අරුණි ශපීරෝ‍ වෙතින්

රජය ඉක්මවා අනාගතය දිහා බලන්න

Posted in Uncategorized by arunishapiro on ජූලි 14, 2016

only a tool not the solution

වර්තමානයේ දී ලොව කොතැනක සිටියත් දැඩි ඕනෑකමක් ඇත්තෙකුට ඕනෑම විෂයයක් හදාරන්නට අවස්ථාව පාදා දී ඇත්තේ ලොව කිසිම රජයක මැදිහත්වීම නිසා නොවේ. එවැනි අවස්ථා සියල්ල නිදහස් ඒකීය පුද්ගලයන් ගන්නා ලද උත්සාහන්හි ප්‍රතිඵල වෙති. යම් විෂයයක් හැදෑරීම සහ එම විෂයෙන් රස්සාවක් කිරීම අතර මැද්දට පනින්නේ ද ආණ්ඩුවයි. ඇමෙරිකාව කළත් එය ධනවාදී ආර්ථික ක්‍රමයේ ලක්ෂණයක් නොවේ!!

‘අසරණයන් බේරාගැනීමේ’ තේමාව සෑම මිනිස් සබඳතාවයකටම පාහේ රාජ්‍ය මැදිහත් වූ බාධක ගෙනෙන්නට යොදා ගැනෙන්නයි. සැබැවින්ම අසරණයන්ට කුමක් වේදැයි යන්න ඒ ප්‍රතිපත්ති හදන්නට පුළුවන් යැයි සිතන අය නොසලකා හරිති.

සර්ව සෞඛ්‍ය සේවය සපයන්නට රජයක් දන්නවා යන්න මහත් ප්‍රයෝගකාරී විගඩමක් ලෙසින් දකින්නට හැකියාව ඇත්තේ අල්පයකට පමණි. සර්ව සෞඛ්‍ය සේවාව යනු රජය බේරාගන්නවා යැයි කියන අසරණයන්ම බේරා නොගැනෙන වැඩ පිළිවෙතක් බව තම දෑස් ඉදිරිපිට දිනපතා පාහේ ඔප්පු වූවත්, දස ලක්ෂ වාරයක් ප්‍රතිසංස්කරණයට ලක් වී තිබුණත්, නැවත වතාවක් යළිත් ප්‍රතිසංස්කරණයට කැමති අය මිසෙක එය අල්ලා විසිකරදමන්නට යැයි ඉල්ලා සිටින අයෙක් සොයා ගැනීම අති දුෂ්කරයි.

රැසියාව, චීනය, කියුබාව යනාදී රටවල් යන එන මං නැතිවෙද්දී ධනවාදී ක්‍රම වලින් පිහිට පතනවා සේ සමාජවාදී ස්වීඩනයේ සෞඛ්‍ය සේවා දුර්වල වෙද්දී ඔවුන් පුද්ගලීකරණයට පිවිසි හැටි නොදැක්කා සේ සිටින්නට බහුතරය කැමතියි.

ලංකාවේ වෛද්‍ය විද්‍යාල ගැන කතාබහ වනුයේ රාජ්‍ය අංශයේ අවසරය සහ නියාමනය ඇතිව ගෙන යා හැකි, නඩත්තුව සිද්ධ විය යුත්තේ රාජ්‍ය මුදලින් ද පුද්ගලික මුදලින් ද ගැනයි. ලෝක ඉතිහාසයේ මෙන්ම ලංකා ඉතිහාසයේ ද සෞඛ්‍ය සේවා සපයන්නට “රාජ්‍ය අංශය” මැදිහත්වන්නට පෙර යුගයක් තිබි බව ජනතාවට අමතක වී ඇත්තේ මන්ද?

ඇමෙරිකාවේ වෛද්‍යවරුන්ට වෙදකමට අවසරපත් දීම පටන් ගත් මුල් ඉතිහාසය ගැන University of Alberta හි ඉතිහාස අංශයේ Ronald Hamowy විසින් ලියන ලද The Early Development of Medical Licensing Laws in the United States, 1875-1900 සිරස්තලයෙන් යුතු ලිපියක් 1978 දී ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ ලිබටේරියන් විද්‍යාර්ථීන්ගේ වාර්ෂික සම්මන්ත්‍රණයක දී ඉදිරිපත් කෙරිණ. ඉංග්‍රීසියෙන් කියවන්නට කැමති අයට එය PDF හැටියට ඉහත සබැඳියෙන් ලබාගන්නට පුළුවනි.

ලංකාවේ ද වෛද්‍ය වෘත්තියේ ආරම්භය ඇමෙරිකාවට පටහැණි නොවන්නකි. වෙදෙක් නොහොත් රෝගියෙක් සුවකරන අයෙකු ලෙසින් තමන්ව හඳුන්වාගන්නට කැමති වූවෙක්ට රජය නියම කරන ලද පුහුණුවක් හෝ රජය අනුමත කරන අවසරපතක් නොමැතිව වෘත්තියේ නියැළෙන්නට හැකියාව තිබූ යුගයක් ඉතිහාසයේ පැවතිණ. කුඹලාගේ දරුවන් මැටි වළං හට්ටි හැදීමේ නියැළුනා සේ බහුතර ලෙසකින් වෙදාගේ දරුවන් වෙද වෘත්තියේම යෙදුන අවස්ථා, වෙදාගේ අත්උදව්කාරයන් ද එම වෘත්තියට පිවිසුන සමහර අවස්ථා, වෘත්තිය හා සම්බන්ධයක් නොමැති අයෙක් වෙදකම ජීවනෝපාය මාර්ගය කරගත් ව්‍යතිරේක අවස්ථා පැවතිණ.

ඉල්ලො හැදෙන මාසය ලෙසින් පරම්පරාවක් දෙකකට ඉහතක දී ලංකා වැසියන් සමූහයක් අතර පැවති විශ්වාස සහ ඒවායෙන් වැළකෙන්නට ඔවුන් ගත් පියවර පිළිබඳව උග්ගල් අලුත්නුවර ගැන ලියන sugv විසින් තොරතුරු අන්තර්ජාලීය ලිඛිත ඉතිහාසයට එකතු කරයි. එවක වූ දැනුමෙන් ඔවුන් ගත් ක්‍රියාමාර්ග අතරින් වැඩියෙන් හොඳ ප්‍රතිඵල ගෙනෙන්නේ කුමන පිළිවෙත් අනුගමනයෙන් දැයි තෝරාගන්නට එදා ඔවුන්ට කියා දුන්නේ කවුද?

නුහුරු නුපුරුදු දේ ගැන විමසා බලන්නට කල්පනා ශක්තියක් නොමැති වූවෙක් සමාජයක පවතින සාමාන්‍ය මතයේ වහලෙක් ලෙසින් ජීවත් වෙයි. ලොව බහුතරය එසේය. මේ බ්ලොග් සටහන් ලියැවෙන්නේ එවැනි අය අරබයා නොවේ. නුහුරු නුපුරුදු දේ විමසා බලන්නට ලැදියාවක් ඇති සුළු පිරිස වෙනුවෙනි. ඒ අයට පුළුවන් ඵෛතිහාසික යුගයට වඩා අද රෝගීන් බේරාගන්නට වෛද්‍ය ක්ෂේත්‍රය සමත්ව සිටින්නේ රජයක මැදිහත්වීම නිසා ද නැද්ද යන්න විමර්ශනය පිණිස තොරතුරු පසුපස හඹා යන්න.

1800 ගණන්වල දී ඇමෙරිකාවේ වෛද්‍ය විද්‍යාල බහුල වූහ. ඒවා බොහෝ දුරට රජයේ බලපෑම් වලින් තොර පුද්ගලික ආයතන වූහ. වැඩි කරදරයක් නැතිව ඒවායේ හොඳම යැයි සැලකෙන විද්‍යාලයන්ට පවා ඇතුල්වීමට ඉඩකඩ පැවතිණ. වෘත්තියට ඇතුල්වීම නිදහස් වෙද්දී, වෛද්‍ය අධ්‍යාපනය ලාබ සහ ප්‍රථුල ලෙසින් පැවතෙද්දී විශාල සංඛ්‍යාවක් ඊට පිවිසුනහ.

රාජ්‍ය මැදිහත්වීම් නොතිබූ නිසා වෛද්‍ය වෘත්තියට පිවිසෙන අය බහුල වූවා පමණක් නොව ඇමෙරිකාවේ විස්කම් පෑ වෛද්‍ය හුයි පොක් වැනි සම්මත වෛද්‍ය ප්‍රතිකාරවලට බාහිර ප්‍රතිකාර ක්‍රමයන්හි නියැළෙන ලද අය ද බහුලව සිටියහ.

1847 දී ඇමෙරිකන් වෛද්‍ය සංවිධානය බිහිවූයේ ප්‍රධාන වශයෙන් වෛද්‍ය අධ්‍යාපනය දියුණු කිරීමට සහ “රටේ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව අඩුකිරීමට” යැයි ප්‍රසිද්ධියේ කියමිනි. එවක ජනගහණයට සමානුපාතිකව වැඩියෙන්ම වෛද්‍යවරු සිටින රට වූයේ ඇමෙරිකාවයි. එවැනි තරඟකාරී වෙළඳපොලක ඇමෙරිකන් වෛද්‍ය සංවිධානය රජයේ බලය යොදාගන්නේ අසරණයන්ට සරණ වනු පිණිස නොවේ. ‘නයි තෙල් බෙහෙත් වෙළෙන්ඳෙක්’ පෙන්වා ජනතාව බිය කරමින් තම සංගමයට බලය පවරාගෙන වෙනත් වෙදකම් ක්‍රම සියල්ල තරඟයෙන් ඉවත්කරන බලය ලත්වුන් අතින් ඔවුන්ගේ ආදායම් මාර්ග වැඩිකරගන්නටයි.

1980 ගණන්වල දී ඇමෙරිකන් සෙනෙට් සභික ටොම් හාකින් ඇමෙරිකන් බදු මුදල් යොදවමින් ජාතික සෞඛ්‍ය ආයතනයේ (NIH) හි අංශයක් ලෙසට The National Center for Complementary and Integrative Health (NCCIH) ආරම්භයට දායක විය. එහි Office of Alternative Medicine (OAM) පිහිටුවන ලදි. 2010 වෙද්දී NIH හි මේ විකල්පීය වෛද්‍ය ක්‍රම සඳහා වැය කරන ලද බදු මුදල් මිලියන $521 කි. හාකින් සෙනෙට් සභිකත්වයෙන් විශ්‍රාම ගිය ද ඒ සඳහා වෙන් කෙරෙන මුදල් දිගටම ඊට ගලා යයි. මුදල් වැය කළත් මේ විකල්පීය වෛද්‍ය ක්‍රම වලින් සුවකරත හැකි යැයි ඔප්පු කරන ලද සාර්ථක අධ්‍යනයක් තවම ඔවුන් අතින් ඉදිරිපත් වී නැත.

ඇමෙරිකාවේ දී මැක්ස් ගර්සන් වැන්නෙක් ද ලංකාවේ දී ඉසිවර දියණිය වැනි අය ද වෙළඳපොලට රිංගා ගැනීමට පෙර ඔවුන් වළක්වන ක්‍රමයක් ලෝකයේ නැත. එහෙත් රාජ්‍ය මැදිහත්වීම් වැඩිවෙද්දී හැම විටම දකින්නට ලැබෙන ලක්ෂණ සෞඛ්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව ද දකින්නට ලැබේ. රාජ්‍ය මැදිහත්වීම් වැඩිවෙද්දී මිල ඉහළ යයි. භාණ්ඩ සහ සේවා හිඟ ඇති වේ. තමන්ට ලැබෙන ඵලවිපාක දකින්නට හැකි වුවද, එසේ වෙන්නේ මන්දැයි නිසි ලෙසකින් පහදා ගන්නට නොහැකි අවුලක මිනිසුන් පැටලෙති. කලුකඩකාරය ඇතිවේ. අවුල් සහගත තත්වයේ දී වැඩියෙන් බිහිවෙන කූටෝපායන්වලට රජය මැදිහත්වීමෙන් ඔවුන් බේරාගන්නවා යැයි කියූ අසරණයන්ම වැඩියෙන්ම ගොදුරු වෙති.

විවිධ ක්‍රමවේද සහිත තරඟකාරී සෞඛ්‍ය සේවා පද්ධතියක් සඳහා විප්ලවයක් අවශ්‍ය නැත.

ලෝකයේ කිසිම රජයකට, කිසිම සංවිධානයකට හෝ කිසිම පිරිසකට ඔවුන් වාසය කරන සමාජය වෙනුවෙන් සර්ව සුබසාධනය ගෙනෙන්නට දැනුමක් නැතැයි යන්න සත්‍යයකි. නුහුරු නුපුරුදු දේ විමර්ශනයට හැකියාව ඇති අයට මෙය පහදා ගන්නට ඉඩකඩ ලැබෙද්දී ඔවුන් වෙතින් මෙම සත්‍යය සෙසු සමාජය (ලෝකයේ ඕනෑම සමාජයක වැඩියෙන් වාසය කරන බහුතර මතයට පාක්ෂිකව ජීවත්වෙන පිරිස) කරා ද පැතිර යයි. මේ මිනිස් ජීවිත අනගි කරවත හැකි එකම සංවාදය දැන් බෙහෙවින් සිංහලෙන් සිද්ධ වෙනවා දකින්නට ලැබීමෙන් මගේ සිත මහත් සතුටින් පිරී යයි.

2 Responses

Subscribe to comments with RSS.

  1. amilac2014 said, on ජූලි 14, 2016 at 9:49 පෙ.ව.

    ඔබ පවසන දැය සත්‍යයක්. නමුත් මුදල් හදල් ඇති අයට පුලුවනි නේ ගොඩක් දේවල් සගවාගන්න. උදාහරණයක් විදියට පුද්ගලික රෝහල් වලදි මියගිය අය ගාන කොහොමද? ඒ වගේ කාරණාවක් අපිට ලේසියෙන් හොයාගන්න බෑ..අසාර්ථක වුන සැත්කම් කොච්චරක්ද ආදී තොරතුරුත් එහෙමයි..
    නියමිත මට්ටමට දැනුම නොමැති වෛද්‍යවරුන් නිතරම සිය මුදල් යොදාගන්නේ මිත්‍යාව තුලින් සිය තැන ආරක්ෂා කරගන්න. එය නිවැරදිද හරිද කියලා අවුලක් නෑ අධ්‍යාපනය වගේ දේකදි..නමුත් වෙදකම වෛද්‍ය වෘත්තිය ඇවිල්ල මිනිස්සු එක්ක කරන දෙයක් නෙව..එතකොට මිනිස්සු වැඩිපුර මැරෙන්න හැකියාව තියෙන දොස්තර කෙනෙක්ට මේ ක්‍රමය තුල වංචාවෙන් මුදල් බලයෙන් රැදෙන්නට හැකියාවක් තිබෙනවා නම්..ඔහු වැනි අය ඉවත්කරගන්නේ කෙසේද?

    එතන සූටි අවුලක් තියෙනවා..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: