අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් ජනාධිපතිවරණ ක්‍රමය ගැන ඩිංගක්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 2, 2016

libertarian_party_us_logo-svg

සියවස් දෙකක ඇමෙරිකන් ඉතිහාසයේ කිසිදු මහජන නියෝජිත තනතුරක් නොදැරූ අයෙකු හෝ මිලිටරි පසුබිමක් නොමැති වූ අයෙකු රටේ ජනාධිපතිවරයා වී නැත. 2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවොත් ඔහු එසේ ඉතිහාසයට එකතුවෙන ප්‍රථමයා වෙයි. 1872 දී වික්ටෝරියා වුඩ්හිල් ජනාධිපති අපේක්ෂිකාවක් වූවාය. 2016 දී හිලරි ක්ලින්ටන් දිනුවොත් ඇය තනතුරට පත්වන ප්‍රථම කාන්තාව හැටියට ඉතිහාසයට එකතුවෙයි.

වර්තමානයේ භාවිතා වන ලොව පැරණිතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ කෙටිම වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද පවතින්නේ ඇමෙරිකාවෙහිය. අත්සන් සහ ප්‍රතිසංශෝධන ද ඇතුළුව එහි වචන සංඛ්‍යාව අටදහසකට අඩුයි. එම ව්‍යවස්ථාව වැඩියෙන් සඳහන් කරන්නේ ආණ්ඩුවට නොමැති බලය ගැනයි. ඒත් අද ඇමෙරිකන් පුරවැසියන් වී සිටින බොහොමයට කිසිම අවබෝධයක් නොමැති වූව ද එයයි.

ඇමෙරිකන් ව්‍යවස්ථාව ලියද්දී කට්ටියකට උවමනා වූයේ ජනාධිපති තනතුරට ජනප්‍රියම පුද්ගලයාව වැඩි චන්ද වලින් තෝරාගන්නා ක්‍රමයයි. තවත් කට්ටියකට උවමනා වූයේ දිස්ත්‍රික්ක වලින් ලැබෙන චන්ද අනුව රටේ සියල්ලන්ගේම වැඩි කැමැත්ත ඇතිව ජනාධිපති තනතුරට සුදුසු පුද්ගලයා තෝරාගන්නා ක්‍රමයයි. මේ පිරිස් දෙකම සතුටු කරනු පිණිස ව්‍යවස්ථාව හැදී ඇත්තේ ජනප්‍රිය චන්ද සහ දිස්ත්‍රික්ක ක්‍රමයේ චන්ද යන දෙකේ එකතුවෙනි.

1820 ජනාධිපතිවරණයේ දී ජේම්ස් මොන්රෝ එක දිස්ත්‍රික්කයක් හැරෙන්නට එවක පැවති දිස්ත්‍රික්ක චන්ද සියල්ල දිනාගැනීමට සමත් විය. නිව් හැම්ප්ශර් ප්‍රාන්තයේ නියෝජිතයාට උවමනා වූයේ සියළු දිස්ත්‍රික්ක චන්දයෙන් දිනූ එකම ජනාධිපතිවරයා හැටියට ඇමෙරිකන් ඉතිහාසයේ ජෝර්ජ් වොෂිංටන්ගේ නම පමණක් සටහන් කර තබන්නට නිසා ඔහු චන්දය දීමෙන් වැළකී සිටි බව කියැවේ.

චන්ද දිස්ත්‍රික්ක ක්‍රමයෙන් ඇමෙරිකන් පුරවැසියන් ඍජුවම ජනාධිපතිවරයාව හෝ උප ජනාධිපතිවරයාව තෝරාගන්නේ නැත. අපි ගැරී ජොන්සන්ට චන්දය දෙනවිට අපි ඇත්තෙන්ම චන්දය දෙන්නේ ගැරී ජොන්සන් වෙනුවෙන් චන්දය ප්‍රකාශ කරන බවට පොරොන්දු වූ අපේ ප්‍රාන්තයේ ඉලෙක්ටර්ටයි. සියළු ප්‍රාන්ත වැසියන් අතර ජොන්සන් වැඩි චන්ද ලබා දිනුවොත් අපේ ඉලෙක්ටර් අපේ කැමැත්ත අනුව ඒ චන්දය කොංග්‍රසයට දන්වන්නට බැඳී සිටියි. ෆෙඩරල් සේවකයන්ට ඉලෙක්ටර් හැටියට වැඩ කිරීම තහනම්. නොවැම්බර් මැතිවරණයෙන් පසුව සිය ප්‍රාන්ත අගනුවරට ගොස් පොරොන්දු වූ පරිද්දෙන් ජනාධිපතිවරයාට සහ සහ උප ජනාධිපතිවරයාට චන්දය ප්‍රකාශ කරන්නේ ඉලෙක්ටර්ස්ලා වෙති. පොරොන්දුව කඩකළහොත් ඔවුනට සිය ප්‍රාන්තයෙන් දඬුවම් හිමිවේ.

සිවිල් යුද්ධයේ සිට මේ දක්වා (2000 දී හැරෙන්නට) ඇමෙරිකන් ජනාධිපතිවරු ජනප්‍රිය චන්දයෙන් සහ චන්ද දිස්ත්‍රික්ක වලින් ද දිනූහ. 2000 ජනාධිපතිවරණයේ දී පුරවැසියන් වෙතින් ජනප්‍රිය චන්ද සංඛ්‍යාව වැඩියෙන් ලබාගත් ඇල් ගෝර් වැඩිම චන්ද දිස්ත්‍රික්ක සංඛ්‍යාව දිනාගන්නට අසමත් විය. ඔහුට ප්‍රාන්ත 20 ක දිනුම සහ වොෂිංටන් දිස්ත්‍රික්කය ලැබෙද්දී ජෝර්ජ් බුෂ්ට ප්‍රාන්ත 30 ක් දිනාගන්නට හැකිවිය. එහෙයින් බුෂ් දිස්ත්‍රික්ක 271 ක චන්ද ලබාගනිද්දී ගෝර්ට ලැබුනේ දිස්ත්‍රික්ක 266 ක චන්ද පමණකි.

ජනාධිපතිවරණයක දී දකින්නට ලැබෙන අඩුම චන්ද පරතරය වූයේ 2000 දී ජෝර්ජ් ඩබ්. බුෂ් සහ ඇල් ගෝර් අතරයි. එය ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ දී නොව සිදු වූයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේය. ඇල් ගෝර් විසින් ජනප්‍රිය චන්ද 0.1% කට වඩා අඩු ආහිතයකින් නිව් මෙක්සිකෝ ප්‍රාන්තය දිනුවේය. ඒ නිසා, යාන්තමින් හෝ දිනන්නාට සියල්ල ලැබෙන ක්‍රමය අනුව ඇල් ගෝර් හට චන්ද 366 කින් එහි දිස්ත්‍රික්ක 5 ම දිනාගන්නට හැකිවිය. ෆ්ලෝරීඩාවේ චන්ද නැවත ගණන් කිරීම ගැන ගෝර් තුල විශ්වාසයක් නොවීය. ඔහු පරාජය බාරගත් බැවින් නැවත ගණන් කිරීම මැද දී සුපිරි උසාවි නියෝගයකින් ඇණ හිටිණ. ඉතින් රටේ සම්පූර්ණ චන්ද දිස්ත්‍රික්ක ගණන සලකද්දී ඔහු පරාජය විය.

ඇමෙරිකාවේ ඇත්තේ එක චන්දයක් එක අපේක්ෂකයෙකුට දෙන ක්‍රමයකි. වැඩිම චන්ද ලබාගන්නාට සියල්ල දිනාගත හැකි ජයග්‍රහණයක් ලැබේ. සමහර යුරෝපීය රටවල දී මෙන් අඩුවෙන් චන්ද ලැබුණ පක්ෂයක නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන හැකියාවක් මෙහි නැත.

2016 දී සෙනෙට් සභාව සහ නියෝජිත සභාව යන දෙකේම රිපබ්ලිකන් සභිකයන් වැඩියෙන් සිටිති. වැඩි චන්ද වලින් සියල්ල දිනන ක්‍රමය නිසා එහි වෙනසක් සිදු නොවී හිලරි ක්ලින්ටන් ජනාධිපතිවරිය වුවහොත් ඇයට රිපබ්ලිකන් සභිකයන්ගේ සහයෝගය නැතිව පනතක් සම්මත කරගැනීම හෝ සුපිරි උසාවියේ පත්වීමක් සම්මතය දුෂ්කර විය හැකියි. එහෙත් වර්තමාන කොංග්‍රසයේ රිපබ්ලිකන් නායකත්වය ඩොනල්ඩ් ට්‍රම්ප්ට අකමැති හෙයින් ඔහු දිනුවොත් ද දකින්නට ලැබෙන්නේ මෑත කාලයක ප්‍රථම වතාවට කොංග්‍රසයේ රිපබ්ලිකන් සහ ඩෙමොක්‍රැටික් එකමුතුවක් විය හැකියි. කොංග්‍රසයේ අවසරය නැතිව ජනාධිපතිවරයෙකුට කළ හැකි කටයුතු සීමිත කරන ලද්දේ රටේ ව්‍යවස්ථාවයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයාව ප්‍රධාන අණදෙන නිලධාරියා හැටියට ද හැඳින්වේ. යුද්ධයක දී (මෑත කාලීන ඇමෙරිකාව හැම විටම කොහේ හෝ යුද්ධයක නියැළෙන නිසා) ජනාධිපතිවරයා එහි ප්‍රධානියා වෙයි. ජනාධිපතිවරයාට යුද ප්‍රකාශ කරන්නට කොංග්‍රසයේ අනුමැතිය නොමැතිව නොහැකියි. එහෙත් විදේශ ප්‍රතිපත්ති සකස් කළ හැකියි. වර්තමානයේ එළිබැස ඇති ඊමේල් මගෝඩියෙන් පෙනෙන පරිදි රාජ්‍ය ලේකම්තුමියට (විදේශ ඇමති තනතුර) රටේ විදේශ ප්‍රතිපත්තිය තමනට කැමති අයුරින් හසුරුවන්නට හැකි බලය රටේ ව්‍යවස්ථාවෙන් ලැබුණක් නොවේ.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ලාංඡන, බූරුවෙක්ගේ සංකේතයෙන් ඩෙමොක්‍රැටික් ද, අලියෙක්ගේ සංකේතයෙන් රිපබ්ලිකන් ද වෙති. රිපබ්ලිකන් පක්ෂයේ පාට රතු වන අතර ඩෙමොක්‍රැටික් පක්ෂයේ පාට නිල් පැහැයයි. තෙවැනි පක්ෂයක් හැටියට රටෙන්ම 1% කට ආසන්න චන්ද දිනන්නට සමත් වී සිටින 2016 දී මහජන තෝරාපත්වීම් වලින් ප්‍රාන්ත තනතුරු 147 ක් දිනා සිටින ලිබටේරියන් පක්ෂයේ සංකේතය පන්දමකි. එහි පාට රත්තරන්!

චන්දයකින් තෝරා ගැනෙන්නේ නැතිව ඇමෙරිකාවේ මේ දක්වා ජනාධිපති වූ එකම පුද්ගලයා ජෙරල්ඩ් ෆෝඩ් ය. 1973 දී ස්පීරෝ ඇග්නිව් උප ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් ෆෝඩ් උප ජනාධිපතිවරයා වූයේ චන්ද විමසුමක් නොමැතිවය. අනතුරුව 1974 දී රිචඩ් නික්සන් ඉල්ලා අස්වීමෙන් ෆෝඩ් ජනාධිපතිවරයා විය.

One Response

Subscribe to comments with RSS.

  1. amilac2014 said, on නොවැම්බර් 3, 2016 at 8:14 පෙ.ව.

    වැදගත් ලේඛනයක්..මෙයින් යම්කිසි ප්‍රමාණයක අවබෝධයක් මේ ගැන ලබාගත්තා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: