චීනයේ සිට ලියමි
චීන අධිරාජ්‍යයේ නිල නිවහන් හා ගොඩනැඟිලිවල වහලේ කොණක දකින්නට ඇති සැරසිල්ලක් ගැනයි මේ සටහන. වහලෙන් පිටතට යන ආකාරයෙන් පෙළ ගැසී සිටින මේ කුඩා රූප සමූහය මේ දිනවල චීනය බලන්නට ආ මට බොහෝ තැන්වල දී දකින්නට ලැබුණි. එම රූප එකම ප්‍රමාණයක් හෝ දකින්නට ලැබුණ ඒවා එකම ආකාරයෙන් නොවූ නිසා ඒ ගැන සොයා බලන්නට මට සිත්විය.
පේලියට තැබෙන රූප අතර, වහලේ පීල්ල අද්දරින් මුලින්ම එළියට පනින්න බලාගෙන ඉන්නේ ෆීනික්ස් කුරුල්ලෙක් මත නැඟී යන මිනිසෙකි. මේ ගැන පුරාවෘත්ත කිහිපයකි. එකකට අනුව ඒ අධිරාජ්‍යයා විසින් රාජද්‍රෝහී වූ නිසා වහලේ එල්ලා මරා දමන ලද, බලය පැහැර ගැනීමේ බලතණ්හාවෙන් මත් වූ යටත්වැසියෙකි. තව කතාවකට අනුව ඒ කිලින් (මිථ්‍යා ප්රබන්ධයන්හි එන) සතෙක් මත නැඟී යන අමරණීය පුද්ගලයෙකි. තවෙකක් කියන්නේ මේ අධිරාජ්‍යයාගේ සේවයේ සිටින අයෙක් බවයි. ඔහු පිටුපසින් සත්තු එන්නේ ඔහු සිය සේවය නිසි ලෙසින් කරනවා දැයි පරීක්ෂා කරන්නටයි. එසේ නොකරන්නේ නම් ඔවුන් මිනිසාව අල්ලා මරා කා දමනු ලැබේ යැයි විශ්වාස කෙරේ.
ඒ සත්තු මිථ්‍යා ප්‍රබන්ධවල එන සත්තු වෙති. වහලක දකින්නට ලැබෙන රූප ඔත්තේ සංඛ්‍යාවකින් යුතුයි. රූප වැඩිවෙද්දී ඉන් පෙන්වන්නේ ගොඩනැඟිල්ල තුල සිද්ධ වෙන කර්තව්‍යයේ වැදගත්කම වැඩි බවයි.
සියළු අනර්ථයන් දුර කරන හරකෙක්, ධෛර්යවන්ත එළුවෙක්, සුළං සහ කුණාටු කැඳවන මාළුවෙක්, මිථ්‍යා ප්රබන්ධයන්හි එන සිංහයෙක්, සුබ තත්වය ගෙනෙන මුහුදු අශ්වයෙක්, දිව්‍යලෝකෙ අශ්වයෙක්, සහ නිතරම අවසානයට එන්නේ මකරෙකි. එයින් නියෝජනය වෙන්නේ රජයේ අධිකාරිය බව කියැවේ.
සමහර විට අවසානයට මකරෙක් සහ ඌට ඉදිරියෙන් යන එකම හැඩයෙන් යුතු සත්තු පේලියක් දකින්නට තිබුණි. තවත් සමහර අවස්ථාවල දී විවිධ රූප සමූහයක් ද, තවත් සමහර අවස්ථාවක දී ඉදිරිපසින් සහ අවසානයට හැරෙන්නට මැද සියල්ලම එකම රූප දකින්නට තිබුණි.
මේ රූප බොහෝ විට මැටියෙන් හදා දිස්නය ගෙනන පාට ගා පුච්චන ලද ඒවායි. එම්ප්‍රදෝරුවාගේ ගොඩනැඟිලිවල දකින්නට ලැබෙන රූප කහ පැහැති යැයි කියැවේ. සටහනට එකතු කරන පින්තූරය ගන්නා ලද්දේ වසර ශතක 8 කට පෙර නිමැවූන ගිම්හාන මාලිගාවේ දී දකින්නට ලැබුණු එක වහලකින්. අවසාන මකරාට කළින් යන මකරාගේ පුතා මෙහි දී දකින්නට හැකියි.
මෙවැනි වහල සරසන රූප ආසියාවේ වෙනත් රටවල ද දකින්නට ලැබෙන බව විකිපීඩියාව දක්වයි.
leave a comment