අරුණි ශපීරෝ‍ වෙතින්

ඵෛතිහාසික මෙන්ගර් හෝටලය

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 6, 2016

menger hotel

විලියම් මෙන්ගර් 1847 දී ජර්මනියෙන් ඇමෙරිකාවට පැමිණි සංක්‍රමණිකයෙකි. ටෙක්සාස් හි සැන් ඇන්ටෝනියෝ ටවුම සිය වාසස්ථානය කරගන්නා ඔහු උපන් රටේ දී කරගෙන ගිය තම වෘත්තීය වූ බියර් නිෂ්පාදනයටම යළි පිවිසෙයි. බියර් ස්කාගාරයක් ආරම්භය විලියම්ගේ පළමු ව්‍යාපාරයයි. එහි සාර්ථකත්වයෙන් අනතුරුව ටවුමේ නවාතැන් ගන්නට පහසුකම් මදි යැයි දකින ඔහු 1859 දී කාමර 50 කින් යුතු දෙමහල් හෝටලයක් නිම කරවන ලදි. විවෘත කළ සැණින් මෙම හෝටලය පළාතේ ජනප්‍රිය ස්ථානයක් බවට පත්විණ.

ඇමෙරිකන් සිවිල් යුද්ධයේ දී එහි මුළුතැන්ගෙය සොල්දාදුවන්ට ආහාර පාන සපයන ලද ස්ථානයක් ලෙස යොදා ගැණින. අමුත්තන්ට නවාතැන් දෙනවා වෙනුවට තුවාල ලත් සොල්දාදුවන්ට සෞඛ්‍ය පහසුකම් සපයන්නට හෝටලයේ කාමර භාවිතා විය. සිවිල් යුද්ධය අවසන් වීමත් සමඟ හෝටලයේ ව්‍යාපාරික කටයුතු සාර්ථකව යළි පටන් ගැණින.

ජනයා ඇදී එන ජනප්‍රිය හෝටලයක තත්වයට ව්‍යාපාරය ගෙන ආ විලියම් මෙන්ගර් එහි කීර්තිය භුක්ති වින්ඳේ දශකයකට ආසන්න කාලයක් පමණකි. ඔහු මිය ගියාට පසුව බිරිඳ වූ මේරි සහ පුත්‍රයා වූ ලුවි විලියම් දෙදෙනා හෝටලය සහ බියර් ස්කාගාරය පවත්වාගෙන ගියහ. වසරක් යද්දී මේරි සිය සැමියා මෙන්ම තමන් ද ව්‍යාපාරික හැකියාවෙන් යුතු දක්ෂයෙක් යැයි ලොවට පෙන්වන්නට සමත් වූවාය.

මෙහි නවාතැන් ගත්තවුන් අතර යුලිසිස් ග්‍රාන්ට්, බෙන්ජමින් හැරිසන්, තියඩෝර් රූසවෙල්ට්, වුඩ්රෝ විල්සන්, විලියම් හවඩ් ටැෆ්ට්, විලියම් මැකින්ලි යනාදී ඇමෙරිකන් ජනාධිපතිවරුන් ද, රොබට් ඊ. ලී සහ ජෝර්ජ් පැටන් වැනි හමුදා නායකයන් ද සිටිති.

යටත්විජිත කාමරය හෝටලයේ ආපනශාලාවයි. ඔස්කා වයිල්ඩ් ද මෙහි භෝජන වල රස බලා ඇත. අදත් මෙහි එන සංචාරකයෙකුට රස බැලිය හැකි අඹ අයිස් ක්‍රීම් රෙසිපිය මුලින්ම හදා ඇත්තේ අයිතිකරුවාගේ භාර්යාව වූ මේරි විසින්මයි. බිල් ක්ලින්ටන් ජනාධිපති ලෙසින් දිවුරුම් දුන් උත්සව දෙකෙහි දී ම මෙම අඹ අයිස් ක්‍රීම් පිළිගන්වන ලදැයි හෝටලේ වෙබ් අඩවියෙන් කියැවේ. එම අඹ අයිස් ක්‍රීම් එක රසම රසයි.

ටෙක්සාස් ප්‍රාන්තයේ වැඩියෙන්ම හොල්මන් රජයන හෝටලය යැයි හැඳින්වෙන මෙහි හොල්මන් 38 ක් ඇතැයි කියැවේ. ඉන් එක් හොල්මනක් සැමියා විසින් මරා දමන ලද හෝටල් සේවිකාවකි. අද ඇමෙරිකාවේ හොල්මන් ඇතැයි කියැවෙන පැරණි වාසස්ථාන නරඹන්නට කැමති අය වෙතින් ඇතුල්වීම් ටිකට් පතක් අය කෙරේ. එවැනි සංචාර බොහොමයක් පැවැත්වෙන්නේ රාත්‍රියේ දී ය. ඒ හොල්මනක් දකින්නට හැකිවේ යැයි අපේක්ෂාවෙනි. එවැනි තැනක දී පිළිගැන්වෙන රාත්‍රී ආහාරය ද ටිකට් ගාස්තුවට අයිතියි. හොල්මන් කතා අහමින් සහභාගී විය හැකි රාත්‍රී ආහාර සංග්‍රහයක් මෙම දිනවල මෙන්ගර් හෝටලය ද ඉදිරිපත් කරයි.

ඇමෙරිකාවේ පළමු ස්වේච්ඡා අශ්වාරෝහක රෙජිමේන්තුවට ටෙඩී රූසවෙල්ට් විසින් හමුදා භටයන් බඳවාගන්නා ලද්දේ ද මේ මෙන්ගර් හෝටලයේ දී ය. රෆ් රයිඩර්ස්ලා යැයි ද, රූසවෙල්ටේගේ කව් බෝයි රෙජිමේන්තුව යැයි ද, වුඩ්ගේ විඩාපත් ඇවිදින්නන් කියා ද හැඳින්වෙන මෙම භට කණ්ඩායම ගැන කවි, සිංදු කතන්දර බොහොමයකි.

ඇමෙරිකන් ඉතිහාසය හදාරන්නට කැමති අයෙකුට සොයාගත හැකි මූලාශ්‍ර සම්භාරය දැවැන්තය. පුද්ගලික දිනපොත්, ලියුම් හා ලියකියවිලි, පුවත්පත් හා පත්‍රිකා, ප්‍රසිද්ධ දේශන සටහන් යනාදිය නොයෙකුත් පුද්ගලයන් සහ සංවිධාන සතුව සුරක්ෂිතව තිබීම තොරතුරු සොයන්නට කැමැති අයට පිරිනමන්නේ දැනුම සාගරයකි.

ස්පඤ්ඤ අධිරාජ්‍යයෙන් වෙන් වී යනු පිණිස නිදහස් අරගලයක යෙදුණ කියුබාවට සහාය දීමට ඇමෙරිකන් රජය කැමති කරවාගන්නා සාර්ථක උත්සාහයේ යෙදුනේ එවක නාවුක හමුදා ලේකම්වරයා ලෙසින් පත් වූ ටෙඩී රූසවෙල්ට්ය. ඇමෙරිකාව සහ ස්පාඤ්ඤය අතර සබඳතා පළුදු වෙද්දී, හවානා වරායේ තිබුණු USS Maine නම් ඇමෙරිකන් සටන් නෞකාව පුපුරා මුහුදුබත් විය. එහි දී රූසවෙල්ට් සිය පුද්ගලික සහ දේශපාලනික දැනුඇඳුනුම්කම් සියල්ල ඇමෙරිකන් රජයේ හමුදා මැදිහත්වීමක් සඳහා උපයෝගී කරගත්තේය. සිවිල් යුද්ධය නිමා වී දශක තුනක් පමණ ගෙවී යද්දී ඇමෙරිකන් හමුදා බලඇණි යුද්ධයකට යන්න තරම් සූදානමකින් නොතිබිණ. ලේකම් තනතුරෙන් ඉල්ලා අස් වී රූසෙවල්ට් ගියේ රෆ් රයිඩර්ස් භට කණ්ඩායම හදන්නටයි.

ඇරිසෝනා, ඔක්ලහෝමා, නිව් මෙක්සිකෝ හා ටෙක්සාස් යන උණුසුම් දේශගුණයෙන් යුතු පරිසරය කියුබාව හා සමාන යැයි සලකා යුද්ධයට යන සෙබළුන් බඳවා ගැනීම හා පුහුණුව ඒ පැතිවල පැවැත්වුණි. හමුදාවට එකතු වෙන්නට ආ පිරිමි සංඛ්‍යාව අනේකවිධ රැකියා කරන ලද අය වූහ. විශ්ව විද්‍යාල උපාධිධාරීන් මෙන්ම පතල් කනින්නෝ ද හමුදාවට බැඳෙන්නට පොරකද්දී ඇතිවූ ප්‍රශ්නය නොගෙන ඉන්නේ කාවදැයි තීරණය කිරීම වූවා යැයි සටහන් වේ.

වෙනත් සේනාපතියන් ලෙසින් නොව රූසවෙල්ට් අශ්වයා පිට නැඟී භට කණ්ඩායම සමඟින් එකට එක සටන් වැදුනෙකි. ටෙඩී රූසවෙල්ට් ගැන කියැවෙන මිලිටරි ඉතිහාසය රිසි අයට Mark Lee Gardner ලියන ලද Rough Riders: Theodore Roosevelt, His Cowboy Regiment, and the Immortal Charge up San Juan Hill (2016) යන පොතට කැමති වනු ඇත.

1898 ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධය මේ රෙජිමේන්තුව නිසා පමණින් දිනුම් ලැබුවේ නැතත්, කියුබාවේ නිදහස් සටන් භූමි පුරා රෆ් රයිඩර්ස්ලා සිය කණ්ඩයාමේ කීර්ති නාමය පතුරවන්නට සමත් වූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: