අරුණි ශපීරෝ‍ වෙතින්

සිංගප්පූරුවේ රැෆල්ස්

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 27, 2016

item_1.thumbnail.carousel-img.740.416

නවසීලන්ත සුපිරි උසාවියේ හිටපු සොලිසිටර වින්ඩර් මහතා වර්තමානයේ දී එංගලන්තයේ ගොවිතැනේ යෙදෙයි. හෙතෙම නීතිය, කෘෂිකර්මය සහ අර්ථ ශාස්ත්‍රය ගැන පරතෙරට ලියන ලද්දෙකි. ‘මුදල් පිළිබඳ කෙටි ඉතිහාසය’ ඔහු ලියූ නවතම පොතයි.

සැතපුම් 27 ක් දිගින් සහ සැතපුම් 14 ක් පළලින් යුතු දිවයින, ලෝකයේ ශ්‍රේෂ්ඨතම නගරය පිහිටන, සිංගප්පූරුව, මේ වසරේ දී ස්වයං ආණ්ඩුවකින් පාලනය වෙන රාජ්‍යයක් බවට පත්වෙයි. එය නාම මාත්‍ර ලෙසකින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ ද, එහි පිහිටන ලද බ්‍රිතාන්‍ය ආරක්ෂක හමුදා කඳවුරු තව දුරටත් එසේම පැවතෙනු ද ඇත.

බ්‍රිතාන්‍යයන් අත්හැර දැමීමත් සමඟ දිවයිනේ ශතකයට වඩා කාලයක් පැවති නිවහල් ව්‍යවසායකත්වය (free enterprise) ද අවසානයකට පැමිණ ඇත.

සිංගප්පූරුවේ ශතකයක් ඉක්මවා යන ඉතිහාසය සැබැවින්ම ලිබටේරියන් විශ්වාසයන්ගේ ප්‍රායෝගික සත්‍යයතාවය මැනවින් විදහා පෙන්වන අවස්ථාවකි. නගරය උපන්නේ නිවහල් ව්‍යවසායකත්වයෙනි. ඔවුන් -එහි සහගාමීය වූ නිර්බාධ වෙළඳාමේ- නියැළුනේ 1846 දී මහා බ්‍රිතාන්‍යයේ ඒ ක්‍රමය පිහිටුවන්නට පාර කැපූ ඉරිඟු නීති සමාලෝපනයටත් පෙරයි. එසේම, නිවහල් ව්‍යවසායකත්වයට ඉඩදීම රටට ආරක්ෂාව සැපයූ පාලක බලයේ ආර්ථික ප්‍රතිපත්තියක් වීමෙන් නැවතුණාට පසුවත් නිවහල් ව්‍යවසායකත්වය නොකැඩීම පැවතියේය.

නැව් මාර්ග සඳහා අනගි නැව්පොළකට සුදුසු ස්ථානයක් යැයි දැක ඒ සඳහා විශිෂ්ඨ නිදහස් වරායක් පිහිටුවමින්, මැලේ අර්ධ ද්වීපයේ අගිස්සේ ඇති මේ කුඩා දිවයිනේ වානිජ්‍ය වැදගත්කම කල්තියා දුටුවේ ස්ටැම්ෆෝර්ඩ් රැෆල්ස් නම් පුද්ගලයායි. බ්‍රිතාන්‍ය නාවුක කපිතාන්වරයෙකුගේ පුතෙක් වූ ඔහු වයස 14 දී ඊස්ට් ඉන්දියා කොම්පැණියේ සේවයට එකතු විය. ඒ ලන්ඩන් හි ලීඩන්හෝල් වීදියේ පැවති එහි ප්‍රධාන කාර්යාලයේ සුළු වැඩ කරන කොල්ලෙක් හැටියටයි.

වයස 24 ක් වෙද්දී ඔහුව පිනැන්ග් හි තිබුණ කොම්පැණියේ කාර්යාලයක් වෙත යවන ලදි. එහි දී ඔහු ස්වදේශී භාෂාවන් අධ්‍යයන කරන ලදි. ඔහුගේ වැඩ බලන ඉහළ නිලධාරීන්ගේ ප්‍රශංසාවට ඔහු ඉක්මණින් පාත්‍ර විය. 1810 දී ඔහු කල්කටා නගරයට ගියේය. එහි දී ලෝඩ් මින්ටෝ නම් ආණ්ඩුකාර-ජනරාල්ගේ විශ්වාසය දිනාගන්නට ඔහු සමත්විය. 1811 දී, නැපෝලියන් බොනපාට් සමඟ මිත්‍ර වන්නට සිද්ධ වූ ඕලන්දයන් වෙතින් ජාවා දූපත අල්ලා ගන්නට මලක්කා වෙති යැවූ බ්‍රිතාන්‍ය හමුදාව සමඟ ඔහුව ද පිටත් කර යැවිණ. මේ දේශගවේෂණයේ බුද්ධිමය නිලධාරියා ලෙසින් රැෆ්ල්ස්ව පත්කෙරිණ.

සති හයකින් පසුව, දේශගවේෂණය සිය කාර්යය සාක්ෂාත් කරගැනීමෙන් පසුව, ලෝඩ් මින්ටෝ ඔහුගේ අනිකුත් සාම්ප්‍රදායික නිලධාරීන් පුදුමයට පත් කරමින් ස්ටැම්ෆෝර්ඩ් රැෆල්ස්ව අලුතින් අල්ලා ගත් දේශයන්හි ලුතිනන්-ආණ්ඩුකාරයා වශයෙන් පත් කරන ලදි. ලීඩන්හෝල් වීදියේ ඔෆිස් කොල්ලෙක් වූ ද, ආසියාවේ වසර හයක් පමණකින් යුතු අත්දැකීම් තිබූ, වයස තිහකින් යුතු වූ තරුණයාට මෙය ජීවිතයේ ඉතා වැදගත් උසස්වීමකි.

වෝටර්ලූ වලින් පසුව ජාවා නැවතත් ඕලන්දයන් අතට පත්විය. රැෆල්ස්ට නයිට් පදවියක් ලැබිණ. එහෙත් ඔහුට හිමිවූයේ සුමාත්‍රාවේ නොවැදගත් වෙළඳ ස්ථානයක් වූ බෙනිකූලන් හි ඊස්ට් ඉන්දියා කොම්පැණියේ නේවාසික පදවියයි. ඒ ඔහුගේ වේගවත් උන්නතිය නිසා හටගත් ඊර්ෂ්‍යාව හේතුවෙන් යැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත් ඔහු මෙතැන දී ආසියාව වෙත වැඩියෙන් ඇදෙන මහා බ්‍රිතාන්‍යයේ නැව් සඳහා සුදුසු වරායක් සොයාගන්නා ව්‍යාපෘතියක තනියම නියැළුණි.

සිංගප්පූරු දිවයින ඊස්ට් ඉන්දියා කොම්පැණියට විකුණන්නට 1819 දී ඔහු ජොහෝර් හි සුල්තන් සමඟ ගිවිසුමකට එළඹෙයි. ඒ සඳහා ස්පාඤ්ඤ ඩොලර් 60,000 ක් ද (£13,­500) ඩොලර් 24,000 ක වාර්ෂික දීමනාවක් ජීවිතාන්තය දක්වා සුල්තන්ට ගෙවන්නට ද හේ මහා බ්‍රිතාන්‍යයේ නාමයෙන් එකඟ වෙයි. (අහඹුවක් තමයි මේ ස්පාඤ්ඤ ඩොලර් වලින් ඇමෙරිකන් ඩොලර් හි මූලාරම්භය සිද්ධ වීම.)

නිල ආස්ථානය

මේ ලෙසින් දිවයින ඍජුව මිල දී ගැනීමට හැකි වුනත් රැෆල්ට ඉතා අසීරු වෙනවා මේ හුවමාරුව බාරගන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුව කැමති කරවා ගැනීමට. ලෝඩ් මින්ට් ට පසුව පත් වූ ලෝඩ් හේස්ටින්ග්ස් මේ ගැන ඇසූ සැණින්, ඔහු පිනැන්ග් හි ආණ්ඩුකාරයාට ලියන්නේ ඕලන්දකාරයන්ගෙන් විරෝධය ඇවිත් තියන නිසාත්, රැෆල්ස්ට ඒ පැත්තේ වෙළඳ ස්ථානයක් හොයන අයිතියක් නැති නිසාත්, ඒ නිසා උපදෙස් යවන්නේ, “ස්ථානය දැනටමත් ලබාගෙන නැත්නම්, එවැන්නක් පිහිටුවීමේ උත්සාහය ඉදිරියට ගෙන යාමෙන් වැළෙකෙන්නට කටයුතු කරන්න” කියලයි.

අපිට දැනගන්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍ය කැබිනෙට්ටුවත් “දැඩි සේ කෝප” වූ වගයි. රැෆල්ස්ට පක්ෂපාතීත්වය දක්වමින් ඔහු සමඟ බලගතු ලෙසින් එක් වූ සමුද්‍රසන්ධියේ වානිජ්‍ය කටයුතු වල යෙදුණ අය බලපෑමක් නොකළා නම් සමහර විට වරාය අත්හැරලා දාන්න බලකිරීමක් එල්ල වෙන්න නොසැක ඉඩක් තිබුණ. බ්‍රිටිශ් මලෙයා නම් පොත ලියමින් ස්ට්‍රේට්ස් ජනපදයන්හි එක් වතාවක් ආණ්ඩුකාරයා වූ ෆ්‍රෑන්ක් ස්වෙට්න්හැම් සිංගප්පූරුව පිහිටුවීම ගැන ස්ථාවරය අපට මෙසේ කියයි:

“බ්‍රිතාන්‍ය පක්ෂයක් හෝ, බ්‍රිතාන්‍ය ආණ්ඩුව හෝ මේ කිසිවකට කිසිම ලෙසකින් සම්බන්ධ වී නැත, බොහෝ දුරට ඔවුන්ගේ අනුදැනුමෙන් තොරව, මෙය සිද්ධ වී ඇතැයි පමණක් පිළිගන්නවා හැරෙන්නට, මෙය සිද්ධ වී ඇත්තේ ඔවුන්ගේ කැමැත්තට සම්පූර්ණයෙන්ම පිටුපාමින් ය.”

ජොහෝර් හි සුලතන් හා සිය පළමු ගිවිසුම අත්සන් කර වසර හතකින් පසුව, සිංගප්පූරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතට ගෙන එන්නට සමත්වීමෙන් අනතුරුව, රැෆල්ස් වයස හතළිස් පහේ දී එංගලන්තයේ දී මිය ගියේය. ස්වෙට්න්හැම් අපිට කියන්නේ, “ඔහුගේ සොහොන හොයාගන්නට කිසිවෙක් නොදනී,” කියායි.

නිදහස ගැන විශ්වාසය

ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් ගේ වෘත්තිමය ජීවිතය එවැනි කෙටි සටහනකි. එහි සඳහන් නොවන්නේ සමහර විට ඔහුගේ විශිෂ්ඨතම ගුණයයි. නිවහල් ව්‍යවසායකත්ව ක්‍රමය ගැන ඔහු තුල වූ සම්පූර්ණ සහ විචාරමය විශ්වාසයයි.

මෙය මුලින්ම එළියට එන්නේ ඔහු ජාවා හි ආණ්ඩුකාරයා වී සිටිය දී ය. ඒ දිවයින හා වෙළඳාම නෙදර්ලන්තයේ ගාස්තුවක් හැටියට ඕලන්දය හැම විටම සලකන ලදි. රැෆල්ස් හැම විටම වෙළඳාම සඳහා සම්පූර්ණ නිදහසක් දුන්නේය. එසේම සමාජයීය වශයෙන් නොව පුද්ගලයන් වශයෙන් පැහැදිලිව තබාගැනීමට හැකිවන පරිද්දෙන් දිරිගන්වමින් ඉඩම් බුක්තිය සඳහා වූ කොන්දේසි ඔහු වෙනස් කළේය. දිවයිනේ වහල් ක්‍රමය අහෝසි කළේය. ජාවා හි ඔහුගේ වසර පහක පාලනය විසල් සමෘද්ධියක් සහ ප්‍රගතියක් සිද්ධ වූ යුගයක් හැටියට දීර්ඝ කාලීන මතකයට එකතු විණ.

එහෙත් ඔහු ජනතාව තුල තමන්ගේ නිවහල් ව්‍යවසායකත්වය ගැන දර්ශනයෙන් අද දක්වාම පවතින ලෙසකින් ප්‍රශ්න නොකරන ආර්ථික ක්‍රමයක් හැටියට ස්ථාපිත කරන්නට සමත් වෙන්නේ සිංගප්පූරුවේ දී ය.

දිවයින මිල දී ගනිද්දී ඔහුගේ අරමුණ වූයේ එය සහමුලින් නිදහස් වෙළඳාමේ කේන්ද්‍රයක් බවට හැරවීමයි. ඕලන්දයන් යටතේ ආරක්ෂණයෙන් සහ නියාමනයෙන් පැවති විදිය දැක එයින් වෙනස් කරන්නට ඔහුට උවමනා විණ. ජාවා ආපසු ඔවුන් යටතටම පැවරෙද්දී එය තවත් එයාකාරයෙන්ම පරිපූර්ණ වේ යැයි ඔහු සැක කළේය.

1823 දී සිංගප්පූරුවෙන් යද්දී ඔහු වෙළෙන්ඳන් සමඟ හුවමාරු කරගත් ලිපි වලින් ස්ටැම්ෆර්ඩ් රැෆල්ස්ගේ හදවතේ කකියන ලද පරමාදර්ශයන් ගැන අපට යම් අදහසක් ලබාගත හැකියි. වෙළෙන්ඳන් මෙසේ ලියා තිබිණ: “මුහුදු කොල්ලකාරයන්ගේ හොර ගුහාවක් ලෙසින් තිබූ තැනක් කිසිත් උදාහරණයකින් දැක්විය නොහැකි තරම් වූ කෙටි කාලයක දී ව්‍යවසාකත්වයේ, ආරක්ෂාවේ සහ සශ්‍රීකත්වයේ වාසස්ථානයක් බවට හරවන්නට සමත් වීම ගැන, මෙය නිදහස් සිද්ධාන්ත පදනමක් තුලින් පිහිටුවීමට හා පවත්වාගෙන යන්නට සමත් වීම ගැනත්, අද්වීතිය වූ ජනපදයක් බවට හරවන්නට ගත් ඔබේ වෙහෙසට පත්නොවන උද්‍යෝගයට, ඔබේ නිති සුපරීක්ෂාකාරී බවට, එසේම ඔබේ පුළුල් දැක්මට, ක්ෂණයෙන් අපි ණයගැතියි.”

සමහර විට මේවා ඒ පිටත්වීමේ යෑම වෙනුවෙන් සුදුසු වූ නිල ප්‍රකාශයන් විය හැකියි. නමුත් මෙන්න සර් ස්ටැම්ෆර්ඩ් දුන් කදිම උත්තරයෙන් කොටසක්:

“සිංගප්පූරුව නිවහල් වරායක් හැටියට පිහිටුවීම මහා බ්‍රිතාන්‍යයේ ප්‍රතිපත්ති සමඟ සතුටින් අනුරූප වෙයි, එසේම ඊස්ට් ඉන්දියා කොම්පැණියේ මූල ධර්ම හා ගැලපෙයි. කිසිත් දුෂ්ට, අධම දැක්මක් නැතිව, දේශපාලන වැදගත්කමක් නැත්නම් මුදල් ලාබයක් ගැන වූ තැකීම් කිසිත් නැතිව, මෙම වරාය බිහිවීම පුළුල් සහ ලිබරල් වූ මූලධර්ම තුලින් වූ බ්‍රිතාන්‍ය අභිරුචියන් මත පදනම් වීමට කිසිම ලෙසකින් බාධාවක් සිද්ධ නොවිය යුතුයි.

“ඒකාධිකාරයන් සහ සුවිශේෂී වරප්‍රසාදයන් වලට එරෙහිව මහජනයා සිය හඬ නඟන්නේ බොහෝ ඈත කාලයක පටන් බව මෙහෙ අය නොදනිති. ඉතින් සිංගප්පූරුවේ නිවහල් වරායේ පැවැත්මට සහ සමෘද්ධියට ඉඩ ලැබෙන තාක් කල්, මේ දක්වා සිද්ධ වූ ලෙසින්ම, ඊස්ට් ඉන්දියා කොම්පැණියේ ප්‍රතිපත්තිය සහ ලිබරල්බව තුලින් ආරම්භ වූ මේ ජනපදය, එහි ආරක්ෂාවෙන් හා පාලනයෙන් තවමත් ආණ්ඩු වෙන, මේ ගැන හබයක් ඇති කරගත නොහැකියි.

“සිංගප්පූරුව දීර්ඝ කාලීනව සැමදා නිවහල් වරායක් ලෙසින් පවතිනු ඇතැයි ද, එහි අනාගත උන්නතිය සහ සමෘද්ධිය වළක්වන්නට වෙළඳාමට හෝ කර්මාන්ත වලට බදු නොවැදෙන ආකාරයෙන් පිහිටුවනු ඇතැයි ද යන්න ගැන මට කිසිදු සැකයක් නැත. මේ කියන ටික ගැන මම සාධාරණීය වෙමි, මෙය රඳන්නේ ඉන්දියාවේ සුපිරි ආණ්ඩුවේ අධිකාරය මත, සහ අපේ ජන්ම භූමියේ කවුන්සිල් වල වැඩියෙන් බලවත් අයගේ අධිකාරිය මතයි.

මේ ලියුම ලියපු කාලය සිහි කරද්දී, මහා බ්‍රිතාන්‍ය ඇතුළු ලොව සියළු රටවල එවක ආරක්ෂණවාදී රේගු තහනම් සමඟින් වූ වානිජ්‍යවාදී ක්‍රමය පැවති බව මතකයේ තබාගත යුතුයි. ඇඩම් ස්මිත් මිය ගිහින් වැඩි කල් ඉක්ම වී නොමැත. බඩඉරිඟු නීති සමාලෝපනය සිද්ධ වෙන්නේ තව කල් ඉක්ම යද්දී. නිවහල් ව්‍යවසායකත්වය වෙනුවෙන් පළමුවෙන් පෙනී සිටිය පුද්ගලයා ඇඩම් ස්මිත් නම්, එහෙනම් එම ක්‍රමය ප්‍රායෝගික වශයෙන් මුලින්ම ක්‍රියාවට නංවන රාජ්‍ය නිලධාරියා ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් වෙයි.

භාෂා තුනකින් ගුණකථනය

එනමුත්, වාසනාවට තත්වයන් වෙනස් වෙමින් පැවතිණ. එම ලියුම ලියා වසර 23 කින් පසුව, මහා බ්‍රිතාන්‍යය ද සිංගප්පූරුවේ උදාහරණය අනුගමනයට පටන් ගත්හ. මහා බ්‍රිතාන්‍ය නිර්බාධ වෙළඳාමට සහ නිවහල් ව්‍යවසායකත්වය තම ආර්ථික ප්‍රතිපත්තිය කරගති. 1850 දී සිංගප්පූරුව ඉන්දියාවේ ආණ්ඩුකාර-ජනරාල්ගේ ඍජු පාලනයට පත්විණ. ඔහු දිවයිනට ගියේය. මේ පුද්ගලයා, ඉතා වාසනාවන්ත අන්දමින්, තමන්ගේම රටවැසියෙක් වූ ඇඩම් ස්මිත්ගේ මූල ධර්ම වලින් ඉතා දැඩි සේ උද්දාමයට පත් වී සිටි ස්කොට් වැසියෙකි. ඔහු ග්ලැඩ්ස්ටන් යටතේ වෙළඳ මණ්ඩලයේ සේවය කරන ලද ඉරිඟු නීති සමාලෝපනයට සමත් වූවන්ගෙන් එක් කෙනෙකි.

ඔහුගේ ගමන සමරන්නට නගරයේ මැදට කිට්ටු එම්ප්‍රස් මාලිගාවේ සිහිවටනයක් පිහිටුවන ලදි. සිංගප්පූරු නගරය උපදින්නට පාදක වූ මූලික විශ්වාසය එහි ඉංග්‍රීසි, මැලේ, චීන සහ දෙමළ යන භාෂා හතරෙන් කදිම ලෙසින් වාර්තා කර ඇත.

එය පටන් ගන්නේ ආණ්ඩුකාර-ජනරාල්ගේ විශිෂ්ඨත්වයන් වලින්. ඒත් කමක් නැහැ, අපි එයට සම්පූර්ණ අවධානය දෙමු. මන්ද, පණිවිඩයේ අඩංගු වූ දැයට ඔහු අපේ ස්තූතියෙන් කොටසක් හිමිවිය යුතු නිසා. මෙන්න එය:

ඉදිකරන ලදි
යුරෝපීයයන්
චීන සහ ස්වදේශී
සිංගප්පූරු වාසීන් විසින්
සිහිකරන්නට මේ ගමන
මාසයේ
1850 පෙබරවාරි
ඉතා ගෞරවනීය
ඩැල්හවුසියේ මාකී
කේ. ටී., ආණ්ඩුකාර ජනරාල්
බ්‍රිතාන්‍ය ඉන්දියාවේ
මේ අවස්ථාව
ඔහු පැහැදිලි ලෙසින් හඳුනාගත්තේ
නිවහල් කිරීමේ ප්‍රාඥාවයි
වානිජ්‍යය
සියළු බාධක වලින්
ඒ බුද්ධිමය
ප්‍රතිපත්තියෙන්
ජනපදය ලබා ඇත්තේ
අද පවතින වේගවත් මට්ටමයි
බ්‍රිතාන්‍ය හිමිකම් අතර
ඒ හා සමඟින්
එහි අනාගත සමෘද්ධිය
සදා කල්
හඳුනාගත යුතුයි.

“සියළු බාධක වලින් වානිජ්‍ය නිදහස් කිරීමේ ප්‍රඥාව”! නිවහල් ව්‍යවසායකත්වයේ මූලික සිද්ධාන්තය එතෙක් කාලයක් මෙයාකාරයෙන් පැහැදිලිව සහ කෙටියෙන් ඉදිරිපත් කර නොතිබුණි. එසේම මෙතරම් අමුතු වූ පරිසරයක, ආසියාවේ ශ්‍රේෂ්ඨතම නගර අතරින් එකක පාම් ගස් යටින් ඉදි වූ ස්මාරකයක.

ඉතින්, වසර ශතකයකට වඩා, ඒ සිද්ධාන්තය සිංගප්පූරු නගරයට බොහෝ සෙයින් වැජඹෙන්නට හැකි ලෙසින් රැකවරණය දෙන ජවය හැටියට පැවතිණ. මුහුදු මංකොල්ලකාරයන්ගේ හොර ගුහාවකින් යුතු දරීද්‍රතාවයෙන් පිරුණු තැනක් ලෙසින් පවතිනවා වෙනුවට, වසර කිහිපයකින්, එය මිලියනයක් වැසියන් ජීවත්වන, ආසියාවේ වෙනත් කිසිම තැනක නැති ජීවන මට්ටමකින් යුතු වූවන් පිරි, ලොව විශිෂ්ඨතම වරායක් බවට පත් විය. එහි ජනාකීර්ණ මහා මාර්ගයන්හි වැඩියෙන් හිටියේ චීන අය වුවත්, එහි වූවන් ලෝකයේ සියළු ජාතීන් නියෝජනය කළහ. මාර්ග තදබදය මෙහෙයවන රැවුල්කාර සීක් අය, නේපාලයෙන් පැමිණි ගර්කා, ඈත නවසීලන්තයෙන් පැමිණි මඕරි, වනාන්තරයෙන් නිවාඩු ගෙන එළියට පැමිණ දිවයින කොමියුනිස්ට් දාමරිකයන්ගෙන් ආරක්ෂා කරගත්හ.

අමතක වූ පාඩම

සිද්ධාන්ත අමතක වී ගියාම, ඒවායෙන් බිහි වූ ප්‍රායෝගික ක්‍රියාවන් තව දුරටත් පැවැතෙන්නේ නැත. අවසානය කල් තියා දකින්නට ලැබෙනු ඇත, වසර කිහිපයකට පෙර, ජපන් අධිවාසයෙන් පසුව නැවත බ්‍රිතාන්‍ය පාලනය එද්දී නගරය මහත් උත්සවයක් පවත්වද්දී. ඒ සඳහා ඔවුන් නගරය පිරිසිදු කළහ. මහජන ගොඩනැඟිලි සායම් කෙරිණ. ස්මාරක සියල්ල සුද්ධ පවිත්‍ර විය. එකක් හැරෙන්නට: වසර සියයකට පෙර, භාෂා හතරකින්, නගරයට පණ දුන් විශ්වාසය සටහන් වූ ඒ ස්මාරකය හැරෙන්නට!

මේ ස්මාරකය, -සමහර විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වැඩියෙන්ම වැදගත් වූව, මන්ද එය බොහෝ දැ පැහැදිලි කරන නිසයි- කාලයාගේ ඇවෑමෙන් එකතු වූ අළු ලයිකන් තට්ටුවකින් යුතුව කිසිවෙක් සුද්ධ නොකර පැවතිණ. වෙළඳ සුළං වලට හැරෙන්නට සියල්ලන්ටම එය අමතක වී ගියේය. අද, මුළු ආසියාවේම එයින් කියැවුණු සිද්ධාන්තයන් දකින්නට ලැබන්නේ බ්‍රිතාන්‍ය නගරයක් වූ හොං කොං හි පමණයි.

අවසන් කරන්නට පෙර අපි නැවතත් ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් වෙත එමු. ඔහුගේ අගනා ලිබටේරියන් දැක්මට අපි සැමදා ගෞරවය දක්වමු. ඒත් ඔහු ඔහුගේ යහළු මිත්‍රාදීන් අතර එදිනෙදා ජීවිතයේ දී කුමන ආකාරයේ පුද්ගලයෙක් වූවා ද? ඔහු යටතේ ලිපිකරුවෙක් ලෙසින් සේවය කළ, ඔහුව මනාව හඳුනාගන්නා ලද, මැලේයා හි ස්වදේශී ඉතිහාසඥයා -අබ්දුල්ලාහ් අබ්දුල්කඩීර්- ඔහු ගැන කියන්නට අපි ඉඩ දෙමු. ඉතිහාසය ගැන පිටු 400 ක් සටහන් තබන අබ්දුල්ලාහ් අපිට කියන්නේ, 1823 දී එංගලන්තයේ දී මැරෙන්නට රැෆ්ල්ස් නැව් නඟිද්දී තමන් සමුදුන් ආකාරයයි.

එදින, සර් ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් ගෙන් වියෝවීම මා හට මගේ දෙමව්පියන්ගේ මරණය වූවා මෙන් දැනිණ. මගේ කණගාටුව මට ලැබුණු යහපත නිසා හටගත්තක් නොවේ. ඔහුගේ විශිෂ්ඨත්වය හෝ ආකර්ශණය නිසා නොවේ. නමුත් ඔහුගේ චරිතය සහ ඔහු සාක්ෂාත් කරගන්නට සමත් වූ දේවල් ගැනයි. ඔහු පැවසූ සෑම වචනයක්ම අවංක වූ සහ විශ්වාසය තැබිය හැකි වූ නිසයි. ඔහු කිසිවිටෙක තමන්ව ඉහළින් තබාගෙන අනුන්ව පහත් නොකළ නිසයි. මේ සියළු දේවල් මෙතෙක් මා හදවතේ රඳවාගෙන සිටියෙමි. ගෞරවයට පාත්‍ර විය යුතු මිනිසුන් බොහාමයක් මා දැක ඇතත්, දක්ෂ අය බොහොමයක්, ධනවත් අය, කඩවසම් අය, -ඒත් චරිතය ගැන කියද්දී, හිත දිනාගන්නට සමත් බලයෙන් යුතු, වටහාගන්නට හැකි කුසලතාවයන් යුතු, සර් ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් හා සම කළ හැකි අයක්ව මා දැක නැත්තෙමි. මා මිය ගිහින් නැවත ජීවත් වූවත්, මා කිසිදිනෙක ඔහු හා සමාන වූවෙක් නොදකිනු ඇත.”

***

ආරක්ෂණවාදියා

“අලි මහත්තයෝ, කරුණාකරලා ඔය කකුල උස්සන්න බැරි ද? ඔයා වාඩිවෙලා ඉන්නේ හරියටම මා උඩින්,” කුඩා කූඹියෙක් අයැද සිටියේය.

“කොච්චර ගුණමකු පුද්ගලයෙක් ද ඔයා,” අලියා ගිගුරුවේ ය. “ඔයාට වැටහෙන්නෙ නැද්ද මගේ පය යට ඉන්න තාක් කල් ඔයාගෙ හතුරෝ කාටවත් ඔයාට ළං වෙන්න බැරි බව?”

“අයින් වෙයන්!” කූඹියා කෑ ගැසීය. “මගේ බෙල්ල උඩ හිටගෙන ඔබ මට ආරක්ෂාව සපයනවා කියල හිතනවා නම්, ඉතින් ඒක නැතිව මට ජීවත්වෙන්න පුළුවන්.”

ඩබ්ලිව්. ඊ. මැක්ලාරන්, වොරන්, ඔහායෝ

මෙම සටහන fee.org අඩවියේ පළ වූ, 1959 සැප්තැම්බර් 1 වැනිදා ජෝර්ජ් වින්ඩර් විසින් ලියූ Raffles of Singapore ලිපියේ සිංහල පරිවර්තනයයි.

2 Responses

Subscribe to comments with RSS.

  1. ChaaN said, on අගෝස්තු 30, 2016 at 4:49 පෙ.ව.

    Lee Kuan Yew, අනුගමනය කලේ ඒ ක්‍රමයමද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: