අරුණි ශපීරෝ‍ වෙතින්

පාකිස්තානය වපුරවන ලද ඉන්දොෆෝබියාව

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 4, 2016

හතුරන් පෙන්වා ඔවුන්ගෙන් ආරක්ෂාව සලසා දෙනවා යැයි පොරොන්දු වෙන්නාට බලය පැවරීම මිනිසාගේ හැදියාවකි. ‘හතුරා’ යැයි පෙන්වන්නා ඇත්තෙන්ම හතුරෙක්දැයි ද, පොරොන්දුව ක්‍රියාත්මක කරන ක්‍රම මොනවාදැයි ද, ඒවායෙන් ‘ආරක්ෂාවක්’ සැලසෙනවාදැයි ද විමර්ශනයට මනස වෙහෙස විය යුතුයි.

රෝමය හා ග්‍රීසිය අතර වූ මැසිඩෝනියන් යුද්ධ සිට අද යළිත් පැන නැඟී ඇති ඉන්දියා පාකිස්තාන් සටන් දක්වන්නේ හතුරන් පෙන්වන්නටත් ඔවුන්ගෙන් ආරක්ෂාව සපයනවා කියාත් ජනතාව දක්කා ගෙන යන්නට පාලකයන් කොතරම් සමත් වී ඇත්දැයි යන්නයි.

කළු හමැති තරුණයන් හොඳ පවුල්වල සුදු කෙල්ලන් අනාචාරයට ඇදගෙන යන ‘හතුරෙක්’ හැටියට පෙන්වමින් වර්ගවාදී නීති සම්මත කරගන්නට ඇමෙරිකාවේ පාලකයන්ට හැකිවිය. 1967 වෙද්දී ප්‍රාන්ත 17 ක විවිධ ජාතීන් අතර විවාහ තහනම් වී තිබිණ. 1967 දී සිඩ්නි පොයිටියෙර් රඟපෑ Guess Who’s Coming to Dinner” චිත්‍රපටිය වාර්තා බිඳ හෙලන්නට සමත් වූයේ පාලකයන් කළු හමැති කඩවසම් තරුණයන් ගැන එතෙක් දැරූ මතය වැරදි බව පැහැදිලිව පෙන්වමින්.

ධනවාදය ගැන වූ සංවාදයක දී හැමවිටම ඇමෙරිකාවේ වර්ගවාදය උලුප්පන අයට එය පාලකයන් විසින් බලයේ සිටීමට යොදාගන්නා ලද අවියක් හැටියට දැකීමට හැකියාව තම අධ්‍යාපනයෙන් ලැබී නැත. ඕනෑම රටක වූ වර්ගවාදයක් තුරන් වී ගියේ වෙළඳපොල ක්‍රමය නිසා බවත්, එය යළි යළිත් හිස ඔසවන්නේ මැදිහත්වීම් ගෙනෙන පාලකයන් නිසාම බව දකින්නට මනස වෙහෙසන්නට අකමැති ඔවුනට නොහැකියි.

ඇමෙරිකාවේ මහජන පාසැල් සඳහා නිර්දේශ ගෙනෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි. 1980 දී පිහිටුවන ලද එයින් ක්‍රමයෙන් පාසැල් අධ්‍යාපනයේ දී කුමක් ඉගැන්විය යුතු ද යන්නට මැදිහත්වීමට පටන් ගැනිණ. එහෙත් ඇමෙරිකාවේ ගෙදර පාසැල් ක්‍රමයක නියැළෙන්නට දෙමව්පියන්ට නිදහස ඇත.

ස්කැන්ඩිනේවියන් මොඩල් හොඳ යැයි කියන අයත්, ඔවුන් ගෙදර පාසැල් සඳහා අවසර දෙන බව නොදන්නා බැව් පෙනේ. ස්වීඩනය ඊට නිදහස තහනම් කර වැඩි කල් යන්නට පෙර වේගයෙන් පහළ බැස්ස අධ්‍යාපන මට්ටම් ගැන හූල්ලන්නට පටන් ගෙන සිටිති.

ජපානයේ ගෙදර පාසැල් නීත්‍යානුකූල හෝ නැතැයි සැලකෙන්නේ නැති වූවත් ඒ සඳහා ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය නොමඳව ලැබෙන හෙයින් ගෙදර පාසැල් පවත්වාගෙන යන අයට කරදරයක් නොවේ. ජපානයේ ඉතිහාසය මහජන පාසැල් වලින් හදාරන ජපන් දරුවන්ට ජපනා චීනයට, කොරියාවට පහර දෙමින් පටන් ගත් දෙවැනි ලෝක යුද්ධයේ මුල් කොටස්, විශේෂයෙන්ම ජපනුන් අතින් වූ අපරාධ පැහැදිලිව දැනගන්නට ලැබෙන්නේ නැත. ඉතිහාසය නිවැරදිව ලියන්නට ගන්නා ලද උත්සාහයන් වල දී ජපානයේ සියළු පාසැල් දිස්ත්‍රික්ක ඒ පොත් එපා යැයි කියන ලදහ.

මොළ හෝදන්නට නම් හොඳම ක්‍රමය කුඩා කාලයේ පටන්ම පාලකයන්ට දක්කා ගෙන යා හැකි හතුරෙක් පාසැල් පෙළ පොත් වලින් හඳුන්වා දීමයි. තම රටේ නායකයන් අතින් සිද්ධ වූ අපරාධ වෙනස්කර ඉතිහාසය වෙනස්කර ලිවීමයි.

පාකිස්තානයේ පාසැල් පොත් ඉතිහාසය මෙයාකාරයෙන් පාලකයන්ට උවමනා විදියට වෙනස් කරන ලද්දේ ජෙනරල් මුහම්මඩ් සියා-උල්-හක් පාලනයේ දී ඉස්ලාමීයකරණය වැඩසටහනකින්. පාකිස්තාන පාසැල්වල සහ විශ්ව විද්‍යාලවල භාවිතා වෙන්නේ රජයේ අනුමැතියෙන් ප්‍රකාශනය වන පෙළ පොත් පමණකි.

පාකිස්තානයේ උපත ඉන්දීය විරෝධී සහ හින්දු වීරෝධී වූ නිසා අනතුරුව එන මිලිටරි ආඥාදායකත්වයකින් මෙසේ ඉතිහාසය තමනට උවමනා ආකාරයෙන් ‘හතුරෙක්’ පෙන්වමින්, තම පාලකයන් කිසිත් වරදක් නොකළ අය ලෙසින් දක්වමින් ප්‍රතිසංස්කරණය කර බෙදා හැරීමට පහසු විය.

2011 දී පාකිස්තානයේ පෙළ පොත් මණ්ඩලය ඒවායේ වැරදි නිවැරදි කරන්නට උත්සාහයක් පටන් ගන්නා ලදි. 1947 ගණන් සිට මහජන පාසැල් වලින් මොළ හෝදා සමාජයට යවන ලද කොතරම් පිරිසක් තම ඉතිහාසය හරියට නොදැන ඉන්දොෆෝබියාවකින් පෙළෙනවා ඇත්ද?

මහජන පාසැල් පමණක් පවතින සමාජයක බලයේ ඉන්නා අයට පරම්පරා ගණනාවක් පුරා පැතිර යන ලෙසින් ‘හතුරන්’ පෙන්වා ඔවුන් ගැන වෛරයක් ජන සිත් තුලට කාවද්දන්නට හැකියි. ඒ වෛරය කොනිත්තමින් පාලකයන්ට තම බලය තව වැඩිකරගන්නට හැකියාව ලැබේ. අධ්‍යාපනය සඳහා තෝරාගැනීම් ඇති සමාජයක ඒ සඳහා ඇති ඉඩකඩ අඩුයි.

4 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ඔක්තෝබර් 4, 2016 at 11:41 පෙ.ව.

    පාලකයන්ට පාලිතයන්ව රැවටීමෙන් තොරව ජීවත්විය නොහැකිය.!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: