අරුණි ශපීරෝ‍ වෙතින්

චීන වෝල්නට් ඇට කුට්ටම් විකුණන පොළ

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 20, 2016

img_5831

වෙළෙන්ඳන් තුන්දාහකට අධික සංඛ්‍යාවක් ඉන්න නිසා හැම වෙළෙන්ඳෙක්ම විකුණන බඩු මොනවාදැයි හොයා බලන්න නම් සති අන්තය මදි. පෞරාණික (antique) වගේ පෙනෙන ඒත් එසේ නොවන බඩු භාණ්ඩ වැඩියෙන් තිබුණට ඉඳහිටල අව්‍යාජ පුරාභාණ්ඩත් දකින්නට ලැබෙනවාලු. වෙනස කියන්න නොදන්න නිසා අපි කළේ කෞතුකාගාරයක දී වගේ එහි විකුණන්නට තබා ඇති භාණ්ඩ නරඹන එක පමණයි.

Chaoyang දිස්ත්‍රික්කයේ පිහිටන මෙය දවස් 365 ම ඇරලා තියන පොළක්. උදේ හතට විතර පටන් ගෙන හවස් වෙද්දී වැහෙන එකක්. ඇතුලේ දී පත්‍රිකා බෙදීම සහ හයියෙන් කතාවෙන ආරවුල් ඇති කරගැනීම තහනම් යැයි සටහන් වෙච්ච පුවරුවක් ඇතුල්වෙන තැන හිටගෙන ඉන්නා පොලිස් භටයා එක්කම දකින්න පුළුවන්. බෙයිජින් නගරයෙන් ඈත පිටිසර ඉඳන් එන වෙළෙන්ඳන් තමයි මෙතැන වැඩියෙන් වෙළඳාම් කරනවා යැයි කියැවෙන්නේ. සුළු ජාතිකයන් වර්ග දහයකට වඩා සංඛ්‍යාවක් මෙතැන ගණුදෙනු කරනවා යැයි කියැවෙනව.

ඩර්ට් (dirt) පොළ සහ සති අන්ත පොළ යැයි ද කියැවෙන මෙය Panjiayuan Antique Market නමින් හැඳින්වෙනව.

කොළ පාට, ලාදම් පාට, නිල් පාට හරිතමණී වර්ග නොයෙක් ප්‍රමාණ වලින් සහ හැඩ වලින් මිල දී ගන්නට පුළුවන්. මාල වළළු හදන්නට සහ කැටයම් කපන්නට අරගෙන යන්නට සුදුස්සක් තෝරාගන්න කදිම තැනක්. බැටළු මේද -“mutton fat” jade කියන්නේ ද චීනයට ආවේණික කිරිසුදු පාට jade වර්ගයකට. සමහරු ටෝච් ගහලා කපාපු නැති කුට්ටි අරන් ඒ මේ අත හරවලා බලනවා අව්‍යාජදැයි සොයාගන්නට.

කොමියුනිස්ට් චීන හා සෝවියට් බඩු අද ඇන්ටීක් හැටියට විකුණන්න තියනව. සුප්‍රසිද්ධ විදේශිකයන් අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද පොළට ඇවිත් ගිය කෙනෙක් යැයි පොළේ වෙබ් අඩවියේ සඳහන්. සටහනට එකතු කරන වෝල්නට් ඇට පිංතූරය ගත්තේ එම වෙබ් අඩවියෙන්.

වැඩියෙන්ම ගණුදෙනු සිද්ධ වෙනවා දැක්කේ මේ වෝල්නට් walnut ඇට විකුණන තැන්වල. චීනයේ වෝල්නට් ඇට යුවලක් (pair) අතේ තියෙද්දී එයින් යම් තරාතිමක වැදගත්කමක් ඇති අයෙක් යැයි අනුන්ට දක්වන්න පුළුවන්ලු. ඒ වගේම වෝල්නට් ඇට අල්ලේ කරකරවන එකෙන් හෙම්බිරිස්සාවේ පටන් බඩ රිදීම් සිට ලේ ගමනාගමනය උත්තේජනය කරවීම දක්වා බොහෝ ලෙඩ සුව කරන්න සහ නිරෝගී බව ලබාදෙන්න සමත් වෙනවලු. මහපටැඟිල්ල, වෙදැගිල්ල යනාදී කොයි ඇඟිල්ලෙන් ද ඇට පිරිමදින්නේ අනුව සහ ඇට කරකවන්නේ කොයි ආකාරයෙන් ද අනුව තමයි සුවය ලැබෙනවා කියැවෙන්නේ.

එක හා සමාන ලෙසින් ගැලපෙන විශාල ඇට දෙකක් (යුගලක් = යුවලක් = කුට්ටමක්) ඩොලර් ලක්ෂයක් වටිනාකමෙන් යුතු වෙන අවස්ථා ද තියෙනවාලු. පොළේ වෙබ් අඩවියේ වැඩියෙන්ම ගණන් දාලා තිබුනේ ¥ හාරදහසක් එක ඇට කුට්ටමකට. මේවා අමුවෙන් ද විකුණන්නට වතුර බේසම්වල දාලා තියනව දැක්ක. ඇතුල ගැලපෙන ආකාරය අමු ගෙඩියකින් කියන්න දන්නේ කොහොමදැයි අනුමාන කරගන්න බැහැ. හැබැයි අමුගෙඩි චීන සූදු කෙළියකට භාවිතා කරන බව තමයි දැනගන්නට ලැබුනේ. එකිනෙකට හොඳින් ගැලපෙන වෝල්නට් ඇට කුට්ටමක් ළඟ තිබීම මුදල් සල්ලි ළඟ තියාගන්නවාට වඩා හොඳ ආයෝජනයක් හැටියටයිලු සැලකෙන්නේ.

පොළෙන් එළියෙත් පාර අයිනේ ලේන්සුවක් එළාගෙන මේ ඇට විකුණන මනුස්සයෙක් ළඟට ඇවිත් වාඩිවෙච්ච තරුණයෙක් මිදි පුරවපු පොලිතීන් බෑග් එකක් ඇරලා ගන්න ගන්න කියල වෙළෙන්ඳාට පෙරැත්ත කරල දෙන්න එක්ක මිදි කන ගමන් තමයි කේවල් කිරීම පටන් ගත්තෙ.

පොළේ භාණ්ඩයකට කියන මිලෙන් 1/10 කින් කේවල් කරන්න පටන් ගෙන අන්තිමට 1/3 ක් තමයි ගෙවන්න ඕන කියන්නේ. විශේෂයෙන්ම අපි වගේ පිටගම්කාරයන් -waiguoren හෙවත් out-side-country people බව පැහැදිලිව පෙනෙද්දී බඩුවක මිල සෑහෙන්න ඉහළට දාල කියන නිසාලු.

img_5835

img_5838

img_5839

img_5841

img_5845

img_5848

img_5850

img_5852

0ab0fbc2-a92d-4d5c-9435-00ae41e8c109_450

3 Responses

Subscribe to comments with RSS.

  1. amilac2014 said, on සැප්තැම්බර් 20, 2016 at 9:10 පෙ.ව.

    මා ආසියාවේ බොහෝ තැන් ගැන තිබෙන ට්‍රැවල් ආටිකල් වල දැක තිබෙන දෙයක් තමයි කේවල් කිරීම් හැකියාව තියෙන්න ඕනි කියන දේ.. ඒත් මට ඒක පිහිටා ඇත්තේ අඩුවෙන්..ඒ නිසා මා තනිවම ට්‍රැවල් කරන්න සිතන විට කලින් බුක් කරගෙන හෝටල,වාහන ආදිය තබාගන්න උත්සාහ ගන්නවා..
    කේවල් කිරීම හරිම මානසික වදයක් මට නම්..කොයි තරම් අඩුකරල ගත්තත් අවසානේ අනේ ඊටත් අඩුවට ගන්න තිබුනාද කියලා හිතෙනවා නේ..

    • arunishapiro said, on සැප්තැම්බර් 21, 2016 at 7:33 පෙ.ව.

      amilac2014,

      අනික දෙපැත්තේම කාලය නාස්ති කරනව කියලයි මට හිතෙන්නේ. ගහලා තියන මිලට අරන් නොගියාම කරන්නෙත් කේවල් කිරීමක්. ඒ මිලට අපි ගන්න සූදානම් නැහැයි කියල. එතකොටනෙ කඩ අයිතිකාරය සේල් දාන්නෙ.

  2. රාජ් said, on සැප්තැම්බර් 23, 2016 at 6:13 පෙ.ව.

    බඩු ගන්නෙ පරිස්සමින්! චයිනීස් වලට අහුවෙන්න එපා.🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: