අරුණි ශපීරෝ‍ වෙතින්

ජපන් උද්‍යානය චීන උද්‍යානයක් වෙච්ච හැටි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 13, 2016

IMG_4669

දුම්රිය මාර්ග හදන්න කළින් සැන් ඇන්ටෝනියෝ ටෙක්සාස් පැත්තේ මිනිස්සු වාසස්ථාන හදාගන්න පාවිච්චි කරලා තියෙන්නෙ පළාතේ බහුලව තිබුණු ගල් වර්ග. දුම්රිය මාර්ග මේ පැත්තට පැමිණීමත් සමඟ ලාබෙට ගඩොල් එන්නත් පටන් ගන්නව. පෝට්ලන්ඩ් සිමෙන්ති කොම්පැණිය ගල් හාරන එක නවත්තපු ගල්වලක් අරගෙන නගරය ලස්සන කරන අදහසක් 1900 ගණන් මුල් කාලයේ දී පහළ වෙන්නෙ එහි නගර උද්‍යාන කොමසාරිස් ලැම්බර්ට් මහත්තයට.

උඩ පිංතූරයේ තියෙන්නේ පෝට්ලන්ඩ් සිමෙන්ති කොම්පැණිය පාවිච්චි කරපු ගල් සහ ගඩොල් වලින් හදපු පෝරණුවෙන් ඉතිරි වෙච්ච කොටසක්.

ඒ කාලයේ දී සැන් ඇන්ටෝනියෝ පැත්තෙ පදිංචියට ආපු ජපන් සම්භවයෙන් යුතු කිමි අයිසෝ ජින්ගු (Kimi Eizo Jingu) ඇමෙරිකන් හමුදාවේ සේවය කරපු අයෙක්. නගරයේ වෙන අයකුගේ කඩයකට දාලා තමන් අඳින දිය සායම් චිත්‍ර විකුණලා මේ කලාකරුවා අමතර ආදායමක් හොයාගත්ත. අර ගල්වලේ සැබෑ ජපන් තේ උද්‍යානයක් නිර්මාණය කරන්න උදව් වෙන්න කියල මේ ජපන් කලාකරුවාට කොමසාරිස් ලැම්බර්ට් ආරාධනා කරනව.

සැන් ඇන්ටෝනියෝ නගරය මැද්දට ඉතා නුදුරු මේ උද්‍යානය සම්පූර්ණ වෙන්නේ 1919 දී. ඒක හදන්න වියදම සොයාගන්නේ පුද්ගලික සමාගම් සහ පුද්ගලික අය දෙන මුදල් ආධාර වලින්. ඒක හදන්න යොදවන්නේ ඒ පැත්තේ සිරකරුවන්ගේ ශ්‍රමය. අව්‍යාජ ජපන් උද්‍යානය ලස්සන කරන්න පැල වර්ග ගෙන්වා ගන්නේ ජපානයෙන්මයි. උද්‍යානය ඇතුලත දකින පාලම්, පඩි, බංකු සහ වැටවල් ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ ගල්වලේ ගල් වලින්මයි.

ගල්වලෙන්ම ලැබෙන ගල් යොදාගෙන නිවසක් ද එහිම ඉදිකරනව. ඒ උද්‍යානය බලා කියාගෙන ජින්ගු පවුලට ජීවත් වෙන්න. 1926 දී ජින්ගු ඒ නිවසේ උඩු මහලේ තේ කඩයක් ආරම්භ කරනව. අදත් එහි තේ කඩය පැවතෙනව. 1936 දී ජින්ගු මිය යන්නට පෙර තේ පිළිබඳ ඔහුගේ දැනුම සඳහා ජාතික පිළිගැනීමක් ලැබෙනව.

1941 දෙසැම්බර් 7 වැනිදා ඇමෙරිකාවේ පර්ල් වරායට ජපනා බෝම්බ දැම්මනේ. ඉතින් මිනිස්සු බය කරන්න ඕනෑම උප්පරවැට්ටියක් යොදාගන්න බලාගෙන ඉන්න දේශපාලනඥයන් ඊට පස්සේ ජපන් අයව දේශද්‍රෝහීන් හැටියට ලේබල් කරනව. මෙච්චර කාලයක් තිබ්බ ජපන් උද්‍යානයෙන් ඒක හැදූව, ඒක බලාගත්තු ජින්ගු පවුලේ අයව එයින් අයින් කරනව. ඒ මදිවට, ඒක ‘චීන තේ උද්‍යානයක්’ කියලත් නම් කරනව!!!

මැක්සිමෝ කොර්ටේස් තමයි ඇතුල්වෙන තැනට චීන තේ උද්‍යානය කියන පුවරුව සැලසුම් නිර්මාණය කරන්නෙ. ඒක හදන්නෙ දියෝනීසියෝ රොඩ්රිගේස් කියන මෙක්සිකන් ජාතික සිමෙන්ති ප්‍රතිමා නිර්මාණකරුවෙක්. සැන් ඇන්ටෝනියෝ නගරයේ වෙන පැතිවල සහ ඇමෙරිකාවේ තව තැන් වලත් රොඩ්රිගේස් මහත්තය හදපු ප්‍රතිමා දකින්න පුළුවන්. රොඩ්රිගේස් කූඩාරමක් අස්සේ හැංගිලා තමන්ගේ විධි ක්‍රම කාටවත් දකින්න නොලැබෙන්න තනිවම වැඩ කරපු අයෙක්. අවශ්‍ය ආම්පන්න එයා හදාගන්නේ සයිට් එකේම තියන ලී, ටින් ආදියෙන්. ප්‍රතිමා හදන්නෙ තට්ටු තට්ටු වත්කරන එයාම හදාගත්තු විශේෂ සිමෙන්ති වලින්. එයා ඉංග්‍රීසි කතා නොකළ අයෙක්. ඉතින් ජපන් ජින්ගු හදපු ජපන් තේ උද්‍යානයට ඇතුල් වෙන්න චීන විලාසිතාවෙන් දොරටුවක් එකතු වෙන්නෙ එහෙමයි.

සමහර කාලයක දී කරන වැඩ මෝඩ තකතීරු බව දකින්න තව කාලයක් ගියාම හැබැයි ඇමෙරිකන් දේශපාලනඥයන්ට මොළේ පෑදෙනව. දෙවැනි ලෝක යුද්ධයේ දී ඇමෙරිකාව වෙනුවෙන් ගෞරවනීය ලෙසින් සටන් වැදිච්ච ජපන් ඇමෙරිකන් වැසියන් අනුස්මරණයට යැයි කියලා😀 1983 දී සැන් ඇන්ටෝනියෝ නගර සභාව මෙහි නම ආයෙත් ‘ජපන් තේ උද්‍යානය’ කියල මුල් විදියටම හඳුන්වනව.

කොයි (Koi) මාළුවෝ එහා මෙහා පීනන හැටි දැක්කෙ නෑ වගේ සුදු කොක්කු හිටගෙන හිටිය. උද්‍යානයේ වාඩිවෙන්න තිබුනේ ගල් බංකු වුනත් නිස්කලංක පරිසරය එළිමහනේ නිවාඩු පාඩුවේ පොතක් කියවන්න කැමති අයට ඉතා සුදුසුයි. ඇතුල්වීමේ ගාස්තුවක් නැහැ. සැන්විච්, තේ, කේක් හැරෙන්නට තේ කඩය සංචාරක සමරු, උද්‍යානය ගැන පොත්, පික්චර් පෝස්ට් කාඩ්, තේ පැකට් එහෙම විකුණන තැනක්.

උද්‍යානය පුරා ඇවිදින කොට ඇමෙරිකන් රැහැයියන් බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක දුන්න. පහළ තියෙන්නෙ චීන තේ උද්‍යානය කියන පුවරුව. වැරද්ද නොකළ විදියට පුවරුව අයින් කරපු නැති එක -මෝඩකම ලොවට දකින්න තියල තියන එක- ලොකු දෙයක්. ඊට පහළ පිංතූරය ජින්ගු වාසය කළ නිවහන.

IMG_4662

IMG_4664

IMG_4670

IMG_4673

IMG_4674

IMG_4675

IMG_4676

IMG_4682

IMG_4713

IMG_4678

IMG_4679

IMG_4683

IMG_4696

IMG_4686

IMG_4689

IMG_4720

4 Responses

Subscribe to comments with RSS.

  1. ravi said, on අගෝස්තු 13, 2016 at 8:51 පෙ.ව.

    ලෝකෙ හැම අස්සක මුල්ලකම හොයල බැලුවොත් බොහොම චමත්කාරජනක ඉතිහාසයක් ගැබ්වෙලා තියනවා.

    බොහොම ස්තූතියි අරුණි ඔබේ අපූරු විස්තරයට…🙂

  2. mppgunasinghe said, on අගෝස්තු 13, 2016 at 5:44 ප.ව.

    විස්තරය වගේම ඒය තහවුරු කරන ඡායාරූප පෙළත් අපූරුයි අරුණි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: