අරුණි ශපීරෝ‍ වෙතින්

චීනයේ දී ෆේස්බුක් තහනම් කාට ද?

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 16, 2016

img_5996

මට නම් නෙමෙයි කියල මගේ ෆේස්බුක් එකට යන එන අය ඔක්කොම දැන් දන්නවානේ. බෙයිජින් මැද්දේ ඉඳගෙන සහ නගරයෙන් කිලෝමීටර් 70 ක් ඈතක පිහිටන මුතියාන්යූ චීන මහා ප්‍රාකාරයේ දී පවා සජීවි ෆේස්බුක් පෝස්ට් දාන්නත් හැකියාව මට ලැබුණ. ඉතින් විදේශිකයන්ට ෆේස්බුක් භාවිතය තහනම් නැහැ. අපිට එහි යන්නට එන්නට හැකියාව තියෙන්නේ අපේ මොබයිල් සර්විස් ප්‍රොවයිඩර් පිටරටින් එන නිසා. චීන්නුන්ටත් WhatsApp භාවිතයට අවසර තියනව. ඒකෙ අයිතිය ෆේස්බුක් වලටම තමයි.

පුද්ගලික පරිගණකයෙන් හිල්ටන් හෝටලයෙන් ලැබුණ WiFi මාර්ගයෙන් ෆේස්බුක් යන්න හැකියාවක් ලැබෙන්නේ VPN හෙවත් Virtual Private Network එකක් තුලින් පමණයි. WiFi වලින් විතරක් පරිගණකයෙන් ෆේස්බුක් සහ වර්ඩ්ප්‍රෙස් යන්න කිහිප වාරයක් ට්‍රයි කළත් ඒ හැම අවස්ථාවක දී බැරිවුණා. VPN එක චීනයට යන්න කළින් අරගත්ත. ඒ ගැන ලංකාවෙන් චීනයට යන එන ෆේස්බුක් හිතවතෙක් මාව දැනුවත් කිරීම ගැන එයාට ඉතාමත් ස්තූතිවන්ත වෙනව. චීනයේ සිට ලියමි කියන සටහන් දැම්මේ එහෙම VPN මාර්ගයෙන් ගිහින්.

මේ විස්තර වලින් පෙන්වන්නේ ෆේස්බුක් තහනම ඇත්තේ චීන වැසියන්ට බව. ගූගල් නිෂ්පාදන භාවිතා කරන්නත් ඔවුන්ට තහනම්. අන්තර්ජාලය ඉතා සෙමෙන් වැඩ කරන අවස්ථා වැඩියි. හැබැයි VPN වලින් යද්දී ඉක්මණින් සිද්ධ වෙනව. චීන්නු නිදාගෙන සිටිය දී බටහිරෙන් එන අයට ජෙට් ලැග් නිසා රෑ මැද්දෙ ඇහැරුනාම අන්තර්ජාලයට යන්න පහසුවක් දැනුන. ලංකාවේ දී ත් එහෙමයිනෙ.

ෆේස්බුක් යන්න සහ ගූගල් සර්ච් කරන්න හැකියාව තහනම් වුනාට චීන අයට ඊට වඩා දියුණු ඇප් එකක් තියනව. අපි ගූගල් සර්ච්, ගේම්, වොලට්, මැසෙන්ජර්, අයිටෝක්, ට්විටර් යනාදී වශයෙන් ඇප් කිහිපයකින් කරන සේරම දේවල් ඔවුන් වීචැට් WeChat කියන එක ඇප් එක තුලින් කරගන්නට හැකියාව ලබා තියෙනව. මිලියන 700 ක ජනතාවක් එය මාසිකව භාවිතා කරන බවයි ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව කියන්නේ. වාහනයට වැදිච්ච දඩකොලයක් ගෙවන එකේ සිට දොස්තර හමුවීමට අපොයින්ට්මන්ට් එකක් දාගන්නයි, කෝපි කෝප්පයකට ගෙවන්නයි, අවන්හලකින් කෑම ඕඩර් කරන්න දක්වා එයින් හැකියි.

කැන්ගරුවෙක් වගේ පිංතූරයක් වෙළඳ සංකේතය කරගත්, මෝටර් සයිකලේ පිටිපස්සේ පෙට්ටියක් බැඳගත් ප්‍රවාහකයන් අවන්හල් වලින් කෑම අරන් ඇවිත් බෙදන හැටි මුළු බෙයිජින් නගරය පුරාම දකින්න ලැබුණ. නගරය පුරා බයිසිකල් හා මෝටර් සයිකල් පදින අය අතර හෙල්මට් දාගෙන ගියේ ඒ අය විතරයි වගේ.

බෙයිජින් නගරයේ හැම තැනකම KFC සෑහෙන්න දකින්න තියනව. එයට චීන්නු වැඩියෙන් ආස ද, නැත්නම් KFC අය මධ්‍යම ආසියාවේ වෙළඳ ගිවිසුම් ගහන්න කදිමට සමත් අය ද කියල කියන්න නම් දන්නේ නැහැ. මැක්ඩොනල්ඩ් කඩ කිහිපයකුත්, තායිවානයෙන් ඇවිත් කැලිෆෝර්නියාවේ සුප්‍රසිද්ධ වෙච්ච 85°C බේකරි කැෆේ කියන කෝපි කඩත් නගරයේ කිහිප තැනක දී දක්ක.

ඇමෙරිකන් නගරයක ඇති ලෙසකින් සුපිරි වෙළඳ සංකීර්ණ දකින්න ලැබෙන්නේ Wangfujing කියන නගරයේ මැද්දෙ තියන හරියේ දී. Wangfujing නමේ අර්ථය කුමාරයාගේ ප්‍රාසාදයේ ළිඳ!!! ඇපල් ෆෝන් චීනයේ වැඩියෙන්ම විකිණෙන බවට සාක්ෂි කියන ඇපල් කඩේ උදේ ඉඳන් රූ වෙනකම් චීන්නුගෙන් පිරිලා තියන හැටි දකින්න පුළුවන්. සුපිරි වෙළඳසැල් සහ අවන්හල් වලින් පිරිච්ච APM තට්ටු හයකින් යුතු වෙළඳ සංකීර්ණයක්. Omega, Bvlgari, Givenchy, Budweiser කඩවල දැන්වීම් වලින් ඒ පරිසරය පිරිල. වොන්ග්ෆූජින්ග් වීදියේ සිමෙන්ති බ්ලොක් වලින් පාර හැදිච්ච මේ සුපිරි වෙළඳ සංකීර්ණ පිහිටන කොටස වාහන වලට වහලා, සිල්ලර කඩවලට ඇරලා තියෙන්නෙ. නිව්යෝර්ක් නගරයේ Time Square ගිය හැඟීමක් තමයි ආවේ.

ඇමෙරිකාවේ දී දකින වෙළඳ නාම වලට අමතරව ඒ හා ළඟින් යන, උච්චාරණයක් හෝ වචනයක් වෙනස් කරපු වෙළඳ නාම ගොඩක් දැක්ක. චීන කොම්පැණි ලෝකයෙන් එන තරඟකරුවන් වෙතින් ආරක්ෂාව ලබනව. ඔවුන්ට ගොඩක් නිෂ්පාදන ඒ විදියටම හදල චීන වෙළඳපොලේ විකුණන්නට අවසර තියනව. විදේශීය කොම්පැණි වලට පැනවෙන නීති රෙගුලාසි හා කොන්දේසි චීන ව්‍යාපාර වලට නැතිවීමත්, සමහර ඒවා මුළුමනින්ම ඒම තහනම් වීමත් නිසා චීන්නුන්ට තම රටේ වෙළඳපොල ඉඩකඩ ලැබිලා තියෙන්නේ අසාමාන්‍ය වූ තරඟයෙන් තොර ආකාරයකින්. ඒ නිසා ලෝක වෙළඳපොලක දී තරඟ කරන්නට හැකි නිෂ්පාදන චීනයෙන් බිහිවීම අඩුයි.

මහා ගිනිපර්වතය යනුවෙන් හැඳින්වෙන අන්තර්ජාලයෙන් රටට එන තොරතුරු පාලනය කරන පද්ධතිය අනුව චීන්නු ලෝකේ වෙන දේවල් දැනගන්නෙ ඉතා අඩුවෙන්. විදේශයෙන් එන තොරතුරු බ්ලොක් කරනවා වගේම, නිතර පාහේ රජයට විරුද්ධ මත දැක්වීමත් නිසි බලධාරීන් විසින් කපා හරිනව. චීනය තුල අන්තර්ජාලය පාලනයට මිලියන දෙකක සේවා බලකායක් තියනව. ඒත් හිටිහැටියෙ හිතපු නැති තැන්වලින් රජයට දක්වන අප්‍රසාදයන් ඉස්මතු වෙනවලු. Zhihu (ඔබ දන්නවා ද?) කියන චිත්‍රපටි ගැන සහ ව්‍යායාම් ගැන කතාබහ කරන වෙබ් අඩවියේ හිටිහැටියේ දේශපාලන මතවාද දකින්නට ලැබෙනවාලු. ඇමෙරිකන් Quora කියන අඩවියෙ කොපියක් වන මෙය අද මිලියන සියයක චීන්නු මාසිකව භාවිතා කරන චීනයේ වැඩියෙන්ම ජනප්‍රිය ප්‍රශ්න උත්තර අඩවියයි.

බෙයිජින් ඔලිම්පික් වලින් පසුව ඔවුන් අතර ඉංග්‍රීසි දැනුම ටිකක් වැඩිවෙලා යැයි අපි එක්ක කතා කරන්නට තරම් සුළු හැකියාවක් තිබුණ චීන්නු කිව්ව. හිල්ටන් හෝටලයේ සූපවේදිනියක් එක්ක කතාබහ කරද්දී අපි ඇහැව්වා ඇය බඩුගන්න යන්නේ කොහාට ද කියල. චීන්නු විතරක් දන්න පොළක් ගැන අහන්න අපි බලාගෙන ඉන්නකොට ඇයගේ කැමත්ත APM එකට බව දැනගත්ත.

වොන්ග්ෆූජින්ග් වීදිය අසල පොත්කඩ දෙකක් තියනව. එකක් විදේශීය පොත්පත් විකුණන තැනක්. හැබැයි දෙකේම බඩුගන්න ඇවිත් හිටියේ අතලොස්සකටත් අඩුවෙන්. පොත්පත් කියවන අය අඩුවෙලා ගිහින් තියෙන්නේ මහා සංස්කෘතික විප්ලවයෙන් සාම්ප්‍රදායික පොත්පත් විනාශ වුණු නිසාදැයි කියා හිතුණ.

සාමාන්‍යයෙන් රටක අගනුවරක දකින්නට ලැබෙන විදේශිකයන් ප්‍රමාණය බෙයිජින් නගරයේ දකින්නට නැත්තෙ චීන්නුම බිලියනයකට වඩා ඉන්න නිසාත් වෙන්නැති!!!

සිල්ක් වීදිය ඊට නුදුරුව ඇති සෙරිනා විලියම්ස්, ක්‍රිස්ටින් ලෙගාඩ් වැනි සුප්‍රසිද්ධ විදේශිකයන් බඩුගන්න යන තැනක්. ඒක වීදියක් නෙමෙයි, තට්ටු හයක සංකීර්ණයක්. හෑන්ඩ් බෑග්, සපත්තු, සිල්ක් රෙදි, ඇඳුම්, ඔරලෝසු සහ ආභරණ යනාදියෙන් පිරිච්ච තැනක්. ඩොලර් තුන්දාහක් පමණ වෙන ප්‍රාඩා හෑන්ඩ්බෑග් එකක් ¥800 කට විතර ගන්න පුළුවන් තැනක්ලු. ප්‍රාඩා වගේ වෙළඳනාම නුහුරු, ඒ වගේම කේවල් කරලා බඩු ගන්න කිසිම දස්කමක් නැති මට එතැන ඇල්ලුවේ නැහැ. අනික ඒවා ඇත්ත බඩු ද අනුකරණ ද කියල වෙනස කියන්නත් කිසිම දැනුමක් මට නැහැ. සංචාරකයන්ට සමරු තිළිණ ගන්න නම් එතැන මිල ඉතා අධිකයි. වොන්ග්ෆූජින්ග් වීදියේ අතුරුපාරක ඇති ස්නැක් ස්ට්‍රීට් එකේ බඩු ඊට වඩා ගොඩක් ලාබයි. ඒ ගැන ඊ ළඟට.

img_5766

img_1522

img_4964

img_4941

img_5767

img_5771

img_5777

img_5780

img_5779

img_5977

img_6001

2 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on සැප්තැම්බර් 21, 2016 at 4:52 පෙ.ව.

    චීනයේ ඉන්න බැචෙක් ලඟදි සෙට්වුනා. මම එයාගෙන් ෆේස්බුක් තහනම ගැන ඇහුවම එයා කිව්වෙ ෆේස්බුක් තහනම් වුනත් චීනයට ආවේනික සමාජජාල නිසා අවුලක් නැති බව.

    • arunishapiro said, on සැප්තැම්බර් 21, 2016 at 7:43 පෙ.ව.

      රාජ්,

      සමාජ ජාල තියෙන්නේ එදිනෙදා ජීවිතයේ කාපු බීපු දේවල් වල පින්තුර සහ ආගිය තැන්වල පින්තූර බෙදාගන්න පමණක් නම් ‘අවුලක්’ නැහැ. ඒත් මිනිසා කියන්නේ, චීනත් මිනිසෙක් නිසා, ඊට වඩා සංකීර්ණ සතෙක් නිසයි අවුලක් තියෙන්නේ.

      ඊයේ පෙරේදා Wukan නම් ගමේ ආයෙත් ඇතිවෙච්ච විරෝධතාවයට පොලිසියෙන් කඳුළු ගෑස් ගහල රබර් බුලට් ගහල එහි ජනතාව තෝරාගත්තු නායකයව හිරේ දාලා. ඒ ගැන කියවන්නට ලැබෙන්නේ විදේශීය පත්තර වලින්. ඒ ගැන චීනයේ කිසිම වාර්තාවක් නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: