නගරය මැදින් ගලන ගඟ සහ අඩිපාර
සැන් ඇන්ටෝනියෝ ගඟ ගැන ලිඛිත වාර්තාවක් 1535 දී ඉතිහාසයට එකතු කරන්නේ ස්පාඤ්ඤ දේශාටකයෙකි. කතෝලික සැන් ෆ්රැන්සිස්කන් පෘතුගීසි පාදිලිවරයෙක් වූ සැන් ඇන්ටෝනියෝ ඩ පඩුවා සිහි කරනු පිණිස ස්පාඤ්ඤ ටෙක්සාස් හි පළමු ආණ්ඩුකාරයා 1691 දී මේ ගඟට සැන් ඇන්ටෝනියෝ ගඟ යැයි නම තැබීය. ස්වදේශික ගෝත්‍රික කණ්ඩායක් ඒ අසල වූ යානාගුවානා නම් පෙදෙසක විසූ බැවින් සමහරු මේ ගඟට ඒ නම වැටී තිබුණා යැයි විශ්වාස කළ ද එය ගඟ නොව ගෝත්‍රික ගම හඳුන්වන්නට යොදන ලද නම බව අද පිළිගැනෙයි.
ගඟ නගරය මැදින් කරකැවෙමින් එතරම් පළල් හෝ එතරම් ගැඹුරු නොවන ලෙසකින් ගලා ගොස් සැතපුම් 240 (කිලෝමීටර් 390) ක දුරක දී ගුවාඩලූපේ ගඟට එකතු වෙයි.
සැන් ඇන්ටෝනියෝ නගරය බිහිවෙන්නට පාදක වූ ස්පාඤ්ඤ මිෂනාරි පහක්, වැඩියෙන්ම සුපතල ‘ද ඇලමෝ‘ සමඟ, මේ ගඟ අද්දරින් පිහිටයි. ගංවතුරින් නගරය යටවෙද්දී එහි ආර්ථිකයට බලපෑම් කරන්නට සමත්වෙන ගඟ ඒත් එහි පිහිටීම නිසාම නගරයේ ආර්ථිකය යහපත් කරන්නට සමත් වෙයි.
1905 දී වසන්තය පිළිගන්නට ගඟේ මල් වලින් සරසන ලද පාරු පදින උත්සවය මුලින්ම පැවැත්විණ. එතැන් පටන් මෙය වාර්ෂික උත්සවයක් හැටියට නොකඩවා පැවැත්වීම පටන් ගැණුනි.
1921 දී නගරය අඩි දහයක් ඉහළට පිරුණු ගංවතුරින් යට වී යන ලදි. 50 දෙනෙකු මරණයට පත් වූහ. ගංවතුර පාලනය කරගන්නා ක්‍රමවේද ගැන වාද විවාද කෙරිණ. ගඟ අසලින් යන දෙපැත්තේ අඩිපාරවල් එසේම තිබිය දී, අවන්හල් හා කඩ සාප්පු ගඟ දෙපැත්තේ ඉදි කිරීමටත්, මහ පාර ගඟේ මට්ටමට උඩින් දුවන ලෙසින් අද පවතින ආකාරයෙන් සංවර්ධන වැඩපිළිවෙතක් හැටියට නිර්මාණයක් ඉදිරිපත් කරන ලද්දේ රොබට් එච්. එච්. හග්මන් නම් පළාතේ වූ වාස්තු විද්‍යාඥයෙකි. මෙතෙක් විවාදයේ සිටි නගරයේ වැසියන් ඊට එක පයින් කැමැත්ත දැක්වූවත් පටන් ගන්නට පෙර කොටස් වෙළඳපොල කඩාවැටුණු කළු සිකුරාදා හේතුවෙන් ආරම්භයට කාලයක් ගතවිණ. අනතුරුව ව්‍යාපෘතිය පටන් ගෙන වැඩි කලක් නොගිහින් දේශපාලන ගැටුම් නිසා හග්මන්ව ඉන් නෙරපන ලදි. ඊ ළඟට දෙවන ලෝක යුද්ධය නිසා ඉතිරි ඉදිකිරීම් නැවතිණ. කඩ සාප්පු යනාදිය නිම වූයේ 1960 ගණන් තරම් පසු කාලයක දී ය. අවට සුපිරි හෝටල් පළාත තවත් සුන්දර කරන්නට සහභාගී වෙන්නේ 2012 තරම් මෑතක දී ය. කෙසේ වෙතත්, රොබට් හග්මන්ට සැන් ඇන්ටෝනියෝ River Walk නිර්මාණය වෙනුවන් ගෞරවනීය පිළිගැනීමක් සමඟ ජාතික සම්මානයක් ද 1984 දී හිමිවිණ.
පළාතේ සමාජ සේවයේ යෙදුණු ජැක් වයිට් නමැති හෝටල් හිමියා වසන්තයේ පැවතෙන වාර්ෂික උළෙල සඳහා වෙනීසියානු රාත්‍රියක් 1936 දී සංවිධානය කරන ලද්දේ එය සංචාරකයන් ඇදෙන තැනක් බවට හරවන්නටයි. නගරය මැදින් ගලන කොටස අද දිවා රෑ බෝට්ටු වලින් සංචාරකයන් එහා මෙහා යන ජනාකීර්ණ තැනකි.
පටු නිසා එකතු වන ගඟේ මඩ වාර්ෂිකව ඉවත් කරනු ලබයි. මිකලොබ් බියර් කොම්පැණියේ දායකත්වයෙන් එය සිද්ධ වෙන ජනවාරි මාසයේ දී ‘මඩ උත්සව’ ගණනාවක් පැවැත්වේ. ඒවා අතර ‘මඩ රජෙක්’ හා ‘මඩ රැජිනක්’ ද ඒ සඳහා ජනතාව කැමැත්තෙන් දෙන සල්ලි එකතු කරන පළාතේ ජනප්‍රියත්වයෙන් යුතු වූවන් අතරෙන් තෝරා ගැනෙයි. මඩ ඉවත්කිරීම වාර්ෂිකව උත්සවාකාරයෙන් පැවැත්වීමට නගරයේ 15,000 ක පමණ ජනතාවක් සහභාගී වෙති.
සැන් ඇන්ටෝනියෝ නගරයට එන සංචාරකයෙකුට නරඹන්නට අවශ්‍ය ඵෛතිහාසික වැදගත්කමෙන් යුතු ස්ථාන සියල්ලටම පාහේ ගඟ අසල ඇති අඩිපාරෙන් ගමන් කළ හැකියි. එපමණක් නොව නගරයේ ඇති සිනමාහල්, වේදිකා නාට්‍යශාලා, වෙළඳ සංකීර්ණ සහ දැවැන්ත සම්මන්ත්රණ ශාලාවටත් ඒ පාරෙන්ම යා හැකියි. නගරයේ සුපිරි සංචාරක හෝටල් බොහොමය ගඟ අසල ඇති අඩිපාරට අවතීර්ණ විය හැකි අන්දමින් පිහිටයි. එසේම අඩිපාර අසල එළිමහනේ වාඩි වී ඇවිදින්නට යන අය හා බෝට්ටු පදින අය නරඹමින් කෑම බීම රස බැලිය හැකි අන්දමට ටෙක්සන්, මෙක්සිකන්, ජර්මන් හා ඉතාලි අවන්හල් පිරී ඇත.
ගඟේ එක පැත්තක වේදිකාවක් ද, ගඟේ අනෙක් පැත්තේ වාඩිවෙන අසුන් ද ඇත. එම එළිමහන් රංග පීඨයේ දී අපිට ස්පාඤ්ඤ, මෙක්සිකන් නැටුම් නරඹන්නටත් මරියාචි වාදනය සහ දකුණේ සංගීතය අහන්නටත් අපට අවස්ථාව ලැබුණි.
අගෝස්තු මාසය සැන් ඇන්ටෝනියෝ හි උෂ්ණත්වය ඉහළ නිසාත්, ඇමෙරිකන් පාසැල් දරුවන් ආපහු පාසැල් යන්නට සූදානම් වන නිසාත්, ඒ පැත්තේ සංචාරකයන් අඩු මාසයයි. වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන්නේ අප්‍රේල් සිට ජූලි දක්වා කාලයේ දී බව හෝටල් හා අවන්හල් සේවකයන් කියා සිටියහ.
හිමිදිරියේ එහි දී දකින්නට ලැබුනේ කඩිනමින් හැම අත සුද්ද පවිත්‍ර කරන නගර සභාවේ සේවකයන් සහ කායික නිරෝගීත්වය සොයා දුවන ඇවිදින අයයි. දහවල් කාලයේ දී එහි දෙපස අවන්හල් පිරී තිබුනේ සම්මන්ත්රණ සහ බිස්නස් හමුවන් සඳහා පැමිණි අයගෙන්. රාත්‍රියේ දී දකින්නට ලැබුනේ අත් අල්ලාගෙන ඇවිදින පෙම්වතුන්, හැම තැනකම නැවතී සමාජ වෙබ් අඩවි වලට ක්ෂණයෙන් පිංතූර එකතු කරන සංචාරකයන්.
ගඟ අවට ඇති පුවරු වලින් එහි ඉතිහාසය ගැන කෙටි සටහන් හා පිංතූර රාශියකින් දැනගන්නට හැකියාව ලැබේ. එසේම තැනින් තැන පිහිටන සිතියම් නිසා තමන් ඇවිද ඇත්තේ කොතැනට ද යා යුත්තේ කොතැනට දැයි පහසුවෙන් සොයාගත හැකියි.
සැන් ඇන්ටෝනියෝ යනු සුදු හම ඇති අය පමණක් නොව මෙක්සිකන්, ස්වදේශීන් හා කළු අය සියල්ලන්ම කව් බෝයි තොප්පි පළඳින නගරයකි! මෙක්සිකන් අය ඉංග්‍රීසි හසුරුවන්නේ ද, සුද්දන් ස්පාඤ්ඤ බසින් කතා කරන්නේ ද එක හා සමාන වූ කදිම බස් හුරුවකින්. ඒ පැත්තේ පදිංචියට යන්නේ නම් ස්පාඤ්ඤ බස් හුරුව වර්ධනයෙන් ජීවිතයට වැඩි ආශ්වාදයක් එකතු කරනු නිසැකයි.
ගඟ අසල අඩිපාරේ සිරි නරඹමින් කැමති තරම් වේලාවක් ගත කරන්නට කිසිත් ගාස්තුවක් අය නොකෙරේ. වැඩිහිටියන්ට හා දරුවන්ට පමණක් නොව පිපාසය නිවා ගන්නට සුරතල් සිව්පාවුන් සඳහා ද වතුර බොන ස්ථාන ඉදිකර ඇත.
leave a comment