ගෙවල් හදන්න ගඩොල් අරගන්න අවසර ලැබුණ චීන මහා ප්‍රාකාරය
චීන මහා ප්‍රාකාරය කිසිවිටෙක දිගටම ගමන් කළ හැකි වූ තාප්පයක් වූයේ නැත. ප්‍රාන්ත 17 ක් පුරා ඇදෙන එය ක්‍රි. පූ. 221-207 ගණන් වල දී Qin රජකුලයෙන් පටන් ගෙන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයන් (බොහෝ දේශපාලන සිරකරුවන්) යොදවා මුල් කොටස වසර 10 ක් තිස්සේ නිර්මාණය කරන ලද්දකි. පුරාවෘත්තයේ කියැවෙන්නේ මියගිය ශ්‍රමිකයන්ගේ ඇටකටු ද තාප්පයේ ගොඩනැඟිලි ද්‍රව්‍යයට එකතු කරන ලද බවයි.
Qin රජකුලයෙන් අනතුරුව හන් ද ප්රාකාරයේ කටයුතු තරමක් දුරට කරගෙන ගියහ. මුල් කොටස නිමකර වසර දහසක් පමණ ගෙවී යද්දී, ගෙන්ගිස් ඛාන් වෙතින් ආ තර්ජනය හමුවේ ප්රාකාරයේ ඉදිකිරීම් කටයුතු නැවතත් පණ ලැබීය. ඒ 1115-1234 දක්වා කාලයේ වූ Jin රජකුලය විසිනි. වර්තමානයේ දැකිය හැකි ප්රාකාරයේ කොටස් ඉදිවෙන්නේ 1368-1644 දක්වා වූ Ming රජකුලය බලයේ සිටිය දී. මිලියන 2-3 අතර ශ්‍රමිකයන් යොදවා වසර 100 ක් තිස්සේ ගල්, ගඩොල් වලින් තාප්පයේ තැන තැන බලකොටු ද හැදිණ. ඒ කාලය තුල දී චීන මහා ප්‍රාකාරය සොල්දාදුවන් මිලියනකගේ පමණ වාසස්ථානය වී යැයි කියැවේ.
ජනතාවගේ වානිජ්‍ය කටයුතු සහ සබඳතා රෙගුලාසිකරණය පහසුවට, එනම් කෘෂිකාර්මික ජන ජීවිත ගෙවූ චීන්නු වෙතින් මොන්ගල්, මැන්චූ, Xiongnu සහ යුරෝ ආසියානු ස්ටෙප් තණබිම් වලින් ඇදෙන ස්ථිර වාසස්ථාන නොවූවන් වෙන්කර තබන්නට ප්‍රාකාරය ඉදිවුන ද, පවුරු බැන්ඳත් ‘හතුරන්’ රිංගා ගැනීම වළක්වා ගන්නට නොහැකියාව මිනිස් ස්වභාවයේ අපූර්වත්වයයි!! 1215 දී ගෙන්ගිස් ඛාන් ප්‍රාකාරය නොමැති වූ ස්ථානයකින් බෙයිජින් අල්ලා ගන්නට රිංගා එන්නට සමත් වූයේය.
හොරෙන් රිංගන අය නතර කරන්නට එය අසමත් වූවත්, කර්කශ කඳුකරය හරහා මිනිසුන් හා බඩු ප්‍රවාහනයට එය කදිම මාර්ගයක් විය. තැන තැන හැදූ බලකොටු ඇතුලත වෘකයන්ගේ බෙටි පත්තු කර බෙයිජින් නගරයට යන හතුරන් ගැන දුම් පණිවුඩ යවන්නටත් ඉන් හැකියාව ලැබිණ.
මොන්ගොල් තර්ජන නැති වීමත් සහ බෙයිජින් නගරයට මැන්චූ රජකුලය ප්‍රාප්ත වීමත් සමඟ 1911 සිට පමණ ප්‍රාකාරය පවත්වා ගැනීමේ උවමනාවක් කිසිවෙකුට නොමැති විය. ජපානය හා යුද්ධ පැවති සමයේ එහි අබලන් වීම ඉක්මන් වූ බව කියැවේ.
කොමියුනිස්ට් පාලනයෙන් නව චීනයක් 1949 දී උපත ලැබීය. මාඕ සේතුං ඒ අවට වාසය කළ ජනතාවට තම නිවාස හදාගන්නට එහි ගල් ගඩොල් අරගෙන යන්නට අවසර දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂය අද මාඕ සේතුං ගෙන ගිය ප්‍රතිපත්ති සියල්ල නිවැරදි නොවූ බව නිල වශයෙන් පිළිගනිති. චීන වැසියන්ට මාඕ කළ වැරදි ප්‍රසිද්ධියේ කියන්නට යම්තාක් දුරකට අවසර ලැබී ඇත. මාඕ ට පසුව ආ කොමියුනිස්ට් නායකයා ඩෙන්ග් ෂායෝපින්ග් 1984 දී මහා ප්‍රාකාරය නැවත ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි ද එය රජයේ ආරක්ෂාව ලැබිය යුතු යැයි ද ප්‍රකාශ කළේය. එහෙත් වර්තමානයේ ද ඒ අවට ජනතාව එළිපිටම එහි ගල් ගඩොල් උස්සාගෙන යෑමේ නියැළෙති.
සැතපුම් 12,000 කින් යුතු යැයි සැලකෙන මහා ප්රාකාරයේ තුනෙන් එකක් අද පස් හා දුහුවිලි වෙයි. ඉතිරිය ඉතා අබලන් වී වහා ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබේ. ඇපල් අයිෆෝන් සහ ඇඳුම් නිමැවුම් කම්හල් තුල වායුසමීකරණයෙන් යුතුව අත්වල කරගැට එන්නේ නැතිව ශ්‍රමය වෙහෙසත හැකි ශ්‍රමිකයන් අතරින් කොපමණ දෙනෙක් කැමැත්තෙන් මහා ප්රාකාරයේ ප්‍රතිසංස්කරණ වැඩට යාවිදැයි කියන්නට පෙර වසර දෙදහසකට පෙර ද ප්‍රාකාරය ඉදිවූයේ දේශපාලන සිරකරුවන් වෙතින් බව සිහිකරත යුතුයි.
1989 දී ජර්මනියේ හෙන්කල් කොම්පැණිය (රථවාහන සඳහා කොටස් හදන ව්‍යාපාරයක්) අපි බලන්නට ගිය මහා ප්රාකාරයේ මුතියාන්යූ කොටස ප්‍රතිසංස්කරණය කර දී ඇත. බෙයිජින් නගරයේ වාහන අතර අවුඩි, බෙන්ස් හා වොක්ස්වැගන් වැඩියෙන්ම දකින්නට ලැබුනේ මේ නිසා ද!!!
මහා ප්‍රාකාරය බලන්නට ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතුයි. කන්ද පාමුලට යන්නට බස් ටිකට් එකක් ද ගත යුතුයි. තවත් ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත්තේ නම් කන්ද පාමුල සිට කේබල් මගින් මුදුනට ඇදෙන පෙට්ටියක් ද හෝ ස්කී ලිෆ්ට් පුටුවක් තෝරාගන්නට ද හැකියාව තිබුණි. අපි දෙදෙනා කන්ද පාමුලට බස් එකෙන් ගොස් එහි මුදුනට පයින් නඟින්නට තීරණය කළේ එහි ශ්‍රේෂ්ඨත්වයේ අත්දැකීම සම්පූර්ණයෙන් විඳින්නටයි. කෙටි ගල් පඩි මතින් ඉහළට නැඟීම ඇඟ වෙහෙසා, විශේෂයෙන්ම හදවතට හයියෙන් ගැහෙන්නට අවස්ථාවක් හුරුකර නැති අයෙකුට නුසුදුසුයි. ආපසු බැසීම ඉතා ලෙහෙසි පහසු වුවත් නඟිද්දී භාවිතා නොවූ මාංශ පේශී කෙඳිරිගාමින් විරෝධය පළ කළහ!!!
මුතියාන්යූ ප්‍රාකාරය මින්ග් යුගයේ බලකොටු වලින් යුතුයි. කිලෝමීටර් 3 ක දුරක් එහි එක කොණක සිට අනිත් කොණ දක්වා ගමන් කළ හැකියි. එම කොටසේ බලකොටු 26 ක් ඇත. ප්රාකාරයේ සිට සජීවි ෆේස්බුක් පෝස්ටුවක් දමන්නට හැකියාව පෑදීම ගැන නම් මා ලැබුවේ අතිශය සතුටකි. නඟින්නට හා බහින්නට සිද්ධ වෙන ප්‍රාකාරය මත ඇවිදින විට අව්වෙන් රත්වෙද්දී, තැනින් තැන පිහිටන බලකොටු තුලින් යද්දී සිහිල් සුළං වලින් නැහැවේ. හේමන්තයේ දී ප්රාකාරයේ මුරකරුවන් සීතලෙන් ගැහී ගිම්හානයේ දී අව්වෙන් පීඩා විඳි ආකාරය ගැන යාන්තමින් හිතා ගන්නට හැකියි.
ජර්මන්කාරයා වෙතින් ප්‍රතිසංස්කරණය වූ ප්රාකාරයේ අලුත් කොටස් මොනවාදැයි සහ එහි තිබූ පැරණි කොටස් මොනවාදැයි සඳහනක් කොතැනක දී හෝ දැක ගන්නට නොලැබුණි.
ප්‍රවේශ පත් විකුණන ස්ථානයේ සහ කන්ද පාමුල තොප්පි, විවිධ සමරු තිළිණ, කෝපි, කොකා කෝලා හා ගේටරේඩ් විකුණන කඩ බොහොමයකි. පයින් නඟින අයට ද ගල්පඩි අතරේ ඉදි වූ කුටි කඩ දෙකක් අතරමැද දී හමුවේ.
ටෙනසි ප්‍රාන්තයේ අපි වාසය කරද්දී, නොරිස් වේල්ල අසල කුඩා කැළෑවක දී ඇමෙරිකන් චීන්නු අතු වලින් අදිමින් කඩාගෙන කන පළතුරක් ගැන මතකයක් මට විය. ඒවා කඩන්නට එපා යැයි එහි ගසා තිබූ දැන්වීම් නොදැක්කා සේ කඩාගෙන කද්දී මොනවා දැයි ඇහුවාම ඒ චීන ඇපල් යැයි ඔව්හු කීහ. ආසියාවේ රටඉඳි යැයි ද, Jujube නමින් ද හැඳින්වෙන මෙම පළතුර මුතියාන්යූ හි දී දැක්කෙමි. ¥20 කට ඒවා විකුණූ චීන ආච්චි කෙනෙක් ගෙන් මිල දී ගෙන අතේ වූ වතුර බෝතලයෙන් සෝදා රස බැලුවෙමි. මගේ උගුර sore throat වීමට වැඩි වේලාවක් ගියේ නැත. දවසක් දෙකක් පහුවී උගුර හොඳවුනාම ආයෙත් ගෙඩියක් දෙකක් කාල බැලුවේ ඒකම නිසාදැයි හරියටම සොයා බලන්නට. 😀 අමුවෙන් නැතිව ඒවා කන වෙන ක්‍රමයක් ඇති!!!
ගොඩක් වටින දෙයක් කියවන්න ලැබුනා
ස්තූතියි.
ගඩොල් ගලවන එක නං අපරාධයක්
රාජ්,
නීතිය විපර්යාස කරන බලය රජයට දුන්නම ඕනම අපරාධයක් නීත්‍යානුකූල කරන්නත් පුළුවන්!!!