අරුණි ශපීරෝ‍ වෙතින්

හොඳ සහ නරක ඇමෙරිකන් ජනාධිපතිවරු

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 7, 2016

මැතිවරණ පොරොන්දු කඩ නොකරන්නට සමත් වූ ඇමෙරිකන් ජනාධිපතිවරයා කවුදැයි කෙනෙක් ඇහැව්වොත් දිය යුතු හොඳම පිළිතුර තමයි විලියම් හෙන්රි හැරිසන්. නම වැනි ජනාධිපති හැටියට තනතුර බාරගෙන නිලයේ සිටි 32 වැනි දිනයේ දී ඔහු මිය යන ලදි.

ඇමෙරිකන් ඉතිහාසයේ හොඳ ජනාධිපතිවරයෙක් හැටියට මාටින් වැන් බියුරන් දක්වන්න පුළුවන්. ආණ්ඩුවේ වැය සහ බදු යන දෙකම ඉතා පහළ මට්ටමින් තියාගන්නට සමත් වූ ජනාධිපතිවරයෙක් තමයි ඔහු. ඒ වගේම බැංකු සහ රජය අතර ගණුදෙනු වෙන් කර තබන්නටත් සමත් වූවෙක්.

ඇමෙරිකන් ඉතිහාසය පිරිලා තියෙන්නේ රට සහ ජනතාව යුද්ධයට ඇදගෙන යන්න සමත් වූ ජනාධිපතිවරු වෙතින් වෙද්දී, බියුරන්ගේ විදේශ ප්‍රතිපත්ති වලින් යුද්ධ දෙකක් වළක්වාගන්නට හැකියාව ලැබුණ. එකක්, ටෙක්සාස් ප්‍රාන්තය ඈඳා ගන්නා මෙහෙයුම නවත්වා දැමීමෙන් මෙක්සිකෝව හා යුද වැදීම වැළැක්වීම. අනෙක, බ්‍රිතාන්‍ය කැනඩාවෙන් ස්වාධීන වෙන්නට උවමනා වූ වැසියන් සමඟ මේන් ප්‍රාන්තයේ සහ නිව් යෝර්ක් ප්‍රාන්තයේ හටගත් ආරවුල් දෙකක දී බ්‍රිතාන්‍ය හා යුද වැදීම වැළැක්වීම.

තවත් හොඳ ජනාධිපතිවරයෙක් තමයි ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්. අඩු බදු, නිදහස් වෙළඳාම වගේම එයාට කළින් හිටපු ජනාධිපතිවරුන් 21 දෙනාටම වඩා වැඩියෙන් කොංග්‍රසය එවන පනත් අහෝසි කරලා දැම්ම අයෙක්. ඒ කියන්නේ ජන ජීවිතයට නීති ගෙනැවිත් මැදිහත්වෙන්න අකමැති වූ ජනාධිපතිවරයෙක්.

ක්ලීව්ලන්ඩ්ට කළින් හිටපු බෙන්ජමින් හැරිසන් ජනාධිපතිවරයා 1890 දී ශර්මන් රිදී මිල දී ගැනීමේ පනත ගෙනැවිත් තිබුණේ. මේ පනතෙන් රට අලුතෙන් අච්චු ගැසූ මුදල් නෝට්ටු වලින් ඇමෙරිකන් භාණ්ඩාගාරය රටේ රිදී පතල් වල සම්පූර්ණ නිපැයුම මිල දී ගන්නට සූදානමින් හිටියෙ. මාසයකට රිදී අවුන්ස මිලියන 4.5 ක් බැගින්. රිදී වල වෙළඳපොල වටිනාකමට වඩා දෙගුණයක් වැඩියෙන් ගෙවලා භාණ්ඩාගාරය ඒවා රිදී ඩොලර් වලට හරවලා, ඒවා දීලා එවක වෙළඳපොල රත්තරන් අගයෙන් බාගයක් මිල දී ගන්නයි පනත හැදිලා තිබුණේ. පනත ඒ කාලේ හිටපු රිදී ආයෝජකයන්ගේ වාසියට ගෙනාපු පනතක්. ඒකෙන් ඇමෙරිකාවේ මුදල් සහ ආර්ථිකයට ඍජු මැදිහත්වීමක් සිද්ධ වුණා. 1893 ආර්ථික භීතිය සහ ඊට පසුව ආපු ආර්ථික අවපාතය මේ පනතේ ප්‍රතිඵලයක්. කොංග්‍රසය ඒ පනත ගෙනෙද්දී රටේ බහුතරයගේ ප්‍රසාදය ඊට හිමිවෙලා තිබුණේ. ඒත් ක්ලීව්ලන්ඩ් ජනාධිපති වුණාට පස්සේ ඔහු මුඛ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටියත් රටේ මුදල් අගය අවුල් කරන්න ඉඩ දීම දේශප්‍රේමිත්වය නෙමෙයි කියල ඔහු තම කොංග්‍රසය ලවා පනත අවලංගු කරවන්නට සමත් වෙනව.

පළමු ලෝක යුද්ධය නිසා වැඩි වූ ජාතික ණය සහ එකතැන ලැග සිටි ආර්ථිකයක් දායාද වෙන්නේ වොරන් ජී. හාඩින් ජනාධිපතිවරයාට. හාඩින් සිය නිල කාලයේ දී බදු අඩුකරන්න සමත් වූවෙක්. ඒ වගේම ෆෙඩරල් ආණ්ඩුවේ වැය බාගයකින් අඩු කරනවා පමණක් නෙමෙයි විරැකියාව 11.7 න් 2.4 දක්වා පහතට ගෙනියන්න ඔහු සමත්වෙනව.

“ආණ්ඩුවට වැඩියෙන් බිස්නස් ලබාගන්න නම් බිස්නස් ඇතුලේ ආණ්ඩුව ඉන්න ඕන අඩුවෙන්” කියල කිව්වේ හාඩින්. සියළු ව්‍යාපාරයන්ට බදු අඩු කිරීම නිසා ඒ කාලයේ තමයි සීතකරණ, හඬ කැවූ චිත්‍රපටි, වායුසමීකරණ, දුරකතන වගේම ගුවන් ගමන් ව්‍යාපාරයන් ඇතිවෙන්නේ. 1920 ගණන් තමයි සෑම වාර්ෂික අයවැයක දී ම අතිරික්ත දකින්නට හැකියාව ලැබෙන ඇමෙරිකන් ඉතිහාසයේ අන්තිම දශකය. හාඩින් සහ කූලිජ් ජනාධිපතිවරයන් යටතේ ෆෙඩරල් ආණ්ඩුවේ ණය තුනෙන් එකක් අඩු වෙනව.

කැල්වින් කූලිජ් ඇමෙරිකන් ඉතිහාසයේ නිහඬම ජනාධිපතිවරයා හැටියට හැඳින්වෙන්නෙ. ඒත්, ඔහුට පෙර වූ ජනාධිපතිවරුන් සියල්ලන්ටම වැඩියෙන් කතා පවත්වන ලද්දා ඔහුයි. ඒ පැවැත්වූ කතා සියල්ලම ඔහු සියතින් ලියා ගන්නා ලද ඒවායි. ජනාධිපති නිවස හෙවත් වයිට් හවුස් හි සිට ඔහු ජනමාධ්‍ය හමුවන් මාසයකට 8 ක් බැගින් පවත්වන ලද්දෙක්. ඒත් ඔහුට ‘නිහඬ කැල්’ කියල නමක් වැටෙන්නේ උත්සව සාද වල දී වැඩිය කතාබහ නොකරන නිසා.

එක රාත්‍රී භෝජන සංග්‍රහයක දී ඩොරොති පාකර් කියන පුවත්පත් කලාවේදිනිය ඔහුට ළං වෙලා කිව්වලු, ‘මම යාළුවෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා මිස්ටර් ප්‍රසිඩන්ට්, ඔබ ලවා අඩුම ගානේ වචන තුනක්වත් පිටකරගන්නා බවට.” ඔහු පිළිතුරු දී ඇත්තේ “ඔබ පරාදයි!” කියායි.

ඔහුට කළින් ඇමෙරිකාවේ පිහිටුවා ගත් මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති මැදිහත්වීම් නොවෙන්නට, ජනාධිපති හර්බට් හූවර් සහ ටෙඩී රූසවෙල්ට් ගෙනෙන ලද වැරදි ප්‍රතිපත්ති නොවෙන්නට, කූලිජ් ජනාධිපතිවරයා අදායම් බදු අඩුකරමින් ගෙනෙන ලද සශ්‍රීකත්වය තුලින් 1930 මහා අවපාතය වළක්වාගන්නට හැකිවෙනව.

ඉතා හොඳ චරිතයකින් යුතු වූ කූලිජ් රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන ලද සහ ජනතාවගේ නිදහස පාවා නොදුන් ඉතාමත් හොඳ ජනාධිපතිවරයෙකි.

ඇමෙරිකාවේ නරකම ජනාධිපතිවරයා තමයි වුඩ්රෝ විල්සන්. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ සභාපති හැටියට සේවය කළ කාලයේ දී ඔහු කළු හමැති අයව කැම්පස් එකෙන් අයින් කරලා තියන්න කටයුතු කරන ලද්දෙක්. රටේ ජනාධිපති වුණාම ඔහු රජයේ විධායක අංශයේ සියළුම දෙපාර්තමේන්තු වලින් කළු අයව අයින් කරලා තියන්න නියම කළ අයෙක්. රජයේ ඉහළ නිල තනතුරු කිසිවකට කළු අයෙකුව පත් නොකරන ලද්දෙක්.

යුරෝපයේ ඇවිලෙන යුද්ද වලට මැදිහත්වෙන්න ගිහින් වැඩේ වැරදුනාට පස්සේ එයා මැතිවරණයට යන්නේ ඇමෙරිකාව යුද්ධයෙන් ඉවත් කරලා තියාගත්ත පුද්ගලයා තමන් යැයි කියා ගනිමින්! ඒත් මැතිවරණය දිනලා යළි ජනාධිපති වෙච්ච ගමන් විල්සන්ට උවමනා වෙන්නේ ආපහු යුද්ධයට යන්න. ජර්මනියේ වැසියන් හාමතේ තියල ඔවුන්ව නම්වාගන්නට අවශ්‍ය වූ බ්‍රිතාන්‍යයට සහාය දෙමින්, අවිගත් බ්‍රිතාන්‍ය වෙළඳ නැව් වලට ඇමෙරිකන් වරායන් විවෘත කරමින්, ඇමෙරිකන් ජීවිත හෝ දේපල වලට හානියක් වූවා නම් ඒවා සඳහා ජර්මනියෙන් වන්දි ලබාගන්නට අවශ්‍ය යැයි ප්‍රතිපත්ති හදන්න සහාය දෙන්නේ ඔහු. ඒ උවමනා කරල තිබ්බ විදියටම විල්සන් ඇමෙරිකාව පළමු ලෝක යුද්ධයට ගෙනියනව.

යුද්ධයේ නාමයෙන් විල්සන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියන නිදහස් ප්‍රකාශ අයිතිය අවලංගු කරනව. දේශපාලනිකව එරෙහි වෙන අයව සිරගත කරනව. යුද්ධයේ නාමයෙන් විල්සන් බොහෝ පුද්ගලික කර්මාන්ත ජනසතු කරනව. ටෙලිග්‍රාෆ් සේවය, දුරකතන සේවය සහ දුම්රිය මාර්ග කර්මාන්තය වගේම ගල් අඟුරු බෙදාහැරීම ද රජයට යටතට පවරා ගන්නව.

1913 වසරේ දී ඔහු ජනාධිපති හැටියට ආදායම් බදු පටන් ගැනීමත් සහ මහ බැංකු ක්‍රමය පටන් ගැනීමත් නිසා රට අභාග්‍යයට යන පාරේ ගමන ඇරඹෙනව. ඒවායෙන් රටේ දේශපාලනඥයන්ගෙ හිතවතුන්ට වාසි ගෙනෙන්ටත්, හතුරන්ට දඬුවම් කරන්නටත්, ධනය නැවත බෙදාහරින්නටත් බලය ලබාගන්නව. රටේ බඩු මිල ගණන් වේගයෙන් ඉහළ ගිහින් වසර තුනක් පුරා ආර්ථික අවපාතයක් පැතිරී ගියා. වසර දෙකක කාලයක දී පමණක් විවිධ නගරවල පැවති කැරලි කෝලාහල නිසා මිනිස් ජීවිත 150 ක් අහිමිය ද සිද්ධ වූවා. දේශපාලනික උසිගැන්විලි තුලින් සමාජයක කලකෝලාහල ඇතිකරන්නේ කවුරැන් කෙසේදැයි කියා සමහර අයට පෙනෙන්නේ නැහැ.

පසුව එන ඇමෙරිකන් ජනාධිපතිවරුන්ට රට සහ ජනතාව යුද්ධයන්ට ඇදගෙන යන ඇමෙරිකන් හැදියාවට පහසු මාර්ගය කැපුනේ වුඩ්රෝ විල්සන් විසින් ගෙනා රටේ මුදල් අගයට මැදිහත් වන මහ බැංකු ක්‍රමය සහ ආදායම් බදු ක්‍රමයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: