අරුණි ශපීරෝ‍ වෙතින්

බදු අඩු කරන්නට මූලික වූ මුදල් ඇමතිවරයා

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 31, 2016

කාල් මාක්ස් 1867 දී ලියූ දාස් කපිතාල් නොහොත් ප්‍රාග්ධනය අද සිංහලෙන් කියැවිය හැකියි. එහෙත් 1776 දී ප්‍රකාශනය වූ, එතෙක් ලොව තිබූ වැඩම්වසම් ක්‍රමය වෙනස් කරන්නට සැබවින් දායක වූ, ඇඩම් ස්මිත් ලියූ ජාතීන්ගේ ධනය සිංහලෙන් කියවන්නට නැත.

නොමිලේ බෙදන අධ්‍යාපනය යනු මූලාශ්‍ර සොයා යන හුරුවකින් තොර වූවකි. කටපාඩම් කිරීමේ දක්ෂතාවය විමසන එය අදහසක් විමර්ශනයට හුරුවක් වර්ධනය නොකරයි. එවැනි අධ්‍යාපන ක්‍රමයක් සිංහලයන්ට නැත. ඉතින් අපට 2013 දී, උසස් පෙළ දේශපාලන විද්‍යා ප්‍රශ්න පත්‍රයකින් ‘දාස් කැපිටාල් (ජාතීන්ගේ ධනය) කෘතියේ කතුවරයා නම් කරන්න’ වැනි අරුම පුදුම ප්‍රශ්න දකින්නට ලැබේ.

කාල් මාක්ස් ඉපදෙන්නටත් පෙර, ඇඩම් ස්මිත් විසින් ලියන ලද ජාතීන්ගේ ධනය පොත නිවහල් ව්‍යවසායකත්වය පැහැදිලි කළේය. එය කියැවූ ස්ටැම්ෆර්ඩ් රැෆ්ල්ස් වැන්නන් වෙතින් උපත ලැබූ සිංගප්පූරුව වැනි දිවයිනක් සීඝ්‍ර දියුණුවක් කරා වසර 100 ක් තිස්සේ ගමන් කරන්නට ආභාෂයක් ලැබීය. ජාතීන්ගේ ධනය සිංහලට පරිවර්තනය නොවීමත්, දාස් කපිතාල් පරිවර්තනය වීමත් සමාජවාදී රටක පුදුමයක් නොවේ. ඵලදාව ලැබෙන්නේ වගාකරන ලද දේවල් අනුවයි. සිංගප්පූරුව වසර ශතකයක් එසේ ඵලදාව ලැබීය. ඒත් සිංගප්පූරු මොඩල් ගැන කතා කරද්දී සිංහලෙන් කියවන්නාට අහන්නට ලැබෙන්නේ ලී ක්වාන් යූ ගැන පමණයි. දාස් කපිතාල් ප්‍රකාශනයට පත් වී වැඩිකල් යන්නට පෙර නිශ්ප්‍රභා වූ පොතකි. එය ලෝකයේ බලතණ්හාධිකයන් විසින් ජනතාව මුලාකරගන්නට යොදාගත්තකි. ප්‍රාග්ධනය පොතේ අඩංගු අදහස් වැරදි බව පහදා ගන්නට නොහැකියාව ගැන සිංහල පාඨකයාට දොස් පැවරීම නොමනාය. මන්ද, පාසැල් දරුවාටත් වැඩිහිටියාටත් මාක්ස්වාදයේ මුලාව පහදන සිංහල භාෂාවෙන් කියවත හැකි පොතක් ලංකාවේ නැති බැවිනි. වර්තමාන වෙනිසියුලාව වැනි රටක් කරා ගමන් කරන ලංකාවේ වැසියන්ට මාක්ස්වාදයේ ‘රහ’ දැනෙන්නට වැඩිකල් නොයාවි.

අද අපි ජීවත්වන ලෝකයේ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් අනුගමනය කරන්නේ එකම එක මහජන ප්‍රතිපත්තියකි. විශාල සහ නියාමන බහුල රජය රිසි වූවන් මිසෙක අද ස්ටැම්ෆර්ඩ් රැෆල්ස්ලා ලොව දුර්ලභ වෙති. ලී ක්වාන් යූ මිය ගිය විට ඔහු ගැන ලියූ මගේ සටහනක් දිනමිණ පත්‍රය ද උපුටා දැක්වීය. ධනවාදී මොඩලයේ රටක් යැයි ලංකාවේ ප්‍රසිද්ධියට පත්ව තිබෙන නිසා වෙන්නැති සිංගප්පූරුවේ දුර්වලතාවයක් ගැන ලියද්දී සිංහල පත්තර උපුටා ගත්තේ. එහෙත් සත්‍ය ධනවාදී සහ නිවහල් වෙළඳාම වෙනුවෙන් රටක් බිහිකරන්නට සමත් වූ ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් ගැන සිංහල පුවත්පත් උපුටා දක්වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකියි.

තරඟකාරී වෙළඳපොල මිල ක්‍රමයක ආන්තික උපයෝගීතාවය ගෙනහැර දක්වමින් මාක්ස්වාදය හා සමාජවාදය රටක් බංකොළොත් බවට ගෙන යන ආකාරය පැහැදිලි කරපු ඉයුජින් වොන් බොම්-බැවර්ක් කුඩා රජයක් හා අඩු නියාමන නිර්දේශ කළ මුදල් ඇමතිවරයෙකි. ආණ්ඩුවේ වියදම් අඩු කරන්නටත්, තුලිත අයවැයක් සඳහාත් හෙතෙම නිතර සටන් කළේය.

බදු අඩු කරන්නට මූලික වූ මුදල් ඇමතිවරයෙක් ගැන ඔබ අසා ඇත්ද?

ධනවාදය ප්‍රචලිතයට ඇප කැප වූවන් අතර ලොව සුපතල මිල්ටන් ෆ්‍රීඩ්මන් පවා ජනතාවගෙන් ඍජුව බදු කපාගන්නට සැලසුමක් හදා දෙන්නට රජයට සහාය වූවෙකි.

1889 දී ඔස්ට්‍රියාවේ මුදල් අමාත්‍යාංශයේ සේවයට යන බොම්-බැවර්ක් 1891 දී එහි බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවට පත් කෙරෙයි. මුදල් ඇමතිවරයා ලෙසින් ඔහු තුන් වතාවක් සේවය කර ඇත. 1900 සිට 1904 දක්වා කාලයේ දී එවක ඔස්ට්‍රියන් රජයේ අගමැති අර්නස්ට් වොන් කොයිබර් විසින් ආර්ථිකය නඟලන්නට යැයි කියමින් විශාල වැයකින් යුතු මහජන ව්‍යාපෘතියක් ගෙන එන්නට ලැහැස්ති වූයේය. ඔස්ට්‍රියන් හංගේරියන් අධිරාජ්‍යයේ හැම අත යා කෙරෙන දුම්රිය මාර්ග සහ ජලදිය මාර්ග වලින් යුතු ප්‍රවාහන පද්ධතියක් ගෙන එන්නට අගමැති සූදානම් වූයේ විශේෂ වරප්‍රසාද ලැබෙන පිරිසකට බෙදන සහනාධාර සැලසුමක් සමඟයි.

මහජනතාවගේ සුබ සිද්ධියට යැයි කිව්වාට මේ මහජන ව්‍යාපෘතියෙන් වැදෙන්නේ මහජනතාවගේම බඩට බව පෙන්වා දෙන්නට බොම්-බැවර්ක් උදේ හවා වෙහෙස වීය. මෙවැනි මුල්‍ය ආයෝජනයක් නිසා බදු ඉහළ යවන්නටත් තවත් ණය වෙන්නටත් සිද්ධ වෙන ආකාරය හේ පෙන්වා දුන්නේය. ඒ වැය සාධාරණීය කරන්නට තරම් යහපතක් කර්මාන්ත වලට සිද්ධ නොවන බවත් හේ පෙන්වා දුන්නේය.

අමාත්‍යවරුන්ගේ කවුන්සිලයට වැය යෝජනා ගෙනෙන ලද්දේ එසේ මෙසේ කෙනෙක් නොව ඔස්ට්‍රියාවේ එම්ප්‍රදෝරුවා වූ ෆ්‍රාන්ස් ජොසෙෆ් විසින්මයි. ඒවායේ මුලසුන හොබවන ලද්දේ ද ඔහුම විය. එහෙත් ඒ බදු විවාද වල දී වැය යෝජනා වලට එරෙහිව ජයග්‍රාහී ලෙසින් වාද කරන්නට බොම්-බැවර්ක් සමත් වූයේය. අගමැතිවරයාගේ විසල් වැය වැඩපිළිවෙත් බොහොමයක් නවත්වන්නට මුදල් ඇමතිවරයා ලෙසින් ඔහු සමත් විය.

1904 දී ඔහු මුදල් ඇමති තනතුරෙන් ඉල්ලා අස්වූයේය. බදු දෙපාර්තමේන්තුවේ සේවය කළ රාජ්‍ය නිලධාරියෙක් සහ රටේ මුදල් ඇමතිවරයා වෙන්නට පෙර විද්‍යාර්ථියෙක්ව සිටි ඔහු යළිත් ඒ කටයුතු සඳහා කැපවිය. වියානා විශ්ව විද්‍යාලයේ පුර්වකාලීන මහාචාර්ය තනතුරකට 1905 දී යන ඔහු අර්ථ ශාස්ත්‍රය හඳුන්වා දෙන පාඨමාලාවක නියැළුනේය. එසේම දේශපාලන ආර්ථිකය ගවේෂණය සහ ආර්ථික න්‍යායයේ තේමාවන් ගැන ද ඉහළ උපාධිධාරීන්ට වැඩමුළු පවත්වන ලදි. ඒවාට සහභාගී වූවන් පසු කාලයේ දී ලොව අනගිතම අර්ථ ශාස්ත්‍රඥයන් බවට පත්වූහ.

1914 දී ආණ්ඩුවේ මුදල් පිළිවෙත් ගැන ලියූ ශාස්ත්‍රීය ලිපි වලින් බොම්-බැවර්ක් තමන් නවතාලූ වැය පිළිවෙත් නැවත ගෙනෙන්නට ඔස්ට්‍රියන් රජය කටයුතු කරන ලද බව පෙන්වා දුන්නේය. ආර්ථික නීතිය වෙනස් කරන්නට සමත් වූවෙක් ලොව නැත්තේ මන්දැයි පෙන්වා දෙන්නට ජීවිත කාලය කැප කළ ඔහු වෙනුවෙන් ඔස්ට්‍රියන් රජය 1984 දී ෂිලිං 100 ක මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: