අරුණි ශපීරෝ‍ වෙතින්

ටෙක්සාස් ගිහින්

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 7, 2016

IMG_1097

විවිධ සංක්‍රමණික ජන කණ්ඩායම් ටෙක්සාස් හි පදිංචියට පැමිණ ඇති ආකාරය එහි ඉතිහාසයේ සටහන්ව ඇත. කොමන්චි සහ ඇපචී ස්වදේශික ගෝත්‍රික කුඩා කණ්ඩායම් ඇමෙරිකාවේ උතුරු පළාත් වලින් දකුණට සංක්‍රමණය වූවන්ය. 17 වැනි සියවසේ ස්පාඤ්ඤ ජාතිකයන් ද, අනතුරුව ප්‍රංශ සහ බ්‍රිතාන්‍යයන් ද වාසස්ථානයට පැමිණ ඇත. 18 වැනි සියවසේ දී විශාල වශයෙන් පැමිණ ඇත්තේ ජර්මන්, ඕලන්ද, ස්විඩිශ්, අයිරිශ්, ස්කොටිෂ් යනාදීන්ය. දැන් මේ පැත්තේ වාසයට ශ්‍රී ලාංකිකයන් ඇදෙනවා යැයි අහන්නට ලැබුණි!!!

1716 සිට 1793 දක්වා කාලයේ දී ටෙක්සාස් හි ඇලමෝ ප්‍රදේශයට ස්පාඤ්ඤයෙන් කතෝලික මිෂනාරිවරුන් පැමිණියහ. තැනින් තැන විසිර සිටි ස්වදේශීන් අතලොස්ස අතර ආගම පැතිරවීමට පල්ලි, වාසස්ථාන, සහ ඉස්පිරිතාල ඔවුන් විසින් ගොඩනැඟූහ. 1794 සිට 1821 දක්වා කාලය තුල දී ස්පාඤ්ඥ අධිරාජ්‍යයේ පිරිහී යාමත් සමඟ රාජ්‍ය සහායෙන් දියත් වූ මිෂනාරී උත්සාහයන් අඩු වී යන ලදි.

1810 දී ස්පාඤ්ඤ අධිරාජ්‍යයෙන් මෙක්සිකෝ රට නිදහස විය.

ජනාවාසයට එකතු වූ සියළු ස්වදේශීන්ට ස්පාඤ්ඤ අධිරාජ්‍යයා යටතේ පුරවැසි භාවය ලබාගන්නට නම් කතෝලික ආගම වැළැඳගන්නට සිද්ධ වී තිබිණ. ගෝත්‍රික කණ්ඩායම් කතෝලික ආගම වැළඳ, කියවන්නට ලියන්නට ඉගෙන ගෙන, දඩයම පමණක් නොව වෙළඳාම ද ජීවෝනාපය බවට පත්කර ගත්හ. ස්වදේශී ගෝත්‍රික කණ්ඩායම් වැඩියෙන් වෙළඳාමට පිවිසෙද්දී, එය සහ දඩයම ද පැත්තකට දමා සුළු ගෝත්‍රික පිරිසක් මේ ජනාවාස කොල්ලකෑමට ද පටන් ගත්හ.

ටෙක්සාස් හි මේ මුල් පදිංචිකරුවන් ටෙහානෝ (Tejano) ජනතාව හැටියට සැලකේ. ටෙහානෝ ජනතාවගේ ආරක්ෂාව පිණිස මුල් බලකොටු ඉදිවිය. මෙක්සිකෝවට අයත් වූ ටෙක්සාස් හි ජීවිතය පහසු නොවිණ. ගෝත්‍රික ස්වදේශීන්ගේ කොල්ලකෑම් වලට වැඩියෙන් ඔවුනට මුහුණ දෙන්නට වූයේ අඩු පහසුකම් වලින් යුතු කර්කශ පිටිසර පරිසරයක ජීවත්වීමේ අභියෝග වලටයි. ඒ නිසා පදිංචියට ජනයා ඇදී ඒමක් සිද්ධ නොවිණ.

1824 වෙද්දී තවමත් ජනාවාස එතරම් නොපැවති ටෙක්සාස් හි සැන් ඇන්ටෝනියෝ වැනි පළාත් වල උපනිවේෂයන් හදා එහි පදිංචියට ඇමෙරිකාවේ වැසියන්ට ආරාධනා කරන උත්සාහයක් බාරදෙන ලද්දේ මෝසස් ඔස්ටින් නැමැත්තාටය. එලෙස පදිංචියට ජනතාව ගෙන්වා ගැනීමෙන් මුදල් ලාබ ලැබූ කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙක් එකල සිටියහ.

1820 ජූලි 1 දා පටන් ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකන් රජය ඉඩම් පනතක් සම්මත කරමින් එතෙක් පැවති ණයට කිසිවෙකුටත් අයත් නොවූ ඉඩම් මිල දී ගැනීමේ ඉඩකඩ අහිමි කර දමන ලදි. ඉඩම් මිල දී ගෙන ලියාපදිංචි කරන අවස්ථාවේ දී අතැති මුදල් වලින්, රන් හෝ රිදී වලින් ගෙවිය යුතු විය. නියාමන කරන්නට දන්නවා කියාගන්නා ආණ්ඩු හැමදාම කරන පරිද්දෙන්, එක පැත්තකින් එවැනි පනතක් සම්මත කරගනිද්දී, අනෙක් පැත්තෙන් වැඩියෙන් ඉඩම් අලෙවිය සහ වැඩියෙන් ඉඩම් මිල දී ගැනීමේ පහසුව සලසන්නට යැයි කියමින් ඇමෙරිකන් රජය අක්කරයක අවම මිල ඩොලර් 2 සිට ඩොලර් 1.25 දක්වා අඩු කරන ලදි. එසේම, මිල දී ගතහැකි අවම ඉඩම් කුට්ටිය අක්කර 160 ක සිට 80 දක්වා ද අඩු කරන ලදි. ඒ අනුව රටේ ‘බටහිර’ පැත්තට අලුතින් ජනාවාස සඳහා ඇදී යන ජනතාව විසින් (ණයක් නොමැතිව) ගතහැකි අවම ඉඩම් කුට්ටියක සම්පූර්ණ මිල ඩොලර් 100 කි!!!

ඇමෙරිකන් ඉඩම් පනත එසේ සැකසෙද්දී, මෙක්සිකෝ රජය තමන්ගේ පළාතේ ජනාවාස සඳහා අලුතින් ඇමෙරිකන් වැසියන් කැඳවාගන්නට හැකියාව පාදා ගත්තේ අර අඩු මිලටම එහෙත් ටෙක්සාස් පැත්තේ ඉඩම් කුට්ටි ණයට ගන්නට හැකියාව පාදා දෙමින්.

මෙක්සිකෝ රජය ඉල්ලා සිටියේ පදිංචියට එන ඇමෙරිකන්කාරයන් ද කතෝලික ආගම වැළඳගෙන තම ඇමෙරිකන් පුරවැසිභාවය අත්හැර මෙක්සිකන් විය යුතු යැයි කියායි. එසේම ඔවුන් තමන් සතු වහලුන් නිදහස් කළ යුතු යැයි ද නැත්නම් වහලුන්ව ටෙක්සාස් වෙත රැගෙන ආ නොයුතු යැයි ද කියායි. ඒවා අලුතින් පදිංචියට එන ඇමෙරිකන් වැසියන් සඳහා පනවන ලද කොන්දේසි වූහ.

ඉඩම් කුට්ටි මිල දී ගෙන පදිංචියට ආවත් ඇමෙරිකන්කාරයන් ඒ කොන්දේසි නොසලකා හැරියහ. ඒ කොන්දේසි අනුගමනය කරනවා දැයි වග විභාගයට මෙක්සිකෝ රජයට හැකියාවක් නොමැති වූ බැවින් කොන්දේසි කඩකරන අයට දඬුවම් දෙන හැකියාවක් ද නොමැති විය.

කෘෂිකර්මයට, වෙළඳාමට, සත්ව පාලනයට යනාදී ජීවිකාවන් සඳහා ඉඩම් කුට්ටි මිල දී ගෙන ඇදී ආ ඇමෙරිකන්කාරයන්, තමන් උපන් ගම් බිම් හැර දා යද්දී ‘ටෙක්සාස් ගිහින්’ යැයි ඥාතී හිතවතුන්ට දන්වන පුවරුවක් දොරේ එල්ලා නැත්නම් GTT අකුරු තුන දොරේ කොටා තබා මෙහි පැමිණි බව සටහන් වෙයි.

මුල් පදිංචිකරුවන් මෙන්ම අලුතින් ආ පදිංචිකරුවන් ද මෙක්සිකෝ රජයේ මධ්‍යම ආණ්ඩු ප්‍රතිපත්ති පිළිපැදීමට වැඩියෙන් ඇමෙරිකාවේ පැවති නිදහස් වෙළඳපොල සමඟ ගණුදෙනු කරන්නට ප්‍රිය කළහ. මෙක්සිකෝ රජය මධ්‍යම පාලනයට වැඩියෙන් නැඹුරු වෙද්දී මේ පිරිස ස්වාධීන තීරණ ගත හැකියාව වැඩියෙන් අගයමින් මෙක්සිකෝ ආණ්ඩුවෙන් නිදහස් විය යුතු යැයි ප්‍රකාශ කළහ.

මෙක්සිකෝ ආණ්ඩුව සහ ටෙක්සාස් ප්‍රාන්ත වැසියන් අතර වූ නිදහස් අරගලය 1835 දී පටන් ගෙන අනතුරුව කෙටි කාලීන පැවැත්මක් ලැබුණු ටෙක්සාස් ජනරජයේ පිහිටුවීමෙන් නිමා වූවකි.

ටෙහානෝ විප්ලවාදීන් මෙක්සිකෝ රජයේ හමුදා පරාජය කරන්නට සමත් වෙද්දී, ඇමෙරිකන් රජය සහ මහා බ්‍රිතාන්‍ය ටෙක්සාස් හි නිදහස් බව පිළිගත්හ. එහි ප්‍රථම තාවකාලික ජනාධිපතිවරයා වනුයේ ඩේවිඩ් බර්නෙට් ය. ප්‍රථම ස්ථිර ජනාධිපති සෑම් හූස්ටන් විය. වසර කිහිපයක් ස්වාධීන රටක් හැටියට කටයුතු කළ ටෙක්සාස් අනතුරුව මෙක්සිකන්-ඇමෙරිකන් යුද්ධයට පටන් ගන්නට පෙර, 1845 දී ප්‍රාන්තයක් වශයෙන් එකතු වෙන්නට කැමති යැයි ඇමෙරිකන් රජයෙන් ඉල්ලා සිටියහ.

ටෙක්සාස් රජය නීත්‍යානුකූල ලෙසින් අහෝසි නොකරන ලදි. එය අන්තර්ජාතික ගිවිසුමකින් නොව ඒකාබද්ධ යෝජනාවකින් ඇමෙරිකාවට එකතු කරගත්තා යැයි දක්වමින් තවමත් ටෙක්සාස් හි සමහර වැසියන් එය ස්වාධීන රාජ්‍යයක් විය යුතු යැයි ඉල්ලති. ටෙක්සාස් ඇමෙරිකාවෙන් වෙන්විය යුතු යැයි කියන මේ අය ඊට චන්දය ප්‍රකාශ කරන්නට කැමැත්තෙන් බලා සිටිති.

2 Responses

Subscribe to comments with RSS.

  1. දුකා said, on අගෝස්තු 9, 2016 at 5:39 පෙ.ව.

    නියම ලිපියක් අරුණි අක්කේ . . .මෑතක ඉඳන් (මෙක්සිකන් කෑම කන නිසා වෙන්න ඕන ) මම මෙක්ස්කෝව ගැන එහේ ජන ජීවිතය ගැන දැනගන්න හරිම කැමතියි. කාලෙකට කලින් ගන්ගා නිරෝෂනී ට්‍රාන්ස්ලේට් කරපු ලූනු සහ කඳුලු නවල් එක නිසා ආසාවක් ආවත් ඒ කාලෙ වැඩියෙන් මෙක්සිකෝව ගැන හොයන්න බැරි උනා.

    • arunishapiro said, on අගෝස්තු 10, 2016 at 9:43 පෙ.ව.

      ස්තූතියි මල්ලි. එකම බඩු හා කඩ තිබුණට දැන් වෙන රටකට ගියා වගේ දැනෙනව. මෙක්සිකෝ ගිය දවසක ටෙක්සාස් සහ මෙක්සිකෝ අතර සමාන කම් හා වෙනස් කම් ගැන ලියන්න පුළුවන් වේවි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: