අරුණි ශපීරෝ‍ වෙතින්

ලී ක්වාන් යූ ගේ සිංගප්පූරුව ගැන -කළින් ලියූවක්

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 31, 2016

මෙය ලී ක්වාන් යූ ගේ අභාවය නිමිත්තෙන් 2015 මාර්තු 23 වැනිදා ලියන ලද්දකි. එය අන්තර්ජාලයේ පළකරන ලද අතර දිනමිණ පුවත්පත ද එතැනින් උපුටා පළ කර තිබුණි. ඒත් දිනමිණ සිංගප්පූරුවේ රැෆ්ල්ස් ගැන ලියූ සටහන උපුටා ගනීවි ද?🙂

සිංගප්පූරු මොඩල් එකක් ගැන ලාංකිකයන්ට නිතර අසන්නට ලැබේ. විදේශ ගමනක් යද්දී සිංගප්පූරැවට ගොඩවැදී ගුවන් ගමනේ ඊ ළඟ අදියර පටන් ගන්නට සිද්ධ වීමෙන් ලංකාවේ වැසියන්ට සිංගප්පූරැවේ ශ්‍රී විභූතිය දැකගන්නට අවස්ථාව පහසුවෙන් පෑදේ.

යහපාලනයකට ජනවරමක් ඉල්ලා මැතිවරණ පොරොන්දු සැකසෙද්දී සිංගප්පූරැවේ තෙමසෙක් ක්‍රමය ගැනත් ලංකාවේ කතාබහක් ඇති වූ හැටි දකින්නට ලැබුණි. ක්‍රමය කුමක්දැයි නොදැන ඒවා නිර්දේශය ලංකාවෙන් නිතර දකින හැදියාවකි.

ධනවාදය නිසා ස්ථාපිත වූ නිදහස් සමාජයේ සමෘද්ධිය ආසියාව තුලින් බිහි වූයේ හොං කොං වලින්. එහි නිදහස් සමාජයක් වෙනුවෙන් කැප වූ සර් ජෝන් ජේම්ස් කොපර්ත්වෙයිට් වැන්නුවන් ගැනත් කළින් රන්දොර අඩවියේ සටහන් වී ඇත.

අයෙක් මිය ගිය පසු අඩුපාඩු හෙළි කිරීම නොමනා ක්‍රියාවක් යැයි සලකන අය බොහෝ වෙති. එහෙත් දැනට ජීවතුන් අතර සිටින බරක් ඔබාමා විසින් දැඩි සේ මිනිස් නිදහස කප්පාදු කරන හැටි (එඩ්වර්ඩ් ස්නෝඩන් සිහියට එයි) ගැන ලියනවා නම්, අයෙක් මිය ගිය පමණින් ඔහු හෝ ඇය විසින් කරන ලද හානිය ගැන සඳහනක් නොකර පැත්තකට දමා සිටිය නොහැකියි. විශේෂයෙන්ම එවැනි අවස්ථාවක දී අනෙකුත් අය ප්‍රශස්ති ගී පමණක් ගයද්දී!!!

ලී ක්වාන් යූ ගේ අභාවය සමඟින් එරටේ මෙතෙක් පවතින දේශපාලන පවුල විසිර යාවි ද, දණ්ඩ නීති පද්ධතියේ අක්‍රමිකතා වෙනස් වේවි ද, රටේ පවතින තෙමසෙක් හෝල්ඩින්ස් ක්‍රමය වෙනසකට භාජනය වේවි දැයි කියනු නොහැකියි. එහෙත් ඒවා මොනවා දැයි දැන සිටීමෙන්, සමහර විට ලංකාවට එවැනි ක්‍රම ගෙනෙන්නට යෝජනා කරද්දී ඊට විරෝධය පාන්නට අවශ්‍ය මන්දැයි කියා හෝ යම් හෝඩුවාවක් ලැබෙනු ඇත.

වර්තමාන සිංගප්පූරැ අගමැති ලී ස්යෙන් ලූන් මිය ගිය රටේ නිර්මාතෘ අගමැතිවරයා වූ ලී ක්වාන් යූ ගේ පුතෙකි. ලෝකයේ අගමැතිවරැ අතර වැඩියෙන්ම ඉහළ පඩිය ලබන ස්යෙන් ලූන් තම වේතනයට බදු ගෙවිය යුතු නැත්තේ ඒ සඳහා රටේ නීතියක් සම්මත කරගත් නිසයි. එම නීතිය ගෙනෙන අරමුණ ඉහළ පඩියක් දීමෙන් රටේ පාලකයා අක්‍රමිකතා වලින් ධනය උපයන්නට පෙළඹෙනු නැතැයි කියන දුර්මතයයි.

ලූන්ගේ බිරිඳ තෙමසෙක් හෝල්ඩින්ස් හි CEO වන හෝ චින්ග් ය. හෝ පෙන් කී යනු අගමැති බිරිඳ හෝ චින්ග්ගේ සහෝරදයෙකි. ඔහු අධ්‍යාපනය පාලනයට පත් ව සිටින ඩිරෙක්ටර් ජනරාල්ය. ටියෝ චී හීන් නම් උප අගමැතිවරයා ද පවුලේ සමීපතම හිතවතෙකුගේ පුතෙකි. අගමැතිවරයාගේ තාත්තාගේ ඥාති දුවෙකු (niece) වන රෑත් ලී රටේ අනෙක් උප අගමැතිවරයාගේ බිරිඳ වෙයි. මෙයාකාරයෙන් අගමැතිගේ මාධ්‍ය නිවේදක සිට රටේ ඇමති ධූර තනතුරු හොබවන බොහොමයක් දෙනා යම් ආකාරයකින් ලී ක්වාන් යූ පවුල සමඟ ඥාති හෝ සමීප හිත මිතුරු පවත්වන අය වෙති.

සිංගප්පූරැවේ තෙමසෙක් ක්‍රමය පවුල්වාදය පෙරදැරි කරගත්තකි. ඉතින් යම් අයෙක්, පවුල්වාදයක් නොමැති යහපාලනයක් ගෙනෙන්නට යැයි කියා තෙමසෙක් ක්‍රමයක් යෝජනා කරන්නේ ද, එයා තෙමසෙක් ක්‍රමය හරියටම කුමක්දැයි නොදන්නා අයෙකි. තෙමසෙක් ලංකාවට උචිත නොවන්නේ ඇයි? මැයෙන් රොහාන් සමරජීව විසින් රාවය පුවත්පතට සටහනක් ලියා ඇත. බලයේ සිටින පක්ෂයට ලබා දුන් සහයෝගය හෝ කාගේ ඥාතිකමක් අති ද කුමන පාසැලෙහි උගත්තේ ද වැනි කුරුණු රටේ ස්වෛරී සම්පත් අරමුදලේ අධ්‍යක්ෂකවරැන් පත්වීමට බල නොපාන බව එහි ඔහු කියයි.

තෙමසෙක් හි අක්‍රමිකතා පමණක් නොව පොදුවේ සිංගප්පුරු ආණ්ඩුවේ සියළු අඩුපාඩු ගැන කතාබහට එරෙට් ජනතාවට ඉඩකඩක් ලැබෙන්නේ නැත. දේශපාලන විරැද්ධ පක්ෂයක් එරටේ නොමැති වීම ජනතාවගේ ප්‍රසාදය බලයේ සිටින ආණ්ඩුවට ඉහළින්ම පිරිනැමෙන නිසා යැයි අයෙක් සිතන්නේ නම් එය මහා මුලාවකි. එරට ජනතාවට තම අක්‍රමිකතා ගැන දැනුම් දෙන්නට විදේශිකයෙකුගේ සරණක් ද ලබාගත නොහැකියි. සිංගප්පූරුවේ නීති පද්ධතියෙන් දඬුවම් දෙන බලය සතු විනිසුරු පද්ධතිය කොතරම් තදින් බලයේ සිටින දේශපාලන නායකයන්ට සහාය දෙනවා දැයි කියා දැනගන්නට හැකියාවක් එරට මාධ්‍යය වලින් පළ කිරීම තහනම් වූවකි. ඒ නිසාම සිංගප්පූරුව මානුෂික අයිතීන් උල්ලංඝණය කරන හැටි දැනගන්නට ද බහුතර ලෝකවාසීන් අසමත් වෙති.

සිංගප්පූරැවේ දියුණුව ගැනත් සිංගප්පූරුවේ මානුෂීය නිදහස ගැන කතා කරන අල්පයක් ලොව සිටිති. තමනට විරැද්ධව සිංගප්පූරු උසාවි වලින් පවරා ඇති නඩු සමුදායක් හමුවේ, ගෙවන්නට නියම කර ඇති ලොව අතිශයම විශාල වූ දඩ හමුවේ ඔවුන් ලොවට තොරතුරු සපයති.

ඕනෑම අකටයුත්තක දී රට පාලනයේ ඉන්නා අය “අපි මේ ගැන සොයා බලා තීන්දුවක් දෙනවා
” යැයි කිව්ව ද, කිසිත් වගකීමකින් යුතු සොයා බැලීමක් සිද්ධ වෙන්නේ නැති බව මෙවැනි පාලක ගුණ්ඩු හුරු ලංකාවේ අයට අමුතුවෙන් පැහැදිලි කර දෙන්නට අවශ්‍යතාවයක් නැත. ආණ්ඩුවේ ඇමතිවරැන්ගේ සහ මහජන සේවකයන්ගේ මුදල් අක්‍රමිකතා ගැන සොයා බලන්නට වංචා විමර්ශන ආයතනයක් (CPIB) සිංගප්පූරුවේ තිබුණ ද, රටවැසියන් සියල්ලන්ම පාහේ දන්නා වංචනික ක්‍රියාවන් විමර්ශනය වෙන්නේ වංචා කරන ලද්දා විසින්ම පත් කරන ලද මුදල් ඇමතිවරයා අතින්!!!

ඇත්ත නැත්ත ගැන තව විස්තර කියවන්නට කැමති අය මේ පොත් වලින් ඊට ප්‍රවේශයක් ලබාගත හැකියි. එහෙත් ෆෙඩ්රික් බැස්ටියාට් කියන පරිදි ආණ්ඩුව විසින් නීතිය දූෂණය කරන්නට සමත් නිසා, ඒ දූෂණය වූ නීති වලින්, දඩ හා දඬුවම් ලබන්නට සිද්ධ විය හැකි බැවින් සිංගප්පූරු යද්දී මේ පොත් ගමන් මල්ලේ තබා නොගන්න යැයි ද මතක් කර සිටිමි.

Beyond Suspicion? The Singagpore Judiciary, (2006) Francis T. Seow
To Catch a Tartar: A Dissident in Lee Kuan Yew’s Prison, (1994) Francis T. Seow
Singapore’s Authoritarian Capitalism: Asian Values, Free Market Illusions, and Political Dependency, (1996) Christopher Lingle

One Response

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on අගෝස්තු 31, 2016 at 8:08 ප.ව.

    “ක්‍රමය කුමක්දැයි නොදැන ඒවා නිර්දේශය ලංකාවෙන් නිතර දකින හැදියාවකි.” ලංකාවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ අන්දම කාලයක් තිස්සේ ළඟින් නිරීක්ෂණය කරන්නට අවස්ථාව ලද මා වැනි අයට මේ උපන්ගෙයි දුබලතාව හොඳ හැටි අත්දකින්නට අවස්ථාව ලැබුණා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: