අරුණි ශපීරෝ‍ වෙතින්

නීතියට පිටු පෑ ඇමෙරිකන් ජනාධිපතිවරු

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 5, 2016

“නීතිය විපර්යාස කර ඇත! ඒ සමඟින් පොලිස් බලය ද විපර්යාස කර ඇත! මා කියන්නේ නීතිය, එහි නිසි අරමුණ ඉටු කිරීම වෙනුවට ඊට පටහැනි අරමුණ වෙනුවෙන් යොදාගෙන ඇත! සෑම කෑදරකමක් සඳහාම මුල්වෙන අවිය වී ඇත්තේ නීතියයි! අපරාධ විමසීම වෙනුවට, එය විසින් දඬුවම් දිය යුත්තට වරදකරු වී ඇත්තේ නීතියයි! මෙය සත්‍යයක් නම්, එය අතිශය වැදගත්ය, මගේ සෙසු පුරවැසියන්ව මේ ගැන දැනුවත් කිරීම මගේ ආචාර ධාර්මික වගකීමයි.” –ෆෙඩරික් බැස්ටියාට්, 1850

නීතියේ නිසි ක්‍රියාමාර්ගය නොමැතිව කිසිම පුද්ගලයෙකුගේ ජීවිතය, නිදහස, හෝ දේපල අහිමිවිය නොයුතු බව කියැවෙන්නේ ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පස්වැනි සංශෝධනයේය. ඒත් ඇමෙරිකන් ඉතිහාසය පුරා නිදහස සහ ආරක්ෂාව ගැන වූ ගැටුම ජනරජය තරම්ම පැරණි වූවකි.

ඇමෙරිකාවේ දෙවැනි ජනාධිපතිවරයා වූ ජෝන් ඇඩම්ස් නීතිඥයෙකි. දේශපාලනික න්‍යායවාදියෙකි. පළමු උප ජනාධිපතිවරයා ද වූ ඔහු ශක්තිමත් ෆෙඩරල් ආණ්ඩුවක් කැමති වූයෙකි.

භාෂණයට ඇති නිදහස් අයිතිය කප්පාදු කරන නීතියක් කොංග්‍රසයක් විසින් ගෙනෙන්නේ නැතැයි, කියන පළමු සංශෝධනය කඩවෙන්නේ ව්‍යවස්ථාවට තැබූ අත්සන්වල තීන්ත වියළී යන්නටත් පෙරයි. 1798 දී ෆෙඩරලිස්ට්ලා බහුතරය වූ කොංග්‍රසයෙන් ඉදිරිපත් වූ පනත් හතරකින් සමන්විත Alien and Sedition Acts ඇඩම්ස් විසින් අත්සන් කරන ලද්දේය. රටට හානිකර යැයි සිතෙන පුරවැසියන්ව සිරගත කිරීමට සහ පුරවැසියන් නොවූ සංක්‍රමණියන්ව රටෙන් පිටුවහල් කිරීමට බලය මේ පනත් වලින් ජනාධිපතිට පවරා ගැනිණ. එයින් සංක්‍රමණියන්ට පුරවැසිකම ලබාගැනීම දුෂ්කර විය. අසත්‍ය ප්‍රකාශය සහ ෆෙඩරල් ආණ්ඩුව විවේචනය කිරීම අපරාධ යැයි එයින් සම්මත විය.

මෙම පනත් ඔහුගේ ආණ්ඩුව සම්මත කරගත්තේ ඇමෙරිකාව හෝ ප්‍රංශය එකිනෙකා සමඟ යුද ප්‍රකාශ කර නොතිබි අවස්ථාවක දී ය. යුද්ධයක් සඳහා අර අඳිමින් නාවුක හා හමුදා බලය වැඩි කරමින්, යුද නැව් හදමින්, ඒ සඳහා ජනතාවට බදු බර පටවමින්, මේ පනත් ගෙනෙන ලද්දේ ජාතික ආරක්ෂාව පිණිස යැයි ඔහුගේ ආණ්ඩුව කීය. රජයේ බලය වැඩිකරගන්නට තැත් දරන ෆෙඩරලිස්ට් පක්ෂය සමඟ එකඟ නොවූ අයගේ නිදහස් ප්‍රකාශයට ඇති අයිතිය උල්ලංඝණය වෙනවා යැයි පනතට විවේචනයට ලක්වුණි.

ප්‍රංශය සමඟ යුද්ධය මඟ හරවා ගැනුනත්, මේ පනත් හතරෙන් තුනක් තෝමස් ජෙෆර්සන් බලයට ඒමෙන් පසුව අහෝසි වී යන්නට ඉඩ දෙනු ලැබුවත්, පරදේශ හතුරන්ගේ පනත (Alien Enemies Act) එහෙමම තියෙන්නට හැරියහ. දෙවැනි ලෝක යුද්ධයේ දී ජපන්, ජර්මන් සහ ඉතාලි යනාදීන්ව සිරකඳවුරු වලට ගාල් කරන බලය ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට් යොදා ගන්නේ ඒ පනතෙන්. හැරී ටෲමන් ද හතුරු රටවලින් පැමිණ සිටි සංක්‍රමණිකයන්ව සිරගත කර පසුව පිටුවහල් කරන්නට මේ පනත යොදාගත්තේය.

හතුරු රටක් සමඟ සාම ගිවිසුමක් අත්සන් කරන තුරු ගැටුම් නැති වුනත් පනතේ බලය ජනාධිපති අත තිබේ යැයි 1948 දී සුපිරි උසාවිය කියා සිටියේය. එයාකාරයෙන් සංශෝධනය වූ මේ පනතෙන් ජනාධිපතිට ලැබෙන බලය තවමත් එලෙසින්ම පවතී. එයින් ව්‍යවස්ථාවේ නිදහස් ප්‍රකාශයට ඇති අයිතිය උල්ලංඝණය වෙනවා යැයි කියන විවේචකයන් අදත් සිටිති.

ඒබ්‍රහැම් ලින්කන් ද නීතීඥයෙකි. සිවිල් යුද්ධයට පෙර උතුරේ බොහොමයකට, වහල් විරෝධීන්ට පවා සාමකාමීව දකුණෙන් ඉවත්වීමට උවමනාව තිබිණ. දකුණු ප්‍රාන්තවලට හමුදා බලය යොදා යුනියනයේ තබාගැනීමට ගන්නා වෑයම ගැන දැඩි විරෝධතාවයක් රටේ ගොඩනැඟෙමින් පැවතිණ. පළමු මැනසාස් හි සටනේ ෆෙඩරල් හමුදාවේ පරාජයෙන් මේ හැඟීම් තවත් උත්සන්න විය.

ඉතින් දකුණ ආක්‍රමණයට ගොඩනැඟෙමින් තිබූ අප්‍රසාදය නවත්වන්නට ඔහු හේබයේස් කෝපුස් රිට් ආඥාවන් ඇණහිටුවන ලදි. ඕනෑම පුද්ගලයෙකුව විමසීමකින් තොරව බන්ධනාගාරයට දමත හැකි බලය ආණ්ඩුවට සීමා කරන නීතිමය ආරක්ෂාව ලැබෙන්නේ හබායස් කෝපස් හෙවත් පුද්ගලයා ඉදිරිපත් කරනු කියන රිට් ආඥා වෙතිනි. 1861 අප්‍රේල් 27 වැනිදා ලින්කන් විසින් ව්‍යවස්ථානුකූල නිදහස එසේ රටවැසියනට අහිමි කළේය.

ජනාධිපතිවරයා හැටියට එසේ කළ හැකි බලයක් ලින්කන්ට නැතැයි සුපිරි උසාවි අගවිනිසුරු රොජර් බී. ටේනි කියා සිටියේය. කොංග්‍රසයේ සහාය ලැබුණත් නඩු නොයා සිරකරුවන් රඳවා ගැනීමේ බලයක් නීතියෙන් ලබාගැනීමට නොහැකි යැයි ටේනි තර්ක කළේය. ඒ වෙද්දී 18,000 ක් පමණ එසේ අත්අඩංගුවට ගෙන රඳවා ගෙන තිබිණ. රිපබ්ලිකන් බහුතරයෙන් වූ කොංග්‍රසය ඇණහිටුවීම සම්මත කරගෙන නොතිබිණ. හමුදාවට බැඳෙන්න එපා යැයි කියූ අයවත් මේ යටතේ සිරගත කරන ලදි. මාෂල් නීතිය යටතේ කටකතා අනුව පවා උතුරේ වැසියන්ව හිතුමතයේ අත්අඩංගුවට ගැනිණ. මේ ඇණහිටුවීම ලින්කන්ගේ සම්පූර්ණ පාලන සමය තුල පැවතිණ.

2001 සැප්තැම්බර් 11 වැනිදා තස්ත්‍රවාදී ප්‍රහාරයත් සමඟ ජෝර්ජ් ඩබ්. බුෂ් ඇතුළු රිපබ්ලිකන් කොංග්‍රසය විසින් ලහිලහියේ සම්මත කරගත් දේශප්‍රේමී පනත තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවැනි සංශෝධනය කප්පාදුවට ලක්විය. බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වූ ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් යටත්විජිත වැසියන්ගේ නිවාස තුලට කඩා පනින්න නීත්‍යානුකූල බලය ලැබුනේ සෝදිසි වරෙන්තු වලිනි. ආණ්ඩුවේ උවමනාව අනුව මිසෙක වරදෙහි නියැළෙනවා යැයි සාක්ෂි නොමැතිව ලන්ඩනයේ පිහිටි උසාවියකින් රහසිගතව මේ වරෙන්තු ලියා ගෙන යටත්විජිත වැසියන්ගේ නිවාස පරීක්ෂාවට බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට යටත්විජිත ඇමෙරිකාවේ හැකියාව පැවතිණ. නිදහස් දේශයක් ලෙසින් ඇමෙරිකාව පිහිටුවා ගනිද්දී එවැන්නක් ඇමෙරිකන් වැසියන්ට සිද්ධ වීම වළක්වා ගන්නටයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හතරවැනි සංශෝධනය ලියැවෙන්නේ.

ඒත් 2001 දී තස්ත්‍රවාදී බිය හමුවේ ජනතාව බිය ගන්වා, වරදක් කළ බවක සාක්ෂි නොමැතිව ද ඔවුන්ගේ නිවාස ඇතුලට ගොඩවෙන්නට හැකි දේශප්‍රේමි පනත සම්මත කරගැනිණ. එක් අතුරු ඵලයක් වූ සිවිල් අහිමිකරණ නීතිය යටතේ වර්තමානයේ දී කිසිම වරදකට චෝදනාවක් නොමැතිව පුද්ගලයෙකුගේ ව්‍යාපාරයේ සියළු දෑ සහ බැංකු ගිනුමේ ඇති මුදල් සියල්ලම ප්‍රාන්ත ඇටර්නි ජනරාල්වරයාට පරිග්‍රහණය (seize) කරත හැකියි. ඒ ගැන ඇහෙන සමහර සිද්ධීන් හි දී, පුද්ගලයාගේ ව්‍යාපාරික ගිනුම පමණක් නොව ඔහුගේ පුද්ගලික ගිනුම ද, භාර්යාවගේ පුද්ගලික ගිනුම ද, දූ දරුවන්ගේ බැංකු ගිනුම් පවා පරිග්‍රහණය කර ඇත. නීතිමය චෝදනාවක් නොමැති හෙයින් මාස ගණන් දිස්ත්‍රික් ඇටර්නිවරුන්ට එම මුදල් ඔවුන් යටතේ තබාගැනීමට හැකියාවත්, තමන් නිවැරදි යැයි පෙන්වන්නට අහිමි වූ අයට හැකියාවක් නොලැබී යයි. මෙසේ තම දේපල අහිමි වූ පුරවැසියන්ගේ සහායට අද එන්නේ රටේ පුරවැසියන්ව ආරක්ෂා කරනවා කියන රජය නොව Institute for Justice නමින් වූ රාජ්‍ය නොවන සංවිධානයකි. එම සංවිධානයේ කැපවීම නිසාම සමහර ප්‍රාන්ත දැන් ඒ මුදල් ආපහු ඒවායේ අයිතිකරුවන්ට ලබාදෙන පිළිවෙත් පටන් ගෙන ඇත.

රටේ ව්‍යවස්ථාවෙන් නිදහස සාධනය වේ යැයි දැන සිටියාට මදි. ඒ ගැන අවබෝධයක් ජනතාවට තිබිය යුතුයි. බලතණ්හාධිකයන් එහි සඳහන් නිදහස් අයිතීන් කප්පාදුවට සැරසෙන්නේ ජනතාවගේ සුවසෙත පිණිස නොව ඔවුන්ගේ බලය තවත් තරකර ගැනීමට බව වැටහෙන්නට නම් රටේ ඉතිහාසය කියවා තිබිය යුතුයි.

One Response

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on නොවැම්බර් 5, 2016 at 9:53 පෙ.ව.

    සිංහල පමණක් කියවන්නන්ට ඉතාම ප්‍රයෝජනවත් ලිපියක් අරුණිට ස්තුතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: