අරුණි ශපීරෝ‍ වෙතින්

සර්කස් එකත්, එහි නටවන රිලවුනුත් මගේ නොවේ

Posted in Uncategorized by arunishapiro on ජූලි 20, 2016

IMG_4270

මෙය ඇමෙරිකන් සමාජයේ පවතින කියමනකි. මෙරට ජනාධිපතිවරණයට තරඟ වදින අය ගැන ඇති ජනතා අප්‍රසාදය හේතුවෙන් අද එය නිතර අහන්නට ලැබේ. IMG_4272

ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට වෙඩි තැබීමක දී එය කළු-සුදු භේදයේ ඔඩු දුවා ගිය ජාතිවාදී රෝගය තවමත් සුව වී නැතැයි පෙන්වන්නට යුහුසුළු වන අය සිටිති. ප්‍රංශයේ ඝාතන, ජර්මනියේ කඩු/පිහි ඇනීම් මුස්ලිම් අන්තවාදයෙන් ඔකඳ වූ උන්මාදය යැයි පෙන්වන උත්සාහය සේ ම, ලංකාවේ සිංහල දෙමළ කෝලාහල හමුවේ ද ‘අපිට එරෙහි උන්’ යන්න සියළු ජන නායකයන් විසින් තම භින්න භේද කරන දැක්ම පතුරැවා හරින්නට හනිකට අතකොළුවක් කර ගනිති.

ස්වභාවික ප්‍රපංඤ්චයන් ක්‍රියා කරන්නේ ප්‍රතික්ෂේප කළ නොහැකි වූ සදාකාලික නීති අනුව. උඩ දැම්මොත් බිම වැටේවි යන්න ගුරුත්වාකර්ෂණ තත්වයන් වෙනස් නොකර වෙනස් කළ නොහැකි වූවකි. මිනිසාට කොපමණ උවමනා වූවත් කොපමණ නීති හැදුවත් මිනිස් කැමැත්තට නොනැමෙන ස්වභාවික තත්වයන් ඇත.

සමාජයක සියළු දෙනාම භේද භින්න වලින් තොර වූ පුද්ගලයන් බවට හරවන්නට හැකි නීතියක් හෝ ක්‍රමයක් ලොව නැත. එසේ හැකි යැයි සිතූ ස්ටාලින්ගේ රුසියාව ගැමි ගොවියන්ගේ ජීවිකාව උදුරාගෙන ඔවුන් මරා දැමූහ. හිට්ලර් යුදෙව් සංහාරයක යෙදිණ. මාඕං සේතුං විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ව ගොවිතැනට යවා මහා සාගතයකට මුහුණ දුන්නේය. සූඩානය අධිරාජ්‍යවාදයෙන් ගැලවී ආගම් භේදයෙන් ජන සංහාරයේ නියැළුනහ.

ස්වභාවික ආර්ථික නීති වෙනස් කරන්නට නොහැකි යන සත්‍යය ජනතාව වෙතින් වසන් කරන්නට නොමිලේ බෙදනවා යැයි කියමින් රට්ටු පිට බදු බර පටවමින් දක්කාගෙන යා හැකි අධ්‍යාපනය සපයන ලෝක ආණ්ඩු සියල්ලම සමත් වී සිටිති.

පාලන බලය අල්ලා ගන්නට සහ එහි රැඳී ඉන්නට ‘අපිට එරෙහි උන්’ සංකල්පය අවශ්‍යයයි. ජාතිවාදී, ආගම්වාදී, සමාජ පංති යනාදී යම්කිසි භේද භින්නයක් නැතිව එය කළ නොහැකියි.

කැමැත්තෙන් එකිනෙකා හා ගණුදෙනු කරගන්නට විවිධ ක්‍රමවේදයන් සොයාගන්නට සමත් වූ ජනතාව එදා රජවරුන්ට හා රදළයන්ට පමණක් භුක්ති විඳිය හැකි භාණ්ඩ අද සාමාන්‍ය ජනතාවගේ පරිශීලනයට හැකිවන තත්වයට මිල අඩු කරගෙන ඇත. ඒ ඉල්ලුම සහ සැපයුම යන ස්වභාවික නීතියට පටහැනිව කටයුතු නොකරන ලද නිසයි.

අද යම් රටක වැසියන් සාගතයෙන් පෙළෙන්නේ ද, ඉහළ යන බඩු මිලෙන් තැවෙන්නේ ද, ඒ එරට පාලකයන් ස්වභාවික නීතිය බැහැරලා කෘතීම මැදිහත්වීම් තුලින් ජනතාව බේරාගන්නට පොරොන්දු දෙන ලද නිසාමයි. දුන් පොරොන්දු හුදු මායම් බව වැටහෙන්නට පෙර, ගෙනෙන ලද මැදිහත්වීම් බඩටත් අධ්‍යාත්මයටත් අහිතකර බව දැනගන්නට පෙර, මේ මැදිහත්වීම් රුචි රුසියන් කරන්නේ ඉල්ලුම හා සැපයුමට පරිබාහිර වූ භේද භින්න මවා පෑමයි.

බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන්, ප්‍රංශයේ මරීන් ල පෙන්, ඔස්ට්‍රියාවේ නෝබට් හොෆර් සහ ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නවුන්ට යම් ජන ප්‍රසාදයක් මෝදු වී ඇත්තේ ද මේ ‘අපිට එරෙහි උන්’ යන්නයි. සටහනට එකතු කරන පිංතූර කැනඩාවේ මොන්ට්‍රෙයාල් නගරයේ මැගිල් විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය අධ්‍යයන ආයතනය සහ ඒ අසල ගසා තිබුණ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ පාඨයයි.

වැඩවසම් ක්‍රමයෙන්, අධිරාජ්‍යවාදයෙන් ගැලවී ගත් ලෝකය එකිනෙකා සමඟ කැමැත්තෙන් ගණුදෙනු කරන්නට ක්‍රමවේද සොයාගත් ජනතාවක් නිසා වේගයෙන් සශ්‍රීක විය. මරණ සංඛ්‍යාව අඩු වී, සාක්ෂාරතාවය වැඩි වී, හාමතෙන් මිය ඇදෙන මිනිසුන් අඩු වී යන ලදි. එහෙත් ජනතාවට එකිනෙකා සමඟ කැමැත්තෙන් ගණුදෙනු කරන්නට නිදහස් ඉඩකඩ දිය යුතු නැතැයි කියන, එහෙම නැත්නම් ඉඩදිය යුත්තේ මේ මේ අවස්ථාවන් හි දී පමණයි කියන, ජන නායකයන් හා ආණ්ඩු බලයේ සිටිනවුන් ‘අපිට එරෙහි උන්’ යන්න යොදාගන්නේ ලෝක ජනතාව සාමකාමී කරන්නට නම් නොවේ. ජනතාවගේ සමෘද්ධිය සලසන්නට නොවේ.

ජනතාව අතර පවතින කිසිදා අයින් කළ නොහැකි වූ විශ්වාස, මතවාද, හැදියාවන් සහ හැකියාවන් වෙනස්කළ හැකි යැයි මේ අය තරයේ විශ්වාස කරති. සැමටම පොදු දැක්ම බලහත්කාරයෙන් ස්ථාපිතයට ක්‍රමවේද හදන්නට මේ අය නිති වෙහෙසෙති. දැනටමත් ඕනෑම රටක මිනීමැරුම් තහනම් යැයි නොසලකා හරින මොවුන් අපරාධකරුවා යම් විශ්වාසයක් නිසා මිනීමරන ලද්දේ නම් එයට වෙනස් විදියකට දඬුවම් දිය හැකි කියමින් නීති හදන්නට යති.

ස්වභාවික නීති වෙනස් කරන්නට යමින් මේ අය එය වැරදෙන හැම අවස්ථාවක දී ම, ඊට හේතුව කුමන හෝ භේද භින්නයක් යැයි උලුප්පා දක්වන්නට සමත් වෙති.

විවිධ විශ්වාස, විවිධ මතවාද, විවිධ හැදියාවන් සහ විවිධ හැකියාවන් තුලින් සාමකාමීව කැමැත්තෙන් ගණුදෙනු කරන බිලියන ගණනක ජනතාවක් සිටිති. ඒ මහත් විශාල ජනකොට්ඨාශය දැකගන්නට නොහැකි වන සේ සෙසු ලෝකවාසීන් රවටන්නට වෙහෙසෙන මේ අය සමඟත් තමන් කැමැත්තෙන් කරන ගණුදෙනු නවත්වන්නට යැයි කිසිවෙකුට කියන්නේ නැත. මන්ද අපි කිසිවෙක් හා එරෙහි වන්නට යැයි කිසිවෙකුට කියන්නේ නැති බැවිනි.

ලෝකය දියුණුවට පා තබන්නේ සර්කස් එක නිසා හා එහි නටන රිලවුන් නිසා නොව්. අර සාමකාමීව කැමැත්තෙන් ගණුදෙනු කරන ලොව බිලියන ගණනක ජනතාවගේ උත්සාහය නිසයි.

One Response

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජූලි 20, 2016 at 11:07 පෙ.ව.

    “සර්කස් එකත්, එහි නටවන රිලවුනුත් මගේ නොවේ” මේ කදිම කියමන ලාංකිකයන් අතරටත් කෙසේ හෝ යායුතු බව හැඟෙයි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: