තරු ඉහිරුන කොඩිය මැහුවේ මේ නිවහනේ දී
සති අන්තයේ බල්ටිමෝර් නගරයට ගිය මට අහම්බෙන් දකින්න ලැබුණ ඵෛතිහාසික නිවහනක් ගැනයි මේ සටහන. පුංචි ඉතාලිය කියල හැඳින්වෙන පැත්තෙ ඉතාලි කෑම රස විඳලා ආපහු හෝටලයට පයින් එද්දී තමයි මේ නිවස දැක්කෙ.
1814 සැප්තැම්බර් 13 වැනිදා, යටත්විජිතයක් හැටියට අහිමි වෙච්ච ඇමෙරිකාවට පහර දෙන උත්සාහයක් ගත්තේ බ්‍රිතාන්‍යයයන්. මේක දහඅටයිදොළහේ (1812) යුද්ධය හැටියට හැඳින්වෙන්නෙහි එක සිද්ධියක්. බ්‍රිතාන්‍ය යුද නැව් බල්ටිමෝර් වරායේ පිහිටි මැක්හෙන්රි බලකොටුවට ෂෙල් ප්‍රහාර එවන්නේ පැය 25 ක කාලයක් තුර නොකඩවාම. ඒක තමයි බල්ටිමෝර් සටන නමින් හැඳින්වෙන්නේ.
මේ ප්‍රහාරය එල්ල වෙන්න සතියකට කළින් ෆ්‍රැන්සිස් ස්කොට් කී නමැති 35 වියැති ඇමෙරිකන් නීතීඥයෙක් බ්‍රිතාන්‍යයන්ගේ නාවුක බලඇණියේ ආපු ප්‍රධාන නැවට ගියා බ්‍රිතාන්‍යයන් අල්ලා ගත්තු තමන්ගේ යාළුවෙක්ව නිදහස් කරන්න කියල ඉල්ලන්න. යාළුවව නිදහස් කරගන්න හැකිවුණාට නැවේ ඉන්න අතරතුරේ දී මෙයා දැනගන්නව මැක්හෙන්රි බලකොටුවට ඔවුන් පහර ගහන්න ලැහැස්ති වෙන බව. ඉතින් බ්‍රිතාන්‍යයන් ඔවුන්ව ආපු බෝට්ටුවට නඟින්න නිදහස් කළාට ආපහු ගොඩබිමට යන්න නොදී ගාඩ් පිට වරායේ රඳවාගන්නව. සැප්තැම්බර් 13 වැනිදා බල්ටිමෝර් වරායේ දී මැක්හෙන්රි බලකොටුවට දෙන ප්‍රහාරය ෆ්‍රැන්සිස් ස්කොට් කී දකින්නේ එහෙම. රෑ තිස්සේ බෝම්බ වලින් අහසේ දිස්වෙන රතු ගිනි එළි දිහා බලාගෙන ඉන්ඳැද්දී එයා හිතන්නේ අනිවාර්යෙන් බ්‍රිතාන්‍යයන් දිනාවි කියල. ඒත් ඊ ළඟ හිමිදිරියේ එයාට පෙනෙන්නේ ඇමෙරිකන් කොඩිය ලෙළ දෙන හැටියි.
එවක ජනප්‍රිය ඉංග්‍රීසි සිංදු තනුවක් ඇසුරින් සටනේ ජයග්‍රහණය ගැන තමනට දැනෙන සතුටු සිතුවිලි එයා ගීයක් ලියන්නේ බෝට්ටුවේම ඉඳන්. බල්ටිමෝර් දේශප්‍රේමියා නමින් වූ පුවත්පත ඒක පත්තරේ පළ කරනව. ඇමෙරිකන් කොඩියට ‘ස්ටාර් ස්පෑන්ගල් බැනර්’ යන නම වැටෙන්නේ කී ලියපු ඒ ගීතය නිසයි.
තරු ඉහිරුන කොඩිය හැදෙන්නෙ ඊට වසරකට පමණ කළින්. බ්‍රිතාන්‍යයන් තම බලකොටුව ඉලක්කයක් කරගනීවි කියල හිතපු ජෝර්ජ් ආමිස්ටීඩ් නමැති මැක්හෙන්රි බලකොටුවේ මේජර්වරයාට දැඩි උවමනාවක් ඇතිවෙනව ලොකු කොඩියක් හදාගන්න.
වැඩේ බාරවෙන්නේ මේරි යන්ග් පිකර්ස්ගිල් නමැති බල්ටිමෝර් නගරයේ වෘත්තීයක් හැටියට මැහුම් කර්මාන්තයේ යෙදුන 29 වියැති කාන්තාවට. ලොකුම ලොකු කොඩියක් හැටියට මේජර්වරයා ඉල්ලන්නේ අඩි 30 X 42 ක කොඩියක්. ඒ කාලේ තිබ්බ ප්‍රාන්ත නියෝජනය අනුව තරු 15 යි ඉරි 15 යි දාලා හදන කොඩියක්. මේ කොඩියේ එක තරුවක විෂ්කම්භය අඩි දෙකක්.
මේරියි එයාගේ දුවයි, මේරිගේ ඥාති දූලා තුන් දෙනෙකුයි, වයස 13 ක මෙහෙකාරියකුයි සහ සමහර අවස්ථාවල දී මේරිගේ අම්මත් එකතු වෙලා දවසකට පැය 10 ක් වැඩ කරමින් මේ කොඩිය මහන්න සති හයක් පමණ ගන්නවා. යාර 300 ක් විතර රෙදි සහ තරු මහන්න පුළුන් යොදාගෙන තියනව. තරු ඉහිරුන කොඩිය මහපු නිවහනේ අද පින්තූරයක් තමයි උඩ තියන්නේ.
කෑලි කෑලි හදාගත්තු කොඩිය දිග ඇරගෙන සම්පූර්ණයෙන් නිම කරන්න ඔවුන්ගේ නිවහනේ ඉඩ මදි නිසා ගෑණු ටික කොඩිය අරන් ගිහින් තියෙන්නේ පාර එහා පැත්තේ තිබිච්ච ක්ලැගෙට්ගේ ස්කාගාරයට.
කොඩියේ නිවහන යැයි හැඳින්වෙන මේ ගෙදර අද සංරක්ෂිත ස්ථානයක් සහ කෞතුකාගාරයක්.
කොඩිය හැදුවට මේරිට ඩොලර් 405.90 ක් ගෙවල තියනව. ලොකු කොඩියක් ඉල්ලූ මේජර් කුණාටු වල දී එහෙම දාන්න කියල තව පොඩි කොඩියකුත් මේරිට කියල හදාගන්නව. කළින් මහපු විදියටම හදන ඒක අඩි 17 X 25 ක කොඩියක්. ඒකට මේරිට ඩොලර් 168.54 ක් ලැබුණු බව සටහන්.
ගොඩක් අය නොදන්න කතාව මේකයි: මේරි දෙවෙනියට හදපු, කුණාටුවල දී දාන පොඩි කොඩිය තමයි එදා බල්ටිමෝර් සටන පැවැත්වෙද්දී ලෙළ දීලා තියෙන්නෙ. ඊ ළඟ දවසේ උදේ සටන ඉවර වුනාම තමයි නීතීඥයාට සිංදු කියැවෙච්ච අර ලොකු කොඩිය දාලා තියෙන්නෙ.
අද බල්ටිමෝර් වරායේ පින්තූර දෙකකුත් එකතු කළා ඔන්න.
[…] තරු ඉහිරුන කොඩිය මැහුවේ මේ නිවහනේ දී […]