අරුණි ශපීරෝ‍ වෙතින්

චීන්නු වීරවරියක් ලෙස සලකන බ්‍රිතාන්‍ය කාන්තාව

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 1, 2016

549dfaf91f26a_gladys_aylward

ඇය ලන්ඩනයට නුදුරු ගමක උපන් මෙහෙකාරියක් ලෙසින් සේවය කළ විධිමත් අධ්‍යාපනයක් නොමැති වූ කාන්තාවකි. තරුණ වයසේ දී ඇයට චීනයට යා යුතු යැයි අදහසක් පහළ විය. ඒ සඳහා ඇය ලන්ඩන් නුවර වූ චීන මිෂනාරී සේවයට බැඳෙන්නට දැඩි උත්සාහයක් ගත්තාය. ඒත් අධ්‍යාපනික සුදුසුකම් මඳි නිසාවෙන් ඇයට ඊට අවස්ථාවක් නොලැබුණි. සමහර විට මෙහෙකාරියක වූ ඇයගේ සමාජ තත්වය ද ඊට බලපාන්නට හේතු වූයේ යැයි සිතිය හැකියි.

චීනයට තමා යා යුත්තේ කුමක් පිණිස දැයි ඇය නොදත්තාය. එය දෙවියන්ගේ කැමැත්ත ලෙස ඇය තරයේ ම විශ්වාස කළාය. සර් ෆ්‍රැන්සිස් යන්ග්හස්බන්ඩ් නමැත්තාගේ නිවසේ සේවය කරමින් ඇය අඩුම වැයකින් චීනයට යා හැකි වූ මාර්ගය තෝරාගත්තාය. මෙහෙකාර සේවයෙන් ඒ දුම්රිය ටිකට් එකට මුදල් ඉතිරි කරගත්තාය. එය ට්‍රාන්ස්-සයිබීරියන් දුම්රිය මාර්ගයයි. ඇයගේ ගමන්මග වූයේ සයිබීරියාව හරහා රුසියාවෙන් චීනයට ඇතුල්වෙන්නටයි. එහෙත් රුසියාවේ දී ඇයව නවතා ගැණින. එතැනින් ගැලවී ඇය ජපන් නැවකින් ජපානයට පළා ගියාය. එහි දී බ්‍රිතාන්‍ය තනාපති කාර්යාලයේ සහායෙන් නැව් නැඟ ඇය චීනයට පිවිසියාය.

උතුරු චීනයේ පිහිටි යැන්ග්චෙන්ග් ගම්මානයේ වාසය කළ තවත් බ්‍රිතාන්‍ය මිෂනාරිවරියක් සමඟ එකතුවෙන ඇය මගීන්ට නවාතැන්පොලක් පවත්වාගෙන යන්නට සහාය දෙමින් මගීන් එතැන විඩා හරිද්දී කතන්දර වලින් ක්‍රිස්තියානි ආගම පතුරුවන්නට පටන් ගන්නීය.

බ්‍රිතාන්‍යයන් විසින් චීනයේ ළදැරියන්ගේ පා බැඳීම තහනම් කරද්දී එම නීතිය පිළිපදිනවාදැයි සොයන්නට පත්වෙන ඇය ‘කකුල් ඉන්ස්පෙක්ටර්’ කෙනෙක් වෙයි. මුල දී බොහෝ ආරවුල් හා අන්ඩතේට්ටම් වලට මුහුණ දුන්න ද ඇය පසුව චීන ගම්වැසියන්ගේ විශ්වාසය දිනාගන්නට සමත් වේ. අනාථ දරුවන් හදා වඩාගන්නා ඇය වරක් පළාතේ සිරගෙදරක උග්‍ර වූ උද්ඝෝෂණයක් මැඬලන්නට ද සමත් වන්නීය.

1936 දී ඇය චීනයේ පුරවැසි භාවය ලබාගනියි. 1938 දී ජපනුන් චීනය ආක්‍රමණය කරද්දී ග්ලැඩිස් අල්වාඩ් බෝම්බ වැටී ගම් පළාත් හි අනාථ වූ දරුවන් 100 ක් කඳුකරය මැදින් ආරක්ෂිත මිෂනාරියකට රැගෙන යන්නට සමත් වන්නීය.

1948 දී ඇය බ්‍රිතාන්‍යයට යන්නීය. එහි වසර 10 ක වාසයෙන් පසු චීනයට එන්නට උත්සාහ කළ ද, එවිට බලය අල්ලා ගෙන සිටි කොමියුනිස්ට් රජය ඇයට ඇතුල්වන්නට අවසර දුන්නේ නැත. 1958 දී තායිවානයේ වාසයට යන ඇය ග්ලැඩිස් අල්වාඩ් අනාථ දරුවන්ගේ නිවාසය පටන් ගෙන 1970 දී මිය යන තුරුම එහි සේවය කළාය.

පුංචි කාන්තාව නමින් ඇලන් බර්ජස් 1957 දී ඇයගේ ජීවිත කතාව අලලා පොතක් ලිවීය. ඒ පොත පාදක කරගෙන 1958 දී The Inn of the Sixth Happiness නමින් චිත්‍රපටියක් නිර්මාණය විය.

ග්ලැඩිස් කළු කොණ්ඩයෙන් යුතු වූ කුඩා කාන්තාවකි. චිත්‍රපටියේ ඇයගේ චරිතය රඟපාන්නේ ඉන්ග්‍රිඩ් බර්ග්මන්.

ග්ලැඩිස්ට තමා මෙහෙකාරකම් කළ නිවසෙන් චීන සංචාරය සඳහා හෝ එහි ගිය විට දැන ඇඳුනුම්කම් හදා ගන්නට කිසිදු සහායක් නොලැබුණි. ඉන්ග්‍රිඩ් බර්ග්මන් පිට වී යන්නේ චීනයේ සිටින අයෙකුට කරන දැනුම් දීමක් ද අතැතිව. එසේම රුසියාව හරහා කාන්තාවක් තනිවම යන ගමන එතරම් කටුක නොවූ ලෙසකින් චිත්‍රපටියේ දිගහැරෙයි.

සිල්වත් කාන්තාව යැයි කියැවෙන චීන නමකින් චීන්නු අතර ප්‍රසිද්ධ වූ ග්ලැඩිස් ආගමික ජීවිතයක් සඳහා කැප වී සිටි කාන්තාවකි. ඇයගේ හිතවත් චීන හමුදා නිලධාරියා සමඟ ඇය කිසිවිටෙක ආදර සම්බන්ධයක් පවත්වා නැත. එහෙත් චිත්‍රපටියේ කතාව දිග හැරෙන්නේ වෙනස් ආකාරයකට. හොලිවුඩ් සිනමාව චීන නිලධාරියාගේ පියාව ඕලන්ද කරවන ලද්දේ ඔවුන් සිපගන්නා ජවනිකාව බටහිර ප්‍රේක්ෂකයන්ට දිරවන්නේ නැතිවෙතැයි බියෙන් වෙන්නත් ඇති. චීන නිලධාරියා යුරෝපීය මිශ්‍රණයකින් යුතු වූවෙක් හැටියට නිරූපණය කිරීමෙන් සත්‍ය පුද්ගලයාට අගෞරව කර ඇතැයි ග්ලැඩිස් කියා ඇත.

සුබ අංකයක් හැටියට චීන්නු සලකන්නේ 8 මිසෙක 6 නොවේ. චිත්‍රපටිය ග්ලැඩිස් පවත්වාගෙන ගිය ගිමන්හලේ නම චීන්නු සුබ යැයි විශ්වාස නොකරන අංකයට එසේ වෙනස් කර ඇත.

අනාථ දරුවන් 100 ක් සමඟ ඉන්ග්‍රිඩ් බර්ග්මන් චීන කඳුවැටි අතරින් ජපන් ආක්‍රමණිකයන් වෙතින් පළා යන දර්ශන රිදි තිරයේ දිග හැරෙද්දී සිහිවෙන්නේ The Sound of Music චිත්‍රපටියයි. එහෙත් ඇත්ත කතාවේ දී ග්ලැඩිස් ඒ කටුක වූ ගමනේ දී තුවාල ලැබූවාය. ඒත් ගමනාන්තය දක්වා දරුවන් ආරක්ෂා කරගන්නට ඇය සමත් වූවාය.

හොලිවුඩ් චිත්‍රපටිය නරඹද්දී එය රූගත කරන ලද්දේ කොහේදැයි මා දැන නොසිටියෙමි. මුතියාන්යූ චීන මහා ප්‍රාකාරය පිහිටි පළාතේ කඳුකරය සේ චිත්‍රපටියේ දිස්වෙන කඳුකර දර්ශන රූගත කර ඇත්තේ උතුරු වේල්ස් හි ස්නෝඩෝනියා පළාතේ දී. චිත්‍රපටියට යොදාගන්නා ලද දරුවන් බොහොමයක් එකතුකර ගෙන ඇත්තේ යුරෝපයේ පැරණිතම චීන සංක්‍රමණිකයන් වාසස්ථානය කරගත් නගරය වූ ලිවර්පූල් නරගයෙනි.

රුදුරු යුද්ධයකට මැදි වූ අහිසංක ළමා ජීවිත 100 ක් බේරාගන්නට සමත් වූ ග්ලැඩිස් අල්වාඩ්, අදත් චීන වැසියන් අතර වීර කාන්තාවක් හැටියට සැලකිල්ලට පාත්‍ර වන්නීය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: