටුවා ගෙන තිබෙන බව මා දැනගත්තේ මේ සිද්ධියෙන් පසුවයි.

* The Politics of Narrative Form: The Emergence of News Conventions in Print and Television, Muchael Schudson, Published by The MIT Press. 1982

5 Responses

Subscribe to comments with RSS.

  1. amila chathuranga said, on ජූනි 20, 2016 at 9:01 පෙ.ව.

    මානසික රෝගීන් සහ අන්තවාදී ලක්ෂණ පෙන්වන්නන් කෙරේ සැලකිලිමත් විය යුතු බවට ඉගියක් මෙයින් ලැබී තිබෙනවා.. අපේ රටේද මෙවැනි අන්තවාදී සහ උන්මත්තක ලක්ෂණ පෙන්වන අය සිටිනවා. ඇතැම් අය තුවක්කු තබාගත හැකි මට්ටමේ ලයිසන්ද තිබෙන බලගතු අය.

  2. mppgunasinghe said, on ජූනි 20, 2016 at 10:04 පෙ.ව.

    ලංකාවේ වෙඩිතැබීම් සිද්ධියකින් පසුව ඇතිවන කතා බහ සහ මෙහි දී ඇති වූ ලංකා ජනමාධ්‍ය සහ මෙහි ජනමාධ්‍ය අතර ඇතිවන කතා බහ සසඳමින් මාධ්‍යයන් හැසිරෙන අන්දම සහ වාර්තා කරණයේදී කටයුතු කරන අන්දම පිළිබඳ සිතමින් කිසියමි විනෝදයක් ද ලබමින් සිටියෙමි. මහත් වෑයමකින් ලැබුණ සුළු දත්ත ප්‍රමාණය අනුව මේ “මානසික ව්‍යාධියකින් පෙළෙන අයකු විය හැකිය” යි යන්න මගේ හැඟිම වී තිබිණි. ඔබේ ලිපිය මගේ හැඟිම තහවුරු කරන්නක් විය


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: