අරුණි ශපීරෝ‍ වෙතින්

නිදහස් වෙළඳාමට රහසිගත ගිවිසුම් අවශ්‍ය ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 19, 2016

1tpp2-e1455501134628

ලංකාවේ සමහරු අද එක්ටා නමින් හැඳින්වෙන ඉන්දියා-ලංකා වෙළඳ ගිවිසුම ගැන විරෝධය දක්වති. මෑතක දී යුරෝපීය යුනියනය සහ ඇමෙරිකාව අතර හදන්නට යන ආයෝජන එකමුතුව ගැන වූ නිදහස් වෙළඳ යෝජනා ගැන විරෝධය පාන්නට බෙල්ජියමේ දහස් ගණනක ජනතාවක් බ්‍රසල්ස් නගරයේ දී වීදි බැස්සහ. සටහනට එකතු කරන පින්තූරයේ දැක්වෙන්නේ 2015 දී බර්ලිනයේ පැවති විරෝධතා රැළියකි.

නිදහස් වෙළඳාමට ගිවිසුම් අවශ්‍ය නැත. බෙල්ජියමේ විරෝධය දක්වන ලද්දවුන් බොහොමය කියා සිටියේ ඔවුන් විරෝධය දක්වන්නේ වෙළඳ ගිවිසුම්වල රහසිගත බව ගැන කියායි.

එක්ටා මෙන්ම, TPP ගැන ද මහජනතාවට ලැබෙන විස්තර තුලින් පැහැදිලි තොරතුරු දැනගත හැකියාවක් ලබා දී නැත. යුරෝපීය කොමිසම බ්‍රසල්ස් හි ‘කියවන කාමරයක’ පවතින ගිවිසුමේ ලේඛන බලන්නට දේශපාලනඥයන්ට පමණක් අවසර දෙයි. EU කොමිසාරිස් සිසිලියා මැලම්ස්ට්‍රොම් කියන්නේ අවසන් වට ගණුදෙනු වල දී ඇතිවන වැදගත් වූ අන්තරාදායක තත්වයන් ආරක්ෂා කරගන්නට ඇති අවශ්‍යතාවය නිසා එසේ කරන්නට සිද්ධ වූ බවයි.

මේ රහසිගත කියවන කාමර වලට ඇතුල්වෙන්නට පෙර රහස්‍යභාවය රැකගන්නවා කියන එකඟතාවයකට අත්සන් තබා, මොබයිල් දුරකතන යනාදිය මුරකරුවන්ට බාර දිය යුතුයි. එකවර 8 දෙනෙකුට පමණක් ඇතුල්වන්නට හැකි වූ කාමරයේ අන්තර්ජාලයට එකතු විය නොහැකි පරිගණක පමණක් භාවිතයෙන් මේ ලියැකියැවිලි බලන්නට ලැබේ.

වෙළඳ ගිවිසුමෙන් ආර්ථික වර්ධනය සාධනය වන බවත්, රස්සා වැඩිවෙන බවත්, පරිසරය ආරක්ෂා කරගැනීමට වැඩියෙන් හැකියාව ලැබෙන බවත්, සෞඛ්‍ය හා ආරක්ෂිත නියාමන ලැබෙන බවත් පමණක් නොව බැංකු හා මුල්‍ය සේවාවන් ද දියුණු වන බවත් නායකත්වය කියයි. කෙටියෙන් කිව්වොත් මෙම ගිවිසුම තුලින් යුරෝපයේ ආශ්චර්යය දකින්නට හැකියාව ලැබේ!!

ජර්මනියේ සහ ප්‍රංශයේ ජනප්‍රිය දේශපාලන පක්ෂ මෙම ගිවිසුමට විරුද්ධ වෙති. ඔවුන් සලකන්නේ එයින් තම රටවල ඇති සමාජ සුබසාධනය කප්පාදුව පටන් ගැනෙනවා කියායි. ජර්මන් වැසියන් 70% ක් ගිවිසුමට එරෙහි බව මැයි මාසයේ සමීක්ෂණයක දී හෙළිවිණ. ලබන වසරේ දී ජර්මනියේ හා ප්‍රංශයේ මැතිවරණ පවතින බැවින් ඊට කළින් මෙය සම්මත කරගන්නට EU නායකත්වයට අවශ්‍යයයි.

ගිවිසුමේ අඩංගු දේවල් ගැන දැනගන්නට ලැබෙද්දී විරෝධය ද වැඩිවෙමින් පවතියි. TPP ගැන 2014 දී ඇමෙරිකන් වැසියන් 53% ක් කැමැත්ත දක්වා තිබිණ. වර්තමානයේ එය 18% කට බැස ඇත. බරක් ඔබාමාට ජනාධිපති තනතුරෙන් අයින් වෙන්නට පෙර එය විශාලතම වෙළඳ ගිවිසුම හැටියට තමන් ගෙනෙන්නට සමත් වූ තවත් ඵෛතිහාසික හපන්කමක් හැටියට එකතුකරන්නට අවශ්‍ය වී ඇත.

ගිවිසුම් මාර්ගයෙන් එළඹෙන නිදහස් වෙළඳාම් එකඟතාවයන් යනු ‘නියාමන තුලින් කරන වෙළඳාම’ මිසෙක නිදහස් වෙළඳාමක් නොවේ. පාර්ශවයන් අතර සිද්ධ වෙන සාකච්ඡා රහසිගතව තැබීමෙන් ඇමෙරිකන් සහ යුරෝපීය ජනතාවට එයින් ඇත්තෙන්ම යහපතක් වෙනවාදැයි සොයා බැලීමට ගිවිසුම් ගහන දේශපාලනඥයන්ට බැහැරෙන් සිටින ආර්ථික විශේෂඥයන්ට අවස්ථාවක් නොලැබී යයි. රහසිගත ස්වභාවයෙන් තැබීම නිසා ගිවිසුම් හි අරමුණ රටවැසියන්ට යහපතක් කරලීම ද නැත්නම් දේශපාලනඥයන්ට වාසි ලැබීම ද යන්න සැකය පහළ වේ.

ආණ්ඩුවේ වියදම් ආයෝජන හැටියට සලකන අය ලොව සිටිති. රජයක් බලහත්කාරයෙන් උදුරාගන්න බදු යනු දායක මුදල් හෝ ජනතාව කැමැත්තෙන් දෙන පංගුවක් හැටියට සලකන අය ලොව සිටිති. බදු ඉහළ දැමීම යනු අයවැය පරතරය අඩුකරලීමක් හැටියට සලකන අය ලොව සිටිති. මෙසේ සිතන අය වෙළඳාමට ගිවිසුම් අවශ්‍ය යැයි සිතති. අව්‍යාජ නිදහස් වෙළඳාමට ගිවිසුම් අවශ්‍ය නැත. ලොව ඕනෑම රජයක් තම පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්තෙන් සම්මත කළ නොහැකි පිළිවෙතක් සඳහා පිළියෙල කරගත් රහසිගත ගිවිසුමක් ‘වෙළඳ ගිවිසුමක්’ යැයි ලේබල් කරගන්නේ ජනතාව රවට්ටන්නට එයින් පහසුවෙන් හැකියාව ලැබෙන නිසයි.

නිදහස් වෙළඳාමට අව්‍යාජ අවස්ථාවක් උදා වූ දවසක දී ඕනෑම රටක මහජනතාවට එය ඉතා පහසුවෙන් හා ඉතා පැහැදිලි ලෙසින් දැකගන්නට හැකියාව ලැබේ. ඒ කොහොම ද? රටේ ආණ්ඩුව, ජනමාධ්‍ය, ආණ්ඩුවට හේත්තු වී මඩි තර කරගන්නා ව්‍යාපාර සියල්ලන්ම එයට විරුද්ධව වීදි බසින්නේ ද, අන්න එතැන දී මහජනතාවට අව්‍යාජ නිදහස් වෙළඳාම් අවස්ථාවක් පෑදී ඇති බව කියා පායි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: