අරුණි ශපීරෝ‍ වෙතින්

මතක තියාගන්න ද ඇලමෝ

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 15, 2016

IMG_4593

1718 දී එංගලන්තය ස්පාඤ්ඤයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළහ. ප්‍රංශය ඇමෙරිකාවේ නිව් ඕර්ලීන්ස් නමින් දේශයක් පිහිටුවන ලදි. සැන් පේඩ්‍රෝ දිය උල්පත් අසල සැන් ඇන්ටෝනියෝ ඩ වෙලේරෝ නමින් මිෂනාරියක් ස්පාඤ්ඤයන් ඉදි කළහ.

ස්පාඤ්ඤයන් මිෂනාරි හැදුවේ මේ ප්‍රත්‍යන්ත දේශයන්හි ස්වදේශීන්ව කතෝලික ආගමට හරවා, යුරෝපීය කුඩා කර්මාන්ත දැනුම ලබා දී, සිය අධිරාජ්‍යයේ පුරවැසියන් කරවන්නටයි. ස්වාධීන වූ මිෂනාරියට පල්ලියක්, ධාන්‍යාගාරයක්, වාසස්ථාන කුටි, කම්හල්, වගාබිම් හා තණබිම් අඩංගු විය.

අද ඇලමෝ පවතින තැනට, ටිකක් ඈතක පිහිටුවන ලද ෆ්‍රැන්සිස්කන් නිකායේ සැන් ඇන්ටෝනියෝ ඩ වැලේරෝ නම් මිෂනාරිය 1724 දී ගෙනෙන ලදි. කුටි, කාර්යාල, මුළුතැන්ගෙය හා ආහාර ගන්නා ශාලාව 1724 දී නිම විය.

1744 දී පළාතේ හුණුගල් වලින් එහි පළමු පල්ලිය නිර්මාණය විය. ඒත් එය හරියට හැදුවේ නැති බැවින් 1756 වෙද්දී මුළුමනින්ම කැඩී බිඳී ගියේය.

1778 දී ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ ආර්ථිකය දුර්වල වීමත් සමඟ ටෙක්සාස් පැත්තේ හංවඩු නොගැසූ ගවයන් සියල්ල ස්පාඤ්ඤ ඔටුන්නට අයිති බවට ප්‍රකාශයක් නිකුත් කෙරිණ. එසේම ගවයන් ගාල් කරද්දී, විකුණද්දී හා මස් පිණිස ගනිද්දී හරක් බද්දක් ස්පාඤ්ඤ රජයට ගෙවිය යුතු යැයි නීතියක් ස්ථාපිත විය. හරකාබාන වස්තුව ලෙස සැලකූ මිෂනාරි වලට හරක් බද්ද නිසා ගව නඩත්තුව දරාගත නොහැකි වැයක් බවට පත් විය. සුබසිද්ධිය සහ ආරක්ෂාව සපයනවා කියූ ආණ්ඩුවට ඒ දෙකම කරන්නට නොහැකි බව පෙන්වන ලදි.

හතුරු ගෝත්‍රික කණ්ඩායම් වලින් ජීවිතාරක්ෂාව සොයා පැමිණි පයායා ස්වදේශීන් ඇලමෝ වටා කූඩාරම් බැඳගෙන ජීවත් වූහ. ඔවුන්ගේ ජනගහණය කළින් කලට අඩු වැඩි වෙමින් පැවතිණ. 1739 දී කතෝලික ආගම වැළඳගත් ස්වදේශීන් 300 ක් සිටිය ද 1793 දී ස්පාඤ්ඤයන් මිෂනාරිය වසා දමද්දී ඒ අවට සිටියේ ස්වදේශීන් 57 කි. ඔවුන් අතර ඇලමෝ හි ඉඩම් කොටස් හැටියට බෙදා හැරිණ.

මිෂනාරිය වැසී යාමත් සමඟ ස්පාඤ්ඤයන් ඇලමෝ ගොඩනැඟිල්ල හමුදා බැරැක්කයක් හැටියටත්, රෝහලක් හා බලකොටුවක් හැටියටත් යොදා ගන්නා ලදහ. ස්පාඤ්ඤ ටෙක්සාස් හි ප්‍රථම රෝහල හැටියට 1805 දී ඇලමෝ යොදා ගැනෙයි. ඒ ප්‍රත්‍යන්ත දේශයේ ස්පාඤ්ඤ සොල්දාදුවන්ට වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙනි.

ස්පාඤ්ඥ අධිරාජ්‍යයෙන් නිදහස් වී මෙක්සිකෝ රට ස්වාධීන වෙන්නේ 1821 දී. ඔවුන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඇති ජනරජයක් පිහිටුවා ගත්හ. එහි ජනාධිපති වනුයේ ඇන්ටෝනියෝ ලෝපෙස් ඩ සැන්ටා ඇනා නමැති ඇමෙරිකාවේ උපන් ක්‍රියෝල (යුරෝපීය සහ කැරීබියන් කළු මිශ්‍ර අයට කියන නම) ස්පාඤ්ඤයෙකි. මෙක්සිකෝ නිදහස් අරගලයේ දී ඔහු මුලින් සටන් වැදුනේ නිදහස ඉල්ලන මිශ්‍ර ජාතික විප්ලවකරුවන්ට එරෙහිව ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ කිරුළ වෙනුවෙනි. පසුව ඔහු මෙක්සිකෝවේ නිදහස වෙනුවෙන් සටන් වදින්නට එකතු වෙයි. සටන් බිමේ කෲරත්වය නිසා ඔහුව ‘බටහිර නැපෝලියන්’ නමින් හැඳින්වෙයි.

1833 දී මෙක්සිකෝවේ ජනාධිපති වන සැන්ටා ඇනා බදු ඉහළ යවයි. ජනතාවට තමන්ව ආණ්ඩු කරගත නොහැකි යැයි කියන ඔහු මෙක්සිකෝවේ ව්‍යවස්ථාව බැහැරලා, කොංග්‍රසය විසුරුවා හැර, තමන් ආඥාදායෙක් යැයි ප්‍රකාශ කරයි. පුරවැසියන්ට සිය තුවක්කු ළඟ තබාගැනීම තහනම් කරයි. විරුද්ධවාදීන් පරාජයට හමුදා බලය යොදා ගනියි. මධ්‍යම පාලන ආණ්ඩුවට නතු නොවන ප්‍රාන්තයන්ට දඬුවම් දෙයි.

මෙක්සිකෝවෙන් නිදහස ඉල්ලන ටෙක්සාස් අරගලය හටගන්නේ ඒ කටයුතු වලට උරණ වූවන් වෙතිනි. ටෙක්සාස් ප්‍රදේශයේ ඉපදුන ඇමෙරිකානුවන් -ටෙක්සියන් සහ ටෙක්සාස් හි මුල් පදිංචිකරුවන් -ටෙහානෝ අය ස්වේච්ඡාවෙන් සටන් බිමට පිවිසියහ.

ගොන්සාලෙස් උපනිවේෂයේ ආරක්ෂාවට කාලතුවක්කුවක් තිබිණ. සැන්ටා ඇනා තුවක්කු අයිතිය තහනම් කළ නිසා මෙක්සිකන් හමුදාව ඒ කාලතුවක්කුව රැගෙන යන්නට එන බව අසා ගොන්සාලේස් වැසියන් ‘ඇවිත් අරගන්න‘ යැයි හඬ නඟා ඇත. ගොන්සාලේස් සටන කාල තුවක්කුව ඇවිත් අරගන්න ඉඩ නොදුන් ජයග්‍රහණයයි. එය සමරන කොඩිය අද ටෙක්සාස් හි නොයෙකුත් තැන්වල ලෙළ දෙයි.

1835 දෙසැම්බර් හි දී මෙක්සිකන් හමුදාවේ ජනරාල්වරයා වූ මාටින් පර්ෆෙක්ටෝ ඩ කොස් යටත් කරගන්නට සමත් වූ විප්ලවවාදීන් ඇලමෝ ටෙක්සාස් යටතට පවරා ගත්හ.

ඇලමෝ අල්ලා ගත් ටෙක්සිකන්-ටෙහානෝ අය පරාජයට 1836 පෙබරවාරි 23 වැනිදා සැන්ටා ඇනා මෙක්සිකන් හමුදාව රැගෙන පැමිණියේය. ඇලමෝ ආරක්ෂාවේ අණදෙන නිලධාරියා ලෙසින් විලියම් බී. ට්‍රැවිස් පත්විය. සැන්ටා ඇනාගේ 1,800 කින් යුතු භට හමුදාව දැක ට්‍රැවිස් ඇලමෝ හි කොටු වී සිටින අයගේ උදව්වට එන්න යැයි කියමින් හතුරු හමුදා මැදින් පණිවිඩයක් යවයි.

ගොන්සාලෙස් නම් ළඟපාත ගමකින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 32 ක් පැමිණෙති. එහෙත් ඇලමෝ ආරක්ෂාවට හිටියේ 200 කට අඩු පිරිසකි. දවස් 12 ක් දිවා රෑ සටනින් යුතුව මෙක්සිකෝ හමුදාවෙන් ඇලමෝ ආරක්ෂා කරගන්නට මේ සුළු පිරිස සමත් වූහ.

එහෙත් 1836 මාර්තු 6 වැනිදා හිමිදිරියේ සැන්ටා ඇනා තාප්පයෙන් ඇතුලට යන්නට අදිටන් කරයි. තාප්පය උඩ සිටි ට්‍රැවිස්ගේ හිසට වෙඩි පහරක් වැදී ඔහු සටන ආරම්භයේ දී ම මිය යයි. කිනිසි සටන් සඳහා නම් දැරූ ජේම්ස් බුවි සටන පටන් ගන්නට පෙර රෝගාතුර වී ලෙඩ ඇඳේ සිටියේය. ඇතුලට ආ මෙක්සිකන් සොල්දාදුවන්ගේ බයිනේත්තු වලින් ඔහු මිය යයි. රැකූන් තොප්පිය පැළඳගත් ටෙනසි කොංග්‍රස් සභිකයෙක්ව සිටි ඩේවි කොක්‍රෙට් ද එහි සටන් කර මිය ගිය අය අතරට එකතුයි.

ඇලමෝ පරාජිතයන්ට යටත්විය හැකි සමාවක් සැන්ටා ඇනා වෙතින් නොලැබුණි. හිරු පායද්දී සටන අවසන්ව තිබිණ. ඉතිරි සියල්ලන්වම මරා දැමිණ. ඔවුන්ගේ සිරුරුවලට ගිනි තැබූහ. කාන්තාවන්, දරුවන් සහ ට්‍රැවිස්ගේ නිදහස් කළු සේවකයා වූ ජෝ පමණක් සැන්ටා ඇනා ඉතිරි කරන ලද්දේ ඇලමෝ විස්තරය අනිත් අයට කියන්නටයි.

ඇලමෝ සටන ඇහින් දැක, වාචික විස්තර ඉතිහාසයට එකතු කරන්නේ සූසැනා ඩිකින්සන්.

සටන් බිමේ ඉතිරිව සිටි එකම ටෙක්සාස් හමුදාව වූයේ කර්නල් ජේම්ස් ෆැනින් ගේ කණ්ඩායමයි. ට්‍රැවිස් එවූ පණිවිඩය නිසා ඔවුන් ගෝලියාඩ් සිට ඇලමෝ වෙත එන්නට සූදානම් වෙද්දී සැන්ටා ඇනාගේ හමුදාවට අසුවූහ. 350 ක පිරිසකින් යුතු යුද සිරකරුවන් හැටියට ඔවුන්ව මරා දමන්නට යැයි සැන්ටා ඇනා අණ දුන්නේය. ඒ 1836 මාර්තු 27 වැනිදායි. මෙක්සිකන් සොල්දාදුවන්ට කන්නලව් කරමින් කිහිප දෙනෙකුගේ ජීවිත බේරාගන්නට ෆ්‍රැන්සිටා ඇලවේස් මැදිහත්වීමෙන් සමත් වූවාය.

ඇලමෝ ගැන අසා කම්පාවට පත්ව සිටි ටෙක්සාස් වැසියන් ගෝලියාඩ් සටන ගැන අසා මෙක්සිකෝවෙන් වෙන් වෙන්නට දැඩි අධිෂ්ඨාන ධෛර්යයක් වර්ධනය කරගත්හ. ටෙක්සාස් විප්ලවයේ තීරණාත්මක දවසක් වූයේ 1836 අප්‍රේල් 21 වැනිදායි. සෑම් හියුස්ටන් සිය ස්වේච්ඡා කණ්ඩායම සමඟ ඉතා කෙටි වූ සැන් ජැසින්ටෝ සටනේ දී ‘මතක තියාගන්න ගෝලියාඩ්’ සහ ‘මතක තියාගන්න ද ඇලමෝ’ යනාදියෙන් හඬ නඟමින් නව ජවයකින් සටන් වැදී සැන්ටා ඇනා අල්ලා ගන්නට සමත් වූහ. සෑම් හියුස්ටන් සැන්ටා ඇනා ඝාතනය කළේ නැත. ටෙක්සාස් හි ස්වාධීනත්වය පිළිගන්නට යැයි කියා ඒ වෙනුවෙන් ඔහුව නිදහස් කළේය.

ඇලමෝ ගොඩනැඟිල්ල ඇමෙරිකන් හමුදාවේ බඩු බෙදාහරින ඩිපෝවක් බවට පත්විය. ඉන්පසු 1877 දී එය ප්‍රතිසංස්කරණය වී ජර්මන් සංක්‍රමණිකයෙකුගේ සිල්ලර බඩු විකුණන කඩයක් විය. ගංවතුරකට පසුව ඔහු ද ගොඩනැඟිල්ල අත්හැර දමා ගිය පසු මෙවැනි ඵෛතිහාසික වැදගත්කමකින් යුතු ස්ථානය ජරාවට යනවා දැක ‘ටෙක්සාස් ජනපදයේ දියණියන්’ නම් වූ සංවිධානය 1905 දී එය පූජනීය ස්ථානයක් සහ කෞතුකාගාරයක් හැටියට නඩත්තුව බාරගෙන ගොඩනැඟිල්ල මිල දී ගත්හ. ඔවුන් එය 2011 දක්වා සංරක්ෂණය කළහ. දැන් එය ටෙක්සාස් ප්‍රාන්තය සතුව තිබේ.

පල්ලිය ඇතුලත ඡායාරූප ගන්නට අවසර නැත. ඇලමෝ නැරඹීමට ගාස්තුවක් අය නොකෙරේ. සමරු විකුණන කඩයක් හා පින්තූර ගන්නට අවසර නැති සිහිවටන පිරි කෞතුකාගාරයක් ද එහි පවතී. ඇමෙරිකාවේ ඉතිහාස රූපවාහිනි නාලිකාව ඇලමෝ ගැන නිෂ්පාදනය කළ වාර්තාකරණයක් එහි දී නරඹන්නට හැකියි. සටන නිරූපනය කරන ප්‍රදර්ශනය සහ ‘ඇවිත් ගන්න’ යන කොඩිය සහ ප්‍රතිමාව ඇති ඡායාරූප ගත්තේ බටහිර කලා කෞතුකාගාරයේ දී ය. සැන්ටා ඇනාගේ “මම දෙවියන් වූයේ නම්, මම ඊටත් වඩා වෙන්නට පතමි,” කියමන රැගත් තෙල්සායමේ පින්තූරය ගත්තේ ටෙක්සාස් සඳහා සටන අත්දැකීම නමින් වූ කෞතුකාගාරයෙනි.

තුවක්කු ළඟ තබා ගැනීමේ අයිතිය වෙනුවෙන් ටෙක්සාස් වැසියන් එදා සටන් නොකළා නම්, දෙවියන්ටත් වඩා වෙන්නට රිසි කෲර ආඥාදායකයාගේ සිතැඟි වලට යටත්ව ඔවුන්ට ජීවිතය ගෙවන්නට සිද්ධ වෙනවා ඇත.

IMG_4581

IMG_4512

IMG_4514

IMG_4519

IMG_4530

IMG_4524

IMG_4526

IMG_4548

IMG_4549

IMG_4568

IMG_4573

IMG_4635

IMG_4830

IMG_4833

IMG_4836

IMG_4837

IMG_4838

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: