අරුණි ශපීරෝ‍ වෙතින්

දුර්ජනයන්ට මං පාදා දීම

Posted in Uncategorized by arunishapiro on ජූනි 23, 2016

ft-venezuela-hunger-4

තුවක්කු අයිතිය නීතිගරුක ජනතාව වෙතින් අයින් කරනු යැයි ඉල්ලා සිටින බොහෝ පිරිසක් අවි ආයුධ රැගත් ආණ්ඩු ලොව තුල කරන හානිය නොදැක්කා සේ ඉන්නට කැමතියි. ඒ අස්සේ ආණ්ඩුවල සහාය නොමැතිව නිදහස් සාමකාමී ජනතාව අතර “පැරා මිලිටරි” කල්ලි ඇතැයි සිතන අයත් ඉන්නා බව පහුගියදා දැනගත්තෙමි!!!

හාමතයෙන් පෙළෙන සංඛ්‍යාව වැඩිවෙද්දී මහජනතාව බඩගින්න නිවාගන්නට මහපාරේ සතුන් මරාගෙන කන, සෞඛ්‍ය සේවා අඩපණ වූ බෙහෙත් හිඟයක් පැතිර පවතින වෙනෙසියුලාවේ, ජනාධිපති නිකොලාස් මධූරෝට ඇති ජනප්‍රසාදය 31% කි. දකුණු ඇමෙරිකාවේ චිලේ හි මිචෙල් බැචලෙට් 26% ක ජනප්‍රසාදයකුත්, පෙරූ හි ඔලන්ටා හුමාලා 15% ක ජනප්‍රසාදයකුත් පවතී. පසුගිය දා නිලයෙන් පහ කරන්නට පෙර බ්‍රසීලයේ ඩිල්මා රූසෙෆ්ට 9% ක ජනප්‍රසාදයක් පැවතිණ.

මෙතරම් උග්‍ර ආර්ථික ව්‍යවසනයක් හමුවේ, “පාන් කඩයකට ගොඩ වැදී පාන් තියෙනවාදැයි අහන්නට සිද්ධ වෙන එකම රටේ” පාලකයා රටේ දුක්විඳින ජනතාවගෙන් 31% ක ජනප්‍රසාදයක් ඇතිව ඉන්නේ කෙසේද?

උත්තරය සරල වූවකි. චැවිස්මෝ දේශපාලන ව්‍යාපාරය අදහන අයට ආණ්ඩුව විසින් බෙදන ප්‍රොපගැන්ඩාව ගිරවුන් මෙන් කියත හැකියාව ඇත. වරෙක ඔවුන් උගෝ චෑවෙස්ට ඇමෙරිකාව පිළිකා බෝ කළේ යැයි කිවූහ. දැන් ලෝක තෙල් මිල පහළ යෑම සහ නියඟය පිට වරද පටවා ඇත.

ලෝක තෙල් මිල පහළ යෑම නිසා හටගත් සාගත තත්වයක් නම් නයිජීරියාව වැනි තෙල් අපනයන වලින් යැපෙන රටක ද ආහාර හිඟයන් දැකිය යුතු වේ. නයිජීරියාවේ ද ආර්ථිකය පහළ බැස ඇත. එහෙත් ආහාර හිඟයක් නැත. වෙනෙසියුලාවේ ආහාර පෝලිම් පටන් ගත්තේ 2014 වසර මුල දී ය. ලොව බොර තෙල් බැරලයක් ඇමෙරිකන් ඩොලර් 110 කට තිබි කාලයේ දී ය. වෙනෙසියුලාවේ දැඩි ටොයිලට් පේපර් හිඟයක් පැතිරුණේ ඊටත් කළින් එනම් 2013 දී ය.

මධූරෝට වඩා ජනප්‍රසාදය අඩු, 15% ක ජනප්‍රසාදයක් පමණක් ඇති හුමාලා පාලනයේ සිටින පෙරූ රටට වඩා බොර තෙල් අපනයනයෙන් ආදායමක් වෙනිසියුලාව විසින් උපයයි. වෙනෙසියුලාව සහ පෙරූ රටවල් දෙකෙහිම ජනගහණය එක හා සමාන වෙති. නමුත් ජනාධිපතිවරයාට ජනප්‍රසාදය අඩු වුවත්, පෙරූ රටෙන් හාමතේ සිටිමින්, පෝලිම් වල පැය ගණන් ලැග, බඩු නැතිව ගෙදර යන ජනතාවක් ගැන අහන්නට ලැබෙන්නේ නැත.

මෙම වසරේ දී වෙනෙසියුලාව බොර තෙල් වලින් උපයන ආදායම කොලොම්බියාව හා සමාන වෙතැයි කියැවේ. කොලොම්බියාවේ ජනගහණය වෙනෙසියුලාවේ ජනගහණය මෙන් දෙගුණයකි. ඒත් කොලොම්බියාවේ ද උග්‍ර ආහාර හිඟයක් හෝ බෙහෙත් හිඟයක් නැත.

පෙරූ රටේ දකුණු කෘෂිකාර්මික පෙදෙස් හි වර්තමානයේ නියඟයක් පවතී. ගුවාතමාලා, කැරිබියන් දුපත්, අප්‍රිකානු රටවල මෙන්ම මිලියන 300 ක ජනතාවකට බලපාන නියඟයක් මේ දිනවල ඉන්දියාවේ ද පවතී. එහෙත් ඒ රටවල වෙනෙසියුලාවේ මෙන් ආහාර ඉල්ලා ලතවෙන ජනතාවක් දකින්නට නැත.

මධූරෝට 31% ක ජනප්‍රසාදයක් ලැබෙන්නේ, බලයේ ඉන්නට ලැබෙන්නේ නිදහස් ජනතාව වෙතින් නොවේ. චෑවෙස් විසින් ආයුධ සන්නද්ධ කරන ලද්දවුන් වෙතිනි. 2002 දී චෑවේස්ව බලයෙන් පහකරන මිලිටරි කුමන්ත්‍රණයක් පටන්ගෙන දින දෙකකින් අසාර්ථක විය. තමාව බලයේ තබාගැනීමට සාමාන්‍ය හමුදාවට නොහැකි බව චෑවේස් එදා හඳුනාගත්තේය. 2004 දී කරාකස් පොලීසියේ දහ දාහක් සහ වෙනත් පළාත්වල පොලිස් බලය ද හේ අඩු කරන ලදි.

චෑවිස්ටා ව්‍යාපාරය කළේ බදුගෙවන ජනතාවගේ මුදලින් ආණ්ඩුවේ අවිගත්තවුන් රටේ හැම නගරයකම, හැම ගමකම ස්ථාපිතයයි. එය “බොලිවේරියන් මිලීෂා” යැයි හැඳින්විණ. චෑවේස්ගේ සමාජවාදයට පක්ෂ වූවන් කැමැත්තෙන් එකතු වූ, අම්මල තාත්තල අච්චිල සීයල වෙතින් හැදෙන අවි ආයුධ වලින් සන්නද්ධ කල්ලියක් යැයි සාමාන්‍ය වෙනෙසියුලාවේ වැසියන් විශ්වාස කළහ. එහෙත් පසුගිය මැයි 22 වැනිදා, රට අර්බූදකාරී බැවින් ගිලගත් මොහොතක, ආණ්ඩුව විසින් ඇමෙරිකන්කාරයන් රට ආක්‍රමණය කරනවා යැයි බිය පතුරුවමින් මේ චෑවිස්ටා ව්‍යාපාරයේ “කලෙක්ටිවොස්” නමින් වූ පැරා මිලිටරි කල්ලිය දැකගන්නට වෙනෙසියුලාවේ වැසියන්ට හැකියාව පෑදිණ.

ආණ්ඩුවට ඇත්තේ ආර්ථික න්‍යායක් නොව ‘කුමන්ත්‍රණ න්‍යායක්’ බව දැක්ක ද රටේ ජනතාව අද කුමක් කරන්න ද?

කලෙක්ටිවොස් විසින් පොලීසියෙන් සහ සාමාන්‍ය හමුදාව වෙතින් නීතිය හා සාමය රැකීම තම අතට පවරාගෙන ඇත්තේ මධූරෝ ආණ්ඩුවේ චෑවිස්ටා ව්‍යාපාරයේ නාමයෙනි. ඔවුන් අතර මධූරෝට අකැමති අය ද සිටිති. “අපි චෑවිස්ටා, මධුරිස්ටා නොවේ,” යැයි කියනවුන් සිටිති. එහෙත් ඒ දෙක අතර වෙනසක් නැති බව හඳුනාගන්නට නොදනිති.

ඔවුන් සමාජවාදය පෙනී සිටිනවා යැයි කියන සමාජ සාධාරණත්වය තම පැත්තේ අදහස් දරණ අයට පමණක් ලැබිය යුතු යැයි සිතන අයයි. රටවැසියන්ගේ නිෂ්පාදන, දේපල හා ආදායම් තාසාද්ග්‍රහණයට, රාජ සන්තක කිරීම් වලට, අවසරය ඇති කමිටුවක් වෙනෙසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂයෙන් පිහිටුවන ලදි.

2004 දී චෑවෙස්ට එරෙහි ජනමතයක් විමසන්නට අත්සන් ගසන ලද්දවුන් දේශපාලන ඇපාතීඩයකට මුහුණ දුන්හ. අද මධූරෝට එරෙහිව ජනමතයකට අත්සන් ගැසීම අධෛර්ය කරවන්නට, CLAP නමින් වූ ඒ තාසාද්ග්‍රහණ කමිටුව ආහාර ලැබෙන්නේ කුමන රටවැසියන්ටදැයි නොලැබෙන්නේ කාටදැයි තීරණය කරයි. මේ චෑවිස්ටා ව්‍යාපාරය යනු සමාජ ප්‍රජාන්ත්‍රවාදීය වූවක් යැයි ඇමෙරිකන් දේශපාලකයෙකු වන බර්නි සෑන්ඩර්ස් සහ ඇමෙරිකන් හොලිවුඩ් නළුවෙකු වෙන ෂෝන් පෙන් වැන්නෝ ප්‍රශංසා කරන ලදහ. එහෙත් දැන් ජනමතය ප්‍රකාශයට වරම් නැති බව දකිද්දී ඔවුන් නිශ්ශබ්ද වෙති.

වෙනෙසියුලාවේ ආණ්ඩුව, පුද්ගලික හා රාජ්‍ය වූ සියළු ආහාර බෙදාහරින මාර්ග පාලනය තම අතට ගෙන ඇත. CLAP විසින් ආහාර සියල්ල සලාක ක්‍රමයෙන් බෙදන බලය තමන් අතට ගෙන ඇති විට දී, ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ඇති අකමැත්ත ප්‍රකාශ කර තම දූ දරුවන් හාමතයෙන් තබන්නට කැමති කවුද?

නිෂ්පාදන හිඟය නිසා උද්ධමනය අද සියයට දාහක් දක්වා ඉහළ ගිහින් ඇත. මිල ගණන් පැයෙන් පැයට වෙනස් වේ. රාජ්‍ය ව්‍යවසායකත්වය දැවැන්තය, දැඩි පාඩු විඳින ආයතනවලින් පිරී ඇත. මධ්‍යගතව සිද්ධ වූ මිල පාලනයෙන්, ව්‍යවසායකත්වය නොදන්නා අය අතින් නිෂ්පාදන වැය ඉහළ යද්දී පවා අඩු මිල පවත්වාගැනීම නිසා සැපයුම් සහ නිෂ්පාදනය කඩා වැටිණ. බඩු ගත හැකි කළු කඩ මිල ගණන් ඉහළ ගියේය. ඩොලරයේ නිල විනිමය අනුපාතිකයට වඩා දැඩි වෙනසක් ඇත්ත අගයේ දකින්නට ලැබිණ. රටේ බැඳුම්කර ඇත්තේ චෑවිස්ටා අතය. විදෙස් ණයෙන් දැවැන්ත ප්‍රමාණය ඔවුන් සතුයි. ඔවුන් විසින් හදාගත් “බ්‍රෝකරේජ් ආයතන” තුලින් වෙනෙසියුලාවේ බැඳුම්කර ඩිස්කවුන්ට් මිලට ගෙන බිලියන ගණනින් ආදායම් උපයාගන්නට ඔවුන් සමත් වී සිටිති.

කුමන විලාසයකින් හෝ පිළිගැන්වෙන සමාජවාදය අසාර්ථක යැයි පිළිගන්නට අකමැති වූවන් තව දුරටත් තම දර්ශනය කුමක්දැයි නොදැන ධනවාදය අසාර්ථක යැයි හඬනඟමින් සිටිනු ඇත. එවැනි දුර්ජනයන්ට මං පාදා දී, පණ බයෙන් සහ හාමතෙන් තම දූ දරුවන්ට ඉන්නට සිද්ධවෙනවාට කැමැති දැයි ඔබ ඔබෙන්ම අවංකව විමසිය යුතුයි. ඕනෑම රටක් වෙනිසියුලාවක් වෙන්නට වැඩි කාලයක් යන්නේ නැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: