අරුණි ශපීරෝ‍ වෙතින්

සංක්‍රමණිකයන්ට අකමැති ට්‍රම්ප් පාක්ෂිකයන් පමණ ද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 6, 2016

screen-shot-2016-11-06-at-10-26-05-am

කොලොම්බියාවෙන් නීත්‍යානුකූලව පැමිණ පුරවැසියෙක් වී සිටින අපේ පළාතේ රාජ්‍ය සේවයේ යෙදන වෛද්‍ය උපාධියක් ඇති යෙහෙළිය, තමා ට්‍රම්ප්ට චන්දය නොදෙන්නේ ඔහු සංක්‍රමණිකයන්ට අකමැති නිසා යැයි මා හා කියා සිටියාය. සංක්‍රමණිකයන් බොහොමයක් රිපබ්ලිකන් පක්ෂයෙන් ප්‍රාන්ත ආණ්ඩුකාර වැනි ඉහළ මහජන තනතුරු පවා දරන්නට සමත් වුවත්, පක්ෂය ලේබල් වී ඇත්තේ සංක්‍රමණික විරෝධී හැටියටයි. වෙනත් දේවල් ගැන කතාබහෙන් අප දෙදෙනා අතර කාලය ගෙවී යද්දී ඇය හිටිහැටියේ වෙනිසියුලාවෙන් දහස් ගණනක ජනතාවක් බඩු මිල දී ගන්නට කොලොම්බියාවට ඇදෙන නිසා දැන් කොලොම්බියාවේ බඩු මිල ඉහළ ගිහින් යැයි නෝක්කඩු කියන්නට පටන් ගත්තාය!!!

තමන් උපන් රටවල් හැර දා ආවේ මන්දැයි බොහෝ සංක්‍රමණිකයන් හා සරණාගතයන් විමර්ශනය නොකරති. අහිතකර ඵලවිපාක පමණක් දකින ඔවුන් ඒවා හටගත්තේ කෙසේදැයි කියා සොයා නොබලති. හිතට හුරු ආකල්ප සත්‍ය ලෙසින් පිළිගෙන සිටීම ඔවුනට ප්‍රමාණවත්.

කොලොම්බියාවේ ජනාධිපති, 2016 නොබෙල් සාම තෑග්ග හිමි වූ හුවාන් මැනුවෙල් සාන්ටොස්, අයවැය බදු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කර ඇත. දුප්පතුන්ට බෙදන සමාජ සුබ සාධනය නොනවත්වා කරගෙන යන්නට නම් ඉහළ බදු අවශ්‍ය යැයි හේ කියා සිටියි. මුදල් ඇමති මොරිසියෝ කාඩෙනාස් කියන්නේ, “පාසැල්, ඉස්පිරිතාල, යටිතල පහසුකම් වලට ආයෝජනය නොකර ඉන්න බැහැ. බදු ඉහළ යෑම කටුකයි. ඒත් ඒවා අනිවාර්යෙන්ම කළ යුත්තක්,” බවයි.

ඒත් සත්‍යයෙන් සිද්ධ වෙන්නේ කුමක්ද? මේ සහනාධාර හෝ ආයෝජන යොදා ගැනෙන්නේ දුප්පතුන්ගේ තත්වය යහපත් කරන්නට නොව රාජ්‍ය ආයතන වල පඩි ගෙවන්නට, විශ්‍රාම වැටුප් යනාදියටයි. සමස්ත විශ්‍රාම වැටුප් අරමුදලෙන් දුප්පත්ම කොලොම්බියන් 20% ට ලැබෙන්නේ 0.3% ක් පමණකි. කොලොම්බියාවේ ධනවත්ම 20% යනු සහනාධාර වලින් 63% ක්ම ලබන්නෝ වෙති. බදු මිල ඉහළ යන්නේ ජාතික අයවැයේ කොටස් සඳහා මුල්‍ය සපයන්නටයි. VAT වැඩි කරමින් සහ ආදායම් බදු ගෙවිය යුතු ආදායම් මට්ටම් පහළට දමමින් රාජ්‍ය වැය දුප්පත් ජනතාව පිට පටවන්නට මේ අයවැය යෝජනා සකස් වී ඇත.

නොමිලේ යමක් දිය හැකියාව ඇත්තේ රජයට යැයි සිතන පුරවැසියන් ලොව සෑම රටකම පාහේ වැඩියෙන් සිටිති. චන්දයෙන් ඔවුන් වැඩි වැඩියෙන් දේවල් නොමිලේ සපයන්නට පොරොන්දු දෙන චන්ද අපේක්ෂකයන් තෝරා පත් කරගනිති. ඉන්පසු බදු වැඩිවෙනවා දැක හූල්ලමින් මේ රජය පළවා හැර වෙන රජයක් අවශ්‍ය යැයි ඉල්ලති.

දුප්පතුන්ට සුබසාධනය සලසනවාට විරුද්ධවීම නොව මේ කියන්නේ, ඕනෑම රජයක් තමන්ට කළ නොහැකි කර්තව්‍යයන්ට මැදිහත්වීමෙන් ආර්ථිකය බංකොළොත් කිරීම සහ සාමය බිඳ දැමීම ගැනයි. මේ කියන්නේ, දුප්පතුන්ට සුබසාධනය සලසනවා යැයි කියමින් දුප්පතුන්වම තවත් පීඩිත කිරීම ගැනයි.

ඇමෙරිකාව සංක්‍රමණිකයන් වෙතින් හැදිච්ච ඔවුන්ගේ ඒකීය පුද්ගල වූ වෑයම් නිසාම සශ්‍රීක වූ රටකි. අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, සහ සුබසාධන දීමනා නොමිලේ බෙදන, සැමදා දියුණුවෙමින් පවතින රටවලින් එන අය බොහොමයක් තම රටේ නොමැති වූ අවස්ථා මෙහි තවමත් ඉතිරි වී ඇත්තේ මන්දැයි විමර්ශනයට උත්සාහයක් නොගනිති. අර ආණ්ඩුව පෙරළා මේ ආණ්ඩුව පත්කරගත්තාම ඔක්කොම හරි යැයි සිතන මෙවැනි අය, තම රටේ බැරි වුනාට ඇමෙරිකාවේ දී, යුරෝපයේ දී, කැනඩාවේ හෝ ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුවකට බාර දුන්නොත් හරියට බෙදන්න ඔවුන් දන්නවා යැයි සිතති.

ගැරී ජොන්සන් ජනාධිපති අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත්වන ලිබටේරියන් පක්ෂය වර්තමාන ඇමෙරිකාවේ සීමිත ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී සිටින එකම පක්ෂයයි. සීමිත ආණ්ඩුවක් යනු යම් පිරිසකගෙන් අරගෙන තවත් පිරිසකට බෙදන්නට දන්නවා කියාගත් ආණ්ඩුවක් නොවේ. තමන්ට තමන් ඉපදුන ගම රට හැරදා, තමන්ගේ හැකියාවන් කුසලතාවයන් අනුව වත්කමක් උපයාගන්නට වෙනත් රටක් බලා එන්නට සිද්ධ වූයේ එම නොමිලේ බෙදන ප්‍රතිපත්ති වලට සැමදා චන්දය දුන් නිසාම යැයි නොදන්නා සංක්‍රමණිකයන් බහුතරය සීමිත ආණ්ඩුවක අගය නොදනිති.

සීමිත ආණ්ඩුවක් යම් පිරිසකට විශේෂ වූ නීති පනවන්නේ නැත. ඉහළ ආදායම් උපයන අයට බදු, රටේ සමහර පිරිසකට පමණක් වාහන බලපත්‍ර, සමහර අයට පමණක් විශේෂ විවාහ නීති යනාදිය සැමටම පොදු නීති නොවෙති. එවැනි නීති වලින් මේ කොටස තාර්කිකයි, සමාජයට වැඩදායකයි සහ මේ කොටස එසේ නොවේ යැයි පෙන්වා දෙන්නේ අනුන්ට හොඳ මොනවාදැයි කියන්නට තමන් දන්නවා කියාගත් අය පමණකි.

එවැනි නීති හැදීමට පටන් ගත්විට, කාලයක් යද්දී නීතියේ අරමුණ කුමක්දැයි මිනිසුන්ට පහදා ගන්නට නොහැකි වේ. මුස්ලිම් සංක්‍රමණික පිරිමින් ජර්මන් කාන්තාවන්ට ආන්ඩතේට්ටම් කළ අවස්ථාවේ දී, ඊට ලක්නොවන්නට නම් ජර්මන් කාන්තාවන් ද සිරුර වසාගෙන පාරට බැසිය යුතු යැයි කියනවා අහන්නට ලැබුණේ මේ නිසයි!!

කැනඩාවට හොරෙන් පනින සංක්‍රමණිකයන් නැති තරම්. එහි වියපත් ජනතාව වෙනුවෙන් ආදායම් උපයන්නට (ඔස්ට්‍රේලියාවේ මෙන්ම) රටට අවශ්‍ය කුසලතා ඇති අය ගෙන්වා ගන්නා නීත්‍යානුකූල සංක්‍රමණික ක්‍රමයක් පවතී. සරණාගතයන්ට ඉඩ ලබාදෙන කැනඩාවේ ක්‍රමය ඔවුන් රටට ඇතුලත් වන්නට පෙර දැඩි විමර්ශනයට හසු කරන්නකි. එනම්, යුරෝපයට මෙන්, ඇමෙරිකාවට මෙන් බුරුතු පිටින් හොරෙන් ඇතුල්වන්නට හැකියාව කැනඩාවේ ඉතා අඩුයි.

මගේ කොලොම්බියන් යෙහෙළිය මෙන් කැනඩාවේ අයත් තායිවාන් හා හොංකොං වැසියන් බුරුතු පිටින් වැන්කුවර් නගරයට පැමිණීම නිසා බ්‍රිටිශ් කොලොම්බියා ප්‍රාන්තයේ නිවාස මිල ගණන් ඉහළ ගිය හැටි ගැන නෝක්කාඩු කියූහ. රැකියා පුරප්පාඩු පියවීම සඳහා ශ්‍රමිකයන් අවශ්‍යයයි. ඒත් ඒ ශ්‍රමිකයන් නිසා නිවාස මිල ඉහළ යනවාට අකමැතියි. තමන්ට ශ්‍රමිකයෙක් හැටියට වෙන රටකට යෑමට අවසර ලැබිය යුතු යැයි සිතුවාට තමන්ගේ රටට පිටරටෙන් ශ්‍රමිකයන් එනවාට අකැමතියි.

සිරියන් සරණාගතයන් දැඩි විමර්ශනයට ලක් කළ යුතු යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ වේදිකාවේ කියද්දී ඇමෙරිකන් වැසියන් බොහොමයක් ඊට සතුටු වූහ. කැනඩාවේ වැනි විමර්ශනයක් සිද්ධ වේ නම් ට්‍රම්ප් ද සතුටු වනු ඇතැයි ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව පවා කියා සිටියි. නොබෝදා ඔස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් ද හොරෙන් ඇතුල්වන්නට හදන අය වෙනුවෙන් නව පනතක් ගෙන එන්නට යෝජනා කළේය.

දේශපාලන සරණාගතයන් හැටියට නොව රැකියා පිණිස නීත්‍යානුකූලව ඇතුල්වීමට හැකි පහසු ක්‍රම සෑම රටකම ක්‍රියාත්මක වෙන්නේ නම් වියපත් වැසියන් බහුල රටවල් වලට සහ විශේෂඥ දැනුම අඩු රටවලට එයින් දැඩි වාසි ලැබේ. එහෙත් රටට ගෙන්වා ගන්නේ කවුදැයි කොපමණ සංඛ්‍යාවලින්දැයි තීරණය කරන රජය එතැනින් නොනැවතී සියල්ලන්ටම අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස සහ සුබසාධන බෙදීමට ද මැදිහත්වීම නිසා සංක්‍රමණිකයන්ගේ වටිනාකම දකින්නට නොහැකි වී රටේ පුරවැසියන් අතර භින්න භේද පැතිරෙයි. සිරියන් සරණාගතයන්ට දොර විවෘත කරද්දී ඔමාබා රජය සිරියන් ක්‍රිස්තියානුවන්ට අඩුවෙන් අවසර දෙන ලදි.

පසුගිය වසරේ මුල් කාලයේ දී අන්ගලා මෙයර්කල් ජර්මනියට එන්න යැයි සිරියන් සරණාගතයන්ට ආරාධනා කළාය. සරණාගතයන් නිසා තමන්ගේ පංගුව අඩුවේවි යැයි සිතන ජර්මන් වැසියන් පහුගිය මැතිවරණ වල දී ඇයගේ පක්ෂයට ලැබුණු චන්ද සංඛ්‍යාව අඩු කරන්නට සමත් වූහ. යුරෝපීය රටවල් බොහොමයක ජාතිකත්වයෙන් ඔකඳ වූ ද, සංක්‍රමණික විරෝධී වූ, දේශපාලන අදහස් වලට යළි පිබිදීමක් ලැබෙන්නේ ඒවායේ බහුතර පුරවැසියන් තම පංගුව සැබැවින්ම වැඩිවෙන්නේ කුමන ආකාරයෙන්දැයි නොදන්නා නිසයි.

සමාජීය හෝ ආර්ථික අර්බූද ඇතිකරන හතුරා සංක්‍රමණිකයන් හෝ සරණාගතයන් නොවෙති. කරන්නට නොදත් කටයුතු වලට බලය පවරමින් තමන්ම විසල් කරගන්නා ආණ්ඩුව හතුරා යැයි දැකීම කොතරම් පහසු ද, ඒත් ඊට අපි කොතරම් අකමැති ද? සංක්‍රමණික සහ සරණාගත විරෝධය ජනතාව තුල වපුරවන්නේ ජාතික හැඟීම් උද්දාම කර බෙදන බලය තම අතට ගන්නට වෙහෙසෙන දේශපාලනඥයන් බව අපට වැටහෙන්නේ නැතිවාම නොවේ. රටේ ආර්ථිකය අඩපණ වූවාට ඒ දේශපාලනඥයන්ට නම් කම් නැති බවත් අපි නොදන්නවාම නොවේ.

තමන් හැර දා ආ රටේ අහිතකර වූ ප්‍රතිපත්ති වෙනුවෙන් තමන් පැමිණ සිටින රටේ දී ද චන්දය ප්‍රකාශ කරන්නේ නම් ඇතිවන ප්‍රතිඵලය කුමක්වේදැයි නිකමට සිතා බලන්න. ඕනෑම රටක ආර්ථිකයක් දියුණු වෙන්නේ ද, සංක්‍රමණික සහ සරණාගත හෝ සුළු ජාතික විරෝධයක් ජනතාවක් තුල නැති වී යන්නේ ද, රජයට බලය පවරා නොමිලේ බෙදිය හැකි දේවල් නැතැයි අවබෝධයෙන් බව අපි අවබෝධ කරගන්නා දිනයේ දී ය. එවිට සැබෑ සශ්‍රීකත්වයක් සහ සැබෑ සාමයක් ලෝකය පුරා පැතිරේවි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )