අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් ජනාධිපතිවරණය 2016

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 27, 2016

image001-fixed

කළින් චන්දය ප්‍රකාශ කළ හැකියාව හෙවත් early voting ප්‍රකාශයට බොහෝ ප්‍රාන්තවල දැන් ඉඩකඩ විවෘතව පවතී. මෙය චන්ද පොළකට යෑමට නොහැකියාව නිසා තැපෑලෙන් ලිඛිතව චන්දය යැවීම නොවේ. කළින් චන්ද දැමීමට විවෘත වෙන ස්ථානයකට ගොස් චන්දය දැමීමට අවස්ථාව ලැබීමයි. එයින් මැතිවරණ දිනයේ පෝලිම් තදබදය අඩුකරගන්නට හැකියාව ලැබේ. එසේම තම කාර්යාලයේ යම් යම් අඩුපාඩු ඇත්නම් ඒවා නිරාකරණයට ද චන්ද නිලධාරීන්ට අවස්ථාව පෑදේ.

ලක්ෂයක් පමණ චන්දදායකයන් සිටින අපේ චන්ද දිස්ත්‍රික්කයේ ඔක්තෝබර් 26 වැනි දවසේ දී පමණක් ලිඛිත චන්ද හත්දහසකට වඩා ප්‍රමාණයක් ලැබිණ. කළින් චන්ද පොළවල් වෙතට ඇදෙන සංඛ්‍යාව අනුව මෙවර මැතිවරණයේ දී චන්දය ප්‍රකාශ කරන්නට වාර්තාගත පිරිසක් එකතු වේ යැයි අනුමානයක් ඇත.

ඒත්, දැවැන්ත උල්කාපාතයක් ‘පාත්කරගෙන’ ජනාධිපතිවරණය වහාම නිමා කරන්න යැයි ඉල්ලන ජනතාවක් දකින්නට හැකි රටකි අද ඇමෙරිකාව. ප්‍රධාන පක්ෂ දෙකේම තම අපේක්ෂකයාට අකමැත්ත දක්වන පිරිසක් සිටින ආකාරය අද සමාජ වෙබ් ජාල තුලින් පැහැදිලිවම දකින්නට හැකියි.

රිපබ්ලිකන් පක්ෂය තුල නායකත්වයේ ඇතුළුව එහි සුප්‍රසිද්ධ පාක්ෂිකයන් ද සිය පක්ෂයෙන් නාම පත්‍ර ලද අපේක්ෂකයාට චන්දය නොදෙන බව ප්‍රසිද්ධියේ කියා සිටිති. ඒ සඳහා මාධ්‍ය ප්‍රචාරය නොමඳව ලැබේ. ඩෙමොක්‍රැටික් පක්ෂයේ අපේක්ෂකයා ගැන අප්‍රසාදය අහන්නට ලැබෙන්නේ ඒ පක්ෂයේ සාමාන්‍ය පුද්ගලයන් වෙතින් පමණකි. ඩෙමොක්‍රැටික් පක්ෂ වේදිකාවට කඩේ යන හොලිවුඩ් නළු නිළියන් වැඩියෙන් සිටීම ඇමෙරිකන් ජනතාව අතර පුදුමයක් නොවේ. එහෙත් සාමාන්‍ය මිනිසුන් හොලිවුඩ් නළු නිළියන් ඩෙමොක්‍රැටික් පක්ෂයට එසේ කඩේ යෑම ප්‍රසිද්ධියේ හාස්‍යයට ලක් කරන ලද මුල් අවස්ථාව මෙවසර වෙන්නට පුළුවනි.

බොහෝ ජනමාධ්‍ය විසින් චන්දය ගැන මහජන මත විමසීම් ඩෙමොක්‍රැටික් පක්ෂයට වාසිදායක වෙන ලෙසකින් හැඩගස්වා ඇති බව පසුගියදා හෙළිවිණ. ඒ අතර විකිලීක්ස් බෙදාහරින ලද තොරතුරු ඩෙමොක්‍රැටික් පක්ෂයේ සහ ක්ලින්ටන් පදනමේ වංචා දූෂණ බොහොමයක් හෙළිදරව් කරන්නට සමත් විය. බෙන්ගාසියේ පළහිලව්ව වසන් කරන ලද ඊමේල් මකාදැමීම ගැන සංවාදයක් පැතිර නොගියාට ඒ ගැන කිසිදු අවංක පුද්ගලයෙකුට සතුටු විය නොහැකියි. බරක් ඔබාමාගේ සෞඛ්‍ය පනත ද දරාගන්නට නොහැකි වැය බරක් තමන් පිට පටවන ලද බව සාමාන්‍ය පුද්ගලයන්ට ඔප්පු වෙන්නට පටන් ගෙන ඇත. නික්සන්ව ගෙදර යවන්නට සමත් වූ ජනමාධ්‍ය කලාව දැන් මර නින්දේ යැයි ජනතාවට පැහැදිලිවම පෙනෙන කාලයකි මෙය. ඩෙමොක්‍රැටික් අපේක්ෂකයා ඉහළින් දිනනවා යැයි කියූ පරතරය එන්න එන්නම අඩු වී යන බවක් දකින්නට ලැබේ.

තෙවැනි පක්ෂ අපේක්ෂකයන් ප්‍රධාන පක්ෂවලට දැනෙන්නට කොනහන්නට සමත් වූ අවස්ථා තිබිය ද, රිදවන්නට සමත් වූ ඉතිහාසයක් ඇමෙරිකාවේ නැත. ලිබටේරියන් පක්ෂ අපේක්ෂකයා කල දුටු කල වල ඉහගන්නට සමත් වූයේ නැත. යළි චන්දය ඉල්ලන්නට නොහැකි ලෙසින් සිය නිල කාල සීමාව අවසන් වෙනතුරුම ජනතාව තෝරාපත් කරගත් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයෙක් වුවත්, තම ප්‍රාන්තය බාරගත්තාට වඩා හොඳ ආර්ථික සහ සමාජයීය තත්වයකින් ආපහු බාරදෙන්නට සමත් වුවත්, දෙපැත්තේම අය වැඩියෙන්ම කැමති සමාජ ප්‍රතිපත්ති සඳහා සත්‍යයෙන්ම පෙනී සිටින අයෙක් වුවත් (ඒ ගැන ජනතාවට ඇති අවබෝධය මඳ බැවින්), එමෙන්ම ඔහුව හමු වී කතාබහ කර ඇති අයෙක් හැටියට මම අත්දුටු ඔහු තුල ජනකාන්ත භාවයක් (charisma) යාන්තමින් හෝ ගෑවී නැතිකම නිසාත්, අනිත් දෙන්නා කරට කර යෑම නිසා පැත්තකට සිටින ඔහුට ජයක් ලැබුණොත් එය මහා විශාල පුදුමයකි.

මැතිවරණයක මුල් කාලයේ දී තමන්ගේ පක්ෂයට රිදවන්නට තෙවැනි පක්ෂ චන්දය දෙනවා යැයි කියන ජනතාව චන්දය දා සත්‍යයෙන් එසේ නොකරන බව මැතිවරණ ප්‍රතිඵල වලින් යළි යළිත් දකින්නට හැකියි. වැඩියෙන් සිද්ධ වනුයේ තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයාට ඇති අප්‍රසාදය හෝ පිළිකුල නිසා චන්ද පොළට නොයෑමයි. සියළු පාර්ශවයන් තම පාක්ෂිකයන්ව චන්ද පොළට දක්කන්නට වෙහෙසෙන හේතුව මෙයයි.

4 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on ඔක්තෝබර් 28, 2016 at 1:47 පෙ.ව.

    හිලරි නෝන දිනය් නේ?

  2. Nuwan Samaranayake said, on ඔක්තෝබර් 28, 2016 at 5:00 ප.ව.

    why do you only write a paragraph about Clinton’s email and assuming a cover up by media yet failed to mention all the issues with Trump ? That clearly shows your bias.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: