විලා ෆිනාලේ
1860 දී පළමු ජපන් තානාපති කාර්යාලය සැන් ෆ්රැන්සිස්කෝ හි දී ඇරඹෙන විට, සැන් ඇන්ටෝනියෝ පැත්තට බහුලව ඇදී ආවේ ජර්මන් සංක්‍රමණිකයන් වූහ. ඇමෙරිකාවේ මුල් කාලීන සංක්‍රමණිකයන් හැටියට බහුතර වශයෙන් එකතුවෙන යුරෝපීය ජන කොට්ඨාශය වූයේ ජර්මනියෙන් පැමිණි අයයි.
කින්ග් විලියම් ඵෛතිහාසික දිස්ත්‍රික්කය නමින් හැඳින්වෙන සැන් ඇන්ටෝනියෝ, ටෙක්සාස් හි නිවාස එකතුව පටන් ගැනෙන්නේ 1860 ගණන් අග දී අර්නස්ට් ඇල්ට්ගෙල්ට් පළමුවෙන්ම ඒ හරියේ නිවසක් ඉදි කිරීමත් සමඟයි. නිවස ගොඩනැඟූ පසු ඔහු පෘසියාවේ (ජර්මන් අධිරාජ්‍ය) පළමු විල්හෙල්ම් රජු සිහිකරමින් තම නිවසට යන පාර කින්ග් විලියම් වීදිය යැයි නම් කරයි.
කාල් ගන්තර් නමැති ජර්මන් සංක්‍රමණිකයා සැන් ඇන්ටෝනියෝ ගඟ අසල පිටිමෝලක් ඉදිකරයි. අනතුරුව ඒ පිටිමෝලට නුදුරුව නිවහනක් ද හදයි. පළාතේ හුණුගල් පාවිච්චියෙන් හදන ලද මේ නිවසේ පැත්තක් අද අවන්හලකි. එය කෞතුකාගාරයකි. එහි සංචාරකයන්ට සමරු මිල දී ගත හැකි කඩයක් පවතියි.
කින්ග් විලියම් පැත්ත පදිංචියට අතිශයෙන් ජනප්‍රිය වෙන්නේ 1876 කාලයේ දී ය. රසල් නෝර්ටන් නම් ඉංග්‍රීසි සංක්‍රමණික හාඩ්වෙයාර් වෙළෙන්ඳා (ඇණ,කඹ ඇතුළු සියළු දේ විකුණන නුගේගොඩ හුලංගේ කඩේ වැනි 😀 ) පළාතේ හුණුගල් වලින් ඉදිකළ මේ සටහනෙන් ඉදිරිපත් කරන නිවහන ඉතාලි නිවාස විලාසිතාවෙන් ගොඩනඟන ලදි. එය කාමර හතරකින් සහ එක තට්ටුවකින් යුතු විය. එහෙත් ඉඩකඩ මදි යැයි දැක වහාම නිදන කාමර හතරක් සහිත තවත් තට්ටුවක් ඔහු ඊට එකතු කරන ලද්දේය.
1882 දී මෙම නිවහනේ අයිතිකරුවා වනුයේ එඩ්වින් පෝක් නැමැත්තායි. ඔහු ගෙයි පිටුපසට ආලින්දයක් සහ කුස්සියක් එකතු කරන ලදි. ඒ මෙහෙකරුවන්ට නිවසේම නැවතීම සඳහායි. 1893 සහ 1904 අතර දී තවත් පුද්ගලයෙක් මෙම නිවහන මිල දී ගෙන, පාරට පෙනෙන ආකාරය ලස්සන කරන්නට ඉස්සරහ පැත්තෙන් ආලින්දයක් ද, උඩුමහලට සඳළුතල ද, පැත්තකින් බලකොටුවක් මෙන් පෙනෙන කොටස ද එකතු කරන ලද්දේය. 1920 ගණන් වෙද්දී කඩකාරයන්, හරක් පට්ටි අයිතිකරුවන්, සහ කුප්‍රකට මත්පැන් හල් අයිතිකරුවෙක් යනාදී වශයෙන් සැන් ඇන්ටෝනියෝ නගරයේ සිද්ධ වෙන වෙනස්කම් අනුව විවිධ අයිතිකරුවන් 11 දෙනෙක් අතින් අතට නිවස මාරු වෙයි.
ගංවතුර නිසා පළාතේ අය නිවාස අත්හැර යති. දුප්පතුන් සඳහා පහසු කුලියට ලබාගත හැකි ආකාරයෙන් ක්‍රියාත්මක වූ ආණ්ඩුවේ වැඩසටහනක් අනුව මේ ගෙදර ඉස්සරහ ඉස්තෝප්පුවේ එක පවුලක් ද, පිටුපස ඉස්තෝප්පුවේ තව පවුලක් ද, ඉස්සරහ කාමර, පිටුපස කාමර, උඩ තට්ටුවේ ඉදිරිපස හා පිටුපස කාමර යනාදී වශයෙන් පවුල් හයක් පදිංචිව සිටින කුලී නිවහනක් බවට එය පත්වෙයි. නිවහනේ සහ වත්තේ නඩත්තුව ගැන කිසිවෙක් වගකීමක් නොගත්හ. 1920 වසර අවසානය වෙද්දී නිවහන ජරාවට පත් වී තිබිණ.
සැන් ඇන්ටෝනියෝ පැත්තේ වාසයට නිවහනක් සොයමින් සිටි වෝල්ටර් නෝල්ඩ් මැතිස්ට ‘ටෙක්සාස් හි අනගිතම නිවහන’ ගැන දන්වන්නේ එවක සුප්‍රසිද්ධ සංරක්ෂණ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ ඔ’නීල් ෆෝර්ඩ් විසිනි. 1967 දී නිවස බලන්නට ගිය මැතිස් එයට ක්ෂණික ඇල්මක් බැඳ ගනියි. එහි අඩු කුලියට වාසය කරමින් සිටි දුප්පතුන්ට පහසු මිලට සහ පදිංචියට ඉස්තෝප්පුවකට/කාමරවලට වඩා වැඩියෙන් ඉඩකඩ ඇති නිවාස සොයා දෙන්නට මැතිස් සමත් වේ. අනතුරුව ඔහු මෙම නිවස සහ වත්ත පුරා වසර දෙකක් තිස්සේ ප්‍රතිසංස්කරණය කරවයි.
පාරේ එහා පැත්තේ නිවාස 3 ක් ද ජරාවට ගොස් ඇති බව දකින මැතිස් ඒවා ද මිල දී ගෙන අලුත්වැඩියා කර විකුණයි. එතැනින් නොනැවතී ඔහු තවත් ගෙවල් 14 කට වඩා ප්‍රමාණයක් කින්ග් විලියම් දිස්ත්‍රික්කයෙන් මිල දී ගෙන බොහෝ දුරට අලුත්වැඩියා කර විකුණන ලදි. ඔහු ඒ ගෙවල් විකුණන්නේ ඵෛතිහාසික දේවල් ආරක්ෂා කරගන්නට කැමති ගෙවල් අලුත්වැඩියාව ගැන යමක් දන්නා තරුණ පවුල්කාරයන්ට. ඒ ප්‍රදේශයට ඵෛතිහාසික දේ අගයන අයව පදිංචියට ගෙන්වා ගැනීම සඳහා, තරුණ පවුල්කාරයන්ට බැංකු වලින් නිවාස උගසට ගන්නා ණය පහසුවෙන් ලබාගන්නට නොහැකි වූයෙන් මැතිස් විසින් සිය පුද්ගලික මුදලින් නිවාස ණය ලබාදෙන ලදි. පළාත යළිත් පදිංචිකරුවන් ප්‍රියකරන පැත්තක් බවට පත්වේ. මේ නිසා මැතිස්ට විවිධ සංරක්ෂණ සම්මාන සහ පිළිගැන්වීම් ලැබිණ.
මැතිස් මෙම නිවහනේ වසර 40 ක් වාසය කළේය. තමන්ගේ අවසාන නිවහන හැටියට මෙය සැලකූ නිසා ඔහු එය විලා ෆිනාලේ යැයි නම් කළේය. ජරාවට ගිය නගරබද වටපිටාවක් සැන් ඇන්ටෝනියෝ නගරයේ ‘කුරුඳුවත්ත’ කරන්නට මැතිස් එසේ සමත් වූයේය.
සංරක්ෂණය සඳහා වූ ඉහළම ගෞරවය ඩුපොන්ට් ක්රවුනින්ශීල්ඩ් සම්මානය මැතිස්ගේ නිවහන අගයන්නට ඔහුට පිරිනැමෙන්නේ 2003 දී ය.
2005 දෙසැම්බර් මාසයේ මැතිස් මිය යන්නේ ඔහුගේ සම්පූර්ණ බඩු භාණ්ඩ ඇතුළු විලා ෆිනාලේ නිවස ඵෛතිහාසික දේවල් ආරක්ෂා කරගන්නා රජයේ නොවන පදනමට තෑගි කරමිනි.
මා මිල දී ගත්තේ තනිවම නිවස නැරඹීමට හැකි අවසර පතකි. සංචාරක මඟපෙන්වන්නෙක්ගේ සහාය ලැබෙන ටිකට් පත නොගත්ත ද, මා හට නිවස ගැන බොහෝ තොරතුරු කියා දුන් ඩේවිඩ් සී. ජඩ්කින්ස් මහතා හියුස්ටන් විශ්ව විද්‍යාලයේ ශේක්ස්පියර් සාහිත්‍ය ඉගැන්වූ ඉංග්‍රීසි මහාචාර්යවරයෙකි. Emeritus මහාචාර්යවරයෙක් විශ්‍රාම ගිහින් ඇමෙරිකාවේ සංචාරක මඟපෙන්වන්නෙක් බවට පත්වීම යනු ලංකාවේ වේදිකා නළුවෙක් විකට නළුවෙක් වීම තරම් ආන්දෝලනයක් ඇති කරන තත්වයක් නොවේ!!!! මම සිංහල බ්ලොග් එකක විලා ෆිනාලේ ගැන ලියනවා කියූ විට සිංහල කියවන්නට නොදත්ත ද, තම නම සටහනට එකතු කරන්න යැයි ඔහු ඉල්ලා සිටියේය.
මැතිස් මේ නිවහනේ සාද සංග්‍රහයන් බොහොමයක් පවත්වන ලද්දෙකි. ඔහු පාවිච්චි කළ ආකාරයෙන්ම නිවහන අදත් පවතියි. නැපෝලියන් සිහිවටන 800 ක පමණ ප්‍රමාණයක් ද, පොත් 2000 කට අධික ප්‍රමාණයක් ද නිවහනේ ඇත.
විලා ෆිනාලේ යනු පුද්ගලයෙක් සිය ජීවිත කාලයේ එකතු කරගත් දේවල් ප්‍රදර්ශනය කරන තැනකට වඩා වැඩි වැදගත්කමක් විදහා පාන ස්ථානයකි. එය සිය ඉතිහාසයෙන් ඇබිත්තක් ආරක්ෂා කරගන්නට ගත් මිනිස් වෑයම හා අධිෂ්ඨානය පෙන්වන තැනකි. තමන්ගේ නිවහන පමණක් නොව අසල්වැසි නිවාස සංරක්ෂයෙන් ද සුන්දර පරිසරයක් නිර්මාණයට වෝලර් මැතිස් සමත් වූ බව අදටත් පෙන්වන්නකි.
විලා ෆිනාලේ ඉස්සරහ පැත්තේ දී ගන්නා ලද පිංතූරය සටහනේ මුලට එකතු කළෙමි. අවසානයේ දී එකතු කරන්නේ කින්ග් විලියම් වීදියේ ඒ අවට නිවහන්වල පිංතූරයි.
ලස්සන දෑනුම වඩන ලිපි කීපයක්ම කියව්වා මේ ටිකේම.ස්තුතියි අරුණි.