අරුණි ශපීරෝ‍ වෙතින්

අද කොලම්බස් දිනය ද? ස්වදේශීන්ගේ දිනය ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 10, 2016

non-native-american-nations-territorial-claims-over-nafta-countries-1750-2008

ඔක්තෝබර් මාසයේ දෙවැනි සඳුදා සමරන කොලම්බස් දිනය වර්තමානයේ විවිධ නගර සහ ප්‍රාන්ත අතර කෙමෙන් නැවතී යයි. සමහර නගර සහ ප්‍රාන්ත දැනටමත් ඒ වෙනුවට ස්වදේශී ජනතාවගේ දිනය සමරති. මෙය තවමත් ෆෙඩරල් නිවාඩු දිනයකි. ඒ නිසා තැපැල් කන්තෝරුව ඇතුළු රජයේ කාර්යාල බොහොමයක් මෙදින වසා දමනු ලබයි. සමහර බැංකු වසා දැමේ. ෆ්ලෝරීඩා හි වාසය කරන ඉතාලි සම්භවයෙන් යුතු අය අතර තවමත් කොලම්බස් සිහිකරමින් කතෝලික පල්ලියේ පූජා ඇතුළු වෙනත් උත්සව පැවැත්වේ.

අත්ලාන්තික් සාගරය තරණයෙන් ඇමෙරිකාවට පැමිණි ප්‍රථම යුරෝපීය ජාතිකයා ක්‍රිස්ටෝෆර් කොලම්බස් නොවෙයි. ස්කැන්ඩිනේවියාවේ වයිකිං දේශාටක Leif Erikson ප්‍රමුඛ පිරිසක් 11 වැනි සියවසේ උතුරු ඇමෙරිකා මහාද්වීපයට ගොඩබැස ඇති බව ඉතිහාසය කියයි.

කොලම්බස් නිවහල් ව්‍යවසායකයෙක් නොවීය. 1485 දී ඔහු තම දේශාටන අදිටන් මුලින් ඉදිරිපත් කරන්නේ පෘතුගාලයේ දෙවැනි ජෝන් රජු වෙතට. තමන් සොයාගන්නා නව ලෝකයේ ආණ්ඩුකාර පදවිය, ඒ භූමියේ මුළු ආදායමෙන් දහයෙන් එකක්, සහ සාගරයේ ශ්‍රේෂ්ඨ අද්මිරාල් යන ප්‍රභූ නාමය ද හේ පෘතුගීසි රජු වෙතින් ඉල්ලා සිටියේය. පෘතුගීසි රජු එකඟ නොවීය. කොලම්බස් ඉතාලියෙන් සහ එංගලන්තයෙන් ආධාර ඉල්ලුවත් ඔවුන් වෙතින් ද නොලැබිණ. ස්පාඤ්ඤයේ දී ඔහුට උදව් කරන්නට කතෝලික රජ පවුල් එකඟ වූයේ ඔහු සිය අදහස වෙන රජෙක් වෙත ගෙනයාවි යැයි බියෙනි. ස්පාඤ්ඤය යටතේ පැවති ගම් බිම් වල දී ඔහුට ආහාර හා නවාතැන් මිලක් අය නොකර සපයන්නටත් වාර්ෂික ආදායමකුත් ලබා දීමෙන් ඔවුන් ඔහුට සහයෝගය දුන්හ.

1492 ඔක්තෝබර් 12 වැනිදා කොලම්බස් ගොඩබැස ඇත්තේ බහාමාස් කොදෙව් දුපතකටයි. අනතුරුව තවත් මුහුදු ගමන් තුනක දී ඔහු ඇන්ටිලීස්, වෙනිසියුලාවේ කැරිබියන් මුහුදු වෙරළට සහ මධ්‍යම ඇමෙරිකාවට පිවිසෙන ලදි.

වහල් ක්‍රමය පටන් ගන්නට දශකයට පෙර අප්‍රිකාවේ වූ ස්පාඤ්ඤ යටත් විජිත වලින් නිවහල් කළු අප්‍රිකානුවන් ද ඔහුගේ නැව්වලින් පැමිණි බව සටහන් වේ. නව භූමියේ විසරෝයි සහ ආණ්ඩුකාරයා හැටියට ඔහුව පත්කරන ලදි.

1519 දී හිස්පැන්‍යෝලාවට පැමිණි යුරෝපීයයන් නිසා එහි විසූ ස්වදේශීන්ට යුරෝපීය රෝග බෝ වී මිය යන්නට වූහ. යුද්ධ, රන් කනිනන්ට හාරන ලද පතල් වල දී සහ වහල් ක්‍රමය පිහිටුවීමත් සමඟ ස්වදේශී ජනගහණය සීඝ්‍රයෙන් වඳ වී ගියේය. කොලම්බස් ගොඩබැස වසර 56 ක් යද්දී Taino ස්වදේශීන් 500 ක් පමණ ඉතිරි වී සිටි බව කියැවේ.

එන්කොමියෙන්ඩා යනු 16 වැනි සියවසේ එකිනෙකා ආක්‍රමණය කරගත් යුරෝපයේ වූ ශ්‍රම ක්‍රමයකි. රෝම යුගයේ දී ස්පාඤ්ඤය විසින් පිහිටුවා ගන්නා ලද එම ක්‍රමය ආක්‍රමණිකයන්ට තමන් අල්ලාගත් ජනවැසියන්ගේ ශ්‍රමය රිසි පරිදි යොදාගැනීමට ලැබෙන බලයයි. ස්පාඤ්ඤ රජ ක්‍රමයෙන් යමෙකුට කොපමණ ස්වදේශීන් ‘දේපොල’ හැටියට තබාගන්නට හැකිදැයි තීරණය කෙරිණ. ඔවුන්ව අයිතිකර ගැනීමේ අවසරය සමඟ ඔවුන්ට ක්‍රිස්තියානි ආගම උගන්වන්නට, අනෙකුත් ග්‍රෝතික ප්‍රහාර වලින් ආරක්ෂාව සපයන්නට, ස්පාඤ්ඤ භාෂාව උගන්වන්නට බාර වුණි. එසේම ඒ වාසිය සඳහා ස්පාඤ්ඤයන්ට එරෙහි කැරලි යටපත් කරන්නටත් පාලම්, පාරවල් වැනි යටිතල පහසුකම් ගොඩනඟා ඒවා පවත්වාගෙන යාමටත් සිද්ධ වුණි. මුල් ස්පාඤ්ඤයන් කැරිබීයන් දේශයේ මෙයාකාරයෙන් ස්වදේශීන්ව වහලුන් හැටියට බෙදාගත්හ.

ක්‍රිස්ටෝපර් කොලම්බස්ට තමන් ඉල්ලූ නව භූමියේ මුළු ආදායමෙන් සියයට දහය ස්පාඤ්ඤ රජ පවුලෙන් ලැබුනේ නැත. කොලම්බස් රෝගී වෙද්දී ඔවුන් වෙන ආණ්ඩුකාරයෙක් පත්කළහ.

1513 දී ෆ්ලෝරීඩාවට ප්‍රථමයෙන් ගොඩබසින යුරෝපීයයා වනුයේ හුවාන් පොන්සෙ ඩ ලියොන් නම් ස්පාඤ්ඥ දේශාටකයෙකි. ස්පාඤ්ඤ දේශාටකයන්ට අනතුරුව ප්‍රංශ දේශාටකයන් ද වරින් වර ජනාවාස පටන් ගැනීමේ අසාර්ථක වෑයම් වල යෙදෙති. 1598 දී බ්‍රිතාන්‍යයන් උතුරු කැරලයිනාවේ ජනාවාසයක් පිහිටුවන අසාර්ථක වෑයමේ යෙදුනහ. බ්‍රිතාන්‍යයන් පසුපසින් ඕලන්ද හා ජර්මන් රජවරු තම දේශාටකයන් ද එවන්නේ තම රාජ්‍ය වෙනුවෙන් ජනාවාස පිහිටුවා නව භූමියෙන් කොටසක් අල්ලා ගැනීමටයි. මෑන් හැටන් දූපත ඕලන්දයන්ට කිහිප වතාවක් ස්වදේශිකයන් විසින් විකුණන ලදැයි කියැවේ.

ස්වදේශීන් අතර දේපල අයිතිය සහ හිමිකම පැවතිණ. 1910 දී පුද්ගලික දේපල අයිතිය ස්වදේශී ගෝත්‍රිකයන් අතර සාමාන්‍යයක් වූ බව Frederick Hodge විසින් Handbook of American Indians of North of Mexico (1910) යන රාජ්‍ය ලේඛනාගාරයෙන් නිකුත් කරන ලද පොතක සටහන් කරයි. එසේම ඔවුන්ට හොඳක් කරන්නට යැයි කියමින් ඔවුන්ව වෙනම ගාල්කරන්නට පෙර 20 වැනි සියවස මුල දී ගෝත්‍රිකයන් සමඟ කතාබහ කරන ලද ඉතිහාසඥයන් සහ මානවවේදීන් සටහන් තබන්නේ දේපල හිමිකම් ඔවුනට තිබුණ බවත් ඔවුන් අතර සාමූහික දේපල අඩු වූ බවත්ය.

Trail of Tears නමින් හැඳින්වෙන මෙහෙයුම, ස්වදේශීන්ව ඔවුන් විසූ භූමියෙන් අයින් කරන පනත 1830 දී සම්මත කරගත්, ඇන්ඩෲ ජැක්සන් සහ මාටින් වැන් බියුරන් නම් ජනාධිපතිවරු දෙදෙනා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියකි.

2222 පනත ගෙනැවිත් සියළු ස්වදේශීන්ගේ යහපත සැලසීම ඇමෙරිකන් රජය තමනට පවරා ගත්හ. 1831 දී ස්වදේශීන් රජයේ බාරකරුවන් හැටියට විශ්වාස ප්‍රතිපත්තියක් ජෝන් මාෂල් ගෙන එන ලදි. ඒ යටතේ තම ඉඩම් හරියාකාරව නියාමනයට ස්වදේශීන් නොදන්නේ යැයි කියා ඔවුන්ගේ සියළු ඉඩම්වල නීතිමය බාරකාරයා හැටියට රජය තමන්ව පත්කර ගත්හ.

1887 දී Dawes පනත ස්වදේශීන්ගේ ඉඩම් නීතියෙන් විපර්යාස කරන ලද පනතකි. බෙදූ ඉඩම් වසර 25 ක් යනතුරු යළි විකිණීම තහනම් විය. ස්වදේශී වාසයෙන් යුතු භූමියේ එසේ බෙදා නොහරින ලද ඉඩම් ස්වදේශී නොවන අයට විකුණන්නට හැකියාව ලැබුණි. 1887 දී ස්වදේශීන් සතු ඉඩම් අක්කර මිලියන 154 විය. සියවසක් යද්දී එය මිලියන 48 ක් දක්වා අඩු වී ගියේය.

1924 දී ඇමෙරිකන් පුරවැසි භාවය දුන්නත්, බොහෝ බටහිර ප්‍රාන්ත වල ඔවුනට චන්ද අයිතියක් නොමැති විය. ජෝන් කොලියේර් 1934 දී ගෙනා IRA පනත, 1948 දී ස්වදේශීන්ව නාගරීකරණයට විලියම් බ්‍රෝපි ගත් උත්සාහය යනාදී වශයෙන් රජය විසින් ගන්නා ලද උත්සාහයන් සියල්ලම අසාර්ථක වූහ.

ඇමෙරිකන් රජය ස්වදේශීන්ව දරීද්‍රතාවයෙන් තැබූ ආකාර 5 ගැන ලියැවුණු ඉංග්‍රීසි ලිපියක් මෙතැනින් කියැවිය හැකියි.

1940 ගණන් අග වෙද්දී ස්වදේශීන්ගේ ඉඩම් අයිතිය ගැන අදහස් ඇමෙරිකන් ඉතිහාසයට වෙනස් විදියකට එකතුවෙන්නට පටන් ගති. 1960 ගණන් මැද වෙද්දී විශ්ව විද්‍යාලයක දී හදාරන ඉතිහාස පොත්වලින් දකින්නට ලැබෙන්නේ මුදල් ගැන සහ ඉඩම් අයිතිය ගැන වැටහීමක් ස්වදේශීන්ට නොතිබුණා යැයි ද ඒ නිසා ඉඩම් ඩැහැගන්නට ගිය අයට ඔවුන්ගේ ඉඩම් කුණු කොල්ලයට ගන්නට හැකි වූ බවයි. ස්වදේශීන් සිය ඉඩම් සහ අනෙකුත් හිමිකම් “දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්” හැටියට සලකන ලදැයි මිථ්‍යාවන් වපුරන්නට පටන් ගැනෙන්නේ 1972 ගණන් වල දී ය.

රාජ්‍ය මැදිහත්වීම් ගෙනැවිත් ඒවා පිට පිට වැරදී යද්දී තවත් මැදිහත්වීම් කරමින්, පැහැදිලිව දකින්නට ඇති අසාර්ථකත්වය වෙළඳපොල ව්‍යවසායකයන්ට පැටවීම තතු විමසන්නට නොදන්නා අයගේ සාමාන්‍ය හැදියාවයි. වර්තමානයේ දී ගෝත්‍රික නායකයන්, දේශපාලනඥයන් විවිධ සංවිධාන මේ මිථ්‍යාවන් තම වාසියට පවත්වා ගෙන යති. ස්වදේශීන්ගේ ඉඩම් අයිතියේ වූ ප්‍රාග්ධනය ඔවුන්ගේ දියුණුව පිණිස පුද්ගලික ව්‍යවසායකත්වයට යොදවන්නට නොහැකි ආකාරයෙන් ඇවුරුණු වත්කම් හැටියට තීන්දු කරන ලද්දේ රටේ පුද්ගලික ව්‍යවසායකයන් නොවේ. ස්වදේශීන්ගේ යහපත සලසන්නට දන්නවා කියාගත්, එහි බලය මුළුමනින්ම නීති විපර්යාසයෙන් තමනට පවරා ගත් ඇමෙරිකන් ආණ්ඩුවයි.

ප්‍රචණ්ඩත්වයෙන් කටයුතු කරන්නට හැකි බලය නිසාම ජනතාව නියාමනය පිණිස පත්කරගන්නා සංස්ථාව ආණ්ඩුවයි. එහි දී කුමන පුද්ගලයන් බලයට පත් වෙනවා ද කියා නොව වැදගත්, පුරවැසියාගේ ජීවිතයට අවම බලපෑමක් කරන්නට හැකි වූ බලයෙන් අවම වූ ආණ්ඩුවකි.

ඇමෙරිකාවේ මුල් අධිරාජ්‍යවාදීන් රටේ කුමන පළාත් කුමන කාලයක දී අයිති කරගත්තාදැයි පෙන්වන සිතියම විකිපීඩියා කොමන්ස් වෙතින් ගත්තෙමි.

2 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ඔක්තෝබර් 10, 2016 at 10:53 පෙ.ව.

    ලිපිය වගෙම් ඊට එක් කර ඇති සජීවීකරණය වූ සිතියමත් ඉතාම වටිනවා. හරිම ඉහළයි අරුණි

  2. cyber Heart said, on ඔක්තෝබර් 11, 2016 at 2:01 පෙ.ව.

    ස්තූතියි ! අළුත් තොරතුරු ගොඩක් දැන ගත්තා http://cyberheartblog.blogspot.com/


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: