රැඩිකල් රතු මුරකරුවන්ගේ රතු අත් පටිය
මහත් ජන සංඛ්‍යාවකට මරණය කැඳවූ, සිහි විකල් වූවන් ලෙසින් හිතන්නට මඳක් හෝ නොනැවතී, රටේ සංස්කෘතිය කාබාසීනියා කර දැමූ 1966-1976 දක්වා සිද්ධ වූ මහා සංස්කෘතික විප්ලවයේ දී සමාජ තරාතිරම කියා පාන්නට සමත් වූ අත් පටියකි මෙය. විද්වතුන්, රජයේ නිලධාරීන් සහ කොමියුනිස්ට් පක්ෂය විසින් ජනතාවගේ හතුරන් යැයි ලේබල් ගැසූ ඕනෑම අයෙකුට ඛේදනීය අන්තයක් ගෙනෙන්නට මේ අත් පටියක් ඇති අයෙකුට බලය එවක ලැබිණ. ඉතින් එය කොමියුනිස්ට් පක්ෂය විසින් ප්රදානය කළ සමාජයේ සෙසු අයට වඩා වැඩි බලයක් ඇතැයි කියන ඉහළ සමාජ තරාතිරමක් දක්වන අත් පටියකි.
එය පැළැඳගෙන ඉන්නා අයෙක් කීර්තිය ප්රදානය විය යුතු, යුක්තිය සඳහා පෙනී සිටින්නෙක් යැයි ද, සාධාරණත්වය සහ අනුන්ගේ විශ්වාසය ලැබිය යුත්තෙක් යැයි ද දක්වන සංකේතයක් හැටියට පිළිබිඹු කිරීම කම්කරු විප්ලවයක් ගෙනා කොමියුනිස්ට් චීනයේ අභිමතාර්ථය විය.
1970 ගණන් අවසානයේ දී දේශපාලන වෙනස්කම් රටේ ඇතිවෙද්දී මේ අත් පටි සතු අය “මහජන ආරක්ෂකයන්” යැයි නම් කෙරුණහ. විශ්‍රාම ලද අය, මුරකරුවන් සහ කම්කරුවන් අත ඒවා දකින්නට හැකිවිණ. නගරයක හරස් වීදි ඇතුලේ මේ රතු අත් පටි බැඳගෙන සැරිසරන අය නොමඳව දකින්නට හැකිවූයා යැයි කියැවේ. පිටගම්කාරයෙක් පැමිණි විට ඔවුන්ව වටකරගෙන කුමක් උදෙසා පැමිණියේ දැයි කියා ප්‍රශ්න කරන්නට මේ අය සමත් වූහ. අසල්වැසියන් අතර රටේ නීති රෙගුලාසි වලට පටහැනි දේවල් සිද්ධ වේ නම් රජයට ඒ බව දැනුම් දෙන ලද්දේ මේ අයයි. රටේ ආර්ථිකය කෙමෙන් විවෘත වෙද්දී ඔවුන්ගේ බලය ද ඒ අනුව අඩු වී යන ලදි.
2008 බෙයිජින් ඔලිම්පික් උත්සවය කාලයේ දී මෙම අත් පටි වෙනුවට එහි මුරකරුවන් සහ ස්වේච්ඡා සේවකයන්ට කමිසයේ පැළඳ ගන්නට හැකි බැජ් බෙදා හැරිණ. එසේ කරන ලද්දේ නූතනයට සුදුසු ලෙසින් එය පැළැඳ ගන්නට අවස්ථාව දෙන්න යැයි රජයේ නිල ප්‍රකාශය විය. චීන මහා සංස්කෘතික විප්ලවයේ ඛේදවාචකය විදේශිකයන්ට යළි සිහි නොකරන්නට ගත් උත්සාහයක් වෙන්නටත් පුළුවන්.
අද මෙය පැළැඳගත්තෙක් ඉඳහිට දකින්නට ලැබෙන්නේ මුරකරුවන්, කුණුකසල ඉවත් කරන සහ වැසිකිළි පිරිසිදු කරන අය අතරයි. සටහනට එකතු කරන ඡායාරූපය ගත්තේ ලොව ඉහළ වෙළඳ සංකේත නාම විකුණන තට්ටු හයේ වෙළඳ සංකීර්ණයකට ඇතුල්වෙන තැනක දී ය. ඇය වැස්සෙන් බේරී ඇතුලට එන අයට තම කුඩ දමා ගන්නට පොලිතීන් බෑග් බෙදාහරිමින් සිටියාය. එය අත බැඳි අයෙකුට දක්වන බිය, ගරුසරුව සහ සැලකිල්ල චීන්නු අතර තුරන් වී යමින් පවතියි. ඉතිහාසයේ කුරිරු යුගයකින් පසුව උපන්, අද තරුණ වියේ සිටින අය තමන්ගේ ඉතිහාසය නොදැන සිටීමෙන් කවදා හරි ඉදිරි අනාගතයේ දවසක යළිත් එවැනි තත්වයක් හිස ඔසවන්නට නම් එහෙත් සෑහෙන්නට ඉඩ තිබේ. මැකී ගිය දොම්නස් යුගයක නටබුන් පමණක් යැයි කියා අවධානයක් නොදී පැත්තකට දැමීමට නොහැක්කේ ඒ නිසයි.
leave a comment