අරුණි ශපීරෝ‍ වෙතින්

කිසිත් නොදන්නෝ හෙවත් Know Nothings පක්ෂය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 1, 2016

image024

මෙවර චන්දය ඉල්ලන ජනාධිපති අපේක්ෂකයන් ගැන රටේ කිසිවෙකුට ප්‍රීතියෙන් උද්දාම වන්නට නොහැකි තත්වයක් තිබුණ ද, ක්ලින්ටන්-ට්‍රම්ප් ජනාධිපතිවරණ පොරයට වැඩියෙන් නරක වූවක් ඇමෙරිකන් ඉතිහාසයට එකතුයි. ඒ 1856 මැතිවරණයයි. ඔය තියෙන්නේ ඒ සටනේ මඩ පෝස්ටරයකි.

මුල් ඇමෙරිකාවේ දේශපාලන පක්ෂ නොතිබුණි. ජෝර්ජ් වොෂිංටන් 1796 දී විශ්‍රාම යද්දී පක්ෂ වලට බෙදී දේශපාලන සටන්වල යෙදීම රටට කොතරම් අහිතකරදැයි අනතුරු අඟවන ලද්දේය. නිරතුරු අවධානයෙන් සිට පක්ෂ වලට බෙදීම වළක්වා ගත යුතු වූ වැරද්දක් හැටියට ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් පෙන්වා දී ඇත. “මට දිව්‍යලෝකයට යන්න පක්ෂයක් නැතිව බැරි නම්, එහෙනම් මම එහෙ යන්නේ නැතිව ඉන්නම්,” යැයි 1789 දී තෝමස් ජෙෆර්සන් කීවේය.

එහෙත් 1787 දී හැමිල්ටන් සමඟ එකතු වූ දේශපාලකයන් තම අදහස් මොනවාදැයි කියා පෑමට තමන්ව “ෆෙඩරලිස්ට්” ලා හැටියට හඳුන්වා ගත්හ. එය ඇමෙරිකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය විය. උතුරේ ව්‍යපාරිකයන්, බැංකුකරුවන්, වෙළෙන්ඳන් මෙම ෆෙඩරල් පක්ෂයට සහාය දුන්හ. ප්‍රාග්ධනය සහ කර්මාන්ත සඳහා ෆෙඩරල් ආණ්ඩුවේ රැකවරණය අවශ්‍ය යැයි කියූ ඔවුන්ගේ විශ්වාසය වූයේ ශක්තිමත් ජාතික ආණ්ඩුවක් (ෆෙඩරල් ආණ්ඩුවක්) ගෙන ඒමටයි.

1796 දී ජෙෆර්සන් වටා එකතු වූ දේශපාලකයන් ෆෙඩරලිස්ට්-විරෝධීන් හැටියට හැඳින්වෙන්නට පටන් ගනිද්දී ඔවුන් තම කල්ලිය ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනරජයට පක්ෂ වූවන් හෙවත් ඩෙමොක්‍රැටික්-රිපබ්ලිකන්ලා යැයි හඳුන්වා ගත්හ. වතු වැවිලිකරුවන්, කුඩා ගොවීන්, කුඩා කාර්මික ශිල්පීන් යනාදීන් මෙම ඩෙමොක්‍රැටික්-රිපබ්ලිකන් පක්ෂයට සහාය දුන්හ. නගර සහ ප්‍රාන්ත ආණ්ඩු අත බහුතර බලය තබමින් ෆෙඩරල් ආණ්ඩුවේ බලය සීමිත කිරීම ඔවුන්ගේ විශ්වාසය වූහ.

ප්‍රධාන වශයෙන් ඇමෙරිකාවේ ආරම්භයේ පටන් පැවතියේ මේ අදහස් දෙක, එනම් බලයෙන් වැඩි ආණ්ඩුව සහ සීමිත ආණ්ඩුව තෝරාගැනීම අතර ගැටුමකි.

ෆෙඩරලිස්ට් පක්ෂය බිහිවීමෙන් පසුව, තම තමන්ගේ පක්ෂය දිනවන්නට හදාගත් හවුල් වෙන් වීමත්, කැඩී ගිය අය විසින් වෙනත් පක්ෂ හදාගැනීමත් දකින්නට ලැබුණි. ජනමතය වෙනස් වෙද්දී දේශපාලන පක්ෂයේ අදහස් ද වෙනස් වූහ.

1856 වෙද්දී ඩෙමොක්‍රැටික් පක්ෂයෙන් පත් වී සිටි ජනාධිපතිවරයා වූ ෆ්‍රෑන්ක්ලින් පියර්ස්, වහල්ක්‍රමය අහෝසිය වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරයේ නැඟ ඒම රටේ සේවෛරී භාවයට ඇති ප්‍රධාන තර්ජනය හැටියට සැලකීය. වහල් ක්‍රමයට අවසර තිබි ප්‍රාන්ත වලින් එයට අවසර නැති ප්‍රාන්ත වලට පළායන වහලුන් අල්ලා ආපහු වහල් හිමියන්ට බාරදීමට නීති සකස් කරන ලද්දේ ඔහුයි. ස්පාඤ්ඤයෙන් කියුබාව මිල දී ගෙන කළු හමැති අයව ඊට පිටුවහල් කරන්නට අදහසක් එවක නායකත්වයට තිබිණ. නෙබ්රස්කා-කැන්සාස් පනත තුලින් බටහිර ප්‍රාන්ත සඳහා නීති සම්පාදනයෙන් ස්වදේශීන්ට වාසස්ථාන අහිමියත්, වහල් ක්‍රමය පවත්වාගෙන යන්නට අවශ්‍ය වූවන් අතර සහ එය අහෝසියට අවශ්‍ය වූවන් අතර ගැටුම ත්‍රීව වී සිවිල් යුද්ධය කරා යන්නටත් පියර්ස් පාර කැපුවේය. බලයට පත්වෙද්දී ජනප්‍රියව සිටිය ද, ඔහු මැතිවරණය ළං වෙද්දී ජනතාවගේ අප්‍රසාදයට පත් වී සිටියේය. ඒ නිසා ඩෙමොක්‍රැටික් පක්ෂය ඔහු ඉවත් කර ජේම්ස් බියුකැනන් හට 1856 ජනාධිපතිවරණයේ නාමපත්‍ර පිළිගැන්වීය. වයස 65 දී බියුකැනන් එතෙක් ඇමෙරිකන් ඉතිහාසයේ ජනාධිපතිවරණයට තරඟ කරන ලද වයස්ගතම තැනැත්තා විය. මෙවර ජනාධිපති අපේක්ෂයක් දෙදෙනාම බියුකැනන්ට වඩා වයසින් වැඩියි!!!

1850 ගණන් යනු ජර්මනියෙන් සහ අයර්ලන්තයෙන් සංක්‍රමණිකයන් විශාල වශයෙන් ඇමෙරිකාවට ඇදී ආ කාලයකි. ඔවුන් බොහොමය කතෝලික ආගම ඇදහූ අයයි. ගොවියන් හා කම්කරුවන් වූ සංක්‍රමණිකයන් ප්‍රධාන නගරයන්හි හිරවීමෙන් සුබසාධන වැය වැඩි වීමත් සහ අපරාධ වැඩිවීමත් පැහැදිලිවම දකින්නට ලැබිණ. සංක්‍රමණිකයන් ගැන මහජන අප්‍රසාදය කුලප්පු කරවන්නට කදිම පරිසරයක් ගොඩනැඟී තිබිණ.

ඩෙමොක්‍රැටික් පක්ෂය වහල්ක්‍රමයට දැක්වූ පාක්ෂික බව ගැන, ස්වදේශීන් බටහිරෙන් ද පන්නා දැමීමේ මෙහෙයුම් ගැන, සහ කළු හමැති අයව කැරීබියන් දූපත්වලට පිටුවහල් කිරීමේ උත්සාහයන් ගැන ජනතාව අප්‍රසාදය දැක්වූහ. රිපබ්ලිකන් පක්ෂය වහල්ක්‍රමයට විරෝධය දැක්වීම නිසා ඔවුනට දකුණේ චන්ද නොලැබෙන ආකාරය දකින්නට ලැබිණ. ඒ අස්සේ 1856 දී ඇමෙරිකන් ප්‍රධාන පක්ෂ දෙක සමඟ තෙවැනි පක්ෂයක් ගැටුණු ප්‍රථම අවස්ථාව දකින්නට ලැබුණි.

නිව් යෝර්ක් නගරයේ චාල්ස් බී. ඇලන් නැමැත්තා 1849 දී නිර්මාණය කළ මෙය රහසිගත සංවිධානයකි. ජර්මන් සහ අයිරිශ් කතෝලික සංක්‍රමණිකයන් ගැන අප්‍රසාදය දැක්වූ මොවුන්ගේ අරමුණ වූයේ කතෝලික සංක්‍රමණිකයන්ට අවසර නොලැබෙන සංවිධානයක් හදා ගැනීමයි. එය පටන් ගනිද්දී දේශපාලන පක්ෂයක් නොවීය. සංවිධානයේ ගිවිසුම් පොරොන්දුවක් තිබිණ. සංවිධානයේ වැඩ ගැන කවුරු හෝ අහන්නේ ද, පිළිතුරු දිය යුතු වූයේ, “මං මුකුත් දන්නේ නෑ,” කියායි. මේ නිසා සංවිධානය ‘නෝ නතින්ග්ස්’ (Know Nothings) යැයි හැඳින්වෙන්නට පටන් ගැණුනි.

1855 දී ඩෙමොක්‍රැටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙකම ජනතා අප්‍රසාදයට ලක් වී තිබිය දී, මේ නෝ නතින්ග්ස්ලා දේශපාලන පක්ෂයක් හැටියට ඉදිරිපත් වූයේ ඇමෙරිකන් පක්ෂය යන ලේබලයෙන්. අයිරිශ් සහ ජර්මන් සංක්‍රමණිකයන් නිසා උරණ වූ ජනතාව සිටියේ උතුරේ ප්‍රධාන නගරවල පමණකි. ඒ නිසා නෝ නතින්ග්ස්ලා ගැන ගම්බද ජනතාව එතරම් උනන්දුවක් නොදැක්වූහ. එසේම දකුණේ පැවති වහල්ක්‍රමයට පක්ෂව මෙන්ම විරෝධීව ද නෝ නතිග්ස්ලා බෙදී සිටියහ.

2016 ජනාධිපතිවරණය බහුතර ඇමෙරිකන් වැසියන්ගේ අප්‍රසාදයට පත්වූවකි. චන්ද අපේක්ෂකයන් දෙදෙනා මෙන්ම පක්ෂ දෙකේම නායකත්වයේ ඉන්නා අනෙකුත් අයත්, සත්‍ය සඟවන මාධ්‍ය, ඇටර්නි ජනරාල්වරියට සහ FBI ට පවා දෙපැත්තේම බහුතර පාක්ෂිකයන්ගේ අකමැත්ත, අප්‍රසාදය හා සමහර විට පිළිකුල එල්ල වී ඇත.

ඒ අස්සේ වර්තමාන ජනාධිපතිවරණය 1856 ට සසඳන්නට උත්සාහ ගන්නා අය සිටිති. ප්‍රධාන පක්ෂ දෙක අතර ඇති ගැටුම්කාරී තත්වය සහ ප්‍රධාන අපේක්ෂකයන් අතර දකින්නට හැකි ලැජ්ජා සහගත වූ හැදියාව හැරෙන්නට 1856 ත් 2016 ත් අතර වෙන සමානකමක් නැත. ඩොනල්ඩ් ට්‍රම්ප්ට නාමපත්‍ර ලැබීම නෝ නතින්ග්ස් අදහස්වලට යළි පණ ලැබීමක් නොවේ. එය රිපබ්ලිකන් පක්ෂයේ නායකත්වය ගැන කළකිරුණු ඔවුන්ගේම පාක්ෂිකයන් එල්ල කරන ලද පහරකි.

ජනමතය වෙනස් වෙද්දී දේශපාලන පක්ෂ ඇති වී නැති වී යන ආකාරය ඇමෙරිකන් ඉතිහාසය පුරා දකින්නට හැකියි. නෝ නතින්ග්ස්ලා නිසා 1856 දී බලයට පත්ව, වහල්ක්‍රමය පවත්වාගෙන යන්නට නීති සකස් කළ ඩෙමොක්‍රැටික් පක්ෂය 1860 වෙද්දී කොටස් තුනකට බෙදී ගියහ. ඊ ළඟ වසර 72 තුල දී ඩෙමොක්‍රැටික් පක්ෂයෙන් පත්වූයේ ජනාධිපතිවරු දෙදෙනෙකු පමණකි.

පසු කාලයක දී ඩෙමොක්‍රැටික් පක්ෂයෙන් ජනාධිපති වූ ජෝන් එෆ්. කෙනඩි කතෝලිකයෙකි. අයිරිශ් සම්භවයකින් යුතු වූවෙකි. නෝ නතින්ග්ස් සංවිධානය පැතිර ගිය පළාතේම අයෙකි. අද ඩෙමොක්‍රැටික් පක්ෂය සංක්‍රමණිකයන්ගේ මෙන්ම කළු අයගේ ද පක්ෂය හැටියට පිළිගැනේ. එම පිරිස්වල යහපත වෙනුවෙන් පක්ෂය කුමන කර්තව්‍යයක් ඉටු කර ඇත්දැයි සොයා බලන්නට, එයාකාරයෙන් දකින බොහෝ පිරිසකට කිසිදු උවමනාවක් නැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: