අරුණි ශපීරෝ‍ වෙතින්

මෙන්ගර් හෝටලය ආශ්‍රිත තවත් තොරතුරු

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 11, 2016

IMG_4495

විවිධ පුද්ගලයන් අතින් වාර්තාගත ඉතිහාසමය තොරතුරු මහත් විශාල සංඛ්‍යාවක් ඇමෙරිකාවේ පැවතීමට එක හේතුවක් නම් මෙරට අදහස් ප්‍රකාශයට නිදහසක් රට බිහි වූ දා පටන් බොහෝ දුරට ආරක්ෂා වීමයි.

හොර බොරු වංචා නැත්නම් ඇයි පුද්ගලික දේවල් හෙළිවෙනවාට බියවෙන්නේ යැයි පහුගිය දවස්වල ලංකාවේ ඊ-හැඳුනුම්පත් කතාබහේ දී සමහරු අහනවා දකින්නට ලැබුණි. සඟවන්නට කිසිත් නැති නිසා පුද්ගලික බව ආරක්ෂාවත් අවශ්‍ය නැතැයි කීම යනු හරියට කියන්නට කිසිත් නැති නිසා අදහස් ප්‍රකාශයට ද නිදහස අවශ්‍ය නැතැයි කීම වැනි යැයි එඩ්වඩ් ස්නෝඩන් කියා ඇත.

කියන්නට දේවල් ඇති අයට තමන්ගේ මත දැක්ම ඉතිහාසයට එකතු වෙන ලෙසකින් ලියා තබන්නට නිදහසක් ලැබෙනුයේ පුද්ගලිකත්වයට නීතියෙන් ආරක්ෂාව ලැබීම නිසයි. නැත්නම් අපිට අහන්නට ඉතිරි වනුයේ රජයේ අනුමැතියෙන් සහ අනුග්‍රහයෙන් ලියැවෙන ඉතිහාසයක් පමණකි. ස්නෝඩන් කියන ලද්දෙහි හරය කුමක්දැයි බොහෝ අයට මඟහැරෙනු නොඅනුමානයි. විශේෂයෙන්ම සමහර රටවල සමහර යුගයක් ගැන එවක වාසය කළ ජනතාව අතින් ලියැවුණු කිසිත් සටහන් නොමැත්තේ මන්දැයි කියා හිතන්නට බැරි අයට!!!

ඇමෙරිකාවේ මුල් පදිංචිකරුවන් වූ ස්වදේශීන් ගෙවන ලද්දේ කටුක ජීවිත යැයි අත්දැකීමට තවමත් ජනාශ්‍රිත නොවූ පෙදෙස්වල සංචාරය කළ යුතුමය. ජීවිතය පවත්වා ගැනීමට පමණක් දවසේ පැය 24 ම අවශ්‍ය වෙද්දී දිනපොත් වල ජන ජීවිතය ගැන, කවි සංකල්පනා හෝ දාර්ශනික සිතුවිලි සටහන් තබන්නට ඔවුනට නොහැකියි. යුරෝපීය ආගමනයත් සමඟ මේ ස්වදේශීන් වෙළඳාමට යොමු වී එතෙක් කළ පරිසරය හා ගැටීමෙන් මඳ ඉස්පාසුවක් ලබන ලද බව පෙනී යයි. ස්වදේශීන් අතින් වාර්තාගත සටහන් ඇමෙරිකන් ඉතිහාසයට එකතු වෙන්නේ එතැන් පටයි. යුරෝපීයයන් ඇමෙරිකාවට ගොඩවදින්නට පෙර ශතක ගණනාවක් පුරා විසූ ස්වදේශීන් කවුරුන්දැයි දැනගන්නට නොහැකි අන්දමින් උන්හිටිතැන් පවා සටහන් නොතබා වඳ වී ගියහ. පයායා වැනි ස්වදේශීන් ගැන අද අපට අහන්නට ලැබෙන්නේ ඔවුන් සිය ලිඛිත ඉතිහාසය ගොඩනඟන්නට ස්පාඤ්ඤයන් අතින් ලිඛිත භාෂා දැනුමක් වර්ධනය කරගත් හෙයිනි.

අද සැන් ඇන්ටෝනියෝ නගරයේ ස්වදේශීන් අඩු පිරිසක් සිටීම ඉතිහාසයේ පටන් ඔවුන්ගේ ජනගහණය අඩුවෙන් පැවතීමේ ලක්ෂණයක් මිස ඔවුන්ව යුරෝපීයයන් අතින් ඝාතනය වූ නිසා සිද්ධ වූවක් නොවේ. රාජ්‍ය නියාමන වලින් 1830 ගණන් වල දී ස්වදේශීන්ව ජෝර්ජියා, ටෙනසි, ඇලබැමා, නෝර්ත් කැරලයිනා සහ ෆ්ලෝරිඩා යන ප්‍රාන්ත වලින් පලවා හැරිණ. ‘කඳුළු පියමඟ’ නමින් ඔවුන්ගේ ඛේදවාචකය ඇමෙරිකන් ඉතිහාසයට එකතු වූයේ රාජ්‍ය නියාමන බලයෙන් බව නියාමන රිසි වූවන් නොසලකා හරිති.

රාජ්‍ය නියාමන තුලින් අහිංසකයන්ට හිංසා පැමිණෙද්දී, සාමාන්‍ය ජනතාව ඒ අහිංසකයන් වෙනුවෙන් නිති වෙහෙසී ඇත. බොහෝ අවස්ථාවල දී ඒ රාජ්‍ය මැදිහත්වීම් සහ නියාමන වෙනසට ලක් කරන බලපෑම් කරන්නට ද ඔවුන් සමත් වෙති. ඒ අදහස් ප්‍රකාශයට නිදහස සහ පුද්ගලිකත්වයට නීතිමය ආරක්ෂාවක් ලැබීමේ භාග්‍යයයි.

මෙක්සිකෝවේ මායිම අසල ඇතිදැඩි වූ ෆ්ලෝරන්ස් ටෙරී ග්‍රිස්වෝල්ඩ් නම් ටෙක්සන් කාන්තාව ඇයගේ ආයම්මා නිසා බහ තෝරන්නේ ඉංග්‍රීසියෙන් නොව ස්පාඤ්ඤ බසිනි. ඇය මෙක්සිකෝවේ සංස්කෘතියටත් ටෙක්සාස් හි සංස්කෘතියටත් දෙකටම ළැදියාව දක්වන්නීය. 1910 දී මෙක්සිකෝවේ දේශපාලන බල අරගලයත් සමඟ එහි සංස්කෘතික හා රාජ්‍ය පාලනයේ විනාශය හට ගැනිණ. අවිගත් විප්ලවකරුවන් නිසා බොහෝ මෙක්සිකන් වැසියන්ට දේපල සහ උන්හිටිතැන් අහිමි වී යද්දී ඔවුන් රියෝ ග්‍රෑන්ඩ් ගඟ හරහා පලා ගොස් සැන් ඇන්ටෝනියෝ හි සරණාගතයන් වූහ. සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් හැටියට ඒ වෙද්දී පළාතේ ප්‍රසිද්ධ වී සිටින ෆ්ලෝර්න්ස් ඒ සරණාගත කාන්තාවන්ට හා දරුවන්ට තම නිවසේ රැකවරණය සපයයි. නගරයේ වැදගත් ස්ථාන බලන්නට ඒ අයව රැගෙන යයි. තම හිතවතුන්ට මේ සරණගතයන් මුණගැසීම පිණිස තම නිවසේ සාද පවත්වයි. මෙයින් ඵලදරන්නේ ‘පෑන් ඇමෙරිකන් රවුන්ඩ් ටේබල්’ යන සංවිධානයයි. 1916 ඔක්තෝබර් 16 වැනිදා ෆ්ලෝරන්ස් සමඟ එකතුවෙන ඇයගේ හිතවතියන් 21 ක්, මෙන්ගර් හෝටලයේ දී එම සංවිධානය පිහිටුවා ගනිති. බටහිර අර්ධගෝලයේ එකිනෙකාගේ දැනුම, අවබෝධය හා හිතවත්කම වර්ධනයට පුස්තකාල පිහිටුවමින් සහ ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් මෙවසරේ දී ශතකයක් සම්පූර්ණ කරන මෙය කාන්තාවන්ගේ සංවිධානයකි.

1907 මැයි 13 වැනිදා සැන් ඇන්ටෝනියෝ, ටෙක්සාස් ප්‍රදේශයේ යුදෙව් කාන්තා ජාතික කවුන්සිලය සංවිධානය වී ඇත්තේ ද මෙන්ගර් හෝටලයේ දී ය. ඇනා හර්ට්ස්බර්ග් එහි සභාපති හැටියට තෝරා ගැනිණ. නගරයේ රෑ පාසැල් පිහිටුවන්නට සහ සහ වැඩිහිටි සංක්‍රමණිකයන්ට ඉංග්‍රීසි උගන්වන පංති පවත්වන්නට ද එම කවුන්සිලය කටයුතු කරන ලදි. 1930 ගණන් වල දී පළාතේ වැසියන් අතර සෞඛ්‍ය දැනුම සහ සාක්ෂරතාව දියුණු කිරීමේ උත්සාහයන් මෙන්ම ගැබිණි මව්වරුන්ට හා අලුත උපන් දරුවන්ට වෛද්‍ය සේවා ක්ලිනික් ඔවුන් විසින් මෙහෙයවන ලදි. 1940 ගණන් වෙද්දී රැකියාවට යන මව්වරුන් වෙනුවෙන් දරුවන් බලා ගන්නා ස්ථානයන් ද ඔවුන් ආරම්භ කරන ලදහ. අන්ධ අය වෙනුවෙන් වැඩ සටහන් ද, සමාජයේ වෙනත් සුබසාධන අවශ්‍යතා මොනවාදැයි සොයා ඒවා සපුරාලන්නට ද කටයුතු කරන ලදි.

මේ මෙන්ගර් හෝටලයේ ගැන කියවද්දී පමණක් දැනගන්නට ලැබුණු කොටසයි.

ඉතිහාසය පෙන්වන්නේ රජයේ නියාමන තුලින් සර්ව සුබ සාධනය සැලසිය හැකි යැයි කියමින් එහෙත් හැමදාම තව තවත් මුදල් අවශ්‍ය යැයි කියමින් බදු ඉහළ යවන ක්‍රමයට පෙර, කැමැත්තෙන් දෙන මුදල් වලින්, ශ්‍රමයෙන් සහ කැපවීම් තුලින් නාස්තියෙන් තොර වූ සුබ සාධනයකට ජනතාව සමත් වී ඇති ආකාරයයි.

මෙය ඇමෙරිකාවේ පමණක් නොව ජේම්ස් පීරිස් සහ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර යනාදීන් තමන්ගේ අධ්‍යාපනයට ශිෂ්‍යත්ව දිනාගන්නට සමත් වූ ලංකාවේ දී ද තිබූ තත්වයක් බව ඉතිහාසය පෙන්වයි. සර් ජේම්ස් පීරිස් සහ සර් පොන්නම්බලම් අරුනාචලම් වැනි අය 1915 දී සිලෝන් සෝෂල් සර්විස් ලීග් නමින් සමාජ සුබ සාධන සංවිධානයත් මෙවැනිම අරමුණු වලින් යුතු වූ බව ලංකා ඉතිහාසයට එකතු වන සටහන් දක්වති. සර් ජේම්ස් පීරිස්ගේ භාර්යාව ගණුදෙනුවට හැකි වෙළඳපොලවල් හෙවත් ‘බසාර්’ සංවිධානය කරමින් වැඩ කරන පිරිමි අයට රාත්‍රී පාසැල් ද, තරුණයන්ට කාර්මික දැනුම ද, අතදරුවන්ට ආහාර ද, දුප්පතුන්ට සෞඛ්‍ය දැනුම යනාදිය සැපයීම වෙනුවෙන් කැමැත්තෙන් දෙන මුදලින් සංවිධානය කළ ආකාරය අපිට ලංකාවේ ඉතිහාසයෙන් ද දකින්නට හැකියි.

දුප්පත් රටවල ජනතාව අමුතු මිනිස් කොට්ඨාශයක් ලෙසින් දකින අය සිටිති. එහෙත් යම් රටක ජනතාව දුප්පත්ව සිටින්නේ ද, ඔවුන්ට ඔටුනු පැළඳි ලෝකයෙන් අයින් වෙද්දී පටන් මේ දක්වාම රාජ්‍ය මැදිහත්වීම් හා නියාමන වලට වැඩියෙන් මුහුණ දෙන්නට සිද්ධ වූ බව ද දකින්නට හැකි අය ඇත්තේ අල්පයකි.

IMG_4597 මෙම ඡායාරූපය 1914 සිට 1935 කාලය තුල රටේ සුප්‍රසිද්ධ බේස්බෝල් ක්‍රීඩක බේබ් රූත් මෙන්ගර් හෝටලයට පැමිණි අවස්ථාවක ගන්නා ලද්දකි. ජනප්‍රිය පුද්ගලයන් පැමිණි විට ගන්නා ලද ඡායාරූප බොහොමයක් අතර ටෙඩී රූසවෙල්ට්ගේ රෆ් රයිඩර්ස් කණ්ඩායම සහ ඔහුගේ හමුදා ඇඳුම් සහ කඩු ද හෝටලයේ ප්‍රදර්ශනයට තබා ඇත. බිල් ක්ලින්ටන් අඹ අයිස්ක්‍රීම් කන ඡායාරූපයක් ද මෑතක දී එකතු වී ඇත.

IMG_4598

IMG_4600

IMG_4605

IMG_4609

IMG_4611

IMG_4612

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: