අරුණි ශපීරෝ‍ වෙතින්

චීන කෑම

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 25, 2016

14238166_10154335754430851_1352623003493529575_n

චීනයට යන බොහෝ දෙනෙක් පුදුමයට පත්වෙන්නේ තමන්ගේ රටවල චීන කෑම වලට වඩා හාත්පසින් වෙනස් දේවල් චීනයේ දී දකින්න ලැබෙන එක ගැන. චීන්නු ලෝකය පුරා වෙන රටවලට සංක්‍රමණය වෙන්නට පටන් ගෙන තියෙන්නේ 10 වැනි සියවසේ පමණ දී. Tang රජකුලය කාලයේ දී. සුමාත්‍රා, ඉන්දුනීසියා, මැලේසියා පැත්ත වාසස්ථාන කරගන්නා චීන්නු අප්‍රිකාවට ඇදී ගිහින් එතැනින් 1850 ගණන් වෙද්දී ඇමෙරිකාවේ පදිංචියත් පටන් ගන්නව. චීන්නු වාසස්ථාන කරගත් ඒ ඒ රට අනුව චීන කෑම හැඩගැහිලා තියෙන බව තමයි පෙනී යන්නේ.

චීන කෑම හැටියට ප්‍රසිද්ධ ෆ්‍රයිඩ් රයිස්, චොප්සුයි, චව් මේන් එහෙම මම ගිය බෙයිජින් අවන්හල්වල මෙනූ පත් වලින් දකින්නට ලැබුනෙ නැහැ. බත් වලට වඩා නූඩ්ල්ස් වර්ග සහ ඩම්ප්ලින්ග්ස් වර්ග දකින්නට ලැබුණ. නූඩ්ල්ස් වර්ග බොහොමයක් හාල් වලට වඩා විවිධ බෝංචි වලින් සහ තිරිඟු වැනි ධාන්‍ය වර්ග වලින් නිමවෙලා තියෙන්නෙ. බෝංචි වලින් හැදෙන ඩම්ප්ලින්ග්ස් බෝංචි වලින්ම පුරවලා.

එළවළු හැටියට වැඩියෙන්ම දකින්න තිබුනේ තෙම්පරාදු කරපු සෙලරි, බෝංචි ගොබ (bean sprouts), හතු වර්ග, ලෙටස් (lettuce) වර්ග. මකර බෝංචි (Dragon Bean) කියල දඹල වගේම පෙනෙන එළවළුවක් Bellagio කියන ප්‍රධාන නගරවල කඩ බොහොමයක් ඇති අවන්හලේ තිබුණ. ඒක ඕඩර් කළාට එදා ඉවර වෙලා තිබ්බ නිසා රස දඹල වගේමදැයි හොයාගන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. තක්කාලි තීරුවක්, කැරට් අල කෑල්ලක් එහෙම දැක්කේ හිල්ටන් හෝටලේ දී පමණයි.

සෝයි සෝස් වලට වඩා ඔවුන් ආහාර උයන්නයි ආහාර කන්නයි දාන්නේ සෝයි පේස්ට් එකක්. චාචියංමින් නූඩ්ල්ස් කියන බෙයිජින්වල ප්‍රසිද්ධ තිරිඟු නූඩ්ල්ස් ලැබෙන්නෙ ගෝවා කෑලි, කුඩා පිපිඤ්ඤා තීරු සහ රාබු තීරු එක්ක මුහුන් කරපු සෝයි පේස්ට් භාජනයක් සමඟ. ඒවා ඔක්කොම නූඩ්ල්ස් එක්ක කළවම් කරගෙනයි කන්නෙ. හරක් මස්බොකු පිඟානක් ගත්ත අපිත් එක්ක ගිය චීනා. ඒක දැක්කට පස්සේ කන්න හිතෙන්නේ චීනෙකුටම පමණක් වෙන්න ඕන.
img_1499

img_1500

වැඩියෙන්ම කට දන කෑම හැදෙන්නේ ෂිෂුවාන් පළාතෙ ක්‍රමයට කියලයි සැලකෙන්නෙ. ‘Gong Bao චිකන්’ කියල ඩිංගිත්තන් හතරැස් දාදු කැට විදියට කපාපු කුකුල් මස් එක්ක රටකජු ඇටයි කරල් පිටින් එකතු කරපු වියළි රතු මිරිස් පිඟානට ‘Gong Bao මිරිස්’ කිව්ව නම් වඩා නිවැරදියි කියල මට හිතුණ. ලංකාවේ මාළු පාන් වගේ, මේකෙ කුකුල් මස් හොයන්න කඩේ යන්න වෙනව!!! එච්චර ගොඩක් වියළි මිරිස් කරල් දැම්මට චීන්නු අපි වගේ මිරිස් කරල් කන්නෙ නැති බවත් දැනගත්ත.

පිටගම්කාරයින්ගේ බස් හුරුව ඔවුන්ට නුහුරු නිසා සාමාන්‍යයෙන් අවන්හලක දී මෙනූ ලැයිස්තුවේ ආහාර පිඟානේ පින්තූරය සහ මිල පැහැදිලිව සඳහන්. පිඟාන ඒ පින්තූරේ විදියටම ලැබෙනව. මිලත් එහෙමයි, ටිප් හෝ ටැක්ස් එකතු වෙන්නේ නැහැ.

පාර අයිනේ කඩයක දී පිඟන් පින්තූරවල තිබ්බ ආහාර මොනවාදැයි හරියට හඳුනාගන්න බැරි නිසා අපි සම්පූර්ණයෙන් පුළුස්සපු මාළුවෙක් ඕඩර් කළා. දෙන්නටම කන්න. ඉංග්‍රීසි බැරි වුනාට චීන භාෂාවෙන් අපි දෙන්නට විතරක් කන්න ඒ මාළුවා ලොකු වැඩියි, සම්පූර්ණ මාළුවා ඕඩර් කරන්න නම් කිහිප දෙනෙක් එක්කගෙන එන්න ඕන, ඒ පිඟාන වැඩියෙන් හොඳ දවල් කෑමට නෙමෙයි රෑ කෑමට යැයි කියන්නට අපේ වේටර්වරිය සමත් වුණා. ඒ වෙනුවට ඇය විසින් තෝරා අපිට ගෙනාපු කෑම වල වරදක් හෝ අඩුවක් තිබුනේ නැහැ.

බෙයිජින් නගරයට එන චීන්නු පවා එහි දී පීකිං තාරා මස් කෑම සංචාරයේ කොටසක් හැටියට සලකනව. රජකුල පැවති යුගයන් හි දී, මේ ආකාරයෙන් තාරා මස් හැදීම 1330 දී Hu Sihui යන රජමාලිගාවේ කෝකියාගේ වට්ටෝරු පොතේ ඇතුලත් යැයි විකිපීඩියාවේ සඳහන්. රජකුලයට සීමා වුණ තාරා මස් මහජනතාවටත් රස බලන්න ලැබෙන විදියට 1864 දී ආරම්භ කරන ලදැයි කියන Quanjude රෝස්ට් ඩක් රෙස්ටුරාන්ට් එකට තමයි අපි ගියේ පීකිං තාරා මස් කන්න. කොමියුනිස්ට් චීනයේ රතු පාලකයන් පවා මේ අවන්හල වසා දැමුවේ නැහැ. සූ එන්ලායි සිය රාජ්‍ය සංග්‍රහයන් සඳහා සම්පූර්ණ තාරා මස් පිළිගන්වන්වා ඇත්තේ මේ අවන්හලේ දී. මාඕ ද මෙම අවන්හල ජාතික උරුමයක් හැටියට නම් කරලා එය ආරක්ෂා කරගත යුතු තැනක් යැයි ප්‍රසිද්ධ කර තිබෙනව. මාඕ කියූ වදන් අවන්හලේ බිත්තියක ගහල තියෙනව. උදුනේ අපිට පේන්නම රෝස්ට් කරපු තාරාවාව මේසය ළඟටම කෝකියා අරගෙන ඇවිත් කපලා දෙන්නේ හමයි මසුයි කටුයි ඔක්කොම එක්ක. කුකුලන් සහ කළුකුම් එක්ක බලද්දී තාරාවන්ගේ මස් වැඩිය නැහැ. ප්ලම් සෝස් එකක් සිනිඳු රොටියක ගාලා, ඒ මත ළුණු කෑලි එක්ක තාරා මස් කෑල්ලක් තියල රෝලා කරලා කන හැටි වේටර් පෙන්නලා දෙනව. එතැන රෝස්ට් කරපු එක තාරාවෙක්ගෙ මිල ¥296 ක් වෙනව.

Makye Ame ටිබෙටන් රෙස්ටුරාන්ට් ඇන්ඩ් බාර් පිහිටා ඇත්තේ විදේශ තානාපති කාර්යාල බහුතරය තියන පැත්තෙ. අර්තාපල් අල සහ මස් කෑලි (කටු බහුල වුනත්) දකින්න පුළුවන් තවත් ආහාර පිඟානක් ලැබුනේ එතැන දී!!! සිත් ගන්නා ආකාරයෙන් ටිබෙට් බඩු භාණ්ඩ වලින් අලංකාර වෙන මේ අවන්හල රාත්‍රියේ දී ටිබෙට් සංගීත කණ්ඩායමක් විසින් රසාස්වාදය සපයන තැනක්.

වැඩියෙන්ම රසැති කෑම කෑවේ නම් පාරේ රික්ෂෝ බයිසිකල් කරත්තයකින්. තැටියක පුච්චන තුනී රොටියක් මැද්දට අපි බලාගෙන ඉන්ඳැද්දී චයිව්ස්, ළුණූ කොළ සහ චිලි සෝස් සහ තවත් තෙලෙන් බැද්ද රොටියක් දාලා හැදෙන මේක හැඳින්වෙන්නේ Jianbing පෑන්කේක් කියල. ¥5 කට ගන්න පුළුවන්. තනිකරම පාන් ගුලිය වුනත් රසයි!!! මැද්දට බිත්තර දාලා ඉල්ලපු අයත්, සොසෙජ් දාලා ඉල්ලපු අයත් හිටිය.

චීනේ අතුරුපස ගැන නම් වැඩි මනාපයක් තිබ්බෙ නැහැ මට. පී (pea) වැනි බෝංචි වර්ග වලට සීනි/පැණි එකතු වෙලා හැදෙන ඒවා තමයි වැඩි. කැන්ඩි ඇපල් වගේ හදපු හෝර්තෝන් ගෙඩි වල සීනි කුට්ටිය වැඩියි, ඇපල් තරම් ගෙඩි ලොකු නැති නිසාත් එය වියළි නිසාත් පළතුරු කොටස අඩුයි. ගොඩයිවා චොකලට් කඩේ බඩු ගණන් වුනාට එතැනට ඇදිලා ආපු චීන්නු ගොඩක් හිටියේ ඔවුන්ගේ ද රසකැවිලි රසාස්වාදය විවෘත වෙළඳපොල අනුව වෙනස් වෙන නිසා ද කියලත් හිතුණ.

මොස්කව් යැයි කියාගත්ත අවන්හලකුත් දැක්කට අපි ගොඩ වැදුනේ නැහැ.

14192053_10154335754605851_565335939528908154_n

14192746_10154335762595851_5899157991360996332_n

14292391_10154356360260851_2744903174147319564_n

img_1516

img_1517

img_1521

img_1546

img_1548

img_1563

img_5900

img_5902

img_5903

4 Responses

Subscribe to comments with RSS.

  1. ravi said, on සැප්තැම්බර් 25, 2016 at 10:47 පෙ.ව.

    මාතර බත් කඩයක් ඔහෙල දෙන්න ඇවිද්ද අහ දැක්කෙ එහෙම නැතෙයි? චීනෙ කොහෙ හරි එහෙම එකක් තියනවය කියල වංගියක් මගෙ යාලුවෙක් කිව්ව. හොංකොංවල වෙන්න ඇති බොහෝවිට.

    බොහොමත්ම ස්තූතියි අරුණි, ඉතාම චිත්තාකර්ෂනීය දේශාටන විස්තරයකට…:)

    • arunishapiro said, on සැප්තැම්බර් 26, 2016 at 12:45 ප.ව.

      ravi,

      Tianjin Medical University එකේ එහෙම කඩයක් තියනව කියල තමයි අන්තර්ජාලයත් කියන්නෙ. Tianjin නගරය තියෙන්නේ බෙයිජින් වලින් සෑහෙන ඈතක.

      කියවන්න එනවාටත් ස්තූතියි.

  2. රාජ් said, on සැප්තැම්බර් 26, 2016 at 5:20 පෙ.ව.

    අරුණිගෙන් අහන්නෝන ප්‍රශ්නයක්.
    පිටරටවල ප්‍රධාන ආහාරවේල් සඳහා ඇති කෑම ප්‍රමාණය සංඛ්‍යාත්මකව බැලුවම අපට වඩා සෑහෙන්න වැඩියි නේද? අපේ රටේ තියෙන්නෙ බත්, පාන්, ඉඳිආප්ප, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වගේ කිහිපයක් නේද? මොකක්ද මේකට හේතුව?

    • arunishapiro said, on සැප්තැම්බර් 26, 2016 at 1:08 ප.ව.

      රාජ්,

      “ලිබ්බියකගෙන්” ඔය වගේ ප්‍රශ්න ඇහැව්වාම ලැබෙන උත්තරේ හිතාගන්න පුළුවන් ඇතිනෙ!!!

      ආර්ථිකයක් විවෘත වෙද්දී ලෝකේ ඕනෑම රටක ඈත පිටිසර ගමක ඉන්න අයෙකුට වුවත් ලෝකෙ ඕනම තැනකින් එන ආහාරයක් හදාගන්න හැකියාව ලැබෙනව. මිනිස් ස්වභාවය තෝරාගැනීම් වැඩිවෙද්දී අලුත් දේවල් අත්හදා බැලීම. ඒක තමයි ප්‍රධාන හේතුව. ආර්ථික මැදිහත්වීම් වැඩිවෙද්දී එතෙක් රටක තිබුණ කෑම තෝරාගැනීම් පවා අඩු වී යනව; උදාහරණය අද වෙනිසියුලාව.

      සාම්ප්‍රදායික ආහාර වල හිරවෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ පිටරටින් ආහාර ගේන එකට බාධා ඇති රටවල අයටයි. යම් රටක උපන් නිසා එරට මිනිසුන් හැමදාම සාම්ප්‍රදායික වූ කෑම පමණක් කන්න කැමතියි කියල හිතන්න අමාරුයි.

      බත්වේලක් නැතිවුනාම එදා දවසටම කෑවේ නැහැයි වගේ සමහර අයට හිතෙන එක පුංචි කාලේ ඉඳන් කාපු දේට හුරුවී සිටීම පමණයි.

      මෙන්න බෙයිජින්වල KFC එකේ ඇතුලේ ඡායාරූප. එතැනින් කන්න නෙමෙයි ඇතුල බලන්නයි මම ගියේ. KFC Beijin

      KFC Beijin 2


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: