අරුණි ශපීරෝ‍ වෙතින්

නිදහස් පුරවැසියන්ට වාහන වේග සීමා එපා

Posted in Uncategorized by arunishapiro on ජූලි 16, 2016

IMG_5638

ඇමෙරිකන්කාරයා අවි අයිතියේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම කුමක්දැයි වටහා ගැනීමට අවශ්‍යතාවයක් බොහෝ අයට නැත. ඇමෙරිකන්කාරයා අවි අයිතිය ආරක්ෂා කරගැනීමට සටන් කරනවා මෙන් ජර්මන්කාරයා සටන් වදින්නේ වාහන පැදවීමේ වේගයට සීමාවක් නොදැමීම වෙනුවෙනි.

නිදහස් පුරවැසියන්ට වාහන වේගයට සීමාවක් එපා යැයි දළ අර්ථය ගෙනෙන Freie Farht für freie Bürger! යන පාඨය ජර්මන් වාහන බම්පර් ස්ටිකර් හැටියට ද දකින්නට පුළුවනි. එයින් මායිම් හරහා යෑමේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමක් ද, පුරවැසියන් වෙතින් තොරතුරු වසන් කරන ආණ්ඩුවට විරෝධය පළ කිරීම ද සිද්ධ වේ.

මේ සටහනේ ඉතිරිය මා කලකට පෙර කියවා එහි අනගි බස් හුරුව රසවිඳි නිසා පරිවර්තනය කළ බ්ලොග් සටහනකි. ඒ සටහන ඉංග්‍රීසියෙන් කියවන්නට මෙතැනින් පුළුවනි. සටහනට එකතු කරන්නේ අපි වාසය කරන පැත්තේ ඇති මුහුදු නගරයේ පැවැත්වුන පරණ කාර් රැළියක දී මා ගත් 50 ගණන් අග හැදූ ඇමෙරිකන් කෝර්වෙට් වාහනයක පිංතූරයයි.

—-
Freie Fahrt für freie Bürger!

නිදහස. ‘සතුට විඳීමේ රහස නිදහසයි,’ තුසෙඩිඩීස් ලිවීය. ‘නිදහස යනු අපි අපටම වගකියන්නට ඇති කැමැත්තයි,’ නීට්ෂේ ප්‍රකාශ කළේය. ‘මිනිසා නිදහස් ඔහු එසේ වන්නට කැමත්ත ඇති මොහොතේ දී ය,’ වෝලටෙයාර් ලිවීය.

මට වාහනයක් නැත. ජර්මනියේ මහජන ප්‍රවාහන පහසුකම් ඉතා හොඳ බැවින් ඊට අවශ්‍යතාවයක් නැත. කලාතුරකින් දුර බැහැර ගමනක් යන අවස්ථාවක දී, අධිවේග දුම්රිය මාර්ග නොමැති පැත්තකට යද්දී, මම Hässliches Entlein, හෝ Ugly Duckling, ඇමෙරිකාවේ Rent-a-Wreck අනුකාරයෙන් හැදුනා වූව, වෙතින් වාහනයක් කුලියට ගනිමි. ඔවුන්ගේ වාහන පාවිච්චි කරන ලද ඒවාය. හෙමිහින් යන ඒත් වැඩේ ඉටු කරන ඒවාය.

පහුගිය මාසයේ මම A24 ඔටෝබාන් එක දිගේ පැයට කිලෝමීටර් 130 (පැයට සැතපුම් 80 ක) පමණ වේගයෙන් ආපහු බර්ලිනය කරා ගාටමින් සිටිය දී රිදී පෝර්ෂ 911 ටර්බෝ එකක් මාව පහුකරගෙන ගියේ මාක් 2.0 තරම් වේගයකිනි. එය මා පහුකරගෙන යද්දී වැදුණ හුළං පහරෙන් මගේ තාරා පැටියාගේ පිහාටු මෙන්ම මගේ මමංකාරය ද අවුල් කරවන්නට සමත් විය. ඒත් ඒ දෙකම පාලනය කරගන්නට මට හැකිවිණ. අනතුරුව පාචිම් හරියේ දී මා සර්විස් ස්ටේෂන් එකකට ගොඩවැදෙන විට ඒ රොකට් කාර් එක සහ එහි රියැදුරාව දැක්කෙමි. මයිකල් ෂූමාකර් හෝ සෙබැස්ටියන් වෙටල් සුක්කානම අසල සිටිනවා ද? නැහැ, එතැන වූයේ අතිශය ප්‍රීතියෙන් උද්දාම වූ ජපන් සංචාරකයෙකි.

ලොව වටා වාහන පදවන අය දන්නා ලෙසින්, ජර්මනියේ ඔටොබාන් මාර්ගයන්හි වාහන පදවන වේගයට සීමා පනවා නැත. බැංකොක් මාර්ග තදබදයක හිර වී සිටිනවුන්, නැත්නම් ලී පැටවූ ට්‍රක් රථ පිටුපසින් කැනඩාව හරහා දිවෙන අධිවේගයේ (වැඩියෙන්ම යා හැකි වේගය පැයට කිලෝමීටර් 110) බඩගාන්නට සිද්ධ වූවන්, දන්නා පරිදි පය වාහනයේ අඩියටම වදින සේ පාගමින් ජර්මන් ගල්තාර මතින් පියාඹාන්නට විදේශික රියැදුරන් සිහින මවති. ජර්මන් වැසියන් 850,000 ක් පමණ එහි වාහන නිෂ්පාදන කර්මාන්තයේ රක්ෂාවන්හි නියැළෙති. යුරෝපීය නිමැවුම් වෙළඳපොලේ 29% ක් පාලනය මේ අංශය සතු වෙයි. ඉතින් දේශපාලනඥයන් වගේම වාහන නිෂ්පාදකයන් ද ඒ සිහිනය පවත්වාගන්නට එක සේ කැමති වෙති. VW, Audi, BMW, Daimler, Porsche (VW) සහ Opel යන රටේ වාහන නිමැවුම් හයදෙනා වෙනුවෙන් රජයට බලපෑම් කරන අය තර්ක කරන්නේ ජර්මනියේ වාහන සහ මහා මාර්ග අධිවේග නිදහසේ පොරොන්දුව දිගින් දිගටම පිළිගැන්වීම ආර්ථික සාර්ථකත්වයට නැතිවම බැරි වූ අංගයක් හැටියටයි.

Freie Fahrt für freie Bürger යන්න සෑම ජර්මන් පිරිමි රියැදුරෙක්ගේම හදවතේ (නැත්නම් ඇක්සලරේටය පාගන කකුලේ) කැටයම් වී ඇති, හැමෝටම හුරු වූ පාඨයකි. එහි තේරුම නිදහස් පුරවැසියන්ට නිදහස් -නිර්බාධ- වේග සීමාවයි. එය බිහිවෙන්නේ පළමු තෙල් අර්බූදයෙනි. ජර්මන් ඔටොමොබයිල් ක්ලබ් ADAC අය විසින් ගෙනෙන ලද නිර්මාණයකි. පරිසරවේදීන් සහ මැදිපිළිවෙතක හා වගකිවයුතු ඔටෝබාන් වේග සීමා ගැන අදහස් දැක්වූවන්ට එරෙහිවය. න්‍යෂ්ටික බලය? වේග සීමා? එපා, ස්තූතියි.

වේගයට සීමාවක් නැතැයි යන්න ජර්මන් වාහන පිටරටවල විකුණන්නට සහාය දෙනවා පමණක් නොව, වේග-උන්මාදයෙන් වූ සංචාරකයන් ජර්මනියට අද්දවා ගන්නට සමත් වෙන්නකි. උදාහරණයක් හැටියට A24 හි කිලෝමීටර් 150 ක පමණ කොටසක දී කළින් රියැදුරන් තැබූ වේග වාර්තා බිඳ හලන්නට හැකියි. ටෝකියෝ වලින් ආ මගේ අලුත් මිතුරා කරන්නට හදන්නේ එයයි.

‘මම ගුවනින් එනවා බර්ලින්වල සතියක් ඉන්න,’ කඩිනම් එස්ප්‍රෙසෝ එකක් බොමින් ඔහු කීය. ‘පෝර්ෂ එකක් නැත්නම් එස්-ක්ලාස් මර්සිඩීස් එකක් කුලියට අරගෙන හැම්බර්ග් වලට පදිනව. ඊට පස්සේ බර්ලිනර් රින් හරහා නුරෙම්බර්ග් පැත්තට යනව. මම මියුනික් පැත්තෙන් යන්නත් කැමතියි, ඒත් A99 රවුම හදලා ඉවර නැති නිසා, ගමන හෙමින් වැඩියි.’ ඔහු මෙය ද එකතු කළේය, ‘මගේ ජීවිතයේ මම අව්‍යාජවම සතුටු වෙන්නේ ස්පීඩ් එක පැයට කිලෝමීටර් 250 වේගය සටහන් වෙද්දියි.’

බොයින් 747 ගුවන්යානයක් නඟ්ගන වේගයෙන් වාහනය පැදවීම යනු විවේකීව ගෙවන නිවාඩුවක් හැටියට සැලකීම මගේ අදහස නෙමෙයි. අනික, මේ රටේ කිලෝමීටර් 12,174 ක ඔටෝබාන් පාරවල් සාමාන්‍යයෙන් වේග සීමා නැතිව යා නොහැකි තරම් තදබදයකින් යුතු වීම සත්‍යයක්. ඒත්, ජර්මන් -නැත්නම් ජපන්- පිරිමියාගේ වේගයට ඇති දැවෙන ආශාවට නම් ඒක බාධාවක් නෙමෙයි.
වාහනය පදවන අත්වැසුම් යළි පැළැඳ ගනිමින්, ‘මට මාර නිදහසක් දැනෙනවා,’ යැයි ඔහු මට කීය. අනතුරුව වාහනය ජවගන්වා පිටකළ නිල් දුම් වලාකුලක් මැද්දෙන් ඔහු නොපෙනී ගියේය.

මගේ Ugly Duckling වාහනේ සුක්කානම පිටුපසට රිංගා ගෙන, ගෙදර බලා හෙමිහිට ඇදෙද්දී, යාන්තමින් ඊර්ෂ්‍යාවක් මා සිතට මෝදු විය. එතකොට මට මතක් වූයේ André Gide කියූ වදනකි.
‘තමන්ව නිදහස් කරගන්නේ කෙසේදැයි දැන සිටීමෙන් කිසිම වැඩක් නැහැ,’ නොබෙල් ත්‍යාගලාභියා වරෙක ලියන ලදි, ‘අසීරු කර්තව්‍යය වනුයේ තමන්ගේ නිදහසෙන් තමන් කරන්නේ කුමක්දැයි දැන සිටීමයි.’
ෂිඩ් කිසිදාක පෝර්ෂා එකක් පදවලා නැති හැඩයි.

-Rory MacLean, 2010

3 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජූලි 16, 2016 at 9:51 පෙ.ව.

    “සතුට විඳීමේ රහස නිදහසයි”

  2. Srikantha said, on ජූලි 16, 2016 at 11:04 පෙ.ව.

    Great. Love your writing. Ich bin auch
    Fahrer wie Japana.

  3. පුරවැසියා said, on ජූලි 18, 2016 at 3:44 පෙ.ව.

    නිදහස් පුරවැසියන්ට කිසිම නීතියක් එපා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: