අරුණි ශපීරෝ‍ වෙතින්

රතු හමුදාවටත් ඇතුලට එන්නට අවසර නොමැති වූ තහනම් නගරය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 23, 2016

img_5039

වර්තමානයේ දී මාලිගා කෞතුකාගාරය නම් වූ මෙතැන 1420 සිට 1912 දක්වා විවිධ චීන රජකුලයන් එකිනෙකා සමඟ කාලයෙන් කාලයට සටන් වැදී, එම්ප්‍රදෝරුවන් 24 ක් කලින් කලට සිය වාසස්ථානය කරගත් රජමාලිගාවයි. එසේම මෙය සාම්ප්‍රදායිකව වසර 500 කට වඩා කාලයක් තුල රටේ දේශපාලන බලය කේන්ද්‍රීය වූ ස්ථානයයි.

අක්කර 180 කින් යුතු ඉඩමේ ගොඩනැඟිලි 980 ක් ඇත. ලෝකයේ විශාලතම මාලිගා සංකීර්ණය මෙය බව අවිවාදයෙන් සැලකෙයි. එහෙත් බාගයකට වඩා කොටසකට ගොඩවදින්නට වර්තමානයේ දී ද අවසර නැත. තහනම් නගරය ලෙසින් මෙය හැඳින්වෙන්නට පටන් ගෙන ඇත්තේ 1576 දී ය. ඒ එම්ප්‍රදෝරුවාගේ අවසරය නැතිව කිසිම කෙනෙකුට ඇතුලට එන්නට හෝ එතැනින් පිට වී යන්නට තහනම් වූ නිසයි.

1860 වසරේ දෙවැනි අබිං යුද්ධය අවසන් වෙනතුරුම ඉංග්‍රීසි-ප්‍රංශ හමුදා තහනම් නගරය අල්ලා ගෙන සිටියහ. 1900 දී චීන දේශප්‍රේමීන් කළ Boxer Rebellion හි දී එහි විසූ එම්ප්‍රදෝරු රැජින පළා ගියේ ඉංග්‍රීසි, රුසියන්, ප්‍රංශ, ජර්මන්, ඇමෙරිකන්, ඉතාලි යනාදී චීන දේශප්‍රේමීන්ගේ හතුරන් සියල්ලන්ටම එය අයිති කරගන්නට ඉඩ තබමිනි. මෙහි දී තිරගත වූ The Last Emperor (1987) චිත්‍රපටියේ කියැවෙන Puyi රජකම අත්හැරීමත් සමඟ 1912 දී තහනම් මාලිගාව රටේ දේශපාලන බලයේ කේන්ද්‍රය වීමෙන් ද නැවතිණ.

1933 දී ජපනුන් චීනය ආක්‍රමණය කරද්දී තහනම් නගරයේ ජාතික වස්තු තායිවානයේ කෞතුකාගාරයකට යවන ලදි. ජපනුන් යටත්වීමෙන් පසු ඒවා 1945 දී ආපහු චීනයට ගෙනෙන ලදි. කොමියුනිස්ට් සහ දේශප්‍රේමි හමුදා අතර යුද්ධ හටගනිද්දී මෙය ඇතුළු තවත් ආයතන පහක් 1948 දී වටිනාතම ජාතික වස්තු යැයි සලකන එකතුවක් තායිවානයට යවන ලදි. එහෙත් කොමියුනිස්ට් හමුදාව තහනම් නගරය අල්ලා ගත් බැවින් සියල්ල යවාගන්නට හැකි වී නැත. ජාතික වස්තු සොරා ගන්නා ලදැයි චීනය බොහෝ කල් යනතෙක් ප්‍රකාශ කළ නිල මතයයි. චීනයේ ප්‍රතිපත්ති වෙනස්වීමත් සමඟ 2009 සිට තහනම් නගරයේ ප්‍රදර්ශනය සඳහා මෙම ජාතික වස්තු යළි චීනයට ලැබී ඇත. මාලිගා කෞතුකාගාරය යැයි හැඳින්වෙන්නේ එතැන් පටන්.

පදිකවේදිකාවේ හැදෙන දීර්ඝ පෝලිම්වල සිට සංචාරකයන්ට ඇතුල්වෙන්නට ලැබෙන්නේ ගමන්මළු හා අත්බෑග් ඇතුලත බලන දකුණු මුරදොරටුවෙනි. චීන හැඳුනුම්පත හෝ ගමන්බලපත්‍රය පෙන්විය යුතුයි. චීනයේ සංචාරය කරන්නට තායිවාන් පුරවැසියන්ට චීන හැඳුනුම්පතක් ඇත.

තහනම් නගරයට ඇතුල්වෙන දොරටුවට මුහුණ ලා පාරෙන් එහා ඇත්තේ ටියානන්මන් චතුරශ්‍රයයි. වෙනත් පැත්තකින් පෝලිමේ සිට එනවා විනා, පාර හරහා පැන ඒ පැත්තට යා නොහැකියි. තහනම් නගරය සහ ටියනන්මන් චතුරශ්‍රය දෙකම එකතු වුවහොත් මහා විශාල ජනකායකට එක්රොක්වන්නට ඉඩකඩ නොමඳව තිබුණත්, මහපාර පැන යා නොහැකි ලෙසට දෙපැත්ත වෙන්කර ඇත්තේ මහා උද්ඝෝෂණයක් පැවත්වීම වැළකීම සඳහා වෙන්නැති.

1966 දී මාඕ විසින් ටියානන්මන් චතුරශ්‍රයේ සිට ඔහුගේ අදහස් ක්‍රියාත්මක කරන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ රතු හමුදාව පිළිගන්නා ලදි. රතු හමුදාව ප්‍රිය කළ කොළ පැහැති නිල ඇඳුමෙන් සැරසී ගත් ඔහු පැය 6 ක් පුරා සිටගෙන රතු හමුදාවේ 1,500 කට අතට අත දුන්නා යැයි කියැවේ. තවත් රතු හමුදාවේ ලක්ෂ අටක් එතැන රැස් වී සිටියහ.

මහා සංස්කෘතික විප්ලවයේ දී රතු හමුදාව පහර දුන්නේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර, පැරණි සංස්කෘතිය, පැරණි හැදියාව සහ පැරණි අදහස් වලට. රතු හමුදාව චීනයේ හැම අත ඒ “පැරණි හතර” රටෙන් අතු ගා දමන්නට භීෂණය යොදා ගත්හ. පැරණි පොත පත හා කලා වස්තු පුළුස්සා දමමින්, කෞතුකාගාර විනාශ කරමින්, බෙයිජින් හි පන්සල් සහ පූජනීය ස්ථාන කඩා බිඳ දමමින් යද්දී කොමියුනිස්ට් පක්ෂයේ සූ එන්ලායිගේ මැදිහත්වීමෙන් මාඕ ගේ සහාය ලැබූ මේ රතු හමුදාවට ඇතුල් වන්නට ඉඩ නොදුන් ස්ථාන දෙකකි. එකක් තහනම් නගරය වන අතර අනෙක ලාමා පන්සලයි.

වැඩියෙන්ම ඉන්නේ දකුණු දොරටුවෙන් ඇතුල් වී ඍජුවම උතුර බලා ඇදෙන ජන සංඛ්‍යාවයි. තහනම් කරපු සංස්කෘතියක් අගයන්නට හැකියාවක් යළි උපදවා ගන්නේ කෙසේද? දහස් ගණනින් එකා පස්සේ යන ජනතාව වෙතින් මඳක් අයින් වුවහොත් දෙපැත්තේ ඇති කැලිග්‍රැෆි සහ චිත්‍ර, පෝසිලේන් මැටියෙන් නිමැවූ භාණ්ඩ, සාහිත්‍යයේ කීර්තිය කියාපාන ගොඩනැඟිල්ල යනාදිය නරඹන්නට හැකියි.

ගිනි නිවන්නට යොදාගත් විසල් කල්දේරම් 308 ක් ඇත. ගොඩනැඟිලිවලට ආරක්ෂාව ලබාදෙන සිංහ ප්‍රතිමාවේ සිංහයාගේ කකුල ලෝක ගෝලයක් මත ඇත්තේ එම්ප්‍රදෝරුවාගේ බලය ලොවටම යැයි කියන්නටයි. සිංහ දෙනගේ කකුල සිංහ පැටියෙකු මත ඇත්තේ එම්ප්‍රදෝරුවාගේ දරුඵල ශක්තිය පෙන්වන්නටයි. එම්ප්‍රදෝරුවාට පවා දණ ගසන අලි දෙන්නෙක් ද, දුෂ්ට භූතයන් පලවා හරින මකරුන් නමදෙනා රැගත් බිත්තියක් ද ඇත. මිථ්‍යා ප්‍රබන්ධයක එන ඉබ්බාගේ ඔළුව ඇර ඇතුලේ හඳුන්කූරු පත්තු කලාම කටෙන් දුම් එයි. එසේම තවමත් කටෙන් ජලය ප්‍රවාහය කර හරින මකර ඔළු දහසකට වඩා සංඛ්‍යාවකින් යුතු කෙටි බැම්මක් ද විනාශ නොවී ගිය නටබුන් අතරට එක්වෙයි.

නගරය ඇතුලේ නගරය යැයි ද හැඳින්වෙන, ‘සාමය හා දීර්ඝායුෂ ලබාදෙන සම්පූර්ණ මාලිගාව’ නමින් වූ කොටස මින්ග් රජකුලයේ රැජිනට හා අන්තඃපුර කාන්තාවන්ට ඉදිකරන ලද්දයි.

වැඩියෙන්ම ජනතාවක් පොර කන්නේ මෑතක දී ප්‍රතිසංස්කරණය අවසන් කරන ලද Hall of Supreme Harmony නරඹන්නටයි. එය වැදගත් බැවින් වැඩිම සහ විශාලතම ගොඩනැඟිල්ලයි. කළින් සටහනක කියූ වහලක දකින්නට ලැබෙන චීන මිථ්‍යා සත්වයන්ගෙන් යුතු සැරසිලි සංඛ්‍යාව වැඩියෙන්ම ඇත්තේ මෙහි වහලේය.

img_4986

img_5614

img_5646

img_5654

img_5659

img_5665

img_5666

img_5682

img_5692

img_5720

img_5728

img_5736

img_5737

img_5742

3 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on සැප්තැම්බර් 23, 2016 at 7:51 පෙ.ව.

    සිංහල කියවන්නකුට ලැබන වටිනා ලිපියක්

  2. amilac2014 said, on සැප්තැම්බර් 23, 2016 at 9:52 පෙ.ව.

    කොටාපු අලියා නම් මෙහෙන් ගෙනියපු එකෙක් වාගේ පෙනුම..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: