අරුණි ශපීරෝ‍ වෙතින්

දේශපාලකයෙක් දණ ගැස්වූ මාධ්‍යවේදියා

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 25, 2016

දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රවෘත්ති වාර්තා කරන්නට එඩ්වඩ් ආර්. මොරෝ නමැත්තා ලන්ඩනයට ගියේය. එතැන් පටන් ඔහුගේ නම අද්විතීය වාර්තාකරුවෙක් ලෙසින් ඉතිහාසයට එකතු වෙන්නේ නාට්සි මරණ කඳවුරු වල සිට සහ බෝම්බ වැටෙන බර්ලිනයේ සිට වාර්තා කරන්නට සමත් වීම නිසා පමණක් නොවේ. තමන්ට අනන්‍ය වූ භාෂා ශෛලියක් ගෙනැවිත් එය ඉදිරි දශක ගණනාවක් පුරා අනිත් මාධ්‍යවේදීන් භාවිතා කරන ආකාරයක් බවට පත් කරන්නට සමත් වීම පමණක් නිසාත් නෙමේ. ප්‍රේක්ෂකයන්ට ඉතා පහසුවෙන් හඳුනාගන්නට හැකි වූ කටහඬක් තිබීම පමණක් නිසාත් නෙමේ.

එඩ්වඩ් මොරෝ නම ඉතිහාසයේ සටහන් වෙන්නේ සත්‍යය සොයා යන්නට කැප වෙච්ච, එය නොබියව ජනතාව වෙතට ගෙනෙන්නට නිර්භීත වූ මාධ්‍යවේදියෙක් හැටියටයි. ඔහු කොමියුනිස්ට් හිතවාදියෙක් නොවේ. කොමියුනිස්ට් දැක්මට හෝ සමාජවාදයට ඇල්මක් දැක් වූ අයෙක් නොවේ. ඔහුගේ පරමාර්ථය සත්‍ය ගවේෂණය සහ සොයා ගත් දෑ වාර්තා කිරීම.

1950 ගණන් වල දී ජෝසෆ් මැකාර්ති නැමති සෙනෙට් සභිකයා ආණ්ඩුවේ බලය යොදාගත්තේ ජනතාව අතරට කොමියුනිස්ට් සහ සෝවියට් ඔත්තුකරුවන් රිංගලා යැයි චෝදනා එල්ල කරමින් පුද්ගලයන්ව අත් අඩංගුවට ගන්න සහ ඔවුන්ව රාජ්‍ය සේවයෙන් පහ කරන්නට. ඔහු ගෙන ගිය වැඩි දෙනෙක් නොදන්න අනික් මෙහෙයුම වුනේ සමරිසි අය කොමියුනිස්ට් හිතවාදීන් හැටියට දක්වමින් ඔවුන්වත් රජයේ සේවයෙන් අයින් කරන්නට. චෝදනාවලට ලක්වූවන් ගැන තොරතුරු රහසිගතව රජය බාරයේ තිබුණේ. හිටිහැටියේ අත් අඩංගුවට ගැනෙන සහ විශේෂ සෙනෙට් සභා ඉදිරියේ ප්‍රශ්න කිරීම්වලට ලක්වෙන මේ රජයේ සේවකයන් සහ හමුදාවේ අය ඇත්තෙන්ම කුමන වරදක් කළාදැයි දැනගන්නට රටේ ජනතාවට ඉඩකඩක් ලැබුනේ නැහැ.

ජෝසෆ් මැකාර්ති ගැන අවධානයෙන් සිටිමින් තොරතුරු එකතු කරන්නට පටන් ගන්නෙ එඩ්වඩ් මොරෝ. 1953 සිට 1954 දක්වා වසර දෙකක දී මැකාර්ති විසින් මේ කමිටු ප්‍රශ්න කිරීම් 169 ක් පවත්වනව. ඒවයේ කට උත්තර දෙන්නට කියල පුද්ගලයන් 653 ක් කැඳවනව. රජයේ දෙපාර්තමේන්තුවල වැඩ කරපු කොමියුනිස්ට් පක්ෂයේ අයත් මේ අතර හිටිය. ගොඩක් දෙනෙක් නොදන්න දේ තමයි ටික කාලයක් රොබට් කෙනඩිත් මේ කමිටුවේ සහාය නීතීඥයෙක් හැටියට කටයුතු කළ බව.

කමිටුව රටේ ජනතාව ඉදිරියේ සිය ප්‍රශ්න කිරීම් බෙදා හරිද්දී එඩ්වඩ් මොරෝ තමන්ගේ රූපවාහිනි වැඩසටහනින් ඒ ප්‍රශ්න කිරීම් විවේචනයට ලක් කරන්නට පටන් ගන්නව. රටක දේශපාලනඥයන් සිය රාජ්‍ය සේවකයන්ගේ කටයුතු ගැන ප්‍රශ්න කිරීම වරදක් නොවේ. ඒත් ප්‍රශ්න කිරීම තතු සොයා ගැනීමට ද නැත්නම් වරදක් කළා යැයි චෝදනාවකට හසු කරගැනීමේ ඉලක්කයෙන් සිද්ධ වෙන්නක් ද යන දෙක අතර පැහැදිලිතාවයකින් තොර වීම ගැනයි මොරෝ තම ප්‍රවෘත්ති වලින් ජනතාවට පෙන්වන්නේ.

යම් අයෙක් වරදකට සැක කටයුතු පුද්ගලයෙක් යැයි හැඳින්වීම සහ එය ඔප්පු කරන ලද්දක් සේ සැලකීම අතර ඇති වෙනස මැකාර්ති නොසලකා හරින ආකාරයයි මොරෝ ජනතාවට පෙන්වා දෙන්නේ. මොරෝ ඊට සමත් වෙන්නේ මැකාර්තිගේ කතා පැවැත්වීම් වැඩියෙන් ප්‍රචාරය කර හරිමින්, ඊට ඉඳහිට ප්‍රශ්නයක් දෙකක් එකතු කරමින්.

හිතන්නට පුළුවන් ජනතාවක් එදා රටේ සිටි නිසා, ඔවුන් මොරෝ පවත්වන වැඩසටහන් ගැන අතිශය ප්‍රසාදය දක්වමින් රූපවාහිනියට ටෙලිග්‍රෑම්, ලිපි සහ දුරකතන ඇමතුම් දෙන්නට පටන් ගන්නව.

මෙම මොරෝ-මැකාර්ති ගැටුම පාදක කරගනිමින් නිපැද වෙච්ච “ගුඩ් නයිට්, ඇන්ඩ් ගුඩ් ලක්” (2005) චිත්‍රපටිය නරඹන හැකියාව ඊයේ පෙරේදා නෙට්ෆ්ලික්ස් වලින් ඇමෙරිකන් ජනතාවට ලැබුණ. චිත්‍රපටියේ නළු නිළි රංගනය ගැන විවේචනය කළ අයෙක් මැකාර්ති හැටියට රඟපාන එක්කෙනා ඕනෑවට වැඩියෙන් රඟපානවා කියල චෝදනා කරලත් තියනව. ඒ මේ චිත්‍රපටියේ මැකාර්ති හැටියට රඟපාන්නේ මැකාර්තිම බව නොදැන. චිත්‍රපටිය යොදාගන්නේ එවක ටේප්. ඉතා සූක්ෂම ලෙසින් එදා පටිගත කිරීම් සහ චිත්‍රපටිය සඳහා වර්තමානයේ වූ පටිගත කිරීම් එකතු කරලා තියන නිසා එහෙම වැරදීම ඇත්තෙන්ම චිත්‍රපටියේ නිෂ්පාදකයන්ට දෙන ලද ප්‍රශංසාවක්.

මොරෝගේ සහායකයා හැටියට රඟපාන සහ චිත්‍රපටියේ අත්පිටපත ලියන්නට සහාය වූ ජෝර්ජ් ක්ලූනි ඉතා දක්ෂ නළුවෙක් බව සැබෑයි. නමුත් සැබෑ ජීවිතයේ දී ඔහුත් රටේ බොහොම දෙනෙකුත් ක්ලින්ටන් පදනමට මුදල් තෑගි කර දේශීය අමාත්‍යාංශයෙන් වාසි ලබාගන්නට සමත් වූවන් ගැන එවැනි සත්‍ය ගවේෂණයක යෙදෙන වර්තමාන මාධ්‍යවේදීන් නැතැයි නොදැකීම ඉතා ඛේදනීයයි. ජෝසෆ් මැකාර්ති මෙල්ල කරන්නට, රිචඩ් නික්සන් ගෙදර යවන්නට මාධ්‍යවේදීන්ගේ සහාය ලැබුනට හිලරි ක්ලින්ටන් කළ දේවල් ගැන ගවේෂණාත්මක වාර්තා සපයන්නට අකමැති ඔවුන් රිපබ්ලිකන් සහ ඇය ඩෙමොක්‍රැටික් නිසා වෙන්නැති. ස්ටීවන් කොල්බෙයාර් වගේ විහිළුකාරයන්ගෙන් අද අපිට අහන්න ලැබෙන්නේ “ඇමෙරිකාව දැන්වත් 1960 ලංකාවට ඒවි’ වගේ විකාර. පාන් පෝලිම්, භූමිතෙල් රෙදි, බෙහෙත් නැති ඉස්පිරිතාල, පිටරටකට යද්දී ආණ්ඩුව නියම කළ විදේශ මුදල් ප්‍රමාණය පමණක් ගෙන යා හැකි වූ (සාමාන්‍ය හෝටලයක ඉන්නටත් ප්‍රමාණවත් නොමැති) එදා ලංකාවේ ජීවත් වූ අයම අද ඇමෙරිකාවේ සැප විඳින ගමන් මේ කොල්බෙයාර් වාර්තාව හුවමාරු කරගන්නවා දැක්කම ලැජ්ජා හිතුනේ මට විතර ද?!!!

One Response

Subscribe to comments with RSS.

  1. සිරි said, on අගෝස්තු 26, 2016 at 3:31 පෙ.ව.

    රජය තමාට මෙහෙමනගන චෝදනා වලට කෙලින් ඉන්න කොන්දක් තිබ්බ එකම ඇති.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: